
ඇඳිරි නීතිය පැනවූ විට ගමන් බිමන් නොයන නමුත් පසුගිය අගෝස්තු 20 දින ඉන්ධන පිරවුම්හල් අසල ද දිගු පෝලිම් දක්නට ලැබිණි. ඊට හේතු වූයේ ඊට පෙර 19 දින රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ වෘත්තිය සමිති නායකයකු වූ ආනන්ද පාලිත නමැත්තා විසින් මාධ්‍ය හමුවක් පවත්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 65,000ක් සහ පෙට්රල් මෙට්‍රික් ටොන් 32,000ක් පමණක් බවත් එය ප්‍රමාණවත් වන්නේ දින 11ක් වැනි කෙටි කාලයකට බවත් සඳහන් කළේය. ඔහුගේ එම ප්‍රකාශය මහජන කැලඹීමකට හේතු වූ බව ප්‍රත්‍යක්ෂ වූයේ 20 වැනිදා උදෑසන සිට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල වාහන දිගු පෝලිම් තිබෙනු දක්නට ලැබුණු බැවිනි.
රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාරය කර ජනතාව නොමග යැවූ බවට චෝදනා කරමින් ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනන්ද පාලිතට එරෙහිව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 20 වැනිදා රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හරිනු ලැබුවේ 21 වැනිදාය.
“ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවූ තදබදයට පාදක වූ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය, ජනතාව නොමඟ යවන, ආණ්ඩු විරෝධී ප්‍රකාශයක්. රටට අවශ්‍ය ඉන්ධන ලබාදීමේ වගකීම අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපි මනාව කළමනාකරණය
![]() |
වමේ සිට - බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ, බලශක්ති අමාත්‍යාංශයේ වෘත්තීය සමිති හා සේවක සබඳතා සහකාර ලේකම් ලක්මාල් පතිරණ, ඉන්ධන පිරවුම්හල් ගණනාවක අයිතිකරු වන ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ සහ විශ්‍රාම ලබන විට තොග ගබඩා පර්යන්ත සමාගමේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත |
කරගෙන යනවා. 2021 අගෝස්තු 19 වන විට පෙට්රල් මෙට්‍රික් ටොන් 71,000ක් අප සතුව තිබෙනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 99,000ක් තිබෙනවා. රටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමේදී අපි කරුණු කීපයක් සැලකිල්ලට ගන්නවා. අපේ පවතින සීමිත ගබඩා පහසුකම් අනුව අපට ඉන්ධන ගබඩා කර තබා ගැනීමට හැකියාව තිබෙන්නේ මාසයකට පමණයි. දෛනික පරිභෝජනය ගැන කතා කරනවා නම් දිනකට ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 5500ක ප්‍රමාණයකුත් පෙට්රල් මෙට්‍රික් ටොන් 3300කුත් වශයෙන් දක්වන්න පුළුවන්. ඒත් කොවිඩ් වසංගතය සමඟ ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීමත් එක්ක ඉන්ධන භාවිතයත් අඩු වී තිබෙනවා. අගෝස්තු 19 දින දෛනික පරිභෝජනය ගත්තොත් ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4200 දක්වා පහත වැටිලා තියෙනවා. පෙට්රල් මෙට්‍රික් ටොන් 2800 දක්වා පහත බැහැලා තියෙනවා. අගෝස්තු 19 වැනිදා වන විට අපේ ගබඩාවල තිබෙන ඉන්ධන ප්‍රමාණයන් ගැන සලකා බැලුවොත් අපි ළඟ තිබෙන ඩීසල් සංචිත දින 28කට ප්‍රමාණවත්. පෙට්රල් සංචිත දින 26කට ප්‍රමාණවත්. මම මේ සංඛ්‍යා ඉදිරිපත් කළේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන එකතු නොකර. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1800ක් - 2000ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. ඒනිසා අපේ රටේ ඉන්ධන අවශ්‍යතාව කිසිම ප්‍රශ්නයක් නැතිව සපුරාලන්න අපිට පුළුවන්. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කිසිම තෙල් හිඟයක් නැහැ. රටට අවශ්‍ය ප්‍රමාණවත් තොග අප සතුව තිබෙනවා.“ යනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේය.
“ආනන්ද පාලිත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට එකතු වෙලා පසුව තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවය කරලා 2018 ඔක්තෝබර් 20 වැනි දින විශ්‍රාම ලැබූ සේවකයෙක්. ඔහු විශ්‍රාම ලබන විට තොග ගබඩා පර්යන්ත සමාගමේ ජාතික සේවක සංගමයේ සභාපති විදිහට කටයුතු කර තිබෙනවා. ඔහු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හෝ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ හෝ බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් ආයතනයක ලියාපදිංචි වෘත්තීය සමිති ශාඛාවක නායකයෙක් නොවෙයි.“ යනුවෙන් සඳහන් කළේ බලශක්ති අමාත්‍යාංශයේ වෘත්තීය සමිති හා සේවක සබඳතා, සහකාර ලේකම් ලක්මාල් පතිරණ ය.
“තෙල් මිල වැඩි වන බව රටට දැනුම් දුන් අයුරින් විදේශ විනිමය අර්බුදය ගැන මුලින් රටට කියූ අයුරින් තෙල් හිඟයක් ඇත්නම් එය මුලින්ම රටට කියන්නේ මා බව අවස්ථා ගණනාවකදී පවසා ඇත. විශ්‍රාමික සේවකයකුගේ බොරුවලට පිළිතුරු දීමට සිදුවීම කනගාටුවට කරුණක්.“ යනුවෙන් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබිණි.
ජනතාව නොමග යවමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ආනන්ද පාලිත සිළුමිණ සම්බන්ධ කර ගනු ලැබුවේ ඔහුගේ ප්‍රකාශය පිළිබඳව සුලමුල දැනගැනීමට ය. එහෙත් අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් මාධ්‍යයට පිළිතුරු දීමට හැකියාවක් නොමැති බව ආනන්ද පාලිත කියා සිටියේය.
පසුගිය අගෝස්තු 19 වැනි දින ආනන්ද පාලිත සිදු කළ සාවද්‍ය ප්‍රකාශයෙන් ජනතාව කැලඹී ඉන්ධ පිරවුම්හල් අසල පෝලිම් ගැසී සිටියත් මේ ආකාරයට පෝලිම් ගැසී සිටි ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන පෝලිම් ගැසී සිටි ආකාරයත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන අවසන් වී වසා දැමූ ආකාරයත් අපට අමතක නැත. මගේ මතකයේ හැටියට ඒ 2017 වර්ෂයේ අග භාගයේ ය. එය සිදු වූයේ IOC සමාගම ගෙන්වූ දෝෂ සහිත තෙල් තොගයක් හරවා යැවීමෙන් කෘත්‍රිමව මවා පෑ හිඟයක් නිසා බව පසුව හෙළිදරව් විය.
ඉන්ධන බෙදා හැරීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබියදී IOC සමාගමක් මැදිහත් වන්නේ කෙසේ ද? මෙය සිදු වන්නේ මොන ආකාරයටද? ඒ පිළිබඳව තොරතුරු සොයා යෑමට පෙර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉතිහාසය දැනගැනීම වැදගත් ය. ඛනිජ තෙල් සංස්ථාව ස්ථාපිත කරනු ලබන්නේ 1961 වර්ෂයේ අංක 28 පාර්ලිමේන්තු පනතට අනුව 1962 දීය. ඊට පෙර ලංකාවේ ඉන්ධන ව්‍යාපාරය පාලනය කෙරුනේ ෂෙල්, එසෝ සහ කැල්ටෙක්ස් යන විදේශීය සමාගම් මඟිනි. 1961 අංක 28 පනතින් මෙම විදේශීය තෙල් සමාගම් ජනසතු කෙරිණි. මෙම පනත සංශෝධනය කෙරුණේ 1969 දී සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්ථාපනය කිරීමට ය. ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු තත්ත්වයට පත්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලීකරණය කෙරෙන්නේ 2002 වර්ෂයේදී ය. එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කොටස් 2 කට බෙදිණි. ඒ අනුව ඛනිජතෙල් ආනයනය සහ වෙෙළඳාම එක් අංශයකටත් බෙදා හැරීම සහ ගබඩාකරණය තවත් අංශයකටත් බෙදී වෙන් විය. ආනයනය සහ වෙෙළඳාම Ceylon Petroleum Corporation (cpc) හෙවත් ඛනිජතෙල් සංස්ථාව සතු විය. බෙදා හැරීම සහ ගබඩාකරණය Ceylon Petroleum Storage Terminals Ltd (CPSTL) සතු විය.
වසර 2003 වනවිට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 350ක් පමණ තිබිණි. එය කොටස් 3කට බෙදා එක් කොටසක් මොඩර්න් පෙට්‍රොලියම් මාකටර්ස් ලිමිටඩ් වශයෙනුත් තවත් කොටසක් ඉන්ඩිපෙන්ඩන්ට් පෙට්‍රොලියම් මාකටර්ස් ලිමිටඩ් වශයෙනුත් නම් කර ඒ සමාගම් යටතේ ඉන්ධන පිරවුම්හල් බෙදා වෙන් කර ඇත. මීට අමතරව ඉතිරි ඉන්ධන පිරවුම්හල් සිපෙට්කෝ සමාගමට අයත් විය. තවද Ceylon Petroleum Storage Terminals Ltd සමාගම ද කොටස් 3කට බෙදනු ලැබීය. එයින් එක් කොටසක් ඉන්දියාවේ IOC සමාගමට අයත් විය. තවත් කොටසක් Ceylon Petroleum Corporation යටතට ගැනිණි. ඉතිරි තුනෙන් එකක මහා භාණ්ඩාගරය සතු විය. ඉන්දියාවේ IOC සමාගමට ඉන්ධන ගබඩාකරණය සහ බෙදාහැරීම පවරන විට ත්‍රිකුණාමලයේ චීන වරාය අසල පිහිටි තෙල් ටැංකි 102 සහ ඒවා අයත් අක්කර 850කින් යුතු භූමිය ද ඉන්දියාවට පැවරුණේ අවුරුදු 35කට යටත් බදු ගිවිසුමක් මඟිනි. මෙහි එක් ටැංකියක ඉන්ධන මෙට්‍රික් ටොන් 12,000ක් පමණ ගබඩා කිරීමේ හැකියාව ඇත. මෙහි සමස්ත ධාරිතාව මිලියන 1.2 සීමාව ඉක්මවයි. බ්‍රිතාන්‍ය රජයට අයත්ව තිබූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකා රජය 1963 දී මිල දී ගෙන රජයට පවරා ගත් සම්පතක් බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙහි ඇති තෙල් ටැංකි 102 න් IOC සමාගම ප්‍රයෝජනයට ගනු ලබන්නේ තෙල් ටැංකි 15ක් පමණි. ඉතිරි ටැංකි දිරාපත් වීමට ඉඩ හැර තිබේ. 2003 දී මෙය ඉන්දියාවේ IOC සමාගමට එජාප ආණ්ඩුව පවරන තෙක් මෙහි නිසි ප්‍රයෝජනය ගනු ලැබුවේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසිනි. IOC සමාගමට ඉන්ධන ගබඩා සහ පිරවුම්හල් බදු දීමේ ගනුදෙනුවේදී ශ්‍රී ලංකා රජයට හිමි වූ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 75කි.
මේ අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CPC) සතු විශාල තෙල් ගබඩා සංකීර්ණයක් ඔවුන්ගෙන් ගිලිහිණු පසුව ඔවුන් විසින් ඉන්ධන ගබඩා කරනු ලබන්නේ කෙසේදැයි ඕනෑම කෙනකුගේ සිතෙහි ගැටලුවක් පැන නැඟෙන්නේ නිරායාසයෙනි. ලංකා ඔටෝ ඩීසල් කොලොන්නාව, මුතුරාජවෙල, සපුගස්කන්ද ඇතුළුව ප්‍රාදේශීය තොග ගබඩාවල බහාලනු ඇත. ලංකා ඔටෝ ඩීසල් ගබඩා කළ හැකි මුළු ධාරිතාව මෙට්‍රික් ටොන් 1,70,000කි. (ආසන්න වශයෙන් කිලෝ ලීටර් ලක්ෂ 2කි). 92 ඔක්ටෙන් පෙට්රල් ගබඩා සංකීර්ණ ද පිහිටා තිබෙන්නේ කොලොන්නාව මුතුරාජවෙල සහ සපුගස්කන්ද ස්ථාපිත කර ඇති තෙල් ගබඩා සහ ප්‍රාදේශීය ගබඩා සංකීර්ණවල ය. 92 ඔක්ටෙන් ගබඩා කළ හැකි සමස්ත ධාරිතාව මෙට්‍රික් ටොන් 93,000කි. එය කිලෝ ලීටර් 1,24,000ක් ලෙස ආසන්න වශයෙන් දැක්විය හැකිය. 95 ඔක්ටෙන් පෙට්රල් ගබඩා සංකීර්ණය පිහිටා තිබෙන්නේ කොලොන්නාවේ පමණි. 95 ඔක්ටෙන් ගබඩා කළ හැකි සමස්ත ධාරිතාව මෙට්‍රික් ටොන් 22,000කි. (ආසන්න වශයෙන් කිලෝ ලීටර් 29,500කි). සුපිරි ඩීසල් ගබඩා සංකීර්ණ කොලොන්නාව සහ ගාල්ලේ ස්ථාපිත කර ඇත. සුපිරි ඩීසල් ගබඩා කළ හැකි සමස්ත ධාරිතාව මෙට්‍රික් ටොන් 13,500කි. (කිලෝ ලීටර් 15,900කි). CPC සහ CPSTL සමාගම යන ආයතන දෙකටම අයත් තෙල් ගබඩා මුතුරාජවෙල ස්ථාපිත කර තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකිවල සමස්ත ධාරිතාව සලකා බැලූ විට දැනට CPC සහ CPSTL සමාගම සතුව තිබෙන තෙල් ගබඩා ධාරිතාව කොතරම් කුඩා ප්‍රමාණයක්දැයි මනාව පැහැදිලි වේ.
වර්තමානයේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට (CPC) අයත් ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණය 247කි. ඉන්ධන පිරවුම්හල් තුනට බෙදීමේදී සිපෙට්කෝ පිරවුම්හල් ගණන 107 දක්වා අඩු වුවද මොඩර්න් පෙට්‍රෝලියම් මාකටර්ස් ලිමිටඩ් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් යළි විකිණීමේදී CPC විසින් ඒවා අත්පත් කර ගැනීමත් සමඟ ඔවුන්ගේ සම්පූර්ණ අයිතියෙන් යුතු ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 247 දක්වා ඉහළ ගියේය. IOC සමාගම සතු වූයේ ඉන්ඩිපෙන්ඩන්ට් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් පමණි. දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 1200 කට වැඩි ය. මෙයින් 800ක් පමණ පුද්ගලික හිමිකරුවන්ට අයත් වූ ඉන්ධන පිරවුම්හල් වේ. සමස්ත ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවෙන් 90%ක් ක්‍රියාත්මක වෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ය. IOC පාලනයට අයත් වන්නේ ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයෙන් 10%ක් පමණි. 2017 අගෝස්තු 21 වැනි දින එවකට ඛනිජතෙල් සම්පත් අමාත්‍යවරිය වූ අනෝමා ගමගේගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී සමස්ත ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 1252 ක් බවත් ලංකා ඛනිජතෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 1244ක් බවත් ඉන් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 1040ක් බවත් පැහැදිලි කළාය. IOC සමාගම සතු ඉන්ධන පිරවුම්හල් ගණන 212ක් බව ඈ තවදුරටත් සඳහන් කර තිබිණි.
ඉන්ධන හිඟයක් ඇති බවට රාවයක් පැතිර යන විට ඉන්ධන පිරවුම්හල් අසල පෙළ ගැසෙන වාහන පෝලිම් සමඟ ඉන්ධන පිරවුම්හල් මහත් අසීරුතාවකට පත්වේ. එවැනි අවස්ථාවක කටයුතු කරන ආකාරය පිළිබඳව දැනගැනීමට ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ සම්බන්ධ කර ගනු ලැබුවේ ඔහු මෙරට ඉන්ධන පිරවුම්හල් ගණනාවක අයිතිකරු වන බැවිනි.
“මට තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙලාවට තෙල් නොලැබීම. තෙල් තියෙනවා නම් බෙදා හරින්න අමාරුවක් නැහැ. මම හිතන්නේ තෙල් බෙදා හැරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා නම් හොඳයි.“ යනුවෙන් ආචාර්ය ක්ලැරන්ස් කුමාරගේ පැවසීය.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් තොරතුරු ලබා ගැනීමේදී බොහෝ හිමිකරුවන් පැවසුවේ තෙල් බෙදා හැරීම ඉතා අලස ආකාරයට සිදු වන බවයි. එක් තෙල් බවුසරයක් ගෙන්වා ගැනීමට දුරකතන ඇමතුම් 20ක් පමණ ලබා දිය යුතු බව සඳහන් කළේ කොළඹ ඉන්ධන පිරවුම්හලක අයිතිකරුවෙකි. මෙය බලශක්ති අමාත්‍යවරයාගේ අවධානය යොමු විය වෙනම ම කතාන්දරයකි.