රටම තිග­ස්ස­මින් මරණ 8,000 සීමා­වත් පසු කළ කොරෝනා | Page 2 | සිළුමිණ

රටම තිග­ස්ස­මින් මරණ 8,000 සීමා­වත් පසු කළ කොරෝනා

 

ලෝකයම සිය අණසකට නතු කරගත් කොවිඩ් 19 ගෝලීය වයිරසය වරින් වර සිය මුහුණුවර වෙනස් කරමින් ශීඝ්‍ර‍ෙයන් ව්‍යාප්ත වෙමින් පවතී. මේ සිකුරාදා වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 214ක් දක්වාත් මරණ සංඛ්‍යාව මිලියන 4.47 දක්වාත් ඉහළ ගොස් තිබිණ. ශ්‍රී ලංකාව ද දිනෙන් දින කොවිඩ් වසංගතයේ බලපෑමට නතුවෙමින් ඇති බව දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ ඉහළ යෑම මඟින් පැහැදිලි වේ.

 

ඉකුත් 21 වැනිදා වාර්තා වූ මරණ 198ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවා ගියේය. එතැන් සිට සතියක් ගතවීමට පෙර එනම්, මේ 26 වැනිදා සිදුවී ඇති කොවිඩ් ආසාදිත මරණ 214ක් පිළිබඳ 27 වැනිදා සෞඛ්‍ය අංශ විසින් වාර්තා කළේ මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව සනිටුහන් කරමිනි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 8,000 ඉක්මවා ගියේය. මෙරට කොවිඩ් ආසාදිත මරණ වාර්තා වීමේ ඉතා ඉහළ අගයක් ගතවූ සතියේදී දැකිය හැකි වූ අතර, ඉකුත් 17 වැනිදා සිට 26 වැනිදා දක්වා වූ දින දහය තුළ පමණක් සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,046කි.

 

ඒකාරාශී වීම් අඩු නොකළොත් තත්ත්වය භයානකයි

- ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ සමාජ ඒකරාශීවීම් වැළැක්වීමට ශ්‍රී ලංකාව මේ වන විට සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳී සිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවය.

ඒ බව සඳහන් වන්නේ දකුණු සහ අග්නිදිග ආසියානු රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා ප්‍රකාශයට පත්කරන වාර්තාවේය. ඉකුත් 9 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ සතියට අදාළව කොවිඩ් ව්‍යාප්තියේ හැසිරීම සම්බන්ධයෙන් එම වාර්තාව නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා ප්‍රභේද හඳුනාගෙන තිබුණත් පළමුවරට බ්‍රසීලයෙන් හඳුනාගත් ගැමා ප්‍රභේදය මෙතෙක් මෙරටින් වාර්තා වී නොමැති බව එම වාර්තාව පෙන්වා දෙයි.

එහි සඳහන් වන තවත් විශේෂ කරුණක් නම් අදාළ කලාපයේ රටවල් තුළ පනවා ඇති කොවිඩ් පාලන සීමා අතරින් සමාජ ඒකරාශීවීම් පාලනයට ශ්‍රී ලංකාව පනවා ඇති සීමා සෙසු රටවලට වඩා වැඩි බවය.

එහෙත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් නිවෙස් තුළ රැඳී සිටීමේ ප්‍රතිශතය සියයට 60ක් වැනි සාපේක්ෂ අඩු අගයක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එමෙන්ම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය අනුව දකුණු හා අග්නිදිග ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයේ පසුවන බවද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

 

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත අනුපාතය 15% ඉක්මවයි

 

කොරෝනා ඇඳරි නීතිය නිරීක්ෂණය කරණ ආරක්ෂක පිරිස්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ සතිපතා වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් පරීක්ෂණ ‘පොසිටිව්’ වීමේ අනුපාතය 15.8% කි. එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අඛණ්ඩව පස්වැනි සතියේදීත් ශ්‍රී ලංකාවේ නව ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි. පසුගිය සතිය හා සසඳන විට මධ්‍යම පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල නව රෝගීන්ගේ වර්ධනයක් එමඟින් අනාවරණය කොට ඇත. එමෙන්ම පසුගිය සතිය හා සසඳන විට දකුණු සහ වයඹ පළාත්වල නව රෝගීන්ගේ වර්ධනය 50% ඉක්මවා ගොස් ඇතැයි එම වාර්තාවේ දැක්වේ. දකුණු පළාතේ රෝගීන්ගේ වර්ධනය 13%කි. ඉකුත් සතියේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතර බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් රෝගීන් සංඛ්‍යාව 45%කි.

 

නිවෙස්ගත ආසාදිතයන් අතර අවිධිමත් ඖෂධ භාවිතයේ වැඩිවීමක්

කොවිඩ් ආසාදිතයින් නිවෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ වීමත් සමඟ අවිධිමත් ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය. නිවෙස්වල සිටින කොවිඩ් ආසාදිතයන් වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිදු ප්‍රතිජීවක ඖෂධයක් ලබානොගන්නා ලෙස ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති පැවසුවාය.

විශේෂයෙන් කොවිඩ් ආසාදිත හෘද රෝගීන් ‘ඇස්ප්‍රින්’ ඖෂධය ලබාගැනීමේදී වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් කොවිඩ් ආසාදිතයන්ට උණ, ඇඟපත වේදනාව පවතී නම් දවසකට තුන් වතාවක් පැය හයකට වරක් පැරසිටමෝල් පෙති දෙකක් බැගින් ලබාගන්නා ලෙසත් කුඩා දරුවන්ට බර අනුව ගැළපෙන පැරසිටමෝල් මාත්‍රාව ලබාදෙන ලෙසත් වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරන්නේ නිවෙසේ සිට ප්‍රතිකාර ලබන ආසාදිතයන්ට ඕනෑම ජංගම දුරකතනයකින් 247 ඇමතීමෙන් සහ ඕනෑම ස්ථාවර දුරකතනයකින් 1247 ඇමතීමෙන් ඖෂධ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බවයි.

කොවිඩ් මර්දන එන්නත්වල කාර්යක්ෂමතාව හෙළි වෙයි

කොවිඩ් -19 වයිරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් මගින් ඇති කරන ප්‍රතිශක්තිකරණය පිළිබඳ සිදුකර ඇති අධ්‍යයනයකින් කරුණු රැසක් අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකයේ මහාචාර්ය, නීලිකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඒ අනුව මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ, සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ කොවිඩ් මරණ අනුපාතය සියයට 0.46ක් තරම් අවම අගයක් ගෙන ඇති බවය. ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ මරණ අනුපාතය සියයට 0.15ක් බවත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයන් අතර මරණ අනුපාතය සියයට 0.03 බවත් ඇය එහි සටහන් කර ඇත. බහරේනයේ සිදුකළ පර්යේෂණයක් උපුටා දක්වමින් මහාචාර්ය නීලිකා මලවිගේ ඒ බව සඳහන් කර ඇත. ‍

ඡායාරූපය සුදත් මලවීර

මේ අතර එක් සතියකදී පුද්ගලයන් ලක්ෂයක් අතුරින් ආසාදිතයන් බවට පත්වීමේ සංඛ්‍යාව 642ක් බවත් සයිනොෆාම් එන්නත ලබාගෙන ආසාදිතයන් බවට පත්වන 350 දෙනෙකු අතරින් මියයෑමේ ප්‍රවණතාව එක් පුද්ගලයකු බවත් එයින් අනාවරණ වී ඇති බවද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

විදෙස්ගත වන්නන් සඳහා එන්නත් සහතිකය

විදෙස්ගතවීමට අපේක්‍ෂා කරන පුද්ගලයන්ට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් Online ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අදාළ එන්නත් සහතිකයේ විද්‍යුත් පිටපතක් ලබාගැනීම සඳහා covid-19.health.gov.lk/certificate මඟින් එම වෙඩ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය හෝ, විදේශ ගමන් බලපත්‍ර අංකය, එන්නත් කාඩ්පතේ විස්තර, විදේශගමන් විස්තර සාක්ෂි සහ අදාළ පෞද්ගලික දත්ත ඇතුළත් කළ යුතුය. අනතුරුව එන්නත් සහතිකයේ PDF පිටපතක් ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකි වේ. අවශ්‍ය වූ විට සහතිකයේ මුද්‍රණ පිටපතක් ලෙසද අදාළ අංශ වෙත ඉදිරිපත් කළ හැකිය. මේ අතර සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට විදෙස් රටවලට යා නොහැකි බවට පළවන මත අසත්‍ය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසීය.

 

කොවිඩ් වසං­ග­ත­යට  ගොදුරු වූ ඉංග්‍රීසි  ගුරු­ව­රයා සහ බිරිය

ශ්‍රී ලංකාව කොවිඩ් ආසාදිත මරණ 8,000 පසුකර ඇති පසුබිමක කොවිඩ් මාරයාට ගොදුරු වූවන් පිළිබඳ අනුවේදනීය පුවත් රටේ නන් දෙසින් වාර්තා වේ. මෙයද තවත් එක් අනුවේදනීය සිදුවීමකි.

කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමයේ පදිංචිව සිටි කිරිබත්ගොඩ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉංග්‍රීසි ආචාර්යවරයකු ලෙස සේවය කළ 36 හැවිරිදි ධනංජය අනුරාධ සහ 27 හැවිරිදි ඔහුගේ බිරිය අංජලී පෙරේරා ගතවූ සතියේ මරුට බිලි වූයේ කොවිඩ් ආසාදනය වීමෙනි. ධනංජය අනුරාධ කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූයේ ඉකුත් 22 වැනිදාය. ඒ වන විටත් කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ධනංජය අනුරුද්ධගේ බිරිය තම සැමියාගේ මරණය පිළිබඳ දැනගැනීමෙන් ඇතිවූ කම්පනය නිසා යළිත් අසාධ්‍ය තත්වයට පත්ව තිබුණාය. ඒ අනුව ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබූ ඇය 24 වැනිදා අලුයම ජීවිතයෙන් සමුගත්තාය. එදින ඔවුන් දෙපළගේ 6 වැනි විවාහ සංවත්සරය යෙදී තිබීමද වඩාත් සංවේගදායී පුවතකි.

මියගිය තරුණ අඹුසැමි යුවළට පස් හැවිරිදි සිඟිති දියණියක් සිටින අතර, කොවිඩ් මාරයා ඇයට සිය ආදරණීය මවත් පියාත් අහිමි කළේ ඉතා අවාසනාවන්ත අයුරිනි. වසර 16කට අධික කාලයක් දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සුවහසක් සිසුන්ගේ ආදරයට පාත්‍රාව සිටි මියගිය ධනංජය අනුරාධගේ අවසන් කටයුතු 24 වැනිදා බියගම උඩුපිල, සියඹලාපේවත්ත ආදාහනාගාරයේදී සිදුකර ඇති අතර ඔහුගේ බිරිය අංජලී පෙරේරාගේ ආදාහන කටයුතු 26 වැනිදා තලවතුගොඩ ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

 

 

Comments