
කොවිඩ් 19 වසංගතය මේ වන විට විවිධ ප්‍රභේද ඇති කරමින් මුළු ලෝකයේ ම ජනතාව වෙත ඉතා අහිතකර බලපෑම් රාශියක් එල්ල කරමින් සිටියි. ඒ අතරවාරයේ පෙර නොවූ විරූ අභියෝග රාශියක් මැද කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වන විට වාර්තා පිට වාර්තා තබමින් ඉහළ වර්ධනයක් අත්පත් කරගනිමින් ඉදිරියට ඇදෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ නැතිනම් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ පසුගිය වසරක, වසර එකහමාරක කාලයේ විටින් විට ඉහළ පහළ යෑම්, කෙටිකාලීන උච්චාවචන දක්නට ලැබුණි.
මේ සියල්ලට වක්‍රව හෝ ඍජුව හෝ කොවිඩ් 19 වසංගතයේ රෝග බිය අහිතකර, අභියෝගකාරී ලෙස රට පුරා සිදුවූ ව්‍යාප්තිය ද බලපෑ බව අමුතුවෙන් කිවයුතු නොවන්නකි.
මෙලෙස අභියෝගකාරී ආර්ථික හා ආයෝජන පසුගාමී වටාපිටාවක කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් සිදුවී තිබෙනුයේ කෙසේද? එවැන්නක් සිදු වූයේ කෘත්‍රිම මවාපෑමක් මුල් කරගෙන ද? නැතිනම් ස්වභාවිකව ම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හා ක්‍රියාකාරකම් ඉහළ ගියාද? යන්න පිළිබඳව සමාජයේ බොහෝ දෙනා කතාබහ කරන්නට පටන්ගෙන තිබේ. ඇතැමකු මේ වර්ධනීය ප්‍රවණතාව පිළිබඳව සැක පහළ කරති.
එවන් පසුබිමක සැබෑ ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සිදු වූයේ කුමක්දැයි සැක හැර දැන ගැනීමේ අරමුණින් මේ ලිපිය සකස් කැරිණි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ පමණක් නොව, ලොව ඕනෑම කොටස් වෙළෙඳපොළක ප්‍රගතිය මැන බැලෙන දත්ත හා දර්ශක කිහිපයක් වේ. සමස්ත කොටස් මිල දර්ශකය (ASPI),වෙළෙඳපොළ පිරිවැටුම, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, දෙස් විදෙස් ආයෝජන ලැබීම් හා පිටවීම් සිදුවූ ආකාරය ඒ අතර ප්‍රමුඛ වේ. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් අතුරින් ප්‍රමුඛ 20 හි ක්‍රියාකාරකම් ඇසුරින් සකස් කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද විමසා බැලීමෙන් එහි ගමන් මඟ ගැන යම් අවබෝධයක් ලබාගත හැකිය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශකයන් බහුතරයක් ඉකුත් වසරේ මැයි මස මැද සිට වැඩිදියුණුවක් පෙන්නුම් කරන ලදී. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී සියයට 3.8කින් ඉහළ ගිය අතර 2020 වසර අවසන් වන විට එය රුපියල් බිලියන 2960.6 පැවැතුණි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ 2019 වසරේ වාර්තා කළ මිලියන 711.2 සාමාන්‍ය දෛනික පිරිවැටුම සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 3.2ක සුවිශේෂී සාමාන්‍ය දෛනික පිරිවැටුමක් වාර්තා කොට තිබේ. මේ තරම් ඉහළ අගයක් ගත් සාමාන්‍ය දෛනික පිරිවැටුම 2011 වසරේ සිට වසරක් සඳහා වාර්තා වූ ඉහළම අගය වී තිබුණි.
මේ අන්දමේ ඉහළම අගයක් වාර්තා කළ සාමාන්‍ය දෛනික පිරිවැටුමේ විශාල ඉහළ යෑමක් ඉකුත් 23 වැනි සඳුදා, පසුදින හා ගත වූ සතියේ දිනවල වාර්තා කරනු ලැබීම සුවිශේෂී කරුණු වේ. සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් බිලියන 10.49 වාර්තා කළේ පසුගිය 26 වැනි බ්‍රහස්පතින්දාය.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා කළ සමස්ත කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ද එදිනම වාර්තා කරන ලදී. මේ වසරේ ජනවාරි 27 වැනිදා ඒකක 8812.01 ක් ලෙස වාර්තා වූ සමස්ත කොටස් මිල දර්ශකය ඉකුත් 26 වැනිදා ඒකක 8920.71 ක් ලෙස වාර්තා කරන ලදී.
වසර 2020 පුරාම මෙරට කොටස් වෙළෙඳපොළ වාර්තා කළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 396 ක් විය. එය මේ වසරේ රුපියල් බිලියන 618 ක් දක්වා ඉහළ ගියේ වාර්තා පිට වාර්තා තබමිනි. මේ අන්දමට ඉහළ යෑම් වාර්තා වූ සාර්ථක ගනුදෙනු සිදුවූ සතියක් නිමා වී නව සතියක් හෙටින් ඇරඹෙනු ඇත.
අප කොවිඩ් වසංගතය හමුවේ එල්ල වූ බාධා මැද කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් සිදු වූයේ කෙසේදැයි, ඊට බලපෑ හේතු මොනවා දැයි එහි අධ්‍යක්ෂ ජනරාල් රජිව් බණ්ඩාරනායක මහතාගෙන් විමසා සිටියෙමු.
එහිදී ඔහු අප සමඟ කියා සිටියේ, මේ වන විට මෙරට බැංකු පද්ධතිය හරහා සිය ගනුදෙනුකරුවන්ට ලබාදෙන තැන්පතු පොලී අනුපාත පහළ මට්ටමක පැවැතීම, උද්ධමනය සියයට 5 - 7 ත් අතර මට්ටමක පැවැතීම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වර්ධනයවීමට බලපා ඇති බවය.
රටේ ජනතාව හරි හම්බ කරගත්, ඉතිරි කර ගත් මුදල් වැඩි ප්‍රතිලාභයක් හා වැඩි වාසියක් හිමි වන ආයෝජන උපකරණවල ආයෝජනයට පෙලඹීමේ ප්‍රවණතාවයක් මේ වන විට ඉස්මතුව පවතී.
ඒ නිසා බැංකු ක්‍රමයෙන් මිදී ඉහළ ප්‍රතිලාභ හිමි, තරමක් අවදානම්කාරී වූ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලට ජනතාව පෙළගැසෙමින් සිටිති.
මීට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු මාර්ගගත ක්‍රමවේදයන්ට අනුව (ONLINE) සිදුකිරීමට අවකාශ ලබාදෙන ලෙස එහි යටිතල පහසුකම් නංවාලීම ද ගනුදෙනු ඉහළ යාමට හේතුවී තිබේ.
ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ රට වසා තැබූ සමයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුකිරීමට නව ඇප් එකක් හඳුන්වා දුන් බව එහි වෙළෙඳ අංශ ප්‍රධානි නිරෝෂන් විජේසුන්දර කියා සිටියේය. ඒද, "CSE "Mobile APP"නමින් හඳුන්වා දුන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එහි ගනුදෙනු හා සියලු තොරතුරු අන්තර්ගත ඇප් එක මේ වන විට 88000 ක් දෙනා බාගත කරගෙන ඇත. එම ප්‍රමාණය මේ වසර නිමා වන විට ලක්ෂයක් දක්වා වර්ධනය කර ගැනීම තම අරමුණ හා ඉලක්කය බව ද විජේසුන්දර සඳහන් කර සිටියේය.
මේ කොවිඩ් වසංගතය සමයේ වුව රට වැසුව ද කොටස් වෙළෙඳපොළ නොවසා ගනුදෙනු සිදු කිරීමට එහි කළ නව තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ මුල් වී ඇත.
සොෆ්ලොජික් ඉස්ටොක් බ්‍රෝකර්ස් ආයතනයේ පර්යේෂණ අංශ ප්‍රධානි මහේෂ් උඩුගම්පොල ලියුම්කරු සමඟ පවසා සිටියේ මේ දිනවල කොටස් වෙළෙඳපොළ වර්ධනයට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් IMF මෙරටට විශේෂ ණය මුදලක් ලැබීම ද හේතුවක් වූ බවය.
කොටස් වෙළෙඳපොළේ බැංකු හා මුල්‍ය අංශයේ ලියාපදිංචි ආයතන හා සමාගම්වල, නිෂ්පාදන සමාගම්වල, මඟින් හා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් හා ගබඩා පහසුකම් සැපැයීම, සෞඛ්‍ය අංශ රෝහල් සේවා, ටයිල් නිෂ්පාදන සමාගම්වල කොටස් මිල ගණන් මේ දිනවල ඉහළ යමින් තිබේ. වසර 2020 ජනවාරි - ජුනි කාල සීමාවට සාපේක්ෂව වසර 2021 ජනවාරි - ජුනි කාල සීමාවේ නැතිනම් මේ වසරේ මුල් කාර්තු දෙකෙන්, දෙවැනි කාර්තුවේ කොටස් වෙළෙඳපොළ වර්ධනයක් සිදුවී ඇතැයි ද මහේෂ් උඩුගම්පොල ප්‍රකාශ කෙළේය.
සමස්තයක් ලෙස මේ වන විට පසුගිය වසරට සාපේක්ෂව කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනය සියයට 56 කින් ඉහළ ගොස් ඇත.
සෑම අංශයකින් ම හා දර්ශකයකින් ම ඉහළ ගමන් කරන කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වැඩි වැඩියෙන් ආයෝජන සඳහා පිවිස එහි වාසිය අත්කර ගන්නා ලෙස දෙස් විදෙස් ආයෝජකයන්ට ආරාධනා කිරීමට මේ සුදුසුම වේලාව වී තිබේ.
ඊට අමතරව වාණිජ බැංකු හෝ මුල්‍ය ආයතන වෙත ගොස් ණය මුදල් ලබා ගෙන තම ව්‍යාපාර පුළුල් කිරීමට බලා නොසිට, කොළඹ කොටස් වෙළෙඳපොළට පැමිණ කොටස් නිකුතු සිදු කොට තම සමාගම්වල ප්‍රාග්ධනය වැඩි කර ගෙන, ඒවායේ දියුණුවක් ඇති කර ගැනීමට උනන්දු වන්නැයි ඒවායේ ප්‍රධානීන්ට ද අප මේ සමඟම සුහදව ඇරයුම් කරන්නට කැමැතියි.
මේ වන විට අප රටේ සමාගම් 288 ක් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් බවට පත්ව තිබේ. ඒ හරහා රුපියල් බිලියන 77 ක මුදලක් කොටස් නිකුත් මඟින් ලබාගෙන තම ආයතන දියුණු කර ගැනීමට ඉඩප්‍රස්ථා, නව අවකාශ හිමි කරගෙන ඇත. එය සුබවාදි අනාගතයක දීප්තිමත් භාවයේ සුබ ලකුණු පහළ කරන්නක් වන බව කිව යුතුමය.