එජාපයට 75 යි | Page 4 | සිළුමිණ

එජාපයට 75 යි

එජාප නායකයන් එදා සිට, 1946 සිට ඩී.එස්. සේනානායක, 1952 සිට ඩඩ්ලි සේනානායක, 1973 සිට ජේ.ආර්. ජයවර්ධන, 1988 සිට රණසිංහ ප්‍රේමදාස, 1993 සිට ඩී.බී විජේතුංග සහ 1994 සිට රනිල් වික්‍රමසිංහ

සිවු වැදෑරුම් රැකවරණයක් තුළ රට ඉදිරියට ගෙන යාමේ සැලසුම මෙවර 75 වැනි එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී සැප්තැම්බර් 05 දා රට හමුවේ තැබේ. ජනතා තීන්දුව මත ප්‍රතිපත්ති මාරු නොවන යකඩ රාමුවක් ඔස්සේ රට සාර්ථකව ඉදිරියට ගමන් කරවීමේ පරමාර්ථයෙන් ආර්ථික, සෞඛ්‍ය, පරිසර හා දැනුමේ ආරක්ෂාව යන සිවුවැදෑරුම් රැකවරණය මත රට පාලනය කිරීමේ සැලසුම් එමඟින් ජනතාව හමුවේ ඉදිරිපත් කෙරේ. 1946 දී එක්සත් ජාතික පක්ෂය බිහි විමේදී අරමුණ වුයේ සියලු ජාතීන් එකමුතු කිරීමය. එම චින්තනය සමගින් පක්ෂයේ නායක මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් ජාතික නිදහස් අරගලයට පණ දී සියලු බළමුළු ඒ වෙනුවෙන් ඒකරාශී කළේය.

ඒ අනුව 1918 වසරේදී ලංකා ජාතික සංගමය නමින් ආරම්භ වූ ජාතික ව්‍යාපාරයට සියලු ජාතීන් නියෝජනය කරමින් උගත් ලාංකිකයන් රැසක් එක් වූහ. ජේ.ආර්. ජයවර්ධනයන්ගේ පියා වූ ඊ.ඩබ්ලිව්. ජයවර්ධනයන් ලංකා ජාතික සංගමය ඇරඹීමට මූලිකත්වය ලබා දුන් අතර ඊට ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ශ්‍රීමත් මොහොමඩ් මාකන් මාකර්, ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ඊ.ඩබ්ලිව්. පෙරේරා වැනි නායකයන් රැසක් දායක වූහ. එහි ලේකම්වරයා වූ ඩී.ආර්. විජයවර්ධන මැතිඳුන්ගේ පුවත්පත් ව්‍යාපාරය නිදහස් අරගලයට මනා පන්නරයක් එක් කළේ ය.

එම එකමුතුවේ ප්‍රතිඵලයක් ලෙස 1946 සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ගිල්ෆ්‍රඩ් චන්ද්‍රවංකයෙහි පිහිටි පාම්කෝට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය ඇරඹිණි.

1947 පැවැති පළමු මැතිවරණයේදීම එක්සත් ජාතික පක්ෂය වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ආණ්ඩුබලය ලබා ගත්තේය. සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත ස්වාධීන රාජ්‍යයක් බිහිකිරීමට රජය සිදු කළ කැපවීම මල්ඵල ගන්වමින් 1948 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබීය.

අගමැති ඩී.එස්.සේනානායකයන් ආරම්භ කළ කෘෂි විප්ලවය වියළි කලාපය තුළ ඉතා සාර්ථක විය. මෙමගින් ඈත අතීතයේ සිට පවත්වාගෙන පැමිණි කෘෂිකාර්මික සමාජ - සංස්කෘතික පරිසරය ආරක්ෂා කොට ඉදිරියට ගෙනයාම සඳහා වූ පදනම සැකසිණි. මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙමින් දුගී දුප්පත් ජනතාවගේ දුවා දරුවනටද සමාජයේ ඉහළට යාමේ අවස්ථාව උදා කර දුන්නේය.

ඉන් පසු රට කරවූ ඩඩ්ලි සේනානායක සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල යන නායකයන් උත්සාහ කළේද ආර්ථික හා ජාතික වශයෙන් රට ගොඩනැඟීමට ය.

1977 පැවැති මහා මැතිවරණයෙන් 5/6 ක බලයක් ලබා ගෙන විශිෂ්ට ජයක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂය, නිදහස් ශ්‍රී ලංකාව නවීන ලෝකයට සරිලන ලෙස හැඩගැස්වීම සඳහා නව ව්‍යවස්ථාවක් හා නව විවෘත ආර්ථික ක්‍රමවේදයක් රටට දායාද කළේය. මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධූරයට පත් වූ ජේ.ආර්. ජයවර්ධනයන් ආර්ථික, සමාජීය සහ සංස්කෘතික විප්ලවයකට මුල පිරුවේය.

ජන සවිය, උදාගම් සංකල්පය ගෙනා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති දුගී දුප්පත් ජනතාව ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කැපවූවේ ය. ඔහුට සවියක් වූ වත්මන් නායක රනිල් වික්‍රමසිංහයන් කර්මාන්තපුර අරඹමින් ගමට මුදල් ගලා යන ක්‍රමවේදයක් සැකසුවේ ය. අධ්‍යාපන ඇමති ලෙස ඔහු ගුරු විද්‍යාපීඨ හා පරිගණක තාක්ෂණය රටට හඳුන්වා දුන්නේය. ජංගම දුරකතන මෙරටට හඳුන්වා දෙමින් අන්තර්ජාල පහසුකම් ද ගෙන ඒමටද කැප විය. ඩී.බී. විජේතුංගයන්ද කෙටි කලකට නායකත්වය දැරුවේය.

ඉන්පසු 1994 දී සහ 2015 වසරවලදී නැවතත් රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වය යටතේ පත් වූ එක්සත් ජාතික පක්ෂය ආර්ථිකය අතින් රට සුරක්ෂිත කරවීමේ උත්සහයක නිරත විය. ජාත්‍යන්තර සබඳතා වර්ධන කර ගැනීමෙන් විදේශ ආයෝජන මෙරටට කැන්දා නව රැකියා අවස්ථා ඇති කිරීමට පියවර ගත්තේය. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ධූරයේ බලතල බොහෝමයක් යළි පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කළේය. තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට පියවර ගත්තේය. සිසු දරුවන්ට සෞඛ්‍ය රක්ෂණය ලබා දුන්නේය. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘථිය යටතේ දිවයින පුරා පාසල් සංවර්ධනය කළේය.

හොඳ දේ කොපමණ කළත් එක්සත් ජාතික පක්ෂ රජය මහජනයාගේ නොසතුටට පත් වීමට ප්‍රධානම හේතු වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයයි. පක්ෂ දෙකක් නියෝජනය කළ විධායකය සහ ව්‍යවස්ථාදායකය එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් කළ වාද විවාද නිසා මහජනතාව තවත් කළකිරීමට පත් විය. 2019 පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය ගිලිහී ගිය ආසන්නතම හේතුව මෙය බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඉන් පසුව 2020 දි පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසයන් බහුතරය කඩා ගෙන ගොස් වෙනත් පක්ෂයක් පිහිටුවීමෙන් එක්සත් ජාතික පක්ෂය විශාල කඩා වැටීමකට ලක් විය. එය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු විය. ඇද වැටුණු අවස්ථාවල යළි නැගී සිටීමේ අත්දැකීම් එක්සත් ජාතික පක්ෂය සතු වුවත් මෙවර සිදු වූයේ ඒ සැම කඩා වැටීමකටම වඩා දරුණු ව්‍යසනයකි. ශක්තිමත් පක්ෂයක් පුරා ඉතිහාසයේ විරාජමාන වූ එක්සත් ජාතික පක්ෂය යළි අළු ගසා දමා නැඟී සිටීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේම සතුටට හේතු වනු ඇත. මක්නිසාද යත් ප්‍රජාතන්වාදය සුරැකීමට නම් විවිධ අදහස් දරන දේශපාලන පක්ෂ රටකට අවැසි බැවිනි.

75 වැනි සංවත්සරය ගැන පක්ෂයේ වර්තමාන පෙරගමන්කරුවෝ මෙසේ අදහස් දැක්වූහ.

පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනයන් සංවත්සරය වෙනුවෙන් මෙසේ අදහස් දැක්වීය.

‘75 වැනි සංවත්සරය වෙනුවෙන් ආර්ථිකය, සෞඛ්‍ය, පරිසරය සහ දැනුමේ ආරක්ෂාව පදනම් කරගනිමින් රටේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජාතික වැඩපිළිවෙලක් අප ඉදිරිපත් කරනවා. මෙම තේමාවන් ඔස්සේ ඉදිරියේදී ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා වන නව සැලැස්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් සමස්ත ශ්‍රී ලංකාව පුරා ආරම්භ කරනවා.

එසේම පක්ෂය ශක්තිමත් කිරීමට එක්සත් ජාතික පක්ෂය මුල් කරගෙන පළාත් පාලන ආයතන සියල්ලේම දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කුමන ආණ්ඩුවක් ආවත් ජාතික ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි වන යකඩ වැනි ශක්තිමත් ජාතික ප්‍රතිපත්ති රාමුවක් රටට අවශ්‍ය බව නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අදහසයි. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර ඔවුන් එකතුකර ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින්, ජාතික ප්‍රතිපත්ති ක්‍රියාවලියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සම්මත කර ගත යුතුයි. අපට දිනාගැනීමට බැරි වුණු අංශ දිනාගැනීමට හැකි වෙන්නේ එවිටයි.

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනයන්ගේ අදහස මෙසේය.

‘නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ හිමි කර ගත් බොහෝ දෙනෙකු අද එය අමතක කොට එක්සත් ජාතික පක්ෂය ධනපති පැළැන්තියේ පක්ෂයක් ලෙස හැඳින්වුවද සැමදා දූගී දුප්පත් ජනතාව වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටියේ අප පක්ෂයයි.

2005 ජනාධිපතිවරණයේදී එල්.ටී.ටී.ඊ. තර්ජනය නොතකා තනිව ඡන්ද පොළට ගිය කිලිනොච්චි පුරවැසියාත්, 1988 භීෂණය හමුවේ නොබියව ඡන්ද පොළට ගිය දකුණේ සිංහල බෞද්ධ බහුතරයත් කතිරය ගැසුවේ අලියා ඉදිරියේ ය. හේතුව එජාපය යනු සහජීවනය, සමගිය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ද ආරක්ෂා කිරීමට කැපවෙන පක්ෂයක් බව දැන සිටීමයි. ඉතිහාසය දෙස බලද්දී රට වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. සෘණ ආර්ථිකයක් සහිතව 2002 වසරේ දී රට භාරගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2004 දී රට බාර දුන්නේ ධන ආර්ථිකයක් සමඟිනි. රටක් දියුණු කළ හැක්කේ කළ පුරුද්ද මෙන්ම පළපුරුද්ද ඇති පිරිසකට බව මෙයින් පැහැදිලි වෙනවා. අත්දැකීම් නොමැති අලුත් කණ්ඩායමකට රට බාර දීමේ ඵල විපාක අද අපි අත්විඳිමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය කිසිදු විටෙක විවේචන පමණක් ගොනු කිරීමට සීමා වූ විපක්ෂයක් නොව රට ව්‍යාකූලවූ සෑම අවස්ථාවකදීම විකල්පයක් ඉදිරිපත් කළ පක්ෂයක්. කොවිඩ් වසංගතය හමුවේ විනාශ වන රට ආර්ථික හා සෞඛ්‍ය අංශයෙන් ගොඩගත හැකි යෝජනා 21 ක් ආණ්ඩුවට ඉදිරිපත් කළේ ඒනිසායි.

රටත් ජනතාවත් සුරකිමින්, සමෘද්ධිමත් ආර්ථිකයක් කරා මව්බිම මෙහෙයවීමට හැකියාව ඇති එකම ජ්‍යෙෂ්ඨ පරිණත පක්ෂය වශයෙන් අප ගේ ඒකායන අරමුණ ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි. ජනතා ප්‍රාර්ථනයද එයම බව අප විශ්වාස කරන අතරම, හැත්තෑ පස් වන සංවත්සරය සමරන මේ මොහෙතේදී මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත වේවා! යි එක්සත් ජාතික පක්ෂය එක්සත්ව එක්සිත්ව ප්‍රාර්ථනා කරනවා‘

පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරයන් හැත්තෑපස්වන සංවත්සරය වෙනුවෙන් සිය හඬ අවධි කළේ මෙසේය. 

‘අප පක්ෂය කිසි දිනෙක ජාතිය ,ආගම විකිණීම හෝ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික සමගියට හානි කිරීම හෝ ලාංකීය ජනතාව රවටමින් විවිධ කුමන්ත්‍රණ තුළින් බලය ලබා ගැනීමට කටයුතු නොකළ අභිමානවත් පක්ෂයක්.

අප අනාගතය හඹා යන පක්ෂයක් මිස අතීතයේ රැඳෙමින් සිටින පක්ෂයක් නොවේ.

එමෙන්ම සුවහසක් වූ ලාංකීය ජනතාව වෙත එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ දිනා දුන් කිසිදු ප්‍රතිලාභයක් නැවත මාධ්‍ය සන්දර්ශන පවත්වා ජනතාවට සිහිපත් කිරීමට වෙහෙසවන්නෝ නොවෙයි. අප පක්ෂයේ ගෞරවනීය වෙනස එයයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් අගයන එක්සත් ජාතික පක්ෂය ගෝත්‍රිකවාදි මතවාදයන් පරාජය කිරීම උදෙසා ජනප්‍රිය නොවන තීරණ ගැනීමට පසුබට නොවේ. සෑම විටම පක්ෂයේ ප්‍රතිපත්ති මතම ක්‍රියා කරන අතර මෙරට ජනතාවගේ ගෞරවය සහ ජාත්‍යන්තර වශයෙන් ඇති පිළි ගැනීම පළුදු කළහොත් වන්දි ගෙවීමට සිදු වන්නේ මුළු මහත් රටටම බවට හොඳාකාරවම අවබෝධ කර ගෙන සිටින පක්ෂයකි.

අප පක්ෂය තුළ ඇත්තේ එක් පුද්ගලයකුගේ හෝ කුඩා කණ්ඩායමක් තුළින් මතුවන ක්‍රියාදාමයන් නොවේ. පක්ෂය තුළ විවේචනයට ඉඩ ඇත. නව යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති මුත් පක්ෂය තුළ සිටිමින් තනතුරු තානාන්තර වෙනුවෙන් පක්ෂය විනාශ කිරීමට ඉඩ නැත. පක්ෂය තුළ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විඳීමට හැකියාව ලබා දුන්නා මිස කනට ගසා මිනිසුන් නිහඬ කිරීමට කටයුතු කර නැහැ.

අප පක්ෂය විවිධ අවස්ථාවන් තුළ මෙරට ආණ්ඩු බලය ලබා ගත්තා සේම දරුණු පරාජයන්ටද මුහුණ දුන්නා. කුමන අසීරුතාවන් මධ්‍යයේද වුවද පසු නොබසින, මහජනතාවගේ ශක්තියෙන් යළි නැඟී සිටින අප මීළඟ ආණ්ඩුවේ නිමැවුම් කරු වීමට පෙළ ගැසී සිටින්නේ ඉමහත් බලාපොරොත්තුවෙන්‘

ශිරෝමි අබයසිංහ

Comments