පරි­පා­ලන සේවයේ ගෞර­වය රැකි නිද­හස් මත­ධා­රියා සුසිල් සිරි­ව­ර්ධන | සිළුමිණ

පරි­පා­ලන සේවයේ ගෞර­වය රැකි නිද­හස් මත­ධා­රියා සුසිල් සිරි­ව­ර්ධන

 

20 වන සියවස ආරම්භ වන විට යටත් විජිතවාදය මෙරට ආරම්භ වී වර්ධනය වී නිෂ්පාදන සේවා හා පරිපාලන කටයුතු ලංකාවේ තහවුරු ව පැවතුණි. ඒ පාලනය යටතේ යම් වරප්‍රසාද ලත් සමාජ කණ්ඩායම් සේවා සපයන, නිෂ්පාදන කටයුතුවලට මැදිහත් වන පිරිස් විසින් ක්‍රියා කරනු ලැබූ ජනතාව නිසා නව සමාජ පන්තියක් නිර්මාණය වෙමින් පැවතුණි. දේශීය ව්‍යාපාරික හා ප්‍රභූ සමාජයේ පසුවන දරුවන් විදේශ අධ්‍යාපනයට යොමු වන්නේ මෙම සන්දර්භය යටතේ ය.

20 වන සියවස මුල භාගයේ මෙරට ව්‍යාපාරික හා ප්‍රභූ පවුල්වල දරුවන් යටත් විජිත මව් රට වූ බ්‍රිතාන්‍යයට පැමිණියේ අධ්‍යාපනය ලබා ගැනීමට ය. මේ කාලයේ මේ වන විට බ්‍රිතාන්‍යය යටත් විජිත වශයෙන් පැවති බොහෝ රටවල තරුණයෝ එම රටට පැමිණෙමින් සිටියෝ ය.

මෙසේ පැමිණි තරුණයන් විවිධ ක්ෂේත්‍ර ග්‍රහණය කරගනිමින් සමාජ අත්දැකීම් උකහා ගන්නා ආකාරය දැකිය හැකි ය. මේ වන විට ලෝකයේ ප්‍රධාන සිද්ධිය වූයේ 1918 ඔක්තෝම්බර් විප්ලවය හෙවත් ප්‍රථම සමාජවාදී රාජ්‍ය රුසියාවේ බිහි වීමයි. මෙම අත්දැකීම ද මෙම තරුණයන් කොටසට ග්‍රහණය විය.

විදේශ අධ්‍යාපනය හමාර කොට මෙරටට පැමිණි මෙම මුල් තරුණ කණ්ඩායම් සමහරුන් ව්‍යාපාරික කටයුතු, පරිපාලන කටයුතු සහ දේශපාලන කටයුතු ද තවත් කණ්ඩායමක් වෘත්තීය සමිති හා වාමාංශික දේශපාලනයේ පුරෝගාමී සංවිධාන ගොඩනැඟීමට නායකත්වය දුන්නෝ ය. මෙරට පුරෝගාමී වාමාංශික ව්‍යාපාරයේ පිහිටුවන ලද්දේ මෙම සියවසේ මුල් යුගයේ දී බ්‍රිතාන්‍යයට යැවුණු මෙම තරුණ කණ්ඩායම අතිනි.

ලාංකික දේශපාලනයේ ගමන් මඟ වෙනස් කිරීමට හා එහි නව පරිවර්තනයක් සිදු කිරීමට මෙම තරුණ කණ්ඩායමට හැකියාව ලැබුණි.

මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ පෙරමුණ, ප්‍රජාතන්තවාදී අයිතීන්, ආදායම් බෙදීයාම පිළිබඳ යම් යම් ප්‍රතිසංස්කරණ සහ සමාජ දූෂණ යනාදියට ඔවුන් මැදිහත් ව කටයුතු කළෝ ය. පසුකාලීන ව මෙරට ඇති වන විවිධ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ උද්ඝෝෂණ හා ක්‍රියාමාර්ග බලපාන ආකාරය දැකිය හැකි ය.

1950 සහ 1960 දශක වන විට මෙරට බිහිවන දෙවන ප්‍රභූ කණ්ඩායම්වල තරුණයන් ද විදේශ අධ්‍යාපනයට යොමු වන ආකාරය දැකිය හැකි ය. මෙසේ විදේශගත වන තරුණයන් විසින් එම රටවල දී සම්භාව්‍ය විෂයයන්, සමාජ අත්දැකීම් උකහා ගනිමින් මෙරටට පැමිණෙන්නේ 70 වන දශකය මුල භාගයේ දී ය. මේ වන විට මේ රටේ සමාජ ප්‍රතිසංස්කරණ හරහා වැඩුණු 56 යහපාලනය සහ වෙනත් සමාජ විකාශන සහ සමාජ පරිවර්තන ගොඩනැඟී තිබුණි.

මම මෙම පූර්විකාව ගොඩනඟන්නේ අද අනුස්මරණය කරන අප අතරින් වියෝ වුණු සුසිල් සිරිවර්ධන නම් වූ පරිපාලකයා, සමාජ විචාරකයා, සමාජ නිරීක්ෂකයා පිළිබඳ පූර්විකාව ගොඩනැඟීමට ය.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක පවුලට ඥාතීත්වයක් සහිත ව ඡන්මය ලබන සුසිල් සිරිවර්ධන මෙරට සමාජ ප්‍රභූ පන්තියේ ඉහළ ස්ථරයට අයත් සාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එංගලන්තයට යන්නේ සම්භාවනීය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සඳහා ය.

ඉංග්‍රීසි භාෂාව ඇතුළු වෙනත් මානව ශාස්ත්‍ර විෂයයන් හැදැරූ ඔහු මෙරටට පැමිණෙන්නේ උගත් උපාධිධාරියකු පමණක් නොව සමාජ ස්ථරය විසින් දායාද කරගෙන තිබුණු සමාජ සම්බන්ධතාව සමඟ ය. 20 වන සියවස මුල භාගයේ දී විදේශ අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිය තරුණයන් මෙන් ඒ වන විට ඔවුන් ඔවුන්ට ඉටු කළ හැකි ව තිබූ අධිරාජ්‍ය විරෝධී සමාජ ප්‍රතිසංස්කරණ කාර්යය වෙනුවට එම අධිරාජ්‍ය විරෝධී කාර්යය හරහා ගොඩනැඟෙන සමාජ ප්‍රතිසංස්කරණ තුළ වැඩෙන නව සමාජ බලවේගවල ප්‍රවාහවලට ඔහු හසුවන ආකාරය දැකගත හැකි ය. ඉංග්‍රීසි උගත් ටයිකෝට් පලඳින සමාජය හා ප්‍රතිවිරෝධතා ඇති කර ගත් සුසිල් සිරිවර්ධන මෙරටට පැමිණ සාමාන්‍ය මිනිසකු මෙන් රෙද්ද බැනියම අදිමින් ඔහු මුලින් ම උත්සාහ කරන්නේ මෙරට ග්‍රාමීය සමාජයේ සංවර්ධනයට හා ඔවුන්ට සේවය කිරීම සඳහා සාමාන්‍ය පාසල් ගුරුවරයකු වශයෙන් රජරට අනුරාධපුරයේ මධ්‍ය මහා විද්‍යාලයේ සේවයට යෑමට ය.

ඔහුගේ ජීවිත කතාව කියවන විට මට දැනෙන්නේ කිසියම් අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් සහ සමාජ විකාශනය පිළිබඳ යම් ගැටුමක් ඔහු තුළ තිබුණා ද යන්න වගයි. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දෙන ඔහු එහිදි තරුණයන් සමඟ නාට්‍ය නිෂ්පාදනය කරමින්, පතපොත කියවමින් තම සමාජ දැනුම සූචනය කරමින් ඔහු අපූරු ආස්වාදනයක් ලද්දේ ය. මේ අතරතුර රාජ්‍ය පරිපාලන විභාගයට මැදිහත් වන ඔහු ඉහළ පන්තියේ සාමාර්ථ­්‍යක් සහිත ව රාජ්‍ය පරිපාලන සේවාවට ඇතුළත් වෙයි.

මම ඔහු හඳුනන්නේ අප විශ්වවිද්‍යාල ජීවිතයේ දී අපූරු මිනිසකු, කලා සාහිත්‍යය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වන පුද්ගලයකු ලෙස ය. මට ඔහු මුලින් ම හමුවන්නේ 70 දශකයේ අග භාගයේ, 80 දශකය මුල භාගයේ මෙරට සාහිත්‍යය කලා ක්ෂේත්‍රයට යම් සංවාදමය දායකත්වයක් ලබා දුන් ‘මාවත’ සඟරාව සමඟ ය. මාවත සඟරාවට ඔහු සම්බන්ධ වන විට ඔහු පරිපාලන අත්දැකීම් හසුකරමින් සමාජය හා දේශපාලනය පිළිබඳ විවාදයකට දායක වෙමින් සිටියේය.

‘ජනසවිය’ හිටපු ජනාධිපති ප්‍රේමදාස රණසිංහගේ සංකල්පයක් වුවත්, එය වැඩපිළිවෙළක් බවට පත් කළ ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ සුසිල් සිරිවර්ධන ය. ජනසවිය වැඩසටහන ආරම්භ වන තෙක්ම අප රටට හුරුව තිබුණේ සහනාධාර ලබා දීමය.

ආණ්ඩුව මාරු වීම සමඟ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ජනසවිය අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් පත් විය. වෙනදා ඔහු අත රැඳී තිබුණු පං මල්ල වෙනුවට මෙරට අත්යන්ත්‍ර නිෂ්පාදනය මඟින් සැකසූ හම් බෑගයක් ඉන්පසු ව ඔහුගේ අත රැඳී තිබුණි.

සුසිල් සිරිවර්ධනට ‘ජනසවිය’ඉතා හොඳින් නිර්මාණය කර සැලසුම් කර පවත්වාගෙන යන්නට හැකි වූයේ ඔහුගේ දැනුම, පරිපාලන නිලධාරියකු ලෙස පැවැති අදීනකම හා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියකු වුවත්, රටේ ග්‍රාමීය ජනතාව හා ඔවුන්ගේ අපේක්ෂා පිළිබඳ තිබූ අවබෝධය නිසාය. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා පිළිබඳ මා තුළ කවර විවේචන පැවතිය ද මෙවැනි තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීමට ජනාධිපතිවරා සතු ව පැවති හැකියාව අගය කළ යුත්තේ ය. පසුකාලීන ව ජනසවිය ව්‍යාපාරයේ ප්‍රධාන පරිපාලකයා වශයෙන් පත්වීමට ඔහුට හැකි විය.

සුසිල් සිරිවර්ධන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු කණ්ඩායමේ සාමාජිකයෙකි. එහි ගෞරවය මියෙන තෙක් රැක්කෙකි.

1971 අප්‍රේල් කැරැල්ලේ මාගේ මතකය හැටියට 24 වෙනි විත්තිකරු බවට ඔහු පත් වී තිබුණි.

බණ්ඩාරනායකවරුන්ට ඉහළ පවුල් ඥාතී සම්බන්ධතාවක් තිබුණ ද සුසිල් සිරිවර්ධන 71 කැරැල්ලට සම්බන්ධ වූයේ කෙසේ ද? මේ පිළිබඳ පසුකාලීන ව මා කිය වූ ලිපි ලේඛනවල මෙය විස්තර කර ඇත්තේ සමාජයේ ඒ වන විට ග්‍රාමීය තරුණයන් තුළ කැකෑරෙමින් තිබුණු අසහනයේ දෝංකාරය ඔහු තුළට යම් ආකාරයකට සන්නිවේදනය වූ ආකාරයයි. මෙම සංවාද සාකච්ඡා, වාද විවාදවල කෙළවර ඔහු දකුණු පළාතේ වනාන්තර බඳ ප්‍රදේශයක දී රෝහණ විජේවීර හෙවත් 71 කැරැල්ලේ නායකයා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව මා කියවා ඇත්තෙමි.

සුසිල් සිරිවර්ධන සහ ඔහුගේ මිත්‍ර කොළඹ නාගරික සමාජයේ තරුණයන් කිහිප දෙනෙකු මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූ බව මම පසු ව අසා ඇත්තෙමි. එස්. ඩී. බණ්ඩාරනායක, විරාජ් ප්‍රනාන්දු මේ නම් අතර කිය වී තිබුණි. ඔවුන් සමාජයේ පහළ ස්ථරය පිළිබඳ සංවේදිතාවක් හඳුනාගත්තේ බුද්ධිමය අවබෝධය හා අත්දැකීම් තේරුම් ගනිමින් යැයි මට සිතේ. පුරෝගාමී වාමාංශික ව්‍යාපාරයේ තරුණයන් මෙන් නොව ඔවුන් මේ ග්‍රාමීය තරුණයන්ගේ සමාජ ගැටලු වෙත සංවේදී වූවා පමණක් නොව යම් යම් සම්බන්ධතා ජාලයක් ගොඩනැඟීමට තම දැනුම හා අත්දැකීම් යොදා ගත් ආකාරය පසු ව මම අසා ඇත්තෙමි. කෙසේ නමුත් මහ නඩුව මම නිරීක්ෂණය කළේ පාසල් වියේ දී ය. සුසිල් සිරිවර්ධන විසින් විවිධ වූ කලා මාධ්‍ය එනම්, චිත්‍රපටය, නාට්‍ය සහ සාහිත්‍යය ආදී කලා මාධ්‍ය පිළිබඳ අපූර්ව වූ සමාජ විවරණයක් විය.

ඔහු තුළ මුල සිට ම මානවවාදය, අව්‍යාජභාවය වැනි ගුණාංග දක්නට ලැබුණි. පසුකාලීන ව ඔහු විසින් ප්‍රකාශයට පත් කළ මාවත සඟරාව නැවතුණි.

පසුව තැන තැන පැවැත්වෙන විවිධ සාකච්ඡා මණ්ඩපවල දී මා හට ඔහු හමු විය. ඔහුගේ අභාවය මා තුළ බලවත් ශෝකයක් හා කම්පනයක් ඇති කිරීමට සමත් විය. ඔහුගේ සමාජ භාවිතාව, සමාජ දැක්ම සහ ඔහුගේ මාධ්‍ය භාවිතය වැනි දෑ නැවත ආවර්ජනය කිරීමේ දී පෙනී යන්නේ අගය කළ යුත්තෙක් අප අතරින් වියෝ වූවා වැනි හැඟීමකි. සමාජ ක්‍රියාකාරිකයකු වූ සුසිල් සිරිවර්ධනට මා නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ ලක්බිම තුළ ඔහු වැනි චරිත නැවත පහළ වේවා යන ඒකායන ප්‍රාර්ථනයෙනි.

Comments