ජාතික නාලිකාව අධ්‍යාපනය වෙනුවෙන් පෙරට එයි | Page 3 | සිළුමිණ

ජාතික නාලිකාව අධ්‍යාපනය වෙනුවෙන් පෙරට එයි

 

 

කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ පෙර ගමන තීරණය කරන අධ්‍යාපනය කණපිට පෙරළී, ලංකාවේ පාසල් වැසි ගොස් මේ වන විට වසර එකහාමාරකි. එහෙත් සියලු අභියෝගයන්ට අභියෝගයක් කරමින් කොවිඩ් වසංගතය හේතුවෙන් දොරගුරු වැටුණු පාසල් දරුවන්ගේ අනාගතයට මේ වන විට අරුණැල්ලක් වැටෙමින් පවතියි. පසුගිය කාලයේ විවිධ බාධා මධ්‍යයේ මාර්ගගත ඉගැන්වීම් හරහා ගෙවුණු පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පසුගිය මාසයකට අධික කාලයක් පුරාවට නැවතුණේ ගුරුවරුන්ගේ වර්ජනය නිසාය. මාර්ගගත ඉගැන්වීම්ද බොහෝ දුෂ්කර ගම් දනවුවල දරුවන්ට නොලැබෙන්නට වූ අතර, සමහරක් පාසල් දරුවන්ට අකුරු කරන්නට හැකිවූයේ ගස් වහල මතට නඟිමිනි.

 

මේ සියල්ල මධ්‍යයේ ලාබ ලැබීමේ අරමුණු සියල්ල පසෙක ලා තරඟකාරී මාධ්‍ය හරඹයෙන් මිදී ජාතික රූපවාහිනිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමේ ගමනකට මේ වන විට ආරම්භයක් සපයා ඇත්තේ ජාතික නාලිකාවක වගකීම පෙරටු කරමිනි. පසුගිය වසර තුළ ඊ තක්සලාව, ජාතික පාසලෙන් ආරම්භ වූ මේ අධ්‍යාපන පෙර ගමන් මඟ ලබන 23 දා සිට ගුරුතලාවෙන් ඉදිරියට ගොස් පාසල් ගමනට අත්වැලක් සපයන්නේය.

ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ ඊට ප්‍රාරම්භයක් සපයන්නේ මේ ආකාරයෙනි.

“ කොවිඩ් වසංගත සමයේ දරුවන්ගේ අධ්‍යාපනය පණ ගැන්වීම රජයේ වගකීමක් වුණා. එයට පිළියමක් ලෙස භාවිත කළ ඔන්ලයින් අධ්‍යාපනය ගම් නියම් ගම් දක්වා යාමේදි විවිධ බාධා මතු වුණා. දරුවන්ට සිග්නල් සොයා ගස් වහළ මතට නඟින්න සිදු වුණා. මේ අවස්ථාවේ කඩා වැටුණු දරුවන්ගේ අධ්‍යාපනය ගොඩ නංවන්න අයි, නේත්‍රා නාලිකා ඔස්සේ අපි ඉදිරියට ආවා. ඒ සියල්ල කළේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි කාලයක් ලබා දෙන්නට විවිධ රුපවාහිනි නාලිකා මැලි වූ යුගයකයි. වාණිජ අරමුණු පසෙක ලා දැයේ දරුවන් වෙනුවෙන් විශාල ජනප්‍රසාදයක් උරුම වූ නාලිකා දෙකක් වන රූපවාහිනි අයි නාලිකාව හා නේත්‍රා නාලිකාව පුරා පැය 18 ක් එකදිගට සිංහල හා ද්‍රවිඩ භාෂාවෙන් අධ්‍යාපන වැඩ සටහන් විකාශනය කළා. එය අදටත් ඒ ආකාරයෙන්ම සිදු කෙරෙනවා...“

මෙහිදී ප්‍රශ්න පත්‍ර සකස් කිරීම මෙන්ම විෂයමාලා සකස් කිරීම සිදුවූයේ ජාතික අධ්‍යාපන ආයතනය හරහාය. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලංකාවේ දක්ෂ හා ප්‍රවීණ ගුරුවරු ලබා දී මානව සම්පත් සැපයීය. තාක්ෂණය භාවිත කිරීම හරහා සිදුවූ මාර්ගගත ඉගැන්විම් ග්‍රහණය කර ගැනීමට අවස්ථාව නොලද දරුවන්ට මේ රූපවාහිනී වැඩසටහන් මහඟු අත්වැලක් විය. සැප්තැම්බර් මස 23 වැනිද සිට ඔවුන් තවත් විශාල අභියෝගාත්මක කර්තව්‍යකට මුල පුරමින් සිටිති. ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් විෂයමාලා අවරණය කර ගැනීමට නොහැකි වූ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන් වෙනුවෙන් පුනරීක්ෂණ විෂය ආවරණ වැඩ සටහන්ය.

“ කොවිඩ් හමුවේ මේ සියල්ල අභියෝගාත්මක වුවත් අපි ලබන සැප්තැම්බර් මස සිට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, වාණිජ ඇතුළු විෂයයන් 10 ක් ලංකාවේ සිටින ප්‍රවීණම පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු විසින් මෙහෙයවීම සිදු කරනවා. ගුරුතලාව නම් මෙම වැඩ සටහන හරහා සෑම සතියේ දිනකම සවස 2 සිට 4 දක්වා විකාශනය වෙනවා. මෙය ලේක්හවුස් ආයතනය සමඟ එකතු වී පූර්ව ප්‍රචාරක කටයුතු සිදු කෙරෙනවා. මීට අමතරව නැණ මිහිර නම් වූ ශිෂ්‍යත්ව දරුවන් සඳහා වෙන් වූ වැඩ සටහනත් සාර්ථකව ඉදිරියට කෙරීගෙන යනවා....“ඒ රූපවාහිනි සංස්ථා සභාපතිවරයාය.

මේ වන විට මෙම වැඩසටහන ඉදිරියට සාර්ථකව මෙහෙයවීම සඳහා අවබෝධතා ගිවිසුමද අත්සන් කොට ඇත. ලංකාවේ විෂය ප්‍රවීණ පෞද්ගලික උපකාරක පන්ති මෙහෙයවන ගුරුවරු විසින් ස්වේච්ඡාවෙන්ම සිදු කරන මෙම වැඩ සටහනට මේ වන විට පාඩම් 6000 කට ආසන්න ප්‍රමාණයක් අවසන් කොට ඇත.

සෞඛ්‍යයට දැඩි තර්ජනයක්ව පවතින මෙවන් වකවානුවක බාධක තරණය කරමින් යන ගමන සභාපතිතුමා ඇතුළු රුපවාහිනි සංස්ථාවේ නිලධාරීන්ට අභියෝගයකි. මේ සියල්ල අතරේ රූපවාහිනි අභ්‍යාස ආයතනයක්, නිෂ්පාදනාගාරයක් මෙන්ම සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඉදිරි අපේක්ෂිත අරමුණු අතර වන බව සභාපති රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

 

 

 

 

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ

 

 

Comments