අන්දරේවත් මතක් වෙන අපේ සීනී මාෆියාව | Page 2 | සිළුමිණ

අන්දරේවත් මතක් වෙන අපේ සීනී මාෆියාව

දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ කෝවිඩ් පිළිබඳව වගේම සීනි පිළිබඳව ද වැඩි අවධානයක් යොමුවිය. ඊට හේතුව ඇතැම් සීනි ආනයනකරුවන් සීනි තොග සඟවා තබා වෙළඳපොළ තුළ කෘතිමව සීනි හිඟයක් ඇති කිරීමට සැලසුම් කිරීමයි. මෙය දැනගත් ආණ්ඩුව ඊට අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදන ද නිකුත් කළ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු ද පත් කිරීමට ද කටයුතු කරන ලදී. මේ සමඟ ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේටත්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නටත් දැඩි කාර්යබහුලත්වයකට යොමු වීමට සිදු වුයේ සඟවා තිබෙන වී, සහල් සහ සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය සොයා මෙහෙයුම් සිදු කිරීමට සිදුවීමයි. මෙම සීනි මාෆියාව ක්‍රම ක්‍රමයෙන් රට හමුවේ අනාවරණය වන විට ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ කළේ අන්දරේ සීනි කෑ කතාව ද මේ සමඟ ම මතක් වෙන බවයි. 

එන්නත් ගැන අගමැති ප්‍රාදේශීය දේශපාලනඥයන්ට දුන්න උපදෙස්

ජනාධිපතිවරයා ද සහභාගි වන කෝවිඩ් කමිටු රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි වැනි මැති ඇමැතිවරු පැමිණ සිටි අතර හමුදාපති, පොලිස්පති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක ප්‍රධානීහු ද පැමිණ සිටියහ. සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවයේ සියලු ඉහළ බලධාරීහුද මේ සඳහා පැමිණ සිටියහ.

එදින දහවල් 11.00 ට රැස්වීම පටන් ගන්නට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා හමු වන්නට විදේශ අමුත්තෙකු පැමිණ සිටීම නිසා මඳක් ප්‍රමාද විය. එහෙයින් ඇමැතිවරු තම තමන්ගේ රාජකාරිවල නිරතව සිටි අතර තවත් සමහර අය පහළ තට්ටුවේ සම්භාෂණ ශාලාවේ තේ පානය කරමින් සිටියහ.

ඇමැති බන්දුල සමඟ කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම හා තවත් කීප දෙනෙක් අග්ගලා කමින් අල බොන්ඩා කමින් තේ පානය කරමින් සිටියහ.

බන්දුල තේ බොන්නට සුදර්ශනීට ආරාධනා කළත් සුළු වේලාවකට හෝ මුව වැස්ම ඉවත් කර තේ පානය කරන්නට ඕ කැමති වූයේ නැත. ඇය නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් පසෙකට ව සිටියාය. ඒ අතර ලලිත් වීරතුංග ද පැමිණ ඇමැතිවරු හා කතාබහ කරමින් සිටියේ ය.

11.30 ට රැස්වීම පටන් ගන්නා බව දැනුම් දීමෙන් අනතුරුව ඇමැතිවරු එහි ගොස් අසුන් ගත්හ. මේසේ අනිත් පස නිලධාරීහු සිටියහ. සුපුරුදු පරිදි මේසයේ කෙළවර ප්‍රධාන අසුනේ ජනාධිපතිවරයාය.

රට වසා දැමීමෙන් පසු ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය ගැන ජනාධිපතිවරයා පළමුවෙන්ම විමසා සිටියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙනි.

"දවස් දහයක් රට lockdown කළාට ඒකෙ ප්‍රතිඵල එක පාර ලැබෙන්නේ නෑ. ප්‍රතිඵල එන්න තව සති දෙකක්වත් යයි. තවමත් රෝගීන් වැඩි වෙනවා. තවමත් එන්න එන්නම මරණ වැඩි වෙනවා. මේ තත්ත්වය අනිත් පැත්ත හැරෙන්න තව සතියක්වත් යයි."

"කොහොමද vaccine කරපු අයගේ තත්ත්වය...?"

වැක්සීන් නොකරපු අයගේ තත්ත්වය තමයි බරපතළ වෙන්නේ. වැක්සින් දෙකම ගනිපු අය මැරෙන්නේ නෑ. මැරුණොත් මැරෙන්නෙ වෙනත් රෝග නිසා. එයාලා ලෙඩ වුණත් අමාරු වෙන්නෙ නෑ..."

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එසේ කියද්දී ජනාධිපතිවරයා කීවේ එන්නතෙන් ලැබෙන ආරක්ෂාව පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කර විද්‍යාත්මක වාර්තාවක් සකසා ඉදිරිපත් කරන ලෙසයි...

"මම පෞද්ගලිකව දන්න 60 ට වැඩි කිහිප දෙනෙක් ඉන්නවා වෛරසය ආසාදනය වෙලා නියම කාල වකවානුවල හොස්පිට්ල් ගිහිල්ලා ප්‍රතිකාර අරන් සනීප වෙලා ගෙදරත් ඇවිල්ලා ඉන්න. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..." ජනාධිපති පෙන්වා දුන්නේය.

"මම කියන්නේ 60 ට වැඩි බෝ නොවන රෝග තියන අය ලෙඩ වෙලා ඉන්නව නම් එයාලා ගෙවල්වල තියන්න එපා. කොහොමහරි රෝහල්වලට අරගෙන ගිහිල්ලා ප්‍රතිකාර ලබාගන්න සලසන්න... එහෙම කළොත් අපට මේ මරණ සංඛ්‍යාව පාලනය කරගන්න පුළුවන්..." ජනාධිපති උපදෙස් දුන්නේය.

මාතර දිස්ත්‍රික්ක‍යේ 60 ට වැඩි අයට එන්නත් හිඟයක් ගැන ඇමති ඩලස් කරුණු කිව්වේය...

"එහෙම අඩුපාඩු තියනව නම් එම්.ඕ.එච්. ඔෆිස්වල අය ඒ ගණන් මිනුම් බලලා අවශ්‍ය එන්නත් ලබාගත යුතුයි..." හමුදාපති කීවේය.

"දැන් දෙවැනි එන්නතයි යන්නේ. 60 ට වැඩි අය එන්නත් ගහල නැතුව ඉන්නවනම් මේ තොගයෙන් හරි කමක් නෑ එයාලට ගහන්න..." ජනාධිපති උපදෙස් දුන්නේය.

ඉන් පසුව ජනාධිපතිවරයා විශේෂඥ වෛද්‍යවරුන් සමඟ කතා කළේ රට වසා තිබියදීත්, නිසි පරිදි එන්නත්කරණය කරද්දිත් තව තවත් රෝගය පැතිර යාම ගැනය..

"ඔය ගොල්ලා මේ ගැන අධ්‍යයනයක් කරලා වාර්තාවක් දෙන්න..."

"සමහර අය කියනවා පෝෂණය වැඩි කරන්න ඕන කියලා. ජනතාවට ගුණාත්මක දේවල් කන්න දෙන්න ඕනි කියලා. මෙහෙම වහගෙන ඉඳලා කොහොමද පෝෂණය වැඩි කරන්නේ..." ජනාධිපතිවරයා එසේ කීවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානය යොමු කරමිනි.

ඉදිරියේ දී රටට සාගතයක් පැමිණීමට ඉඩ ඇතැයි කියමින් විපක්ෂය ගෙන යන ඇතැම් ප්‍රචාරයන් ගැන ද මෙහිදී අවධානය යොමුවිය.

කළුබෝවිල, රාගම මරණ වැඩිවීම ගැන ජනපතිගේ අවධානය

අපේ ප්‍රාදේශීය දේශපාලනඥයෝ ඡන්දෙ දාන්නම් උනන්දුවෙන් වයසක අයව ගෙන්න ගෙන එනවා. ඒ වගේ තමන්ගෙ වයෝවෘද්ධ ඡන්ද දායකයාට එන්නත විදින්නත් උනන්දු වෙලා අරගෙන ආවා නම් තමයි හොඳ..." අගමැති මහින්ද කීවේය.

"පහුගිය දවස්වල සමහර දේශපාලන පක්ෂ එන්නත ලබා ගන්න එපා කියලා යම් යම් මත සමාජය තුළ පතුරුවා හැරියා. ඒවා අහලා සමහර අය නෑවිත් හිටියා. එහෙම එන්නත් නොගත්ත අය අමාරුවේ වැටෙනවා දැක්කම දැන් ඔන්න අනිත් මිනිස්සු පෝලිමේ ඇවිත් එන්නත විද ගන්නවා..."ඇමති ඩලස් කීවේය.

"මේ මාසෙත් එන්නත් මිලියන අටක් ලැබෙනවා. ලබන මාසෙත් මිලියන අටක් ලැබේවි. ඒ නිසා එන්නත්වල කිසිඅඩුවක් නෑ... " ප්‍රසන්න ගුණසේන කිව්වේය.

මහනුවර සාර්ථක ලෙස එන්නත්කරණය සිදුවීම ගැන ද මෙහිදී කරුණු දැක්විණ.

"සැප්තැම්බර් අග වෙද්දි මේ අයට එන්නත් ගහලා ඉවර වේවි. ඊට පස්සේ 30 -18 වයස් කාණ්ඩවල අයටත් එන්නත් කිරීම පටන් ගන්න...."

මේ අතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් අවධානය යොමු කළේ ආර්ථිකය ගැනය. රට වසා තබා ගැනීම නිසා බොහෝ දුරට අවහිර වී ඇත්තේ ආහාරපාන සැපයුම් මාර්ග හෝ සේවාවන් නොව, රටේ මූල්‍ය ගනුදෙනු වලට සම්බන්ධ ආර්ථික මරමස්ථාන බව පෙන්වා දුන් ඔහු ඒවා විවෘත කර ගැනීමේ වැදගත්කම ගැන කරුණු කිව්වේය...

ඉන් පසුව ජනාධිපතිවරයා කොළඹ කළුබෝවිල ගම්පහ රාගම වැනි ප්‍රධාන පෙළේ දියුණු රෝහල්වල මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතුව කුමක් ද කියා විමසා සිටියේය.

"ප්‍රධාන රෝහලක් වුණාම හතර වටේම තියෙන පුංචි පුංචි රෝහල්වලින් අමාරු ලෙඩ්ඩු එතනට ගේනවා. අමාරු රෝගීන්ගේ ප්‍රතිශතය වැඩි වුණාම මැරෙන රෝගීන්ගේ ප්‍රතිශතයත් වැඩියි..."සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කරුණු පැහැදිලි කළේය.

මේ අවස්ථාවේ රට තවදුරටත් වැසිය යුතු ද යන ප්‍රශ්නය සෞඛ්‍ය අංශත් දේශපාලන අංශත් අතර කතාබහට ලක්විය.

සෞඛ්‍ය අංශ රට අරින්නට කැමැත්ත පළ කළේ නැත. දේශපාලඥයන් සමඟ තර්ක විතර්ක ඇති විය. අවසානයේ ලබන 6 වැනිදා දක්වා රට වසා තරට වසා තැබීමේ කටයුත්තට එකඟවන්නට සියල්ලන්ටම සිදු වූහ.

මේ අතර පසුගිය සිකුරාදා (3) තීරණය කළේ 13 වැනිදා තෙක් නීරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටය.

නව දැනුම්වත් කිරීමක් ගැන බැසිල්ගෙන් යෝජනාවක්

"ජනතාව දැනුම්වත් කරන්න උපදෙස් ඇතුළත් පොත් පිංචක් කරා නම් හොඳයි." ඇමැති බැසිල් යෝජනා කළේය.

ඉන්පසුව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි ආයුර්වේද ක්‍රමවලින් රෝගය සුව කිරීම ගැන කරුණු පැහැදිලි කිරීමක් කළේය..

"ආයුර්වේද ක්‍රමවලින් උපරිම ප්‍රයෝජන ගන්න තිබුණා... හැබැයි අර පැණි වගේ දේවල් ප්‍රමෝට් වුණ නිසා ආයුර්වේදයත් හෑල්ලු වුණා..." ජනාධිපතිතුමා කීවේය.

ඉන්පසුව මේ තිබෙන තත්ත්වය ආර්ථික සංවර්ධනයට බලපාන අයුරු ගැන බැසිල් පැහැදිලි කිරීමක් කළේය...

"ආසියාවේ හැම රටක්ම වැටුණා. යන්තම් හරි ආර්ථික ඉලක්කවලට ළං වුණ ආසියාවේ එකම රට සිංගප්පූරුව විතරයි. "

මේ ගැන මම හිතන්නේ පිටරටවල්වල විශේෂඥයෝ ගණනාවක් ඇවිල්ලා අධ්‍යයනයක් කළා..." ඩලස් කීවේය.

"සමහරු අධ්‍යයනයන් කරනවා. ඒවායේ පර්යේෂණ වාර්තා පිට කළාම ඒ තොරතුරු සෞඛ්‍ය විශේෂඥ විශේෂඥයින් අතට යන්න කලින් දේශපාලඥයෝ ඩැහැගන්නවා... එයාල ඒව කිය කිය ජනතාව බය කරල දේශපාලන ප්‍රයෝජන ගන්න හදනවා.." හමුදාපති පැහැදිලි කළේය.

"ඔව් ඒක ඇත්ත...සෞඛ්‍ය විශේෂඥයන් අතට පත්විය යුතු දත්ත හා තොරතුරු වෙන වෙන තැන්වලින් සමාජගත වුණාම ඒක ලොකු හානියක්... "

කොවිඩ්වලින් සුදර්ශනී නූලෙන් බේරුණු හැටි

"මේ වගේ සමාජ ආපදාවක් වෙලා තියෙන අවස්ථාවකත් සමහරු මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල වල්පල් කතා කරනවා... ඒවත් නවත්තන්න ඕන. විපක්ෂයේ ඒකමයි කරන්නේ වැරදි තොරතුරු පෙන්නලා සමාජය නොමඟ හරිනවා... ජනතාව බය කරනවා... වැක්සීන් එක ගැනත් බොරු බිල්ලො මවනවා..." බන්දුල ගුණවර්ධන ලොකු විස්තරයක් කීවේය.

මේ අයුරින් එම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වුණි. තවත් සතියක් ඉදිරියට රට වැසීමට තීන්දුවක් ගත් සෞඛ්‍යය කමිටුව ඉන්පසුව ඉන් පසුව විසිර ගියේය.

කෙසේ වෙතත් මෙම හමුව හා සාකච්ඡාව පසුගිය සතියට සාපේක්ෂව තීරණාත්මක සාකච්ඡාවක් වූයේ ඊට සහභාගී වූ බොහෝ දෙනකුට දින ගණනාවක් යන තුරු නිරෝධායනය වී එක් තැනකට සීමා වී සිටින්නට සිදුවීම නිසාය. එයට හේතුව එම සාකච්ඡාවට සහභාගි වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුදා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමයි.

බන්දුල සමඟ පසුගිය කොවිඩ් රැස්වීමට සහභාගි වුවත් වැඩි දෙනෙකුට එය ගැටලුවක් නොවූයේ රැස්වීම තුළදී නිවැරදි පරතරය තබා ගෙන එකිනෙකා කෙරෙන් ඈත්ව මුළු කාලය පුරාම මුව ආවරණ පැළඳ ගෙන සිටීම නිසාය. එහෙත් රැස්වීම පටන් ගන්නට පෙර පාත මාලයෙහි එකට බන්දුල සමඟ මුව ආවරණ ඉවත් කර තේ පානය කළ අයට ලොකු අවදානමක් විය.

ඒ අනුව ජනමාධ්‍ය ඇමැති ඩලස්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය, ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙකුටත් නිලධාරීන් කිහිප දෙනෙකුටත් පසුගිය සතිය පුරාම නිරෝධායනය වන්නට සිදුවිය. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ද ඒ අසලම සිටියත් ඇයට ගැටලුවක් නොවූයේ ඕ කිසි විටෙකත් මුව ආවරණය ඉවත් නොකළ නිසාය.

මෙම කොවිඩ් රැස්වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේ බොහෝ දෙනෙක් ද නිරෝධායන නීතිරීති පිළිපදින්නට වූහ. ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීම් පවා පැවතියේ සූම් තාක්ෂණය ඔස්සේ ය.

පසුගිය සතිය වන විට සමාජය තුළ සංවිධානාත්මකව ප්‍රචාරය කර හරිනු ලැබූ වැරදි මත ගණනාවක්ම තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මේ ගැන සිය අවධානය යොමු කළේය.

මේ පිළිබඳව තම සමීපතම නිලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ අතර හැකිනම් ඒ වැරදි මත නිවැරදි කරන්න කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය...

මේ අනුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා උදේ 10.00 ට ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කළේය.

මීට සති කීපයකට පෙර මෙවන් මාධ්‍ය හමු සංවිධානය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ එක්තරා කොටසක විද්‍යුත් තාක්ෂණයෙන් හා නවීන අංගෝපාංගවලින් යුතු ශාලාවක් පවා සුදානම් කර තිබුණත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙවරත් එම හමුව පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේ ය.

මෙවර එම මාධ්‍ය හමුවේ මාතෘකාව වූයේ ''රජයේ නව කාබනික පොහොර වැඩපිළිවෙළ හමුවේ ඉදිරියේ දී රට තුළ ආහාර හිඟයක් ඇති වේද'' යන්නයි...

විපක්ෂය විසින් ඉතාමත් සූක්ෂම ලෙස ඉදිරියේදී රට තුළ මහා සාගතයක් ඇති වීමට ඉඩ ඇතැයි කියා කතාවක් සමාජගත කර තිබීම මීට හේතුව විය.

මෙම මාධ්‍ය සාකච්ඡාව උදේ දහයට ආරම්භ වූ අතර මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මුලින්ම හමුවේ අදහස පැහැදිලි කරමින් කතා කරන්නට පටන් ගත්තේය.

එදින එම හමුව සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, ගොවිජන සේවා කොමසාරිස් අබේරත්න, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාබනික පොහොර උපදේශක ආචාර්ය ජී බී හේමන්ත, තිරසාර කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය එම්.එස්. නිජාබුදීන් ආදීහු සම්පත්දායකයින් ලෙස සහභාගී වී සිටි අතර සූම් ඔස්සේ ඊට මාධ්‍යවේදීන් විස්සක් පමණ සම්බන්ධ වී සිටියහ.

ගැසට්වලට සජිත්ගේ විරෝධය

පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස් නොවුණත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ කොරෝනා සමයේදී රටේ පවතින තත්ත්වය ගැන අවධානය යොමු කිරීමටය.

අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් ක්‍රීයාත්මක වීමට ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීමටත්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස විශ්‍රාමික හමුදා නිලධාරියෙක් පත් කිරීමටත් කටයුතු කිරීම ගැන මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමුවිය.

"ආණ්ඩුවට ජීවන වියදම පාලනය කරගැනීමට නොහැකි වෙලා තියෙනවා. තමන්ගේ නොහැකියාව වහගන්න බැරි කමට තමයි මේ ගැසට් ගහන්නේ" විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ස්ථාවරය පැහැදිලි කරන්න විය.

"ආණ්ඩුව යන ගමන මොකක්ද කියලා දැන් පැහැදිලියි. ජනතාව මර්දනය කරන්න එක එක ගැසට් ගහන්න පටන් අරගෙන තියෙනවා" පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

"මේ අය මොකක්ද මේ කරන්නේ. යුද්ධය තිබුණ කාලෙවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් විදියට හමුදා නිලධාරියෙක් පත් කළේ නෑ. ඒ කාලේ මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කෙනෙක් විදියට හිටපු දිවාරත්න තමයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විදියට පත් කරලා තිබුණේ. යාපනයටම ආහාර යැව්වේ ඔහුගේ මැදිහත්වීමෙන්. දැන් මේ හමුදා නිලධාරීන් දාගෙන මොකක්ද මේ කරන්න හදන්නේ" රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

"හදිසි නීතිය ගෙන ආ පළියට කොරෝනා රෝගීන් අඩුවෙන්නේ නැති බවත්, එන්නත් එන්නේ නැති බවත් ආණ්ඩුව තේරුම් ගන්න ඕන. අනික ආණ්ඩුව මේ ලෝක මට්ටමෙන්ම ලොකූ ප්‍රශ්න ගොඩක් ඇති කරගන්නයි හදන්නේ" සජිත් කීවේ කොරෝනා තත්ත්වය ගැන පැහැදිලි කරමිනි.

රනිල් අත්හදා බලයි

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය මෙවර භෞතිකව නොපවත්වා අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ඉකුත් අඟහරුවාදා පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කෙරිණ. ඒ වෙනුවෙන් වූ අත්හදා බැලීමේ රැස්වීම් කිහිපයක් පසුගිය සතිය පුරාම පැවැත්විණි. පක්ෂ සංවිධායකවරුන්, ශාඛා සමිති නියෝජිතයන්, නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීම්වලට සහභාගී කරගනිමින් අත්හදා බැලීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ නව තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගි කර ගෙන ය.

ලේකම් රංගේ බණ්ඩාර විසින් පක්ෂ සම්මේලනය පැවැත්වෙන ආකාරය ගැන දීර්ඝ විස්තරයක් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය. පක්ෂ 75 වෙනි සංවත්සරය සැප්තැම්බර් 06 දාට යෙදී තිබුණ ද එදින සඳුදා දිනයක් බැවින් 05 වැනි ඉරිදා දින සම්මේලනය පැවැත්වීමට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යෝජනා කළේය.

"රට වහලා තිබුණට බොහෝ දෙනෙක් රැකියාවලට යනවා. නමුත් ඉරිදාට හැමෝම ගෙදර ඉන්නවා. ඒ නිසා ඉරිදා සවස 5.00 ඉදලා 6.00 වෙනකම් සම්මේලනය පවත්වමු.

" රුවන් සිය යෝජනාව ඉදිරිපත් කළේ එ‌ෙලසිනි. එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ප්‍රදර්ශනය කෙරෙනා වාර්තා වැඩසටහන් සම්බන්ධයෙන් වූ වාර්තාව ඉදිරිපත් කළේ පක්ෂ උප සභාපති සාගල රත්නායක විසිනි. සම්මේලනය කතා දෙකකට පමණක් සීමා වන අතර පිළිගැනීමේ කතාව පක්ෂ ලේකම්වරයා කිරීමෙන් අනතුරුව පක්ෂ නායකයා ප්‍රධාන කතාව කිරීමට නියමිත ය. තවත් විශේෂාංග කිහිපයක් ද එකතු කොට තිබෙන බව කියමින් සාගල කෘත්‍යාධිකාරි සභිකයන් දැනුම්වත් කළේය.

"පසුගිය මාස 06 ක කාලය තුළ අපි පක්ෂයේ කටයුතු බොහෝමයක් කළේ සූම් තාක්ෂණය උපයෝගී කරගෙනයි. කොවිඩ් වසංගතය නිසා අපිට ඉදිරියේදී පක්ෂ කටයුතුවලින් 80% ක්ම කරන්න වෙන්නේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙනයි. මේ වැඩපිළිවෙළට හැමෝම සුදානම් වෙන්න. මොකද තාක්ෂණය උපයෝගි කරගෙන වැඩ කරන පළවෙනි පක්ෂය අපේ පක්ෂයයි." එ.ජා.ප. නායකයා පිරිස දැනුම්වත් කළේ එලෙසිනි.

වජිර රනිල්ව බේරගත් හැටි

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සම්පූර්ණයෙන්ම වෙන්ව තිබුණේ පක්ෂ සම්මේලනය ගැන සාකච්ඡා කරන්නට ය. සම්මේලනය පැවැත්වෙන දින ප්‍රදර්ශනය කරනා වැඩසටහන් කිහිපයක් ද කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන්ට නැරඹීමට ද හැකිවිණි.

පසුගිය සඳුදා කළුතර, කෑගල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ ZOOM තාක්ෂණය ඔස්සේ රැස්වීම් පැවැත්වුණේ රුවන්, වජිර, රංගේ, සාගල, සන්දීප් යන අයගේ ප්‍රධානත්වයෙනි.

රුවන් ඇතුළු ප්‍රධානීන් මෙහිදී එක් එක් මාතෘකා යටතේ ක්‍රියාකාරීන් දැනුම්වත් කරමින් ඔවුහු ධෛර්යවත් කළෝය. අනුරාධපුර රැස්වීමේ කටයුතු පැවැත්වෙන අතරතුර වජිර පිළිබඳව විශේෂ ඇගයීමක් කළේය. ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක රිශ්වීන් විසිනි.

"වජිර ඇමතිතුමනි, ඔබ එඩිතර, නිර්භීත දේශපාලනඥයෙක්. ඔබ ඉතිහාසය පුරාවටත්, අදත් පක්ෂයත්, නායකතුමත් ආරක්ෂා කරනවා.

එය දේශපාලන නායකයෙකුගේ හොඳ ලක්ෂණයක්. මට මතකයි මීට අවුරුදු කිහිපයකට ඉහතදී එක්සත් ජාතික පක්ෂය මහනුවර සිට කොළඹ දක්වා ජනබල පාගමනක් පැවැත්වූවා. ඒ පාගමන ඉදිරියට එන අතරතුර කිසියම් පණිවුඩයක් ලද සැණින් ඔබතුමා අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පාරේ පැමිණි වාහනයක දාගෙන එතැනින් ඉදිරියට ගමන් කළා. ඒ සිද්ධිය මගේ ජීවිතේ කිසිදාක අමතක වන්නේ නැහැ. ඔබතුමා ඒ ක්ෂණික පියවර නොගත්තා නම් මහා විනාශයක් වීමට ඉඩ තිබුණා. ඇමතිතුමනි ඒ සිද්ධිය නැවත මෙහිදී සිහිපත් කළ හැකිදැයි" රිශ්වින් විමසා සිටියේය.

"ඔව්, රිශ්වි ඒ සිද්ධිය මටත් හොඳට මතකයි. නමුත් ඒ ගැන පසුව මම ඔබට කරුණු පැහැදිලි කරන්නම්." යැයි ඊට පිළිතුරු දෙමින් වජිර පැවසීය.

තරුණ ප්‍රජාව එන්නත් කිරීමට නාමල් පෙරමුණ ගනී

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව වෙත එන්නත්කරණය සිදු කිරීම 02වැනි දින ආරම්භ වූ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

ඉදිරි කාලයේදී රට විවෘත කළ පසු ජන ජීවිතය සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාම හා ජාතික ආර්ථිකයට ශක්තියක් වන තරුණ ප්‍රජාව එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාව මූලික කර ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මඟපෙන්වීම අනුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙරට වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව එන්තත්කරණය කිරීම සඳහා අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මඟපෙන්වීම අනුව සෞඛ්‍ය අංශ, කොවිඩ් කාර්ය සාධන බළකාය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව ඉදිරි සති කිහිපය ඇතුළත දිවයින පුරා විසිරී සිටින වයස අවු. 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව වෙත එන්නත්කරණය සිදුකෙරේ.

2 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ යෞවන සමාජ හා සම්මේලන මධ්‍යස්ථාන 03 ක් කේන්ද්‍රකර ගනිමින් ආරම්භ වූ එන්නත්කරණ මධ්‍යස්ථාන නිරීක්ෂණය සඳහා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද එක්විය.

Comments