
• වැටුප් සංශෝධන ක්‍රියාත්මක වන තෙක් රුපියල් 5000 ක දීමනාවක්
• 2021 නොවැම්බර් 20 දිනට පෙර ගුරු විදුහල්පති සංවෘත සේවාවක් බවට
• දුෂ්කර පළාත්වල ගුරු සහ විදුහල්පතිවරුන්ට විශේෂ දීමනාවක්
• ගුරු හා විදුහල්පති අභිමානය රැකෙන පරිදි අංග සම්පූර්ණ පහසුකම්
• අධ්‍යාපන විද්‍යාපීඨ 18 ක් විශ්වවිද්‍යාල පීඨ බවට
• ලබන සඳුදා සිට ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරෙනවා
කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ අරටුව බඳු දරුවන්ගේ අධ්‍යාපනයේ සිදු වූ දැවැන්ත බිඳ වැටීම මේ වන තෙක් කිසිවෙකුටත් ගණනය කළ නොහැකි වූ පාඩුවකි. එක් පැත්තකින් සෞඛ්‍ය වෙනුවෙන් දැඩි වෙහෙසකාරී ගමන් මඟක යද්දී අනෙක් පසින් මේ අසීරු අභියෝගය ජය ගැන්මට රජය අවස්ථා ගණනාවකදි දැවැන්ත ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නැංවූයේ පාසල් විවෘත කිරිමේ මං දිනෙන් දින වැසෙද්දීය.
මෙහිදි රජයට ගතහැකි එකම විසඳුම වූයේත්, ලොව මේ වන විට ගන්නා එකම විසඳුම වූයේත් නවීන තාක්ෂණය භාවිත කරමින් දරුවන්ව මාර්ගගත අධ්‍යාපනයට ප්‍රවේශ කිරීම පමණි. මෙහිදි රජයක් වශෙයන් කළේ සිය වගකීම ඉටු කරමින් ගුරුවරුන්ගේ වැටුපට කිසිදු අත පෙවීමක් සිදු නොකොට නවීන තාක්ෂණය භාවිත කරමින් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමය. සමස්ත ලෝකයා මෙන්ම මේ වන විට කොවිඩ් වසංගතයේ දරුණුම අවස්ථාව පසුරමින් සිටින ලංකාව දැඩි ආර්ථික අවපාතයකට ලක්ව සිටින මොහොතක මීට මාස දෙකකට පෙර ලංකාවේ සමස්ත ගුරුවරු හා විදුහල්පතිවරු ඔන්ලයින් ඉගැන්වීම් ඇතුළු සමස්ත අධ්‍යාපන ක්‍රියාවලින්ගෙන් බැහැර වූයේ සිය වෘත්තිය වැටුප් අරගලයට එක් වෙමිනි.
ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් වූ අතර ඊට ඇතුළත් වූයේ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, පරිසර ඇමැති මහින්ද අමරවීර හා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගය.
එම වාර්තාව ජනාධිපති, මුදල් ඇමැති මෙන්ම අමාත්‍ය මණ්ඩලයටද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගුරු වෘත්තීය සංගම් වෙත ඉදිරිපත් කලද ගුරු වෘත්තිය සමිති එයත් ප්‍රතික්ෂේප කළේ ඉතාමක් ආකාරුණික අන්දමිනි.
ගුරු වෘත්තිය සංගම් මේ අමාත්‍ය මණ්ඩල අනු කමිටු යෝජනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ “සුබෝධනී“ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙසයි. වසර ගණනක් පුරාවට ඇඳෙමින් පැවති ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වූ “ පී.කේ.එස් සුබෝධනී “ මෙනෙවියගේ සභාපතිත්වයෙන් හා අධ්‍යාපන විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ විසින් පිහිටවූයේ 2020 දෙසැම්බර් මාසයේය. ඔවුන් විසින් අධ්‍යයන කිරීමෙන් අනතුරුව වාර්තාවක් නිකුත් කළ අතර, මේ වාර්තාව සම්බන්ධයෙන් වැටුප් කොමිසම් සභාවද සිය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත්තේ ඇතිවිය හැකි තත්ත්වයන් සොයා බලාය. එම යෝජනාවලියෙන් ඔවුන් මතු කර දැක්වූයේ මෙහි පාදක කරුණු සාධාරණ නොවන බවත්, 1995 වසරේදි ඇති වූ ආකාරයෙන් සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විෂමතාවක් මේ හරහා ඇති විය හැකි බවත්ය.
ඒ කෙසේ වෙතත් මෙම අමාත්‍ය මණ්ඩල කමිටුවේ නිර්දේශය වූයේ “සුබෝධනී“ වාර්තාවේ වූ නිර්දේශ පදනම් කර ගන්නා බවත්, එසේ වුවද ආර්ථිකයට විශාල අභියෝගයක් වූ මේ මොහොතේ එවැනි විශාල වැටුප් වැඩි කිරීමකට යා නොහැකි හෙයින් 2022 අයවැය යෝජනාවක් මඟින් මෙය ආරම්භ කර අදියර ගතව වසර කිහිපයක් තුළදී ක්‍රියාත්මක කිරීමට සුදුසු බවය. 2022 අයවැය යෝජනාවක් මඟින් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනු කමිටුව විසින් නිර්දේශ කරන ලද වැටුප් සංශෝධන ක්‍රියාත්මක කෙරෙන තෙක්, විශේෂ දීමනාවක් ලෙස සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරි කරන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා 5000 ක් ලබා දීමටද යෝජිතය. රජය එවන් තීරණයකට පිවිසියේ රුපියල් බිලියන 70 කට ආසන්න පිරිවැයක් මේ වෙනුවෙන් දරන්නට සිදුවීම මේ අවස්ථාවේ කුමන රජයකට වුවද දරා ගැනීමට නොහැකි නිසාය. මෙම වැඩිවීම ලංකාවේ පාසල් පද්ධතියේ වූ 250,000 කට ආසන්න ගුරුවරුන්ටද, 16,512 කට ආසන්න විදුහල්පතිවරුන්ටද, ගුරු අධ්‍යාපනඥ හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් 5000 කට අසන්න ප්‍රමාණයකටද අදාළ වෙයි.
මෙම සාකච්ඡාවේදී අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගුරුවරුන්ගේ පවතින තවත් ගැටලු කිහිපයක හඳුනා ගත්තේ ය. ගුරු විදුහල්පතිවරුන්ට පසුගිය කාලයේ වැටුප් වර්ධක නිසි කාලයට නොලැබීම, ගුරු උසස් විම් ප්‍රමාද වීම, ගුරු සහයකවරු ගුරු සේවයට ස්ථීර කිරීම් ප්‍රමාදවීම, විදුහල්පතිවරුන්ට පාසල් පරිපාලනයේදි විඳින්නට සිදුවන ගැහැට මෙන්ම නිසි ඇඟයිම්වලින් තොරවීම ඒ අතර කිහිපයකි.
ගුරු විදුහල්පතිවරුන් තුළ පවත්නා මෙම කලකිරිම් කමිටුව එකාවන්ව පිළිගෙන ඇති අතර ඊට විසඳුම්ද ඔවුන් විසින් ඉදිරිපත් කළේ මෙම ශ්‍රේෂ්ඨ ගුරු පරපුරට කරන ගෞරවයක් වශයෙනි. ගුරු විදුහල්පතිවරුන්ගේ ප්‍රධානතම ඉල්ලීමක් වූ ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමේ ඉල්ලීම මෙහිදි කමිටුවේ විශේෂ අවධානයට යොමු වූ අතර
2021 නොවැම්බර් 20 දිනට පෙර එසේ සංවෘත සේවාවක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අවසරය හිමි වීම මේ වෘත්තීය අරගලයේදි ඔවුන් ලද එක් ජයග්‍රහණයකි. එසේම විදුහල්පතිවරුන්ගේ තවත් ඉල්ලීමකට විසඳුම් ලබා දෙමින් විදුහල්පති සේවා ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමටද තීරණය විය.
එපමණක් නොව දුෂ්කර පළාත්වල සේවය කරන ගුරු සහ විදුහල්පති සේවයේ නිලධාරින් සඳහා විශේෂ දීමනාවක් සහ අනිකුත් පහසුකම් ලබා දීම මෙන්ම දැනට විදුහල්පතිවරුන්ට ලබා දෙන දීමනාව කාලෝචිතව සශෝධනයට ලක් කිරීම මෙහිදි අනුමත විය. එසේම මාණ්ඩලික ශ්‍රේණියක් වන විදුහල්පති තනතුරු සඳහා අනිකුත් රජයේ මාණ්ඩලික නිලධාරින් වෙත ලබා දෙන දීමනා මෙන්ම කාර්යාලයිය පහසුකම් ලබා දීමටද තිරණය විය. එසේම විදුහල්පති හා ගුරු සේවයේ ශ්‍රේණි අතර වැටුප් වර්ධක විෂමතා ඉවත් කිරිම මෙන්ම ගුරු හා විදුහල්පතිවරුන්ගේ අභිමානය රැකෙන පරිදි මේ සේවාව ට අවශ්‍ය අංග සම්පූර්ණ පහසුකම් ලබා දීමටද තීරණය විය. වසංගතය පවතින කාලයේදි මාර්ගගත ඉගැන්විම් කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සොයා ගැනීමට සහනදායි ක්‍රමවේද ඉදිරියේදී හඳුන්වා දීමට ද තීරණය විය. අවසාන ඉලක්කයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාව උපාධිධාරීන් බවට පත් කිරීම අපගේ විශේෂිත අරමුණක් වේ. ඒ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ ලෙස පවත්වාගෙන යන පීඨ 18 ම විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීම මේ නිර්දේශ අතර වෙයි.
“සුබෝධිනී වාර්තාව පදනම් කර ගත් කැබිනට් පත්‍රිකාව පිළිගැනීමට කැබිනට් මණ්ඩලයට හැකියාවක් තිබුණේ නැහැ. එය වැටුප් කොමිෂන් සභාව විසින් ද වැටුප් වැඩි වීම පිළිබඳව ප්‍රතික්ෂේප කරන ලද නිර්දේශයන් ඇතුළත් වාර්තාවක්. එය සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් ඉදිරිපත් කරන ලද සුබෝධිනී වාර්තාව පිළිගත නොහැකි වූ නිසයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ, මෙම ප්‍රශ්නයට සාධාරණ, ඒ වගේම රජයට දරා ගන්න පුළුවන් විසඳුමක් යෝජනා කරන්න. රජයක් ලෙස මේ දුෂ්කර අභියෝගාත්මක අවස්ථාවේ තමන්ට ලබාදිය හැකි, ගුරු විදුහල්පතිවරුන්ට පිළිගත හැකි හොඳම විසඳුම ලබාදීමට කටයුතු කළා. එය පිළිගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පණ ගැන්වීමට පෙරට එන ලෙස ඉතා කාරුණිකව, ඉතාමත් බැගෑපත්ව මෙරට සමස්ත ගුරු විදුහල්පතිවරුන්ට දෙපා නැමැද ඇරයුම් කරනවා....“ ඒ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට පත් කළ අමාත්‍ය අනු කමිටු සාමාජික, කර්මාන්ත ඇමැති විමල් වීරවංශය.
මේ පිළිබඳව අධ්‍යාපන ඇමති දිනේෂ් මෙසේ කියයි.
“ගුරු වෘත්තීය සමිති කිහිපයක් පමණයි මේ අනු කාරක සභා වාර්තා තීරණ ප්‍රතික්ෂේප කළේ. ඔවුන් කියන්නේ මේ කරුණු පැහැදිලි නැති බවයි. ඒවා අපහැදිලි නම් අපි පැහැදිලි කර දීමට සූදානම්.
ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනවා, චක්‍රලේඛයක් නිකුත් වී නැති බවට. චක්‍රලේඛයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පවතිනවා. අපි මේ වන විට ඒ කටයුතු පියවරෙන් පියවර ආරම්භ කරමින් යනවා. සුළු පිරිසක් මෙසේ ප්‍රතික්ෂේප කර තිබියදි ගුරු විදුහල්පති බහුතරයක් අපිට සහයෝගය දක්වා තිබීමත්, ඔවුන් සේවයට වාර්තා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබීමත් හා දරුවන්ගේ නැවතුණු ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සුදානම්ව සිටිමත් අපි අගය කොට සලකනවා. ඒ අනුව මෙතෙක් නැවතුණු දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ලබන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සුදානමින් සිටින බවත්, ලබන අඟහරුවාදා සිටි රූපවාහිනි නාලිකා කිහිපයක් හරහා අධ්‍යාපන වැඩ සටහන් විකාශනය ආරම්භ කිරීමටත් කටයුතු යොදනවා.
මේ වන විට ලක්ෂ 6ක සිසුන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම් පසුවී තියෙනවා. ඊට හේතු වූ 160,000 ක සිසුන්ගේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු ඉදිරියේදී පවත්වා ගෙන යාමට බාධා නොකරන්න යැයි මම ගුරු සංගම් වලින් කාරුණිකව ඉල්ලා සිටිනවා.
1994 සිට වැටුප් විෂමතා ඉවත් කිරිමට විවිධ කමිටු වාර්තා ඉදිරිපත් කළත් මේ වන විට අපේ රජය ඊට පැහැදිලි තීරණයක් ලබා දුන්නා. මෙය දැවැන්ත ඉදිරි පියවරක්. සමහරුන්ට මෙය නොතේරෙනවා යැයි පැවැසීම විහිළුවට කරුණක්. මේ සඳහා වු චක්‍රලේඛය ඉදිරියේදි නිකුත් කරනවා. ඒ වගේම රුපියල් 5000 සඳහා වූ චක්‍රලේඛය ද නිකුත් කෙරෙනවා.
නොවැම්බර් මාසය වන විට ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරෙන අයවැය හරහා මෙම වැටුප් ප්‍රශ්නය නිරාකරණය කිරීම ආරම්භ කර අදියර 4 කදී මේ ප්‍රශ්නය නිරාකරණය කිරිමට රජය තීරණය කර තියෙනවා.
ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ හා ප්‍රාදේශීය අධ්‍යාපන ක්ෂේත්‍රවල පවතින කල්ගිය ගැටලු නිරාකරණය කිරීමටද විශේෂ කමිටුවක් පත් කෙරෙනවා.
අපේ අරගලය නවත්වන්නේ ඉල්ලීම් ලැබුණු පසුවයි
ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බොහෝ දෙනෙක් බලා සිටියේ වෘත්තිය සංගම් ඊට දක්වන ප්‍රතිචාරය කුමක්වේද යන්නයි. මේ සම්බන්ධ ගුරු විදුහල්පති වෘත්තිය ඒකාබද්ධ සමිති සන්ධානය පවසන්නේ මෙම යෝජනාව පිළිගත හැකි විසඳුමක් නොවන බවයි. තම සේවාවේ ගුණාත්මකභාවය, ගෞරවය හා ජීවන වියදමට සරිලන වැටුපක් හිමිවීමට ආරම්භ කළ මෙම අඛණ්ඩ සටන රුපියල් 5000 ට ලඝු නොකරන බවය. වසර 24ක් තිස්සේ කැබිනට් මණ්ඩල 5ක් වෙත තම ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත් අවසානයේ මෙම ඇමති මණ්ඩලයෙන්ද පිළිගත හැකි විසඳුමක් ලැබී නැති බව ඔවුන්ගේ චෝදනාවය. එසේම ගුරු හා විදුහපල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමි වූ නිර්දේශ චක්‍රලේඛයක් මඟින් ප්‍රකාශයට පත් කරන්නේ නම් වෘත්තීය ක්‍රියා මාර්ග අත්හැරීමටත්, සේවයට ගොස් අතපසු වු වැඩ කොටස් කර දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමටත් සුදානම් බව ඔවුහු පවසති.
•ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං
ගුරුවරුන්ගේ ගැටලු විසඳන බව ප්‍රකාශ කරමින් රජය ඉදිරිපත් කළ මෙම යෝජනාව ගුරු සංගම් ප්‍රතික්ෂේප කරනවා. ඇමැති අනු කාරක සභාව යෝජනා කරන 2018 වැටුප් යෝජනාව සුබෝධනි කමිටු වාර්තා කොටසක් ලෙස ගෙන එන ලෙසට පසුගිය 26 වැනිදා ගුරු විදුහල්පති සංගම් නව අධ්‍යාපන ඇමැතිවරයා හමු වී යෝජනා කළා. එහෙත් ඇමැතිවරයා, අනු කාරක සභාව හෝ කැබිනට් මණ්ඩලය එම යෝජනාව සැලකිල්ලට ගෙන නැහැ. ආණඩුව වෘත්තිය සමිති ඉල්ලීම් නොසලකා කටයුතු කරන්නේ නම් ඔන්ලයින් වර්ජනයෙන් තවදුරටත් ඉවත් වෙමින් මෙම වෘත්තිය අරගලය ඉදිරියට ගෙනියනවා. අපිට මේ සම්බන්ධව ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැති සමඟ සාකච්ඡා කිරිමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලනවා. ගුරු විදුහල්පතිවරුන් ඇතුළු 2,60,000 එක් වූ ඉතිහාසයේ මෙම දැවැන්ත අරගලයට ප්‍රායෝගික නොවන විසඳුම් නොදෙන ලෙස රජයට දැනුම් දෙනවා. වැඩ කරන අයට පමණක් මසකට රුපියල් 5000 ක් දෙන බව කියා මේ අරගලය මොට කරන්නට රජය ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප කරනවා........“
•ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ
“ගුරු වෘත්තිය සමිති 26 වැනිදා අධ්‍යාපන ඇමැතිවරයා මුණ ගැසී සුබෝධනි කමිටු වාර්තාව මත පදනම් වූ විසඳුමකට යන ලෙසත්, එසේ කරන තුරු ඇමැති අනු කමිටු යෝජනා කළ 2018 වැටුප් යෝජනාව එකවර ලබා දෙන ලෙසත් ඉල්ලුවා . නමුත් ලැබුණේ නැහැ. පළමු පන්තියේ ගුරුවරයකුගේ වැටුප් විෂමතාව රුපියල් 31,225 ක් වුවත්, අනු කමිටුව ඉදිරිපත් කළේ රුපියල් 11,820 ක්. මෙය 2022 අයවැයෙන් ලබා ගැනීමට ගුරු සංගම් දුර්වල වී නැහැ. මෙය මුදල් කුට්ටියක් වෙනුවෙන් කළ සටනක් නොවෙයි. රටේ අධ්‍යාපනය වෙනුවෙන් කළ සටනක්. ඒ නිසා කැරට් අලයක් පෙන්වීමෙන් එය අඩපණ වන්නේ නැහැ. ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැතිවරය මැදිහත් වීමෙන් විසඳුමක් ලබා නොදෙන්නේ නම් වෘත්තිය ක්‍රියා මාර්ග අලුත් වෙමින් ඉදිරියට යනවා......“
•සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි
“ ගුරුවරුන්ට සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස සඳහා රුපියල් 5000 ක් ලබාදීම, අමාත්‍ය අනු කමිටු යෝජනා ලබන අයවැයෙන් ක්‍රියාත්මක වීම, නොවැම්බර්යේදි ගුරු විදුහල්පති සේවා සංවෘත සේවාවන් කිරීම තුළින් අපේ ඉල්ලීම් ඉටු වී නැහැ. සංවෘත සේවාවක් පිහිටුවීමේදී ගුරු විදුහල්පතිවරුන්ට අධ්‍යාපන පරිපාලන සේවයට යාමට ඇති ඉඩකඩ, හා විදුහල්පති සේවයට ගුරුවරු බඳවා ගැනීමේ ඉඩකඩ අහිමි නොකළ යුතුයි. ඒ නිසා සුබෝධනි වාර්තාව ක්‍රියාත්මක කර එහි කොටසක් ලෙස ඇමැති අනු කමිටු ක්‍රියාත්මක වන බවට වූ චක්‍රලේඛය නිකුත් කෙරෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ග අත් හරින්නේ නැහැ....“