කොවිඩ් බිලිගත් මිනුවන්ගොඩ ‘සිස්ටර් අම්මා’ | Page 3 | සිළුමිණ

කොවිඩ් බිලිගත් මිනුවන්ගොඩ ‘සිස්ටර් අම්මා’

ගිලන් සිත සනසන්න -නිබඳ සුව සදන්නට 
කැප වුණේ ඔබ නිතින්- පෙන්වමින් ගුණ දහම්

යන්න තව දුර තිබියදී- ලෝ දහම මේ යැයි කියා දී 
නික්ම ගියේ ඔබ සමු නොදී -හෙද සොයුරියේ, 
ඔබේ ගුණ සමුදාය -ඇත අප හද තුළ රැඳී

මේ මිනුවන්ගොඩ මූලික රෝහලට පිවිසෙන මාර්ගයේ වූ බැනරයක සඳහන් වූවකි. එම බැනරය දෙස නිමේෂයක් දෑස් අයා බලා සිටින බොහෝ දෙනෙකුගේ නෙතඟට කඳුළක් උනන්නේ නිරායාසයෙනි. ඒ, ඇය සුවහසක් රෝගීන් සුවපත් කිරීම උදෙසා කළ මහඟු සේවය නිසාවෙනි. විටෙක මවක් මෙන් විටෙක සොයුරියක මෙන් රෝගීන්ටත් සහෝදර සේවක මණ්ඩලයටත් අනූපමේය සේවාවක් කළ හෙද සොයුරියගේ අකල් වියෝවෙන් පවුලේ හිතෛෂින් ඇතුළු මිනුවන්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලය පමණක් නොව ඇයගෙන් ඇප උපස්ථාන ලද සුවපත් වූ රෝගීන් සිය දහස් ගණනක් කම්පා වෙති.

මිනුවන්ගොඩ රෝහලේ හෙද සොයුරියක වූ 56 හැවිරිදි ඉන්දු අමරසිංහ මහත්මිය පසුගිය 26 වැනිදා අයිඩීඑච් රෝහලේදී මෙලොව හැර ගියාය. ඒ රුදුරු කොරෝනා මාරයාට ගොදුරු වූ තවත් සුව විරුවකු ලෙසිනි.

සිය දහස් ගණනක් කොරෝනා රෝගින් සුවපත් කිරීමට කැපවූ ඉන්දු හෙද සොයුරියටද අවසානයේ කොවිඩ් වැලඳි මිනුවන්ගොඩ රෝහල් සයනයකටම ගෙවන්නට වීම කොරෝනා මාරයාගේ බියකරු බව කියාපාන්නට තවත් සාක්ෂි අවැසි නොවේ.

පසුගිය 7 වැනිදා හෙදි සොයුරි ඉන්දු සහ ඇයගේ සැමියා වන කේ. එම්. කරුණාරත්නත් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබුණේ මිනුවන්ගොඩ මූලික රෝහලටයි. එහිදී දින හතක පමණ කාලයක් එනම් පසුගිය 14 වැනිදා දක්වා මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ හෙද සොයුරිය කොවිඩ් රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමඟ වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර තිබුණේ කොළඹ අයි.ඩී.එච් රෝහල වෙතයි. එහි දින 12ක පමණ කාලයක් කොවිඩ් මාරයා සමඟ සටන් කළ ඉන්දු හෙදි සොයුරියගේ ජීවිතය කොවිඩ් මාරයාට පරාජය වූයේ ඉතාම අවාසනාවන්ත ලෙසිනි.

මේ වන විට මෙරට සුව විරුවන් සිවුදෙනෙකු කොවිඩ් මාරයා බිලිගෙන අවසානය. ඒ අතර එකම හෙද සොයුරිය ඉන්දු අමරසිංහයි.

වසර 37ක පමණ හසළ අත්දැකීම් සහිත සේවා කාලයක් සපුරා සිටි ඉන්දු හෙද සොයුරිය මියයන මොහොත වනතුරුම රෝගීන් වෙනුවෙන් දිව රෑ කැපව සිටි හෙදි සොයුරියකි. 2020 මාර්තු මාසයේ කොරෝනා මෙරට ආක්‍රමණය කිරීමට සැරැසෙද්දීම මිනුවන්ගොඩ මූලික රෝහලද කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා වෙන් කිරීම වෙනුවෙන් අලුත්වැඩියා කිරීමට කටයුතු කෙරිණි. එහිදී එම අලුත්වැඩියා කටයුතු සඳහා පැමිණි වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන්ට ඉන්දු හෙදි සොයුරියගෙන් ලැබී තිබුණේ අනූපමේය සහායකි.

රෝහල අලුත්වැඩියා කටයුතුවලට පැමිණි ඇතැම් නාවික සාමාජිකයන්ද පසුව ඇතිවූ නාවික හමුදා කොවිඩ් පොකුරේදී ආසාදිත වීමත් සමඟ ප්‍රතිකාර සඳහා යොමු කෙරුණේ මිනුවන්ගොඩ රෝහල වෙතටයි. නාවික හමුදා සාමාජිකයන් ඇතුළු බොහෝ රෝගීන් අතර ‘සිස්ටර් අම්මා‘ ලෙස ප්‍රකටව සිටි ඉන්දු හෙදි සොයුරිය රෝගී වූ නාවික නිලධාරින් ඇතුළු සියලුම කොවිඩ් ආසාදිතයන්ට කෑමබීම, පලතුරු ආදි නොයෙක් දෑ රැගෙන එමින් රෝගීන් සුවපත් කිරීමට බොහෝ සේ කැපවිණි. සුවපත් වී ගිය බොහෝ රෝගීන් ඇයට තිළිණ කළ සමරු තිළිණ, ලිපි ලේඛන බොහොමයක ඇය හඳුන්වා දී තිබුණේ ‘සිස්ටර් අම්මා‘ ලෙසිනි. ඒ ඇය රෝගීන්ට කැපවූ තරමේ මහිමය කියාපාන්නට කදිම සාක්ෂි වේ.

මිනුවන්ගොඩ, යටියන, සමඟි මාවතේ 361/4 දරන නිවෙසේ විසූ ඉන්දු හෙද සොයුරිය සහෝදර සහෝදරියන් සයදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියායි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. 27 හැවිරිදි වැඩිමහල් දියණිය බිම්ෂානි කරුණාරත්න රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවකි. 22 හැවිරිදි බාල පුත් ටරින්ද කරුණාරත්න රත්මලානේ බිස්කට් නිෂ්පාදිත ආයතනයක සේවයෙහි නිරතව සිටී. පෞද්ගලික ආයතනයක රැකියාව කොට විශ්‍රාම දිවිය ගෙවන ඉන්දු හෙද සොයුරියගේ සැමියා වන කේ.එම්. කරුණාරත්න සිය බිරියගේ අකල් වියෝව අදහාගත නොහැකිව සිටී.

“ඇය තමයි අපේ පවුලට හිටිය ශක්තිය. පවුලේ අයවලුන්ට වගේම ගමේ අයටත් පුදුමාකාර විදිහට සැලකුවා. රෝහලට ගිහින් බෙහෙත් ටික ගන්න අපහසු රෝගීන්ට නිවෙසටම බෙහෙත් ගිහින් දුන්නා. ඇය උදවු කළ බොහෝ දෙනෙක් ඇයගේ වියෝව දන්නෙ නැහැ... දැනගත් බොහෝ දෙනෙක් කියන්නෙ, ‘අනේ සිස්ටර්ට වුණ දේ ගැන අදහගන්නත් බෑ‘ කියලා. අපි හැමෝගෙම පරිස්සම ගැනයි එයා හිතුවේ. අන්තිමට එයාම කොවිඩ් මාරයා අරගෙන ගියා.

හැමදාම රෝහලේ ඉඳලා එනකොට යුනිෆෝම් එක වෙනමම බෑග් එකක ඉතාම පරෙස්සමට ගෙනල්ලා හෝදලා, නාලා පිරිසුදු වෙලයි ගේ ඇතුළට එන්නෙ. දැඩි සේ පරිස්සම් වුණත් මේ මාරයා කොහොමහරි අපේ ඇඟට රිංගුවා. අපි බෙහෙතුත් විදලා හිටියේ. මටයි බිරිඳටයි දෙන්නටම කොවිඩ් හැදුණා. අපේ ළමයි ගෙදර හිටියෙ නැති නිසා බේරුණා.

මම හොඳ වෙලා ගෙදර ඇවිත් නිරෝධායනය වුණා. අපිට කොවිඩ් හැදිලා 7 වැනිදා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වුණේ. කොහොමහරි 14 වැනිදා වෙනකොට ඇයට හුස්ම ගැනීමේ අපහසුතා මතුවෙලා අයිඩීඑච් රෝහලට මාරු කළා. දවස් 12ක් ඒ රෝහලේ හිටියා. අන්තිමට පහුගිය 26 වැනිදා බිරිඳ නැතිවුණා. මේ වෙච්ච දේ මට තවමත් හිතාගන්න බෑ... අපි සියලු දෙනාටම උපදෙස් දෙමින් කොවිඩ් මාරයාගේ භයානකත්වය කියලා දුන්නෙ ඇය. ඒත් අන්තිමට කොවිඩ් මාරයාට ඇයම ගොදුරු වුණා.“

කොළඹ හෙද විදුහලෙන් හෙද පුහුණුව ලබා ජාතික රෝහලේ හෙදියක ලෙස සේවය ආරම්භ කළ ඉන්දු හෙද සොයුරිය ත්‍රස්තවාදී යුද සමයේදී දැඩි සේ කාර්යබහුල ජාතික රෝහලේ 44 සහ 74 වාට්ටුවල සේවය කරමින් යුද්ධයෙන් තුවාල ලත් හමුදා සාමාජිකයන් ඇතුළු පිරිස සුවපත් කිරීමට මහත් වෙර වීර්යයෙන් කැපවූ හෙද නිලධාරිනියකි.

ජාතික රෝහලෙන් ගම්පහ රෝහලට ස්ථාන මාරු ලැබ පැමිණ අනතුරුව 2001 වසරේදී පමණ මිනුවන්ගොඩ රෝහලට ස්ථාන මාරු ලැබ පැමිණි ඇය බොහෝ කාලයක් සේවය කර තිබුණේ මිනුවන්ගොඩ රෝහලේ 2 වැනි වාට්ටුව බාරවයි. පසුව මිනුවන්ගොඩ රෝහල කොවිඩ් රෝහලක් බවට පත් කිරීමත් සමඟ ඇය බොහෝ කාර්යබහුල වී තිබුණේ සිය ගණනක් කොවිඩ් රෝගීන් සුවපත් කිරීම උදෙසා රෝහලේ බොහෝ සේවාවන්ට ඇයටද සම්බන්ධ වීමට වූ හෙයිනි. එලෙස වසර එකහමාරක් පමණ කාලයක් පුරාවට මිනුවන්ගොඩ රෝහලෙන් ප්‍රතිකාර ලැබ සුවවී ගිය කොවිඩ් රෝගීන් සිය දහස් දෙනෙකුගේ ජීවිත සුවපත් කිරීමට කැපවූ ඉන්දු හෙද සොයුරියගේ වියෝව රෝහල් කාර්ය මණ්ඩලයට වූ පිරිමැසිය නොහැකි පාඩුවකි. රෝහලේ දියුණුවටත් රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් ඉමහත් සේවාවක් කළ ඇය පිළිබඳව මිනුවන්ගොඩ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි සන්ධ්‍යා සේනානායක පවසන්නෙ,

“ඇත්තටම ඇය අවුරුදු 37ක් තරම් දීර්ඝ සේවා කාලයකට හිමිකම් කියූ අත්දැකීම් බහුල හෙද සොයුරියක්. දවසේ වැඩ උදේ 7ට ආරම්භ කළ මොහොතේ සිටම රාජකාරි අවසන් කරන වෙලාවක් ඇයට තිබුණේ නෑ. එක දිගටම ඇය රෝගින් වෙනුවෙන්ම කැපවූ හෙද සොයුරියක්. මට මතකයි අපි නාවික හමුදා සාමාජිකයන්ගෙන් තමයි කොවිඩ් රෝගින්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ. ඇය ඒ රෝගීන්ට ගෙදරින් කෑම ටික හදාගෙන, පලතුරු ටික අරගෙන ගෙනත් දීපු වාර අනන්තයි.ඇය රෝගීන්ගේ දුක හොඳින්ම හඳුනගෙන සිටි විශිෂ්ට ගණයේ හෙද සොයුරියක්...“

අපමණ ලෙස රෝගී ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් දිවියම කැප කළ අතරේ ඉන්දු හෙද සොයුරිය දූ දරුවන් උස්මහත් කිරීමටද මහත් වෙහෙසක් ගත් තැනැත්තියකි. සොරු අරන් ගියාක් මෙන් ඇය නොසිතූ නොපැතූ මොහොතක නික්ම යෑම ඉන්දු හෙද සොයුරියගේ දියණියට වාවාගත නොහැකි දුකකි. සිය මව ජීවිතයේ සිටිය යුතුම අවදියේ නික්ම යාම පිළිබඳව ඇයට තිබෙන්නෙ ඉමහත් වූ කම්පාවකි.

“මිනුවන්ගොඩ රෝහල කොවිඩ් රෝහලක් ලෙස අලුත්වැඩියා කිරීමට පටන් ගැනීමත් සමඟ අම්මා බොහෝ කාර්යබහුල වුණා. ඒත් අම්මා හැම දෙයක් ගැනම, හැම කෙනෙක් ගැනම හොයලා බැලුවා. කිසිම දෙයක් මඟ හැරෙන්න දුන්නෙ නෑ. අපි අද යම් තැනක ඉන්නවානම් ඒ අම්මගේ බොහෝ කැපවීම් නිසා.මට මගේ ලෝකෙම නැතිවුණා වගේ...“

ඉතාම නිවැරැදි ක්‍රමවත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ටත් කොවිඩ් මාරයාගෙන් ගැලවීමක් නොමැති බව මිනුවන්ගොඩ රෝහලේ හෙද සොයුරියක කොරෝනා මාරයා ඩැහැ ගැනීමෙන් ගම්‍ය වන සත්‍යයයි. එම නිසා සුව විරුවන් ඇතුළු සියලු දෙනාම ‘හැම මොහොතකම පරිස්සම් වන්න.‘ එය අපගේ එකම පැතුමයි.

Comments