පුංචි සිතුල්පව්වේ නිධන් හෑරූ හොරුන්ට පව පල දේ | සිළුමිණ

පුංචි සිතුල්පව්වේ නිධන් හෑරූ හොරුන්ට පව පල දේ

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාර භූමිය ගුවනින් බැලූවිට පෙනෙන අයුරු

සිත කම්පා කරවන පුවතක් පසුගිය පළමුවැනිදා කන වැකුණි. ඒ සිතුල්පව් මහා විහාරයෙහි පිහිටි පෞරාණික දාගැබ නිධන් සොරුන් පිරිසක් විසින් බිඳ නිධන් වස්තු පැහැරගෙන යාමය. මේ සිද්ධිය දැනගත් වහා අප කතා කළේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරල් මහාචාර්ය අනුර මනතුංගට ය. අප කතා කරන විටත් ඔහු ඒ ස්ථානය බලා යමින් සිටියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ අනාවරණය මෙසේය.

“පළමුවැනිදා අලුයම දෙකකට පමණ සිතුල්පව්ව භූමියේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් හා ආරක්ෂක හමුදා නිලධාරීන්ට කිසියම් සද්දයක් ස්තූපය පැත්තෙන් ඇසී තිබුණා. පසුව ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ස්තූපය අසල සැක කටයුතු යමක් සිදුවන බව නිරීක්ෂණය වීම නිසා වහා ඔවුන් ඒදෙසට ගිහින්. එසේ යන විට ස්තූපය අසල සිටි කිසියම් පිරිසක් පලා යාමට සූදානම් වනු ඈත සිටම ඔවුන්ට දර්ශනය වෙලා. හැකිතරම් වේගයෙන් ආරක්ෂකයන් ඔවුන් වෙත දිව ගියද අල්ලා ගැනීමට හැකිව තිබුණේ එක් අයකු පමණයි. අනෙක් පිරිස පැන ගිහින්. අල්ලා ගත් තැනැත්තා අසල ස්තූපය බිඳීමට හා නැවත එය සැකසීමට ගෙනා ආයුධ හා බදාම ද තිබිලා.

වැඩිදුර පරික්ෂා කිරීමේදී ඔවුන් විසින් ස්තූපයේ ධාතු ගර්භය හාරා එහි තැන්පත්කොට තිබූ නිධන්වස්තු රැගෙන නැවත එය තිබූ පරිදි පොටි අදිමින් සකස් කරමිනුයි ඉදලා තියෙන්නේ. පිටතට එය නොපෙනෙන ලෙස සුදු ඉටිරෙද්දක් ඇද එම ස්ථානය ආවරණය කිරීමටද මේ පිරිස වගබලාගෙන තිබුණු බවට දැනගන්නට ලැබුණෙ. ඒ එම කටයුත්ත ඈත සිට බලන්නකුට දිස් නොවන ආකාරයට. ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ ඇත්තේ ඒ අතරතුරුවයි. ඔවුන් සිදු කරමින් සිටි කටයුත්ත ඒවන විටත් අවසන්ව තිබූණ බැවින් කිහිපදෙනකු පහළ සිට ඇති අතර ඔවුන් නිධන්වස්තු රැගෙන පලාගොස් තිබුණා. ආරක්ෂක අංශ වෙත අසුවූයේ අවසානයට එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කළ තැනැත්තාය. බොහෝවිට මෙම කටයුත්ත අවසානයේ හුණු පිරියම් කළ තැනැත්තා ඔහු වෙන්න පුළුවන්. ඇත්තෙන්ම ආරක්ෂක අංශ එය නොදුටුවේ නම් එවැන්නක් එම ස්ථානයේ සිදු වූ බවට කිසිදු සලකුණකුදු එහි නොමැති ආකාරයට එය ඉතා සූක්ෂ්ම ලෙස නැවත සකස් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන අතර, මෙම අධම ක්‍රියාවට සම්බන්ධ වූ අයට පුරාවිද්‍යා නීතිය ප්‍රකාරව ලබාදිය හැකි ඉහළම දඬුවම ලබාදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග අප සමඟ පැවසීය.

ඇත්තෙන්ම සිතුල්පව්ව යනු මෙරට ඓතිහාසික පුදබිම් අතරින් මුඳුන් මල් කඩකි. දකුණුලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම් පත්තුවේ කිරින්ද ග්‍රාමසේවා වසමේ යාල අභය භූමිය තුළ සිතුල්පව්ව ඓතිහාසික රජමහා විහාරය පිහිටා තිබේ. කවරකුට වුව තිස්සමහාරාමයේ සිට කිරින්ද මාර්ගයේ යෝධකණ්ඩියෙන් වමට හැරී කිලෝ මීටර් විසිපහක් ගිය තැන මෙම මනරම් ඓතිහාසික විහාර භූමිය දිස්වේ. එලෙසින්ම කතරගම සිට කටුගමුව හරහා කිලෝමිටර් 18 ගෙවුණු තැන දී ද මෙම සිත්කලු භූමිය හමු වේ. මෙරට ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ඓතිහාසික සිද්ධස්ථාන අතරින් නික්ලේෂී මහරහතන් වහන්සේලා වැඩසිටි අතිරමණීය පුණ්‍ය භූමියක් ලෙස සිතුල්පව්ව පුද බිම හැඳින්විය හැකිය. ‘චිත්තල පබ්බත’, ‘චිත්තල කූඨ’ හා ‘චිතල පවත’ යන නෙක නාමයන්ගෙන් මෙම භූමිය හඳුවයි. එහි අර්ථය ‘සිත්කලු පර්වතය යන්නය’. ඇත්තෙන්ම මෙහි වැසි විතරාගී නික්ලේෂී භික්ෂූන්ගේ චිත්ත සන්තානයේ සුන්දරත්වය ද, මනරම් ස්වභාව සෞන්දර්ය ද ඊට හේතු වූ බව සිතීම වඩාත් සාධාරණය.

මෙහි පැමිණි අයකුට මින් බැහැරට යන්නට සිත් නොදෙයි. එතරම් සිත් අලවන භූමියකි. වැව් දියෙන් සිසිල රැගෙන හමා එන සුළං රැල් නිසාවෙන් දැඩි හිරුරැස් පතිත වුවද විඩාවක් නොදැනේ. හරිතවර්ණයෙන් හාත්පසම ඇලලී ඇති බැවින් දෑසට ගෙන දෙන්නේ සෞම්‍යය සුවයකි. මෙහි ඇති භාවනා කුටියකට වී දිනගණනක් වුව නිරාහාරව විසිය හැකි යැයි අපට සිතේ. එහි අති සෞම්‍ය සුවය එතරම්ම මිහිරිය.

රුහුණේ පාලකයා වූ කාවන්තිස්ස රජු විසින් (ක්‍රි.පූ 161ට පෙර යුගය) මහනුගල්ල චෛත්‍යයේ ඉදිකිරීම් අවසන එම උත්සවය සඳහා සිතුල්පව්ව වෙහෙර වාසී භික්ෂූන් වහන්සේලා දොළොස් දහසක් සහභාගි වූ බව ඉතිහාසයේ සඳහන් ය. පසුව රජ පැමිණි වලගම්බා රජු සමයේ (ක්‍රි.පූ 89 -77) ඇති වූ ‘බැමිණිටියාසාය’නම් වූ දුර්භීක්ෂය හේතුවෙන් මෙම ස්ථානයේ වැඩසිටි රහතන් වහන්සේලා දොළොස් දාහක් පිරිනිවන් පෑ බව මහාවංශය කියයි. එසේම දෙවනපෑතිස් රජු සමයේ (ක්‍රි.පූ 250-2010) දෙතිස් මහාඵලරුහ බෝධීන් වහන්සේලා අතරින් එක් බෝධීන් වහන්සේ නමක් මෙම ස්ථානයේ රෝපණය කළ බව සිංහල බෝධිවංශය කියයි. මෙනිසා මෙම ස්ථානය ක්‍රි.පූ 250ත් පෙර සිට පැවත එන බව පිළිගැනීමට සිදුවේ. එ් අනුව මෙම පුණ්‍යභූමිය අරහත් භූමියක් ලෙස මේ මහා භද්‍රකල්පයෙහි පහළ වූ සිව්මහ බුදුවරුණ්ගේ පහස ලද බුද්ධ ශාසනයෙහි අඛණ්ඩ සුරැකි භූමියක් වශයෙන් අවිවාදිතව සැලකිය හැකිය. නිදර්ශනයක් ලෙස, බෝවත්තේගල සෙල්ලිපිය පෙන්වාදිය හැකිය. ඒ මෙසේය.

‘ශුමණ පුත දසබතිකන ඣෙටශව ඣෙටුහ පුතෙ දමඣෙ 
දමඣෙපුත මහතිශඅය කරිතෙ ඉමලෙණෙ මහශුදශනෙ ශගශදි’

ශ්‍රමණට පුත්‍රයො දසදෙනකි. ඒ දශදෙනාගේ ජ්‍යේෂ්ඨයා දම රජ්ජුරුවෝය. දම රජුගේ පුත්‍රයා මහතිශය තමන්ගේ සුදර්ශනයෙන් යුක්ත වූ ලෙන සංඝයාට පුජා කළේය.

මේ සෙල්ලිපිය සෙනරත් පරණවිතාන මහතා කියවා ඇත්තේ ‘ශුමණ පුත’ කියා නොව ‘ගමණි පුත’(ගමණි අභය-දුටු ගැමුණු) කියාය. නමුත් ගාමිණීට පුත්‍රයෝ දස දෙනෙක් සිටි බවට සාක්ෂි නැත. එහෙත් ‘ශ්‍රමණට’ පුත්‍රයෝ දස දෙනෙක් සිටි බවට ශිලා ලිපි සාක්ෂි හමුව තිබේ. ඔවුන් සෙල්ලිපිවල සඳහන් වන්නේ ‘දසබතික’ කියාය. ඒ වගේම බුදුන්වහන්සේ මෙරටට වැඩම කළ අවශ්ථාවේ, උවහන්සේව සිතුල් පව්වේ සිට සමන්ත කූටය වෙත රැගෙනගොස් ඇත්තේ ‘ශුමණය’. මොහු සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ ‘පරුමුක ශුමණ’ යනුවෙනි. (බෝ වත්තේගල ‘ගාමණි පුත’තවත් සෙල්ලිපියක ඇත. නමුත් එය කරවා ඇත්තේ ‘අබි අනුරාදි’නම් රැජිනකගේ සීයා කෙනෙක් වන ගාමිණි රජතුමාය. පරණවිතාන ශූරීන් වරදවා කියවා අත්තේ ඉහත සඳහන් සෙල්ලිපියවේ.) මේ අනුව උපකල්පනය කර බැලුවහොත් ලංකාවේ බෞද්ධ ආකල්ප ඇති වෙන්න පටන්ගෙන ඇත්තේ, කකුසඳ බුදුන්වහන්සේගේ කාලයේය. ඒ බව මහවංශයම සාක්ෂිය.

‘මේ කල්පයේ පළමුව පහළ වූ, සියලු ධර්ම ය දැනගත්තා වූ සියලු ලෝකයට අනුකම්පා කරවූ, කුකුසඳ නම් බුදුවරයෙක් විසූ බවත්, උන්වහන්සේ මෙරටට වැඩම කර ධර්මය දේශනා කළ බවත්, කුකුසඳ බුදුන්ගෙන් ආරම්භ වී, ගෞතම බුදුන් දක්වා සිවුමහා බුදුවරු මේ රටේ වැඩ සිටි බවත්, මිහිඳු හිමියන්ගේ මුවින්ම බිණීමට මහාවංශ කතුවරයා සමත් වී ඇත. එමතු නොව මේ සිවු මහා බුදුවරුන්ගේ කාලයේ බොධීන්වහන්සේලා රැගෙන ආ ආකාරයත් ඊට මෙරට රජවරුන් අනුග්‍රහය දැක් වූ ආකාරයත් කාල වශයෙන් එහි සඳහන්වේ. ඒ අනුව සිතුල්පව්ව සිව්මහ බුදුවරුන්ගේ පහස ලැබූ භූමියක්ය යන්න බැහැර කළ නොහැකි වේ. එසේම මෙම ස්ථානය විදර්ශනා භාවනා වැඩූ භික්ෂූන්ගේ මූලස්ථානයක් ලෙසත් සම්බුදු දහම චිරප්‍රසිද්ධව පැවති පුණ්‍ය භූමියක් බවත් මෙම මූලාශ්‍රයන් මඟින් සනාථවේ.

ඉදින් මෙවැනි ස්ථානයකට හානිකරන්නට සිත් දෙන්නේ නම් ඒ කාමයෙන් මුසපත්ව අවීචිමහා නිරයට ලොබ බඳින අයකුට මිස සැදෑහැවත් ගිහියකුට නොවේ.

ඡායාරූප - නුවන් ජයසේකර, සූරියවැව

Comments