ධීවර සහ මුහුදු ආහාර අප­න­ය­න­යෙන් ලංකාවට වාර්තාගත ජයක් | Page 2 | සිළුමිණ

ධීවර සහ මුහුදු ආහාර අප­න­ය­න­යෙන් ලංකාවට වාර්තාගත ජයක්

 

 

ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා ලොව පුරා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ ඉල්ලුම දිනෙන් දින ඉහළ යාම නිසා මුහුදු ආහාර අපනයන ආදායමේදී ඉහළ වර්ධනයක් අත්පත් කර ගැනීමට අද වන විට අපට හැකිව තිබේ.

 

ටූනා මසුන්, මත්ස්‍ය ෆිලට්, ඉස්සෝ, දැල්ලෝ වැනි මිරිදිය සහ මුහුදු ආශ්‍රිත ආහාර නිෂ්පාදන ශ්‍රී ලංකාව විසින් යුරෝපය වැනි විවිධ රටවලට අපනයනය කිරීම සිදු කෙරෙන අතර මෙම මිරිදිය සහ මුහුදු ආශ්‍රිත ආහාර අපනයනය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 220ක පමණ විදේශ විනිමය ආදායමක් මේ වන විට අප රට වාර්ෂිකව උපයා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක් ලෙස හඳුන්වා දීමට පුළුවන. කෙසේ වුවත් රජයේ ඉලක්කය වී තිබෙන්නේ 2025 වසර වන විට එම ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 750ක් දක්වා වර්ධනය කර ගැනීමට කටයුතු යෙදීමයි.

ඒ අනුව එම අපනයන ආදායම් වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙරටට මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම සඳහා ද දැනටමත් පියවර රාශියක්ද ගෙන ඇත. මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැය කර ඇති බවද හඳුනා ගෙන ඇති අතර ඉදිරියේදී එම ආනයන වියදම් දැඩි ලෙස සීමා කිරීමට පියවර ගනු ඇත. ඒ අනුව මාළු, කරවල, උම්බලකඩ සහ ටින්මාළු ආනයනයේදී පනවා තිබුණු බදු මුදල් ඉහළ නැංවීම සඳහාද දැනටමත් පියවර ගෙන තිබේ. සමස්තයක් ලෙස බලන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය සඳහා ධීවර කර්මාන්තය විසින් මෙතෙක් ලබා දී ඇති දායකත්වය 1%කි. බැලූ බැල්මට එය සෑහිමකට පත් වීමට හැකි අගයක් නොවන අතර රට වටා ඇති සරුසාර මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ඵල, ප්‍රයෝජන ගෙන වැඩි විදේශ විනිමය ආදායමක් ඉපයිය හැකි අපනයන ක්ෂේත්‍ර අතරට මෙරට ධීවර කර්මාන්තයත් පත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේද ස්ථාවරය වී තිබේ.

ටූනා මසුන්, මත්ස්‍ය ෆිලට්, ඉස්සෝ, දැල්ලෝ වැනි මිරිදිය සහ මුහුදු ආශ්‍රිත ආහාර නිෂ්පාදන හැරුණු විට මෙරට තුළ අභිජනනය කරන විසිතුරු මත්ස්‍යයින් අපනයනය කිරීමද මේ වන විට ඉතා සාර්ථක ලෙස සිදු කෙරෙන අතර එම විසිතුරු මත්ස්‍යයින් අපනයනයේදී මිරිදිය මත්ස්‍යයින් 95%ක් සහ කරදිය මත්ස්‍යයින් 98%ක් දේශීයව අභිජනනය කර අපනයනය කිරීම විශේෂත්වයක් වේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන් පෙන්වා දෙන අන්දමට විසිතුරු මත්ස්‍ය වර්ග 700කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කිරීමේ හැකියාවද අප රටට ඇත.

මුහුදු ආශ්‍රිත ආහාර හා මෙරට ධීවර නිෂ්පාදන අපනයනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් වත්මන් රජය අවශ්‍ය කරන සියලුම දිරිගැන්වීම් සිදුකරන අතර අපනයනයන් සිදු කිරීමේදී අපනයනකරුවන්ට ඇති බාධක, අභියෝග, දුෂ්කරතා හා අවහිරකම් මග හැරවීම සඳහාද පියවර රාශියක් ගෙන තිබේ. එහි ප්‍රතිඵල ලෙස මුළු ලෝකයම උඩු යටිකුරු කර ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේද පසුගිය වසර දෙකක කාලය තුළදී මුහුදු ආශ්‍රිත ආහාර හා මෙරට ධීවර නිෂ්පාදන අපනයනයන් මඟින් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට අප රටට හැකි වීම ඉතාම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දීමට පුළුවන.

මෙම කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන අමාත්‍යාංශය නමින් රාජ්‍ය අමාත්‍යාංශයක්ද ස්ථාපිත කර ඇති අතර එම විෂය භාරව කටයුතු කරන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන අන්දමට මෙලෙස මෙරට ධීවර අපනයන ආදායම ඉහළ යාමට ප්‍රධාන හේතුව ධීවර කර්මාන්තය පිළිබදව පුළුල් හා විධිමත් අවබෝධයක් ඇතුව සකස් වී ඇති ඒ හා සම්බන්ධ වත්මන් රජයේ ප්‍රතිපත්ති හා එකී ක්ෂේත්‍රයට අදාළව රජය විසින් මෙහෙයවනු ලබන විවිධ වැඩසටහන් වේ. මෙම වැඩසටහන් කෙතරම් සාර්ථක ලෙස සිය අපේක්ෂිත ඉලක්ක සපුරාගනිමින් තිබෙනවාද යන්න පිළිබඳව සඳහන් කළහොත් 2021 ජූලි මාසයේදී පමණක් ඇමරිකන් ඩොලර් මිලියන 40 ක වාර්තාගත විදේශ විනිමය ආදායමක් ඉපැයීමට මෙම මිරිදිය සහ මුහුදු ආශ්‍රිත ආහාර නිෂ්පාදන හා අනෙකුත් ධීවර නිෂ්පාදන අපනයනය කිරීම මඟින් අප රටට හැකි වී තිබේ.

අපනයන සඳහා දිරි දෙමින් මෙන්ම අපනයනකරුවන් ගේ ගැටලු වලට නිසි පිළියම් යොදමින් රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් ඉදිරියේදී මෙරට මුහුදු අහාර අපනයන ආදායම ඉතාම තීරණාත්මක අගයක් වෙත ළඟා වනු ඇති බවට කිසිදු සැකයක් නැත.

මුහුදු ආහාර සඳහා ලෝක වෙළෙඳ පොළේ ඇති ඉල්ලුමෙන් තවමත් අප රට සපයනු ලබන්නේ තුනෙන් එකක් පමණි.

මුහුදු ආහාර අපනයනය ඉහළ නැංවීම සඳහා මුහුදු ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට පුළුල් වැඩපිළිවෙළක් මේ වනවිටත් රජය මඟින් ක්‍රියාත්මක කරමින් සිටින අතර මෙරට ධීවරයින් අල්ලාගන්නා මසුන්ගෙන් 40%ක් වන පසු අස්වනු නාස්තිය වැළැක්වීමට පියවර ගැනීම සඳහාද බලධාරීන්ගේ අවධානය දැනටමත් යොමු වී තිබේ. ඒ අනුව නවීන ධීවර යාත්‍රා, නව ධීවර උපකරණ හා නව තාක්ෂණය ධීවර ප්‍රජාවට හඳුන්වාදීම සඳහා වැඩසටහන් රැසක්ම මේ වන විටත් ක්‍රියාත්මක වී ඇති බව කිව යුතුය.

Comments