
රත්නපුර දෑල ගම් පියසේ උපන් ලක්මිණි වාසනාගේ ළමාවිය ගෙවුණේ සිය වැඩිමහල් සොයුරිය සමඟ සෙල්ලමටම කාලය ගත කිරීමෙනි. වැලිබත් ඉවීමටත් ඔට්ටු සෙල්ලමටත් කැමැත්තක් දැක්වූ වාසනා, ඇගේ අක්කා සමඟ එකතු වී අහසේ දිදුලන තාරකා ගැන කවි ගැයුවාය. එහෙත් කිසිම දිනෙක ඇයට බැබළෙන තරු පෙනුණේ නැත. ගස්වල වසා සිටින කුරුල්ලන්ගේ කිචි බිචි නාදය ඔස්සේ ඈ කුරුල්ලන් පසුපස දිව ගියාය. එහෙත් පාට පාට කුරුල්ලන් ඈ දුටුවේ නැත. ඒ, උපතින් ම ඇගේ දෑස් නොපෙනෙන නිසා ය.
“මගේ ඇස් පෙනීම නැති වුණේ උපතින්මයි. ඒත් මගේ ඇස් පෙනෙන්නේ නැහැ කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මට ඒ ගැන දැනුණේ නැහැ. මම හිතාගෙන හිටියේ අනිත් ළමයිනුත් මම වගේම තමයි කියලා. ” යනුවෙන් පැවසුවේ ලක්මිණි වාසනා ය.
ඈ දෘශ්‍යාබාධිත දැරියක් බව ඇයට අවබෝධ වන විට යන්තම් වයස අවු. 12 ක් පමණ වන්නට ඇත. ඇගේ මවගේ ආදරයෙන් මුළු ලෝකයම පිරී ඉතිරී තිබීමෙන් ඇයට ඇගේ අඩුපාඩුව දැනුණේ නැත. මව ඈ පසුපසින් සිටියේ ඇගේ සෙවණැල්ල මෙනි. පනාගම බුළුගහතැන්න විදුහලෙන් අකුරු කරන්නට යනවිට මව ද පාසලට ගොස් පන්තියෙන් පිටතට වී සිටියාය. 3 වැනි පන්තියෙන් පසු රත්මලාන අන්ධ විද්‍යාලයට යනවිට මව ද රත්නපුරයේ සිට රත්මලාන බලා සේන්දු වී කුලී කාමරයක දිවි ගෙවමින් දියණිය රැක බලා ගත්තාය.
“දුවට මාස 6 ක් විතර වෙද්දී ඇස් කරකවලා අපි දිහෑ බලන්නේ නැහැ කියලා තේරුණා. ඒ පාර අපි දුවව දොස්තර මහත්තරුන්ට පෙන්නුවා. දොස්තර මහත්තරු දුවව පරීක්ෂා කරලා කිව්වා උපතින්ම අන්ධයි කියලා. එදා නම් පුදුමාකාර දුකක් දැනුණා. දුව කවදාවත් මුළුගැන්විලා හිටියේ නැහැ.” යනුවෙන් සඳහන් කළේ ඇගේ මව වන නිල්මිණි ය.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් අනතුරුව අ.පො.ස උසස් පෙළ හැදෑරීම සඳහා ලක්මිණි වාසනා පැමිණෙන්නේ රත්නපුර ශාන්ත ලූකස් විදුහලට ය. කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ඇය විෂයන් තුනටම A සාමාර්ථ 3 ක් ලබා ගනිමින් විභාගය සමත් වෙන්නේ දිස්ත්‍රික්කයෙන් 62 වැනියා වෙමිනි. ඉන්පසුව උසස් අධ්‍යාපනය සඳහා ඈ පිවිසෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටයි.
“මම උසස් පෙළට ඉගෙන ගන්නා කාලේ නම් බ්‍රේල් ක්‍රමයට සටහන් ලියා ගත්තා. බ්‍රේල් ක්‍රමයට උත්තර ලිව්වා. ඒත් විශ්වවිද්‍යාලයට ගියාම දේශන රෙකෝඩ් කරලා කොම්පියුටරයට දාගෙන අහලා තමයි විභාගවලට උත්තර ලිව්වේ. උත්තර ලියද්දී නම් බ්‍රේල් ක්‍රමයත් පාවිච්චි කළා. කොම්පියුටරෙන් ටයිප් කරලාත් උත්තර ලිව්වා. සිංහල විශේෂවේදී උපාධියට ඉගෙන ගන්නා විට පොත් ගොඩාක් කියවන්න තිබුණා. සමහර පොත් නම් කථන ග්‍රන්ථ විදිහට තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය වගේ ම ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ කථන ග්‍රන්ථ ව්‍යාපෘතිය යටතේ මම ගොඩාක් පොත් කියෙව්වා. ඒත් පුරාතන සාහිත්‍ය පොතපත කථන ග්‍රන්ථ විදිහට නැහැනේ. එහෙම වෙලාවට මගේ අම්මා තමයි ඒ පොත් කියෙව්වේ. සමහර වෙලාවට මගේ සරසවි මිතුරියනුත් පොත්පත් සටහන් එහෙම කියෙව්වා. මම ඒවා රෙකෝඩ් කරලා කොම්පියුටරයට දාගෙන අහලා මතක තියා ගන්නවා.” යනුවෙන් ලක්මිණි වාසනා සරසවි අධ්‍යාපනය සඳහා වෙහෙසවූ ආකාරය සිහිපත් කළාය.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය මුළුල්ලේ නේවාසිකාගාරයේ සිටි ලක්මිණි වාසනාට අත්වැල සැපයූ මිතුරියන් ගැන අංශු මාත්‍රයක් පැවසීමට මේ මොහොතේ දී ඈ අමතක කළේ නැත. නේවාසිකාගාරයේ සිට දේශන ශාලාවටත්, දේශන ශාලාවේ සිට ආපන ශාලාවටත් ඇයව කැටුව ගියේ ඇගේ සරසවි මිතුරියන් ය. එහෙත් සෙසු සිසු සිසුවියන්ට වඩා දෙගුණයකින් වෙහෙස වීමට සිදුවූයේ ඇගේ දෘශ්‍යාබාධිත බව නිසා ය. ඇගේ අවසාන වසරේදී කොවිඩ් වසංගතය රටම වෙළා ගත් බැවින් ඇයට දේශන සඳහා සහභාගි වීමට සිදුවූයේ පරිගණකය මඟිනි. අවසන් වසරේ පරීක්ෂණය ද පවත්වනු ලැබුවේ පරිගණකය හරහා වන බැවින් බ්‍රේල් ක්‍රමය අත්හැර පරිගණකයෙන් යතුරුලියනය කර මුළු විභාගයටම පිළිතුරු ලිවීමට ඇයට සිදුවිය. ලක්මිණි වාසනා සඳහන් කළේ එය අලුත්ම අත්දැකීමක් වූ බවයි. ඈ අභියෝගවලට සාර්ථකව මුහුණදී ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.
ලක්මිණි වාසනා සිංහල විශේෂවේදී උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයක් සහිතව සමත්වීම, ඈ ජීවිතයේ මෙතෙක් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය විය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයක් සහිතව සමත් වූ එකම දෘශ්‍යාබාධිත ශිෂ්‍යාව වන්නේ ලක්මිණි වාසනාය. මීට පෙර කිසිම දෘශ්‍යාබාධිත සිසුවෙක් හෝ සිසුවියක් සිංහල විශේෂවේදී උපාධිය යටතේ ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයක් හිමි කරගෙන තිබුණේ නැත.
“මම ලක්මිණි වාසනා ගැන කතා කරන්නේ හරිම සතුටින්. මේ දරුවා පළමු වැනි වසරේ ඉගෙන ගන්නා කාලයේ ඉඳලා මට මතකයි. ඊට විශේෂ සිදුවීමක් මුල් වුණා. මම පළමු වැනි වසරේ දරුවන්ට දේශන පවත්වන විට ප්‍රශ්න අහලා මම දරුවන් ළඟට ගිහින් මගේ මයික්‍රෆෝනය දෙනවා. එතකොට ඒ ළමයා නැඟිටලා මයික්‍රෆෝනය අරගෙන උත්තර දෙනවා. එක දවසකුත් මම ප්‍රශ්නයක් අහලා ලස්සන ඇස් දෙකක් තිබුණු ළමයෙක් ළඟ නැවතිලා මයික්‍රෆෝනය දුන්නා. ඒත් ඒ ළමයා එහෙම්මම ඉඳගෙන හිටියා. අනිත් ළමයිනුත් නොසන්සුන් වුණා. මම මේ ළමයාට තට්ටු කරලා කිව්වාම එයා මයික් එක අරන් නැඟිටලා හරිම නිරවුල්, පැහැදිලි විදිහට ව්‍යක්ත පිළිතුරක් දුන්නා. එදා තමයි මම දැනගත්තේ මේ දරුවාගේ ඇස් පෙනෙන්නේ නැහැ කියලා. ඒ දරුවා තමයි ලක්මිණි වාසනා. ඊට පස්සේ දෙවැනි අවුරුද්දේ ඉඳලා සිංහල විශේෂ උපාධිය කරන්න ආවා. එතැන් සිට අපි දිගටම සම්බන්ධ වුණා.
ලක්මිණි වාසනාගේ මම දකින විශේෂතම ගුණාංග තමයි පැහැදිලි, නිරවුල් මතකයක් තිබීම සහ නිර්මාණශීලී දරුවෙක් වීම. මට දැනෙන විදිහට එයාගේ දෑස් නොපෙනුණාට තෙවැනි ඇස අධි සංවේදී ඉන්ද්‍රියක්. ඒ නිසා නිවැරදි මතකයක් තියෙනවා. ඇස් නොපෙනුණාට ඇස් පෙනෙන ළමයින්ට වඩා දක්ෂ දරුවෙක්.” යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපතිනිය, ආචාර්ය කුසුමලතා ලංකාමුල්ල විස්තර කළේ ඇයට මුළු හදවතින්ම ආශිර්වාද කරමිනි.
රත්මලාන අන්ධ විද්‍යාලයේ උප විදුහල්පතිනියක වන මොනිකා ශිරන්ති පීරිස්, ලක්මිණි වාසනා එහි ඉගෙනුම ලැබූ අවදියේ සිට අද දක්වාම සමීපව ඇසුරු කරන ගුරුවරියකි. ලක්මිණි වාසනා කුඩා වියේ සිටම කවි, කෙටිකතා නිර්මාණකරණයට හපන්කම් පෙන්වූ දක්ෂ සිසුවියක බව ඈ සඳහන් කළාය. නාට්‍ය නිර්මාණය කරමින් රඟපෑමට ද යොමු වී සිටි ඈ ගීත ගායනයට ද සමත් සිසුවියක් බව පැවසූ මොනිකා ශිරන්ති පීරිස්, පන්ති නායකත්වය, ශිෂ්‍ය නායකත්වය, නිවාස නායකත්වය හොබවමින් නායකත්වය හැකියාව කුඩා වියේ සිටම පෙන්වූ බවය.
“ලක්මිණි වාසනා කියන්නේ පුදුම හැකියාවන් රැසක් තිබුණු දරුවෙක්. එයා පාසලේ දී වුණත් ගුරුවරුන්ගේ සටහන් මතම යැපුණේ නැහැ. එයා පොත්පත් කියවලා තොරතුරු එකතු කරලා සටහන් හදා ගන්නවා. අභියෝගවලට මුහුණදෙන්න හොඳ ශක්තියක් තිබුණා. හැබැයි එයා උසස් පෙළ කරන කාලේ නම් ලොකු මානසික පසුබෑමකට ලක්වෙලා හිටියා. ඒකට හේතුව වුණේ උසස් පෙළ පන්තිවල වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රවලට බ්‍රේල් ක්‍රමයට පිළිතුරු ලිව්වාම ඒ පිළිතුරු පත්‍ර බලන්න කවුරුත් නැහැ කියලා ලකුණු නොදීම.
ලක්මිණි වාසනා උසස් පෙළ කරන්නේ නැහැ කියන තැනට මානසිකව කඩා වැටිලා හිටියේ. ඊට පස්සේ මම කිව්වා එයාගේ පිළිතුරු පත්‍ර මට එවන්න, මම බලලා අඩුපාඩු කියලා දෙන්නම් කියලා. අවසානයේදී උසස් පෙළට A තුනක් ගත්තා. විශ්වවිද්‍යාලයේදීත් 1 වැනි වසරේ සියලුම විෂයයන්වලට A සාමාර්ථ ගත්තා. එයා ඉතිහාසය විශේෂවේදී උපාධිය කරන්න තමයි හරිම ආසාවෙන් හිටියේ. ඒත් දෘශ්‍යාබාධිත නිසා එයාට ඉතිහාසය කරන්න ඒ අංශයෙන් ඉඩ දුන්නේ නැහැ. ඊට පසුවයි සිංහල විශේෂවේදී උපාධියට තේරුණේ.” යනුවෙන් තවදුරටත් සඳහන් කළේ රත්මලාන අන්ධ විද්‍යාලයේ උප විදුහල්පතිනියක වන මොනිකා ශිරන්ති පීරිස් ය.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලයේ සභාපති, සුගත් වසන්ත ද සිල්වා පැවසුවේ මේ වනවිට ලංකාවේ දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 300 ඉක්මවා ඇති බවයි.
දෘශ්‍යාබාධිත උපාධිධාරීන් බිහිවීම 60 දශකයේ මැද භාගයේ සිට ආරම්භ වූ බවත් වසරකට දෘශ්‍යාබාධිත උපාධිධාරීන් 1 ක් අයෙකු හෝ දෙදෙනකු බිහි වූ ඒ යුගය නිමා කර 2000 වසරෙන් පසු වර්ෂයකට දෘශ්‍යාබාධිත උපාධිධාරීන් 10 - 15 අතර ප්‍රමාණයක් බිහිවන බවත් ඔහු සඳහන් කළේය. මේ වනවිට ලක්මිණි වාසනා වැනි ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයන් ලැබූ දෘශ්‍යාබාධිත උපාධිධාරීහු නවදෙනෙක් සිටිති.
“2000 වසරෙන් පසුව දෘශ්‍යාබාධිත උපාධිධාරීන් බිහිවීමේ වර්ධනයට හේතුව හැටියට මම දකින්නේ තාක්ෂණයේ දියුණුව. තොරතුරු තාක්ෂණයේ දියුණුව සමඟ අද දෘශ්‍යාබාධිත අය පරිගණක තාක්ෂණයට යොමුවී සිටිනවා. කථන මෘදුකාංගය ඒ අයට ලොකු පහසුවක්. ඒ වගේ ම තමයි ඉස්සර බ්‍රේල් මාධ්‍යයෙන් පොත්පත් බිහි නොවුණත් අද කථන ග්‍රන්ථ ව්‍යාපෘතිය යටතේ පොත් කියවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මවුස් එකෙන් පරිගණකය හසුරුවන්න බැරි වුණත් යතුරු පුවරුව මඟින් පරිගණකය හසුරුවන්න හැකියාව ලැබී තිබෙනවා. සුහුරු ජංගම දුරකථන පාවිච්චි කරනවා. ඒ ඔස්සේ තොරතුරු හොයා ගන්නවා. මේ නිසා අද දෘශ්‍යාබාධිත අය උසස් අධ්‍යාපනයට යොමුවීමේ ප්‍රවණතාවක් අපට දකින්න ලැබෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පැහැදිලි කළේය.
සිංහල විශේෂවේදී උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයක් සහිතව සමත් වුව ද ලක්මිණි වාසනාට නම් ජීවිතයේ ලොකු බලාපොරොත්තු නැත.
තමා කරන දේ උපරිම ශක්තිය යොදවා කිරීම ඇගේ අධිෂ්ඨානයයි. ඇගේ ලොකුම අපේක්ෂාව වන්නේ තවදුරටත් දැනුමෙන් පෝෂණය වීම පමණි.