රට රැක ගන්න නම් ආර්ථිකයත් රැක ගන්න | සිළුමිණ

රට රැක ගන්න නම් ආර්ථිකයත් රැක ගන්න

 

කොවිඩ් රැලි මතුව එන සෑම අවස්ථාවකම රට වසා දමන්නට රජයට සිදුව තිබේ. එසේ වුවද, දිගින් දිගටම රටක් හුදෙකලා කර ආර්ථිකය දිනන්නට නොහැකි හෙයින් මේ වසංගතය සමඟ අප ඉදිරියට යා යුතු බව පිළිගන්නට සිදු ව තිබේ. ලොක්ඩවුන් කිරීම හෝ රට වැසීම ආර්ථිකයට කෙසේ බලපානවා ද යන්න පිළිබඳ ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරන වගකිවයුත්තන් කිහිප දෙනකුගෙන් අප විමසීමක් කළේ මේ තීරණාත්මක පසුබිම තුළ ය. පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක, ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

 

" රට හුදෙකලා කිරීම අපේ ව්‍යාපාරයට කිසිසේත් සෘණාත්මක බලපෑමක් ඇති කළේ නැහැ. මොකද අපි, ගමේ කිරි ගොවීන්ගෙන් කිරි ටික ගන්නවා. තුන්සිය හැටපස් දවසෙම නිෂ්පාදන ක්‍රියාවලියේ නියැළෙනවා. ලංකාවේ හැම ගෙදරකට ම ඒ කිරිපිටි ටික බෙදා හරිනවා. අපි අපේ ජාතික වගකීම ඉටුකරන්නට මේ කාලපරිච්ඡේදය උපරිම ලෙස යොදා ගෙන තිබෙනවා.

නිසි සෞඛ්‍ය උපදේශවලට අනුගතව පවත්වාගෙන යනවා නම්, මේ වගේ අනෙක් සෑම ව්‍යාපාරයක්මත් පවත්වාගෙන යන්නට පුළුවන්. මේ නැහැ බැහැ කියලා පස්ස ගැහිය යුතු වෙලාවක් නෙවෙයි.

කොයි තරම් නරක කාලයක් වුණත් බලන්න ඩොලර් නාස්ති නොකර, රටට අවශ්‍ය කිරි ටික, දැන් අපේ රටේ ම නිපදවෙනවා. දේශීය කිරි සමාගම් ධාරිතාව වැඩිකරලා. අනෙක් පැත්තෙන් කිරි ගොවියාට හොඳ කලක් උදා වෙලා. සියල්ලට වඩා මෙපමණ කාලයක් පිටරටින් ගෙන් වූ විස සහිත කිරි, තමන්ගේ දරුවන්ට පෙවූ අම්මලා, දේශීය කිරිපිටි භාවිතය අරඹලා. පැල්වත්ත කිරිපිටි පිටරට යවන තැනට අපි ගෙනැවිත් තිබෙනවා.

රට හුදෙකලා කිරීම තුළ ජනතාව අවදි විය යුතුයි. දේශීය නිෂ්පාදන ගැන, දේශීය කර්මාන්ත ගැන යළි සිතිය යුතුයි. විනාශ වී ගිය මේ රටේ දේශීය කර්මාන්ත ටික යළි ඇරැඹිය යුතුයි. රටේ මුදල් ටික පිටරටට යවලා, සිරුරට අපත්‍ය දේ රටට ගෙන්වන එක දැන්වත් නතර කළ යුතුයි. ඔබ එක එක්කෙනා පාන් කන එක නැවැත්වුවොත් මේ රටට ඇමෙරිකන් පිටි මොකටද? මේ පිටි ආහාර නොකනවා නම් දියවැඩියා රෝගයෙන් රටම බේරා ගන්න පුළුවන්. මොන තරම් දේවල් පිටරටින් ගෙනාවත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් ඩොලරයට ඔය තරම් උඩ යන්න බැහැ; මිනිස්සු ලෙඩ වෙන්නෙත් නැහැ. ඔබේ සහාය ලැබෙනවා නම් මට මේ ඩොලරය රුපියල් හතරට බස්සවන්න පුළුවන්. බෝට්ටුව කණපිට පෙරළුණොත් ඒකෙ නැඟලා හරි ආපහු ගොඩ එන විදියයි රටක් විදියට අපි කල්පනා කරන්න ඕනේ.

මගේ මතය නම්, රට ඇරියත් වැහුවත් ජනතාව අවදියෙන් නම්, අලස නොවී දේශීය ආර්ථිකයක් ගොඩනඟනවා නම්, මේ වසංගතය සමඟ අපට නොවැටී ඉදිරියට යන්න පුළුවන් කියන එකයි "

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්මේලනය හෙවත් COSMI සභාපති, නවාස් රාජාබ්ඩීන්, මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

" COSMI කියන්නේ, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් 8,000 කගෙන් සැදුම් ලත් එකතුවක්. ඉන් 5,000ක්ම ශක්තිමත් කාන්තා ව්‍යවසායිකාවන්. COSMI මැදිහත් වන්නේ, බිම් මට්ටමේ මෙවැනි ව්‍යවසායකයන් නඟා සිටුවීම වෙනුවෙනුයි.

ඒ නිසා, ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ ගන්නා වූ තීන්දු තීරණවලදී රජය අපවත් සම්බන්ධ කරගත යුතුයි. මොකද, ව්‍යාපාරික ප්‍රජාව කියන්නේ දැවැන්ත සමාගම් විතරක් නෙවෙයි. මේ රටේ බිම් මට්ටමේ වෙළෙන්දාත් ඒ ප්‍රජාවට අයිතියි. COSMI සමඟ සිටින්නේ ඉතාම කුඩා බිම් මට්ටමේ සිටින එවැනි ව්‍යවසායකයින්. සමහර විට, ඉඳිආප්ප, පිට්ටු වැනි ආහාර නිෂ්පාදනය කොට ඒ හරහා හොඳ වෙළඳපොළක් හදාගන්න වෙර දරන ශක්තිමත් ව්‍යවසායකයන්. මේ අයට අත දෙනවා නම් රට හුදෙකලා කළත්, වසා දැමුවත් ආර්ථිකය ගොඩනඟන්න ඔවුන්ට පුළුවන් තරමින් දායක වනවා. දැනටමත් අපේ COSMI හරහා ඔන්ලයින් වෙළෙඳපොළක් ඔවුන්ට සාදා දී තිබෙනවා. නමුත් බොහෝ අයට යම් කිසි මුදලක් මේ වෙලාවේ අවශ්‍යයයි. මේ වගේ අයට බැංකු විසින් ණය දෙන්නෙත් නැති නිසා, මම යෝජනා කරන්නේ, ක්‍රෙඩිට් කාඩ් පහසුකමවත් මේ සෑම කෙනකුටම ලබා දෙන ලෙසයි.

එවිට ඔවුන්ට එදිනෙදා අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මිලදී ගෙන ඔවුන්ගේ ඇණවුම් සම්පූර්ණ කර, ඔන්ලයින් හරහා අලෙවි කරගන්නට පුළුවන්. ඔන්ලයින් හරහා ම මුදල් ලැබෙන නිසා, ක්‍රෙඩිට් කාඩ් ණය පියවන්නට හැකියි. රට වසා දැමීම රටේ ආර්ථිකයට බරක් නොවීමට නම්, බිම් මට්ටමේ මෙවැනි ව්‍යවසායකයන් ගේ ආර්ථිකය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය පසුබිම සකසා දීමත් රජයේ වගකීමක්"

නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයින් ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, ධම්මික ප්‍රනාන්දු පැවසුවේ මෙවැනි අදහසකි.

" රට ඇතුළේ විතරක් වෙළෙඳාම තිබිලා ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. මොකද, මේ රටේ කර්මාන්ත බහුතරයක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන්න වෙලා තිබෙන්නේ පිටරටවලින්. ඒ නිසා මේ වෙලාවේ වුවමනා කරන්නේ විදේශ විනිමය. ඇත්තම කතාව රටක් ලෙස ඒ සඳහා අපිට දැන් විදේශ මුදල් සංචිත නැහැ. අපේ රටේ විදේශ මුදල් සංචිත අඩියටම හිඳිලා ඉවරයි.

මොකද රටට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ගලා ආ මාර්ග සියල්ල දැන් නැවතිලා. පළමුවැන්න විදේශගත ශ්‍රමිකයන් එවූ විදේශ විනිමය. දෙවැන්න ඇඟලුම් ප්‍රමුඛ කරගත්, අපනයන කර්මාන්තවලින් ලැබෙන ආදායම. තුන්වැන්න සංචාරක ව්‍යාපාරය. අද මේ අංශ තුනෙන් දෙකක්ම ක්‍රියා විරහිතයි. යන්තම් හෝ ක්‍රියාත්මක වන්නේ ඇඟලුම් කර්මාන්තය පමණයි.

මේ අර්බුදය වළක්වා ගන්නට හැකි එකම මඟ අපනයන කර්මාන්තය ටික ආරක්ෂා කර ගැනීම සහ පවත්වාගෙන යෑම පමණමයි. සමහරු මේවාට වැරැදි අර්ථකථන දෙනවා. මේ වෙනකොට ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම ප්‍රශ්නයක්. සේවකයන්ගේ පැමිණීම සියයට 25% සිට 30% දක්වා පහත වැටිලා. මේ වගේ බරපතළ ගැටලු රැසක් මැද්දේ තමයි ඇඟලුම් කර්මාන්තය පවත්වා ගෙන යන්නේ.

මේ පටන් ගන්නේ යුරෝපයේ ශීත ඍතුව. ඊළඟට එන්නේ නත්තල් සමය. මේ තමයි අපේ රටට ඇණවුම් වැඩියෙන් ලැබෙන කාලය. රට ලොක්ඩවුන් කළා කියලා අපේ නිෂ්පාදන නැවැත්තුවොත් මොකද වෙන්නේ.

මේ සියලු ඇණවුම් අපෙන් ගිලිහී යනවා. ඒ විතරක් නෙවෙයි ඉදිරියටත් ඔවුන් ඒ ඇණවුම් නොදී අරිනවා. එවිට රටේ අපනයන ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙනවා. මේ වෙනකොටත් වෙළෙඳ කලාප හා බැඳී පවතින මධ්‍ය පරිමාණ කර්මාන්ත බොහොමයක් වැසී ගිහින්. ලොකු අයට වැඩ නැහැ කියන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ අයටත් වැඩ ලැබෙන්නේ නැහැ කියන එක යි. රට ලොක්ඩවුන් කළා කියලා කර්මාන්ත නවත්වන්න බැරි මේ නිසයි..."

මේ පිළිබඳ, නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම්, ඇන්ටන් මාකස් පැවසුවේ මෙවැනි අදහසකි.

" ආර්ථිකය රැකෙන්නේ මේ ශ්‍රමිකයන් නිසා නම් එතරම් වටිනා ශ්‍රමිකයන් මේ වෙලාවේ අවදානමකට දාන එක හරිද. ඔය කියන විදියට ඇඟලුම් ඇණවුම් අවලංගු වන්නේ නැහැ.

ඔවුන් ඒවා අවලංගු කර කාට දෙන්නද ? ඇඟලුම් කර්මාන්තයේ නියැළෙන හැම රටකම තත්ත්වය මේකයි. අනික ලංකාව, විලාසිතාමය ඇඟලුම් සඳහා විශේෂිත දැනුමක් තිබෙන බව ඔවුන් දන්නවා.එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම්, අපිත් හාම්පුතුන් සමඟ එක්ව මේ ගැනුම්කරුවන්ට කතා කරන්න සූදානම්.

මොකද, සේවකයන් ලෙඩ වෙද්දි මැරෙද්දි කොහොමද ඔවුන්ගේ ජීවිත අවදානමකට දාලා ආර්ථිකයක් හදන්නේ. අද ඇඟලුම් කර්මාන්තය තමයි කෝවිඩ් පතුරුවන තෝතැන්න. මම නෙවෙයි, මෙහෙම කියන්නේ PHI මහත්තුරු

අපි තමයි මුලින්ම කිව්වේ මේ අර්බුදයට ආණ්ඩුවට, හාම්පුතුන්ට හෝ වෘත්තීය සමිතිවලට තනි තනිව මුහුණ දෙන්න බැහැ, අපි එකතුවෙලා මේ ප්‍රශ්නයට මුහුණ දෙමු කියලා. අපිටත් ඕනේ කර්මාන්තශාලා ටික රැකගන්න. ඒ වගේම සේවකයන්ගේ ජීවිතත් ආරක්ෂා කරගන්න.

සේවකයන් මේ තරම් වටිනවා නම්, මේ වෙලාවේ ආණ්ඩුව ඉන්න ඕනේ සේවකයොත් එක්ක. මේ කිසිම කර්මාන්තශාලාවක දීර්ඝකාලීන ආරක්ෂිත වැඩ පිළිවෙළක් නැතුව සේවකයන් ගොදුරු බවට පත්වෙනවා. විදේශ සංචිත රැස් කරන්න කියලා, සේවකයන්ගේ ජීවිත අනතුරේ දානවා. මේවා බලන්න රජයේ කිසිම නිලධාරියෙක් නැහැ.

කාර්ය සාධන බළකාය තීන්දු තීරණ ගනිද්දී, සේවකයා නියෝජනය කරන්න, එකම වෘත්තීය සමිති නියෝජනයක් වත් ගෙන්වන්නේ නැහැ"

ලොක්ඩවුන් කිරීම මෙරට කුළුබඩු කර්මාන්තයට කර ඇති බලපෑම පිළිබඳ, ශ්‍රී ලංකා කුළුබඩු සහ ආහාර නිෂ්පාදකයින් ගේ සංගමයේ ලේකම්

ලලිත් ගමගේ පැවසූයේ මෙවැනි අදහසකි.

" කුළුබඩු කර්මාන්තය මේ වන විට ප්‍රශ්න රැසකට මුහුණ පා තිබෙනවා. එක පැත්තකින් අමුද්‍රව්‍ය නැහැ. කහ, කුරක්කන්, උඳු වගේ අමුද්‍රව්‍ය ගෙන්වීම තහනම්. මෙතෙක් කළ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඇණහිටලා. මිරිස් කොත්තමල්ලි වගේ, ගෙන්වීමට අවසර දී තිබෙන අමුද්‍රව්‍යවල මිල, දිනෙන් දින ඉහළ යනවා. දැන් අපිට ලංකාවේ කුළුබඩු කියලා, රට ඇතුළෙන් ගන්න තිබෙන්නේ බොහොම සුළු දේවල් ප්‍රමාණයක් විතරයි.

එක පැත්තකින් හොරෙන් කහ ගෙන්වන නිසා ලැබිය යුතු බදු ආදායම් රටට අහිමි වී යනවා. අනික් පැත්තෙන් ජනතාව වැඩි මිලට ඩයි කලවම් කළ විස කහ කනවා. තව පැත්තකින් කර්මාන්තකරුවෝ අමුද්‍රව්‍ය නොමැති කමින් පීඩා විඳිනවා.

කොහොම වුණත් මේ ලොක්ඩවුන් කිරීම අප වැනි කර්මාන්තකරුවන්ට ඉතාම අහිතකර ලෙස බලපා තිබෙනවා. විශේෂයෙන් කුඩා පරිමාණ නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන බෙදාහැරීමේ දී වාහන කිහිපයකට එකවර පර්මිට් ගන්න බැහැ.

කුලියට අරන් දුවන වාහනවලට පර්මිට් ගැනීමේ දී කොහොමත් ප්‍රශ්න. මේ විදියට අමාරුවෙන් හරි හදාගත්තු නිෂ්පාදනය, බෙදා හැර ගන්න බැරිව අපේ අලෙවිය 50% කින් පහත වැටිලා.

ලෝකෙ හැම රටකම අපේ තානාපති කාර්යාලයක් තිබෙනවා. ඒ කාර්යාලවල අපේ රටේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරිමට, ඒ සඳහා උදවු කිරීමට වෙ‌ෙළඳ නිලධාරියෙක් ඉන්නවා. නමුත් මොවුන් අක්‍රීයයි. කුළුබඩු කොරෝනාවට හොඳ ඖෂධයක්. මේ වෙලාවේ රටක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ අපේ කුළුබඩු ලෝකෙට දෙන විදියක්. ඒක වෙන්නෙත් නැහැ. දැන් වෙලා තියෙන්නේ මේ රටේ මිනිසුන්ටවත් කුළුබඩු කන්න බැරි තත්ත්වයක් උදා වී ගෙන එන එක"

 

Comments