ලීසිං හුට­ප­ටෙන් කබ­ලෙන් ලිපට වැටුණු ව්‍යව­සා­ය­කයෝ | Page 2 | සිළුමිණ

ලීසිං හුට­ප­ටෙන් කබ­ලෙන් ලිපට වැටුණු ව්‍යව­සා­ය­කයෝ

 

කොවිඩ්-19 සිවුවැනි රැල්ලත් සමඟ රට වැසීමට සිදු වීම නිසා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ද තම ව්‍යාපාර මඟින් හෝ සේවා සැපයීම මඟින් කිසියම් ආදායමක් උපයා ගැනීමට නොහැකි විය. මෙම තත්ත්වය තුළ ලීසිං ණය වාරික ගෙවා ගත නොහැකිව මේ වන විට ඔවුහු කබලෙන් ලිපට වැටී සිටිති.

 

මේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී ලීසිං හා ණය සහන ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණ ද මේ වන තෙක් ඔවුන්ට කිසිදු සහනයක් ලැබී නැත.

එසේම වත්මන් තත්ත්වය තේරුම් ගෙන ණය වාරික ගෙවීමට කිසියම් සහන කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කර තිබුණ ද ලීසිං සමාගම් එය තඹයකටදු මායිම් නොකර මාස හත අටක ණය හා පොලී මුදල් එකවර ගෙවන්නැයි ඔවුන්ට බල කරමින් සිටිති. මෙවැනි තත්ත්වයක් තුළ බොරදියේ මාළු බාමින් අධික ලාබ ලැබීමට ණය දෙන බැංකු හා ලීසිං සමාගම් සමත්ව ඇත. මේ වනවිට දියුණු රටවල පවා බැංකු හා ලීසිං සමාගම් පවා ඇත්තේ පාඩු ලබන තත්ත්වයකය.

2018 වසරේ ජනවාරි පෙබරවාරි කාලසීමාව තුළ එවකට පැවති රජය විසින් එතෙක් ව්‍යාපාරිකයන් සඳහා නිකුත් කළ විවිධාකාරයේ ණය මුදල් සහ චෙක් සහන ගාස්තු අාදිය නවතා දැමීය. මේ නිසා එම වසරේ අප්‍රේල් මාසය වන විට ව්‍යවසායකයන්ගෙන් සියයට හැත්තෑවකට පමණ වැඩි ප්‍රමාණයකට තවදුරටත් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි විය.

නමුත් මේ බැංකු හා ලීසිං සමාගම් ප්‍රසිද්ධ මාධ්‍ය වෙත කියන්නේ වෙනත් කතාවකි. ඔවුන් කීවේ හැකි තරම් මේ ව්‍යවසායකයන්ට උපදෙස් සහ සහන ලබා දෙන බවයි. නමුත් ව්‍යාපාරිකයින් පවසන්නේ ඔවුන් එවැනි කිසිදු දෙයක් තමන් වෙනුවෙන් සිදු කර නොමැති බවයි. ඔවුන් අදාළ ව්‍යවසායකයින්ට කිසිදු අවස්ථාවක් හිමිකර නොදී ඔවුන්ගේ දේපළ ඉතාම අඩු මුදලට තක්සේරු කර විකුණා තම මුදල් පියවා ගැනීමට කටයුතු කරන බව ඔවුහු චෝදනා කරති.

ඊට විරුද්ධව වාරණ නියෝගයක් ගැනීමට තමන්ට හැකි වූ බව ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ උප භාණ්ඩාගාරික එස්.පී. තොටගමුව පැවසීය. මේ තත්ත්වය තවදුරටත් බලා සිටීමට නොහැකි නිසා සංඛ්‍යා දත්ත හා සාක්ෂි සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවට විටින් විට සන්දේශ බාරදුන් බවත්, මේ වනතෙක් මහ බැංකුව විසින් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත් එම සංවිධානය පවසයි. මෙම ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය බැංකු ණය, ලීසිං හා රක්ෂණ මාෆියාවන්වලට විරුද්ධව හඬ නඟන ප්‍රබල සංවිධානයකි. මේ තුළ බැංකු ණය හා ලීසිං අක්‍රමිකතා වූවන්ගේ සංගමය, සමස්ත ලංකා හෝටල් සංගමය, සංචාරක වාහන හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා සංචාරක නියුක්තිකයන්ගේ සංගමය, දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව, සමස්ත ලංකා අන්තර් පාසල් ප්‍රවාහන සංගමය, ව්‍යවසායකයන් සුරැකීමේ සංවිධානය, සිටුවර ජයබල සංවිධානය, ලීසිං හා බැංකු මෆියාවට එරෙහි සංගමය, කර්මාන්තකරුවන්ගේ සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, කුඩා තේවතු හා සුළුපරිමාණ බෝග කර්මාන්ත කරුවන්ගේ සංගමය,පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ආදී සංවිධාන දහඅටක් ගොනු වී ඇත.

2020 වසරේ දෙසැම්බර් 20 වැනිදා ජනාධිපතිවරයා විසින් මහ බැංකුව සම්බන්ධයෙන් කළ කතාවත්, කර්මාන්ත අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ 2020 ජුනි මාසයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙදී කළ කතාවත් සලකා බලනවිට මෙරට විධායකය හා ව්‍යවස්ථාදායකය මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන සිටින බව පැහැදිලිය. තත්ත්වය එසේ පැවතියද තම සංවිධානයට කිසිදු සාකච්ඡාවක් ලබාදීමට මහ බැංකුව ක්‍රියා නොකළ බව ඔවුන් පවසයි.

මේ වන විට තමන් විසින් ලීසිං කර මිලදී ගත් වාහන විකුණන තත්ත්වයට ඇද වැටී ඇති බව සමස්ත ලංකා සංචාරක නියුක්තිකයන්ගේ සංගමය අප සමඟ පැවසීය. 2019 පාස්කු ප්‍රහාරය සමඟ සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණු බවත්; එනිසා මේ ආණ්ඩුව බලයට පත් කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සියලු දෙනා කැපවී ක්‍රියා කළ බවත්; නමුත් ඉන් තමන්ට කිසිදු සුගතියක් අත් වී නොමැති බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක තරු රාජපක්ෂ අප සමඟ පැවසීය. මේ වන විට ලක්ෂ විසිදෙකක ජනතාවක් සංචාරක ක්ෂේත්‍රය තුළ සිටින බවත්; වක්‍රව තවත් ලක්ෂ අටක පමණ පිරිසක් සිටින බවත් ඔවුන් මේ තත්ත්වය හමුවේ අන්ත අසරණ වී සිටින බවත් ඔහු පවසයි.

මේ වෙනුවෙන් රජය විසින් හඳුන්වාදී තිබෙන මොනිටෝරියම් ක්‍රමය ගැන කිසිදු පැහැදීමක් නැති බවත්; ඒකෙන් තමන්ට සිදු වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් යැයි ඔහු පවසයි. මේ තත්ත්වය දිගටම පැවතියහොත් නැවත රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට මෙරටට පැමිණෙන සංචාරකයන්ට සේවා සැපයීමට මේ ක්ෂේත්‍රය තුළ කිසිවකු ඉතුරු නොවන බව ඔහුගේ අදහසය.

කොවිඩ් වසංගතයෙන් ජනතාවට පීඩාවට පත්ව ඇති නිසා මහ බැංකුවේ මූල්‍ය පාලන අංශය විසින් ලීසිං පාරිභෝගිකයාට සහනයක් ලබා දීම සඳහා මැයි මාසයේදී චක්‍රලේඛන කිහිපයක් නිකුත් කළේය. එම චක්‍රලේඛන මගින් 2021 අගෝස්තු 31 දින දක්වා ලීසිං පාරිභෝගිකයන්ගෙන් පමා පොලී අය කිරීම හා වාහන අත්පත්කර ගැනීම නවතන ලෙස හා වෙනත් සහන ලබා දීමට කටයතු කරන ලෙස දැනුම්වත් කර තිබුණි. එහෙත් එම චක්‍රලේඛන උල්ලංඝනය කරමින් බැංකු හා ලීසිං සමාගම් විසින් සිය පාරිභෝගිකයන්ට පමා පොලී ගෙවන ලෙස දන්වා ලිපි නිකුත් කොට ඇත. එසේ ලිපි නිකුත් කිරීමෙන් නොනැවතී සමහර ආයතන ලීසිං පාරිභෝගිකයන්ගේ වාහන හා දේපළ අත්පත් කරගැනීමටද කටයුතු කර ඇත.

එහෙත් අදාළ චක්‍රලේඛන නිකුත් කරන ලද මහ බැංකුව සිය චක්‍රලේඛන උල්ලංඝණය කළ සමාගම් සඳහා කිසිදු නීතිමය පියවරක් ගැනීමට මේ දක්වා කටයුතු කර නැත. මෙලෙස පාරිභෝගිකයන් අන්ත අසරණව සිටිද්දී හා මහ බැංකුවේ චක්‍රලේඛන සමාගම් විසින් උල්ලංඝනය කරද්දී මහ බැංකුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තම සංවිධානය දැඩි ලෙස හෙළා දකින අතර අදාළ සමාගම් සඳහා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස තම සංවිධානය මහ බැංකුවෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සිළුමිණට පැවසීය. මහ බැංකුවේ නිලධාරීන් නඩත්තු වන්නේ මේ රටේ මහජනතාවගේ බදු මුදලින් බවත්; ඔවුන්ට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා වැය කර ඇත්තේ මෙරට මහජනතාවගේ බදු මුදල් බවත් මෙම අවස්ථාවේ මතක් කර සිටින බව හෙතෙම පවසයි.

ඒ නිසා මහ බැංකුවේ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කිරීමට යුතුකමක් පවතින බවත් එලෙස ක්‍රියා නොකරන්නේ නම් අදාළ පාර්ශ්ව විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අප මහ බැංකුවෙන් විමසූ විට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ඉහළ නිලධාරියකු පැවසූයේ "ඔවුන්ට දිනකට පැමිණිලි තිහ හතළිහකට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත්; ඒ සමස්තයටම එකවර විසඳුම් ලබා දිය නොහැකි බවත්, ඒ එක් එක් ගැටලු වෙන්වෙන් වශයෙන් ගෙන පරික්ෂා කර අදාළ බැංකුව හෝ ලීසිං සමාගම වෙත යොමු කර ඒ සඳහා විසඳුමක් සැලසීමට ක්‍රියා කරන බවයි. නමුත් ඒ සඳහා මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගතවන බවයි.

උදාහරණයක් ලෙස හිඟුරක්ගොඩ බැංකුවක ඇති වූ සිදුවීමක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා යැයි සිතමු. එවිට එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බැංකුවේ ප්‍රධාන ශාඛාවට දන්වා එමඟින් අදාළ ප්‍රාදේශීය බැංකුව දැනුම්වත් කළ පසු ඔවුන් ඒ පිළිබඳව සොයා බලා නැවත ඔවුන්ගේ ප්‍රධාන ශාඛාව වෙත දැනුම් දෙයි. ඉන් අනතුරුව එම තොරතුරු මහ බැංකුව වෙත ලැබේ.

නමුත් වත්මන් තත්ත්වය තුළ මෙම ක්‍රියාවලිය සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. එනිසා බොහෝදෙනා බලාපොරොත්තු වන සැණින් මේවාට පිළිතුරු දිය නොහැකිය. එසේ වුවත් දිනපතා මෙලෙස වාර්තාවන සිදුවීම් සම්බන්ධයෙන් සොයා බලා අදාළ පාර්ශ්ව වෙත විසඳුම් ලබාදීමට මහ බැංකුව ක්‍රියා කර ඇති බව ඔහු පවසයි. CBSL වෙබ් අඩවිය, [email protected] විද්‍යුත් ලිපිනය මඟින් හා 1935 යන දුරකථන අංකය මඟින් අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා දී ඇති බවත්; ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නව පනතක් සකස් කර ඊටම වෙන් වූ ආයතනයක් පිහිටුවා මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත්; බොහෝ විට මෙම වසර අවසාන වීමට ප්‍රථම මෙම ආයනය ස්ථාපිත කිරීමට හැකිවනු ඇති බවත් එම නිලධාරියා පැවසීය.

Comments