ඩුබායි නඩු තීන්දුවෙන් ඩොලර් මිලියනයක් හිමි වූ ලංකාවේ දිල්රුක්ෂි | Page 2 | සිළුමිණ

ඩුබායි නඩු තීන්දුවෙන් ඩොලර් මිලියනයක් හිමි වූ ලංකාවේ දිල්රුක්ෂි

 

ඩුබායි අධිකරණය විසින් ශ්‍රි ලාංකික ගෘහ සේවිකාවකට ඩොලර් මිලියනයක වන්දි මුදලක් ගෙවීමට එරට බලධාරීන්ට සිදුවූ පුවතක් ගල්ෆ් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ පසුගියදාය. ඒ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ 45 හැවිරිදි තරංගා දිල්රුක්ෂිටය. මේ වන විට දිල්රුක්ෂි ලංකාවට නැවත පැමිණ සිටින්නේ ආබාධිතව රෝද පුටුවකට ජීවිතය බාර කරය. අවුරුදු 15 සහ 14 ක් වන පාසල් යන දරු දෙදෙනෙකුගේ මවක් වූ දිල්රුක්ෂි විදෙස් ගත වූයේ පවුලේ ආදායම සරි කර ගැනීමටය.

 

එහෙත් ඩුබායි බලා විදෙස් ගත වූ දිල්රුක්ෂිට අනපේක්ෂිත ලෙස රිය අනතුරකට මුහුණ දීමට සිදුවූයේ පසුගිය වසරේදීය. ඒ පසුගිය වසරේ මැයි මස 24 වැනිදා ඇය Bur Dubai හි පිහිටි පොලිස් ස්ථානය ඉදිරිපස වූ කහ ඉරි මතින් පාර මාරුවීමට යාමේදී ඉන්දියානු ජාතිකයකු පැදවූ කාරයක ගැටීමෙනි. කෙසේ වෙතත් මේ සම්බන්ධව එරට රථවාහන අධිකරණයෙන් රියදුරුට එරෙහිව නඩුවක් පැවැත් වූ අතර එහිදී ඩිරාම් 5000 ක දඩයක් ගෙවන්නට අධිකරණය විසින් රියදුරුට නියෝග කෙරුණි.

කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය වඩාත් අසරණ විය. එරට YAB නීති සමාගමේ නිතීඥයකු වූ Salam Pappinissery ඇතුළු පිරිසක් අැයගේ සහයට එක්වූයේ ඇයට බරපතළ තුවාල සිදු කළ රියදුරුට එරෙහි සිවිල් නඩුවක් ගොනු කිරීමටය. එහිදි ඔවුන් පාදක කරගත් නීති කරුණු මෙසේ විය. දිල්රුක්ෂිගේ ජීවිතය රෝද පුටුවකට සීමා වීම, රැකියාවකට ගොස් සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට නොහැකි වීම මෙම නඩුව ඉදිරියට ගෙන යාමට පසුබිම් වූ හේතු කරුණුය.

“දිල්රුක්ෂි පැමිණෙන්නේ ලංකාවේ අඩු ආදායම්ලාභී පවුලකින්. ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඹෟෂධ අවශ්‍යයයි. දැන් ඇගේ මානසික තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වී ඇත. ඇයගේ සිතුවිලි වල පැහැදිලි බවක් නැත. මෙවැනි තත්ත්ව නිසා ඇයට ජීවිත කාලය පුරාම තව කෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වනු ඇත....“ Salam Pappinissery ගේ උපදෙස් මත නීතීඥ යූනුස් මොහොමඩ් අල් බ්ලූෂි, අධිනීතිඥ මොහොමඩ් ඉබ්රාහිම් අල් සුවෙයිදි සහ අධිනීතිඥ රුකියා අල් හෂිමි යන අය ප්‍රබල සාක්ෂි මත රියදුරුට හා රක්ෂණ සමාගමට එරෙහිව ඩුබායි අධිකරණයේ සිවිල් නඩුව ගොනු කළේ ඒ අයුරිනි. මෙයට අැයගේ වෛද්‍ය වාර්තාද ගොනුවිය.

මෙම නඩු විභාගයේදි සියලු තර්ක විතර්ක දිල්රුක්ෂිට හිතකර අයුරින් විභාග විය. නඩුව අවසන් වූයේ ගෘහ සේවිකාවක් වූ දිල්රුක්ෂිට ඩොලර් මිලියනයක වන්දියක් ගෙවන්නටත්, නිතීඥ ගාස්තු රක්ෂණ සමාගමටත් ගෙවන්නට නියම කරමිනි. ඒ එරට 1995 රථවාහන හා හදිසි අනතුරු නීතියේ 26 වන වගන්තියට අනුවය.

Comments