බඩුමිල ඉහළ යෑම ගැන ජනතාව මෙසේ කියති | සිළුමිණ

බඩුමිල ඉහළ යෑම ගැන ජනතාව මෙසේ කියති

වෙන රටවල් එක්ක බලද්දි ලංකාව හොඳයි 
එච්.ඒ. චමිලා පෙරේරා (47) අකුරුස්ස

අපිට දුවලා දෙන්නෙක් ඉන්නවා පාසල් වයසේ. මහත්තයා රජයේ රැකියාවක් කළාට එදිනෙදා වියදම් හරි සැරයි. ඒ නිසා මාත් පොඩි රස්සාවකට යන්න ගත්තා. මෙතෙක් කල් මම රැකියාවලට ගියේ නෑ. හැම දෙයක්ම ගණන්. බඩගින්නේ මැරෙන්න බෑනේ. කොළඹ ජීවත්වෙන අපි වතුර ටිකත් සල්ලිවලටනේ ගන්නේ. තව ටික කාලෙකින් ඔක්සිජන් පවා සල්ලිවලට ගන්න වෙයි. හරිම අවාසනාවන්ත යුගයක අපිට ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ. මොනා කරන්නද අපිට විතරක් නෙවෙයිනේ මුළු ලෝක සත්ත්වයන්ටම උරුම වුණු කාල විපත්තියක්නේ මේක. අනිත් සමහර රටවල් එක්ක බලද්දි ලංකාව තව හොඳයි.

ඉතුරු වෙන්නේ ගමන් වියදම් විතරයි 
ඕෂධ අයෝධ්‍ය අනගිපුරම් (26) වැල්ලම්පිටිය

මම එළවළු බිස්නස් කරන්නේ. දවසින් දවස බඩුමිල ඉහළ යන්නේ අස්ස වේගෙන්. කොහොමද ජීවත් වෙන්නේ. පවුල් නඩත්තු කරන අයට කෑම බීම විතරක් නෙමෙයි ළමයින්ට ඩේටා කාඩ් අරන් දෙන්නත් වියදම්. කොහෙවත් යන්න එන්න බැරි නිසා ගමන් වියදම විතරයි ඉතුරු වෙන්නේ. රට ඇරලා තිබුණා නම් පොළට ගිහින් හරි අඩු ගානට බඩු ටිකක් ගන්න යන අය ඉන්නවා. ඒත් සංචරණ සීමා නිසා ඒකත් බෑ. ගේ ළඟට ගෙනත් දෙන බඩු ගිනි ගණන්. නැති බැරිකම් තියන සාමාන්‍ය ජනතාවටයි හැම දේම බලපාන්නේ. රජය වුණත් හැකි තරම් සහන දෙනවා තමයි.

බඩේ පාර වදින්නෙ දුප්පත් අයටයි 
අමීනා ෆරීඩ් 42 - මරදාන

මේ හැම දෙයක්ම ඍජුවම බලපාන්නේ සාමාන්‍ය ජනතාවට තමයි. කොරෝනා නිසා ලොක්ඩවුන් කළාම කඩේට පොළට ගිහින් බඩු ටිකක් ගන්නත් බැරි වෙනවා. ඔන්ලයින් ගෙන්නගන්න සල්ලිත් නෑ. අනික බඩු ගණන්. මේ බඩු මිල ඉහළ යාම ඈත දුර ගම්වල ජීවත් වෙන අයටත් වඩා බලපාන්නෙ කොළඹ හා නගරබද ජීවත්වෙන අයටයි. කොරෝනා නිසා ලොක්ඩවුන්, සංචරණ සීමා, ඇඳිරි නීතිය නිසා තව තවත් ජනතාව පීඩාවට පත්වෙලා. ඒත් දවසින් දවස මරණ ඉහළ යන නිසා ඒ වගේ සීමා කිරීම් නොකරත් බෑ තමයි. ඒත් මෙහෙම ගියොත් සමහර මිනිසුන්ට වහ කාලා තමයි මැරෙන්න වෙන්නේ.

ලංකාවෙ කිරිපිටි මිල අඩු කරගත හැකියි 
සේනක ප්‍රියන්ත (57) කිරිබත්ගොඩ

ඇත්තටම දැන් කිරිපිටි මාර ගණන්. කිරිපිටි කියන්නේ ඒකට පුරුදු වුණු අයට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. උදේට පිටි ටිකක් බොන්න නැත්නම් ඒ අය කවුරුත් හරි අපහසුතාවට ලක්වෙනවා. දියර කිරි ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි ජනාධිපතිතුමා පිටරටින් කිරි ගේන එක සීමා කළේ. ලංකාවෙ ධනය පිටරටට ඇදී යාම වළක්වලා දේශීය කිරි ගොවියා ප්‍රවර්ධනය කරන්න අතහිත දෙන එක ඉතා හොඳ දෙයක් තමයි. මොකද හැමෝගේම වියදමට සාපේක්ෂව ආදායම ඉහළ යන්නේ නෑනේ. කිරිපිටි පමණක් ම නෙමෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ අනික්වත් මිල ඉහළ ගිහින් හින්දා අතිබහුතර පිරිසක් දැඩි අපහසුතාවන්ට පත්වෙලා තියෙන්නේ.

මේක මුළු ලෝකෙටම බලපාන ගැටලුවක් 
ශානිකා නිල්මිණි (46) නවගමුව

ගෘහණියක් විදිහට වෙළෙඳපළේ බඩුමිල ඉහළ යාම අපිට තදින්ම දැනෙනවා. බඩු මිල ඉහළ යන එක කොරෝනාවලටත් කලින් ඉඳලා තිබුණු දෙයක්. ඒ අතරට කළු කඩ මිලත් තියනවා. අතරමැදියෝ ලාභ ගන්නවා. රජය දුර්වලයි කියන්නත් බෑ. නමුත් රජය නිවැරදි කමිටුවක් පත්කරලා මේ ගැන සොයා බැලිය යුතුයි. හොරු අල්ලා එයාලට උපරිම දඬුවම් දිය යුතුයි. කොරෝනා වැඩියි. බඩුමිල වැඩියි. බඩගින්න වගේම ජීවිතය ගැන තියෙන්නෙත් හරිම අවිනිශ්චිත භාවයක්. රජයෙන් සහනාධාර දෙනවා තමයි. කාටවත් බැණලා වැඩකුත් නෑ එක අතකට මේක ලෝකෙටම පොදු දෙයක් වෙලා.

කොළඹ ජීවත්වීම ගමට වඩා වියදම් 
ප්‍රාන්සිස් සේන්ලි (හපුතලේ)

මගේ ගම දුර වුණත් කොළඹ රැකියාව කරන්නේ කොහොම හරි ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්නයි. ගමෙන් කොළඹට ආපු අපිට මේ බඩු මිල ඉහළ යාම තදින්ම දැනෙනවා. අපේ එළවළු කොටුවල ඕනෑ තරම් එළවළු තිබුණත් මෙහේ ගිනි ගණන්. ගන්න පඩියෙන් වැඩි හරියක් කෑමට බීමට වියදම්. කොහොමද ඉතුරුවක් කරන්නේ. හෙටක් ගැන හිතන්නේ. මේ ආදායම් බෙදීයාම කාටත් සාධාරණ විදිහට සිදුවුණා නම් හොඳයි. අනේ මන්දා මෙහෙම ගියොත් වේලක් කාලා වේලක් නොකා ජීවත්වෙන්න වෙන්නේ. හැම දෙයක්ම ගණන්. හරිම පීඩනයකින් තමයි අපි ජීවත් වෙන්නේ.

Comments