
රටපුරා වේගයෙන් පැතිර යන කෝවිඩ් - 19 රෝගය පැතිරීම වැළැක්වීමට රජය දැන් සෑම උත්සාහයක් ම දරයි. ලක්ෂ 120 කට අධික පිරිසකට එන්නත් ලබාදී ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ද ජනතාව සතු යුතුකමක් වී ඇත.
මෙවන් තත්ත්වයක් යටතේ වුව ද බාල තරුණ මහලු අයට රෝගය වැලඳීම වේගවත් වීම නිසා රෝගය වැළැක්වීමට ශාරීරික ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ද විශ්වාසය තැබීම අද අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ.
කෝවිඩ් - 19 රෝගය ස්ථිරවම සුව කිරීමට වැලඳීම වැළැක්වීමට තවම නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නැත. එවන් තත්ත්වයක් යටතේ අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිශක්තිකරණ වර්ධක ඖෂධ හා ඖෂධීය ප්‍රතිශක්ති වර්ධක කැඳ ලබාදීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වේ.
එන්නත් ලබාගත් අයටත් රෝගය වැලඳීම හේතුකොට ගෙන රෝගයට මුහුණ දීමට පුද්ගල ප්‍රතිශක්තිය ඉතා වැදගත් බව බටහිර හා දේශීය වෛද්‍යවරුන්ගේ මතයයි.
ඒ අනුව අපේ පාරම්පරික දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රම ලෙස හඳුන්වන ශාරීරික ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමේ ක්‍රමවලින් මේ අවස්ථාවෙහි ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇත.
•වියදම රුපියල් කෝටි 600ක්
අපේ පාරම්පරික කොත්තමල්ලි, ඉඟුරු, වෙනිවැල්ගැට වැනි දේවල් මෙන් ම තවත් ආයුර්වේද ඖෂධ රැසක් ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමට හේතු වන බව ආයුර්වේද වෛද්‍යවරු පවසති.
ඒ අනුව යමින් මෙරට සියලුම පවුල් සඳහා දේශීය ප්‍රතිශක්ති වර්ධක හා කැඳ අඩංගු ආයුර්වේද ඖෂධ සහිත මංජුසාවක් දිවයිනේ සෑම පවුලක් වෙත ලබාදීමට ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ උපදෙස් පරිදි දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි නව වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත මේ සඳහා යන සම්පූර්ණ වියදම රුපියල් කෝටි 600ක්.
සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මේ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලය ද අනුමත කර ඇත.
මේ යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ඇතිව කෝවිඩ් - 19 රෝගයට සුදුසු ඖෂධ අඩංගු ආයුර්වේද ඖෂධ මංජුසාවක් ප්‍රථම අදියර යටතේ අඩු ආදායම් පවුල් ලක්ෂ 25 කට ලබාදීම දැන් අරඹා ඇත. ඉන් පසු මේ වැඩපිළිවෙළ යටතේ අපේ රටේ සෑම නිවසකටම කෝවිඩ් රෝගය වැළැක්වීමට සුදුසු ආයුර්වේද ඖෂධ මංජුසාව ලබාදීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
•රෝගය වැඩි ප්‍රදේශවලට ප්‍රමුඛත්වය
කෝවිඩ් රෝගීන්ට සුදුසු ආයුර්වේද ඖෂධ රැසක් දැනටමත් ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් නිපදවන බව ආයුර්වේද සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාගල අබේවික්‍රම මහත්මිය පවසන්නීය.
“අපි දැනටමත් සංස්ථා සුව ධරණී, සංස්ථා පේයාව, සංස්ථා තැම්බුම් හොඳි ආදිය වෙනදාට වඩා සාදාගෙන යනවා. ඊට අමතරව රසකල්කය, සුදර්ශන කරල්, සීතාරාම වටී, මධුක සිරප්, කෝවිඩ් 19 දුම් අල්ලන දුමක්, කට හෝදන දියර, වෙනිවැල් හෑන්ඩ් වොෂ්, කෝමාරිකා හෑන්ඩ් වොෂ් ආදිය අපි සාදාගෙන යනවා සභාපතිනිය පවසන්නීය.
ඒ අනුව ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් දැන් පිටරටින් ගෙනෙන බටහිර අත් සෝදන විෂබීජ නාශකවලට වඩා සමට හා ගතට සුදුසු දේශීය ඖෂධ මඟින් නිපදවූ අත් සෝදන ඖෂධ අඩු මුදලට නිපදවන බවත් ඒවා දැන් වෙනදාට වඩා ජනප්‍රිය බවත් ඒවා ආයුර්වේද ඔසු සල්වලින්, බටහිර ඔසුසල්වලින් අඩු මිලට ලබාගත හැකි බවත් සභාපතිවරිය පවසන්නීය. මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසන්නේ කැබිනට් තීරණය අනුව කෝවිඩ් මර්දනය පිණිස වන ආයුර්වේද මංජුසාව මෙරට කෝවිඩ් වසංගතය වැඩිම ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන බවයි.
“මෙහිදී අපි බස්නාහිර පළාතේ රෝගය වැඩි ප්‍රදේශවලට මුලින්ම මේ මංජුසාව ලබාදෙනවා. කැබිනට් අනුමැතිය අනුව ඒවා නිපදවීමට දැන් අපි කටයුතු කරනවා. ඉදිරි දින 10 ඇතුළත මේ මංජුසාව බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට කටයුතු කරනවා” රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කරන ලද ඖෂධ වර්ග කීපයකින් මේ මංජුසාව සකස් කර ඇති බවත් ඒ සඳහා තාක්ෂණික කමිටුව විසින් නම් කරන ලද සුවධරණී පානය, කසාය පානය, ආහාර අතිරේකවලින් සමන්විත කැඳ වර්ග මේ මංජුසාවට ඇතුළත් බවත් ඔහු කීය.
“අපේ රෙට් ආයුර්වේද රෝහල් කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන බවට පත් කළා. මේ වනවිට එවැනි රෝහල් 13 ක් පමණ තිබෙනවා. තවත් රෝහල් 05 ක් ඉදිරි සතියේදී ඊට සම්බන්ධ කරනවා.
දැනට රෝගීන් 5858 ක් විතර රෝහල්වලින් ප්‍රතිකාර අරගෙන තිබෙනවා. ඉන් 4720 කට වැඩි සංඛ්‍යාවක් සුවය ලබා ගොස් තිබෙනවා. මේ කොරෝනා රෝගීන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ තමයි ප්‍රතිකාර දීම කරන්නේ.
කොරෝනා වසංගතය පාලනය කරගනිමින් රෝග නිවාරණයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණයෙන් සමන්විත දේශීය ඖෂධවලින් පිරි සුව ධරණී මංජුසාවක් සෑම නිවෙසකට ලබාදීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. මෙහි පළමු අදියර යටතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේ ආදායම් අහිමි වූ පවුල් ලක්ෂ 25 ක් සඳහාත්, දෙවැනි අදියර යටතේ ඉතිරි සියලුම පවුල් සඳහාත් දීමට අනුමැතිය හිමි වුණා” යැයි ඇමැතිවරයා පැවසීය.
•ආයුර්වේද ඖෂධ රැසක් කෝවිඩ් මර්දනයට අලුතින් නිපදවෙයි
- ආයුර්වේද සංස්ථා සභාපතිනි නීතිඥ සාගලා අබේවික්‍රම
ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඇමැති මණ්ඩලයත් මේ අපේ ආයුර්වේද ක්ෂේත්‍රය පිළිබඳව උනන්දු වෙලා මේ ආයුර්වේද මංජුසාව රටටම ලබාදීමට අනුමැතිය ලබාදීම පිළිබඳව ස්තුති වන්ත වෙනවා. හැකි ඉක්මනින් මෙරට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 25 ටම ඒ ආයුර්වේද මංජුසාව ලබාදීමට අපි සූදානම්. මේ කටයුත්ත අපි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ අනුව හා ග්‍රාම නිලධාරි මට්ටමින් තව දින 10 ක් ඇතුළත ක්‍රියාවට නංවනවා” සිසිර ජයකොඩි රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
මේ පිළිබඳව ‘සිළුමිණ’ට කරුණු දැක්වූ දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර පවසන්නේ මේ මංජුසාවට ආයුර්වේද ඖෂධ 3 කින් යුක්ත බවයි.” සුවධරණී, ගුඩුච්ඡාදය හෙවත් කෝවිඩ් රෝගීන්ට සුදුසු ප්‍රබල ආයුර්වේද ඖෂධ සහිත කසායක් හා ප්‍රතිශක්තිය වැඩි කරන කැඳ මෙම මංජුසාවේ අඩංගු වෙනවා. ඒවා නිෂ්පාදනය ළඟදීම ආරම්භ කර රෝගය බහුල ප්‍රදේශවල ජනතාවට මුලින් ම අපි ලබාදෙනවා.
“මේ මංජුසාවට අයත් ආයුර්වේද ඖෂධ නිපදවීමට අපට පිටින් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා.
ආයුර්වේද ඖෂධ සංස්ථාවට පමණක් මේක නිෂ්පාදනය කරන්න අමාරුයි. එසේ වුවත් රුපියල් 2000 ජීවන අධාර දීමනාව දුන්නු පවුල්වලට නොවරදවාම හැකි ඉක්මනින් මෙම මංජුසාව ලබාදෙන්නයි අපේ අපේක්ෂාව. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව අපේ රටේ ඇති ආයුර්වේද ඖෂධ බොහෝමයකින් ශාරීරික ප්‍රතිශක්ති කරණය ඇතිවෙනවා.
ඒ අනුව මේ කටයුතු මඟින් අපේ රටේ කොරෝනා වසංගතය තරමක් හෝ පාලනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි ලේකම්වරිය පවසන්නීය.
•මුලින්ම අඩු ආදායම් ලබන පවුල් ලක්ෂ 25 කට දෙනවා
- රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි
මේ පිළිබඳව කරුණු දැක්වූ ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන පවසන්නේ මංජුසාව රටපුරා සියලු පවුල්වලට ලබාදීමට දැන් සැලසුම් සකස් කරමින් සිටින බවයි.
මේ අතර කොරෝනා රෝගයට මුහුණදීමට දේශීය ඖෂධ 37 ක් පිළිබඳව පර්යේෂණ කිරීමට ආයුර්වේද අමාත්‍යාංශයේ විද්වත් කමිටුවක් පත්කර ඇත. ඒ පර්යේෂණ අනුව ඉදිරියේදී කොරෝනා රෝගය සඳහා අලුත් දේශීය ඖෂධ කීපයක්ම නිපදවීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව හා ආයුර්වේද ඖෂධ සංස්ථාව එක්ව කටයුතු කරන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.