කොවිඩ්වලට වඩා භයානක කොවිඩ් භීතිකාව | සිළුමිණ

කොවිඩ්වලට වඩා භයානක කොවිඩ් භීතිකාව

ජනතාව භීතියට පත් කිරීමේ වගකීම ජනමාධ්‍ය භාර ගත යුතුයි

 

බිය වීම අවශ්‍යයි, ඒත් අසීමිතව බිය වීමෙන් කායික හා මානසික රෝග ඇති විය හැකියි

 

අපේ රටේ සාක්ෂරතාව ඉහළ වුණට ප්‍රායෝගික ව්‍යවහරය  අඩුයි
 

 

 

ලොවම වෙළාගෙන සිටින කොවිඩ් වසංගතය මේ වන විට අපේ රටේ ද ලක්ෂ ගණනක පිරිසක් ගොදුරු කරගෙන ඇත. සැප්තැම්බර් 01 වැනිදා වන විට මෙරට කොවිඩ් රෝගය වැලඳුණු සමස්ත රෝගින් සංඛ්‍යාව 4,36,081 කි. මිය ගිය සංඛ්‍යාව 10,000 ආසන්නය. කොවිඩ් තෙවැනි රැල්ලෙන් පසුව දැන් දින කීපයක සිට කොවිඩ් ආසාදනය වී එක් දවසකට මිය යන සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. ඒනිසාම අද දවසේ තමා කොයි මොහොතේ කොවිඩ් මාරයාට ගොදුරු වේ දැයි සිතා සමහරු දැඩි බියකින් පසුවෙති. තවත් අය මිය ගිය ගණන ගැන විමසිලිමත් වන්නේ ක්‍රිකට් තරගයක ලකුණු දැනගැනීමට දක්වන තරම් උනන්දුවකිනි. කොවිඩ් රෝගයට ගොදුරු වේදැයි යන බිය නිසාම බොහෝ දෙනෙක් හුමාලය ආශ්වාස කරති. දේශීය ඔසු වර්ග පාවිච්චි කරති. තවත් පිරිසක් විටමින් සී, විටමින් ඩී සහ ප්‍රතිජීවක ඖෂධ දිනපතා භාවිත කරන්නේ කොවිඩ් රෝගයෙන් වැළකී සිටීමට ය. කොවිඩ් කෙරෙහි ඇති අසීමිත බිය නිසාම ඇතැම් අය ප්‍රවේශම සඳහා අනවශ්‍ය ආකාරයට කටයුතු කරති.

 

“කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම ඉතාමත් හොඳ දෙයක්. එය අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. ඒත් ආරක්ෂා වීම වුණත් අනවශ්‍ය ආකාරයට කිරීම හොඳ දෙයක් නොවෙයි. මොකද අනවශ්‍ය ආකාරයේ බිය වීම නිසා මානසික පීඩාව, මානසික ආතතිය වුණත් ඇති වෙන්න පුළුවන්. එය හේතු කරගෙන ස්නායු රෝග ඇති වෙන්න පුළුවන්. සීනි මට්ටම ඉහළ යෑම, හෘදරෝග වැනි කායික රෝග ඇති වෙන්න පුළුවන්.“ යනුවෙන් පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ය.

මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසන ආකාරයට කොවිඩ් වසංගතයේ බලපෑමෙන් මානසික පීඩාවට පත්වන කාණ්ඩ සහ ඔවුන්ට බලපාන අන්දම සිවු වැදෑරුම් ලෙස දැක්විය හැකිය. ඒවා නම්,

 

I කොවිඩ් වැලඳුණු අය සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්ට බලපාන අන්දම

II පොදු සමාජයට බලපාන අන්දම

III දරුවන්ට බලපාන අන්දම

IV සෞඛ්‍ය සේවකයන්ට බලපාන අන්දම

 

කොවිඩ් වැලඳුණු ඇතැමුන් රෝගයට බිය වීම, මිය යාවී යන බිය, ආදරණීයන්ගෙන් සමු ගැනීමට සිදුවීමේ බිය හා සමාජයෙන් එල්ල වන බලපෑම වැනි කරුණු නිසා මානසික පීඩනයකට ලක්වේ. මානසික පීඩනය, ආතතිය තත්ත්වයක් දක්වා වර්ධනය වීමෙන් අනතුරුව කාංසාව හෝ විශාදය වැනි මානසික රෝග ඇති විය හැකිය. නින්ද නොයෑම, බය වීම, ආත්ම විශ්වාසයක් නැති වීම, නපුරු හීන දැකීම, කළකිරීම, අනාගතය කෙරෙහි අවිනිශ්චිත බවක් ඇති වීම වැනි ලක්ෂණ මතු වන්නේ කාංසාව හා විශාදය යන මානසික රෝග හට ගැනීමෙනි. කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම නිසා ඔවුන් රෝගයට ගොදුරු වේ යැයි යන බිය, සමාජයෙන් එල්ල විය හැකි බලපෑම, ආර්ථික දුෂ්කරතා ඇති වීම වැනි කාරණා මුල් කරගෙන ආශ්‍රිතයන් මානසික පීඩාවකට පත්වේ. මෙම පීඩාව නිසා ඉහත කී ආකාරයට ම මානසික රෝගවලට ගොදුරු විය හැකිය.

“සමාජයට බලපාන අන්දම ගැන කතා කරනවා නම් එය කොටස් 2 කට බෙදලා කතා කරන්න පුළුවන්. එක් කොටසක් තමයි රෝගයට ඇති අසීමිත බියක් දක්වන අය. මෙය Illness Phobia නමින් හඳුන්වනවා. අසීමිත බිය නිසාම ඒ අය ගෙදරින් එළියට බහින්නේ නැතිව රෝගය ගැනම තොරතුරු හොය හොයා ඉන්නවා. ටී.වී. එකේ බලන්නෙත් කොවිඩ් ගැන විතරයි. මේ අය අන්තර්ජාලයේ තියෙන බෙහෙත් ගන්නවා. ආරක්ෂා විමට පුදුම විදිහට මහන්සි වෙනවා. මෙය හොඳ තත්ත්වයක් නොවෙයි. මේ විදිහට දිගු කාලයක් පීඩා විඳීම තුළින් විවිධ මානසික රෝග ඇති වෙන්න පුළුවන්. අනිත් කොටස තමයි ඔවුන් රෝගයට බය නැහැ. ඒත් කොවිඩ් රෝගය පාලනය කිරීමට අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඒ අයට ලොකු කරදරයක්. මුඛ ආවරණ දාන්නේ නැතිව හිතුමතේ පාරේ යන්නේ, පළාත් අතර සංචරණ සීමා කඩ කරන්නේ මේ අය තමයි. මේ අය සමාජ වගකීම ගන්න කැමති නැහැ. ඒ අයට අවශ්‍ය වෙන්නේ ය‍ා‍ළුවො හම්බවෙන්න, විනෝද ගමන් යන්න, එකට කෑම ගන්න වගේ දේවල්. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ නිරෝධායන ඇඳිරි නීතිය, සංචරණ සීමා වැනි ක්‍රියාවන් තුළින් ඒ අය මානසික පීඩාවට පත් වෙනවා. ඒ පීඩාවෙන් ඔවුන් මානසික ආතතියකට ගොදුරු වෙන්න පුළුවන්. මානසික සංකූලතා ඇති වෙන්න පුළුවන්. තරහ, නුරුස්සන ගතිය, ආවේගශීලි වීම වැනි ලක්ෂණ මේ අය අතරින් මතු වෙන්න පුළුවන්.“ යනුවෙන් විස්තර කළේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ය.

මීට අමතරව දරුවන් නිවෙස් තුළටම කොටු වී සිටීමෙන් ඔවුන් ද මානසික පීඩනයකට ලක් විය හැකිය. පාසල් ගොස් මිතුරන් ඇසුරු කිරීම, ක්‍රීඩා කිරීම, ගුරුවරුන් ඇසුරු කිරීම, කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීම යනාදිය ගිලිහී යාම ඊට හේතුවයි. ඔන්ලයින් මගින් අධ්‍යාපනය ලබා දුන්නත් ඉහත කී කාරණා ඔවුන්ගේ ජීවිතයට එකතු වන්නේ නැත. එය දරුවන්ගේ පෞරුෂත්වයේ වර්ධනයට බාධාවකි. දරුවන්ගේ කුසලතා වර්ධනයට බාධාවකි. දරුවන් නිවෙස් තුළට කොටු වී බාහිර සමාජයෙන් ඈත් වී ඔන්ලයින් වලට පමණක් යොමු වීම කිසි සේත් සුදුසු නොවන බව මනෝ වෛද්‍ය විශේෂඥවරුන් පෙන්වා දෙන්නේ එමනිසාය. මෙම හේතුන් නිසාම දරුවෝ හිසේ කැක්කුම, බඩේ කැක්කුම ගැන මැසිවිලි නැඟීමට පෙලඹෙති. ඇතැම් දරුවන් තුළින් තරහ යෑම, නින්ද නොයෑම, දෙමව්පියන් පවසන දේට විරුද්ධව වැඩ කිරීම වැනි ගති ලක්ෂණ පළවෙන්නේ ඔවුන්ගේ මානසික පීඩනය නිසා ය. පවුලේ අය දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීම, දරුවන්ව වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කර ගැනීම, ක්‍රීඩා කිරීම, කතාන්දර කියාදීම, ඔවුන් සමඟ හොඳ සංගීතයට සවන්දීම චිත්‍රපට නැරඹීමට යොමු වීම තුළින් දරුවන්ගේ මානසික පීඩනය යම් මට්ටමකින් පාලනය කළ හැකිය. ඒ අතරේදී ඔවුුන් පරිගණකයට, ස්මාට් දුරකතනයට ඇබ්බැහි වීමෙන් ගලවා ගැනීම ද වැඩිහිටියන්ගේ වගකීමකි. නැතහොත් Internet Games Adic තත්ත්වයට පත්විය හැකිය. එය දරුවන්ට ප්‍රතිකාර කළ යුතු මට්ටමේ තත්ත්වයකි.

වර්තමානයේ රෝහල් ධාරිතාව ඉක්මවා කොවිඩ් රෝගින් වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය සේවකයන් ද බරපතළ මානසික ආතතියකට මුහුණදී සිටින බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෞඛ්‍ය සේවකයන්ට දින සති ගණන් අඛණ්ඩවම සේවය කිරීමට සිදු වීම කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් කොවිඩ් රෝගයට ගොදුරු වීම, නිවෙස් කරා ගියද නිවසේ සිටින සිය ආදරණීයන්ට කොවිඩ් වයිරසය ශරීරගත වේ දැයි යන බිය වැනි හේතූන් ඔවුන්ගේ මානසික පීඩනය වැඩි කිරීමට සමත් වී තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය, කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව අධ්‍යයන අංශාධිපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය මනුජ් සී. වීරසිංහ

 

“පොදු සමාජය තුළ කොවිඩ් භීතිකාව ඇති කිරීම ගැන නම් ජනමාධ්‍ය වග කියන්න ඕනෑ. අද ප්‍රවාත්ති බලන්න ගියාම මොනවද පෙන්වන්නේ කොවිඩ් රෝගින් රෝහල් තුළ ඉන්න හැටි, මිය ගිය කොවිඩ් සිරුරු ආදාහනය කරන හැටි වගේ දේවල්. සමහර වෙලාවට මෝචරිය පවා ප්‍රදර්ශනය කරනවා. මේවා දකින සාමාන්‍ය ජනතාවගේ බිය දහපහළොස් ගුණයකින් වැඩි වෙනවා. ඔවුන් තුළ ඇති වන බිය නිසාම ඊට පසුව ඔවුන් බලන්නේ ම ඒ වගේ ප්‍රවෘත්ති. අන්තර්ජාලයෙන් මුහුණු පොතෙන් හොයන්නේ ම කොවිඩ් ගැන. ඒවායේ බෙහෙත් වට්ටෝරු බොනවා. වැළැකීමේ ක්‍රම අනුගමනය කරනවා. අඩු ගණනේ මේවායේ නිරවද්‍යතාව ගැනවත් හිතන්නේ නැහැ.“ යනුවෙන් සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය ය.

ඔහු තවදුරටත් සඳහන් කළේ කොවිඩ් රෝගයට ගොදුරු වන සමස්ත ජනගහනයෙන් මිය යන සංඛ්‍යාවේ ප්‍රතිශතය (Fatality Ratio of covid) ගැන ජනතාව අවධානය යොමු කිරීම වඩා වැදගත් බවයි. ලෝක ජනගහනෙයන් කොවිඩ් ආසාදනය වූ ප්‍රමාණය දළ වශයෙන් මිලියන 216කි. මිය ගිය සංඛ්‍යාව මිලියන 4.5 කි. එහි ප්‍රතිශතය 2% කි. ලංකාවේ කොවිඩ් ආසාදනය වූ සංඛ්‍යාව 4,36,081 කි. මිය ගිය සංඛ්‍යාව 9185 කි. එහි ප්‍රතිශතය 2.1% කි. ඉන් ගම්‍ය වන්නේ කොවිඩ් වැලඳී මිය යන පිරිස ඉතා සුළු සංඛ්‍යාවක් බවයි. ලක්ෂ 4 කට ආසන්න පිරිසක් සුවපත් වුවද ඒ පිළිබඳව සිතන්නට ජනතාව පෙලඹී නොතිබීම කනගාටුවට කරුණකි. ජලභීතිකාවට ගොදුරු වීමෙන් මරණය අත්වීම 100%ක් තහවුරු කළ හැකි වුවද කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් මරණය අත්විය හැකි සම්භාවිතාව පවතින්නේ 5% ක් වැනි ඉතා අඩු මට්ටමක බව පැහැදිලි කළ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය පෙන්වා දෙන්නේ මෙහි වගකීම ජනමාධ්‍ය විසින් බාර ගත යුතු බවයි.

“මිනිසාගේ සිතිවිලි ක්‍රියාකාරිත්වය ගැන සලකා බලන විට තාර්කික බුද්ධිය, තීරණ ගැනීම, නව නිපැයුම් සොයා ගැනීම වැනි කටයුතු සඳහා ක්‍රියා කරන්නේ මොළයේ මස්තිෂ්ක බාහිකය. බය, සතුට, දුක, තැති ගැනීම වැනි සංවේදි හැඟිම් සඳහා ක්‍රියා කරන්නේ මොළයේ ලිම්බික් (Limbic) පද්ධතිය. අපි හැමතිස්සෙම බයෙන් තැති ගැනීමෙන් හිටියොත් අපේ ලිම්බික් පද්ධතිය තැති ගන්නවා. ලිම්බික් පද්ධතියේ ඇති බය, තැති ගැනීම මොළයේ මස්තිෂ්ක බාහිකයට බෝ වෙනවා. ඊට පස්සේ මස්තිෂ්ක බාහිකයට පෙනෙන්නේ තැති ගැනීමට අදාළ දේවල් විතරයි. මස්තිෂ්ක බාහිකය තෝරා ගන්නේම බයවෙන දේවල් විතරයි. ඊටපස්සේ පුංචි දේටත් ලොකුවට බය වෙනවා. කොවිඩ් වසංගතයට බය වෙලා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පිළිපැදීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. ඒත් අසීමිත ආකාරයට බය වීම හොඳ නැහැ. එය මානසික හා කායික වශයෙන් ගැටලු රාශියක් ඇති කිරීමට හේතු වෙනවා.“ යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය විද්‍යාත්මක ආකාරයට පැහැදිලි කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මාධ්‍ය හමුවක දී අනාවරණය කළේ කොවිඩ් රෝගයෙන් අත්මිදීමේ අරමුණින් විටමින් වර්ග හා ප්‍රතිජීවක ඖෂධ ගැනීම නිෂ්ඵල කටයුත්තක් බවයි. එවැනි ඖෂධ අවභාවිතය නිසා ඖෂධ ප්‍රතිරෝධයන් පවා ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

“කොවිඩ් හැදුණොත් මැරෙයි කියලා බය කරන්න මිනී පෙන්විය යුතු නැහැ. ඒත් අපේ රටේ සමාජ රටාව කොහොමද, ඒ අය වැඩ කරන්නේ කෙහොමද කියලා බලලා තමයි අපිට තීන්දු, තීරණ ගන්න වෙන්නේ. ජනතාව අනවශ්‍ය ආකාරයට භීතියට පත් කිරීම මානසික හා කායික රෝගවලට හේතුවක්. එහෙම කියලා කොවිඩ් කියන්නේ හෙම්බිරිස්සාව වගේ සුළු අසනීපයක් කියලා සාමාන්‍යකරණය කරන්න බැහැ. අපේ රටේ සාක්ෂරතාව ඉහළ අගයක් ගත්තාට ප්‍රායෝගික ව්‍යවහරය නම් හරි අඩුයි. අපේ රටේ වැඩි දෙනෙක් දැනුම එක්ක නොවෙයි වැඩ කරන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි සිංහල අලුත් අවුරුද්ද. අවුරුද්දට සාප්පු ගියා, නෑගම් ගියා, නුවරඑළියේ ගියා. දැනුමෙන් වැඩ කරනවා නම් ඒ විදිහට හැසිරෙනවාද? කොවිඩ් හෙම්බිරිස්සාව වගේ සාමාන්‍යකරණය කළොත් මිනිස්සු වගකීමෙන් හැසිරෙයි කියලා හිතනවාද? මුඛ ආවරණය දමන්නේ පොලිසියෙන් අල්ලන නිසා. මම නෙමෙයි මැරුණේ කියලා සාමාන්‍ය විදිහට හැසිරෙන පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. මඟුල් ගෙදරක යනකොට දන්නවා කොවිඩ් හැදෙනවා කියලා. ඒත් ගිහිල්ලා එකට කනවා බොනවා. සමාජ වගකීම ගන්න මේ අය කැමති නැහැ. මේ වගේ සමාජ රටාවකදි නිරෝධායන ඇඳිරිනීතිය දැමීම ගැන, ජනතාව භීතියට පත් කිරීම ගැන මුකුත් කියන්න බැහැ.“ යනුවෙන් සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව අධ්‍යයන අංශාධිපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය මනුජ් සී. වීරසිංහ ය.

මහාචාර්ය මනුජ් සී. වීරසිංහ පැහැදිලි කළ කාරණයේ සත්‍ය අසත්‍යතාව පසක් වන්නේ මහමඟට පිවිසි විටදී ය. පොදු ප්‍රවාහන සේවා හැර අනෙක් සියලු ම වාහන මහමඟ ගමන් කරයි. මෙසේ ගමන් කරන සියලුමදෙනා අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත වන අය යැයි අපි විශ්වාස කරමු. නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ මේ සා කැප වීමෙන් රාජකාරිවල යෙදෙන ජනතාවක් අපේ රටේ සිටියදී අපේ රට දියුණුවේ හිණිපෙත්ත කරා ළඟා නොවුණේ මන්දැයි සිතා ගත නොහැකිය.

 

 

 

 

 

Comments