
විසි වසරක් පුරා මෙරට මල් කර්මාන්තයේ නියැළෙන ලස්සන ෆ්ලෝරා සමාගම, දෙස් විදෙස් වෙළෙඳපොළට මල් සපයන මෙරට විශාලතම මල් වගාකරු සහ සැපයුම්කරු වේ.
කොවිඩ් වසංගතයේ බලපෑමත් සමඟ සමස්ත මල් කර්මාන්තය ම කඩා වැටුණ ද, විවිධාංගීකරණය වීමට ගත් පියවර ඔස්සේ, සිය සමාගම පියවර ගණනාවක් ඉදිරියට පැමිණි බව, එම සමාගමේ සභාපති වෛද්‍ය ලසන්ත මලවිගේ පවසයි.
ඒ අනුව, නැවුම් එළවළු පලතුරු ඇතුළු නිවසට අවශ්‍ය සෑම ආහාර ද්‍රව්‍යයක්ම අන්තර්ජාල වෙළෙඳාම ඔස්සේ, ‘ඩිලිවරි‘ කිරීමේ සේවාවේ යෙදෙන සිය සමාගම, ප්‍රධාන නගර 125ක් පුරා සිය ‘ඩිලිවරි‘ සේවාව නොමිලයේ පවත්වාගෙන යන බව ද ඔහු පවසයි.
" අපි මල් කර්මාන්තයට සාධනීය වෙනස්කම් රැසක් එක් කළ සමාගමක්. එතෙක් පිටරටින් ගෙන්වූ නැවුම් මල් වර්ග මේ රටේ වගා කිරීම ආරම්භ කොට, මල් කර්මාන්තය ආශ්‍රිත රැකියා අවස්ථා රැසක් උත්පාදනය කිරීම අප කළ ප්‍රධාන සාධනීය වෙනස්කමයි.
ඒ අනුව බෙලිහුල් ඔය අක්කර තිස් අටක්, නුවරඑළියේ දෙකහමාරක්, කැප්පෙටිපොළ පහමාරක්, මාදම්පේ දෙකක් සහ වැලිමඩ විසි දෙකක් වශයෙන් අක්කර 70 ක මහා පරිමාණයෙන් අපි මල් වගා කරනවා. ඊළඟට, අස්වනු නෙළීමේ සිට නැවුම් මල් කලඹක් පාරිභෝගිකයා අතට පත්වන තුරු වන, මල් කර්මාන්තයට අදාළ සෑම අංශයකම නියැළෙනවා.
නැවුම් බව රඳවා ගැනීම, අපේ ව්‍යාපාරයේ ප්‍රධානම අරමුණක්. මල්වල නියමිත උෂ්ණත්වය සහ සිසිල රඳවා තබා ගැනීමේ විශේෂඥ දැනුම අප සතුයි. මල් කියන්නේ ගබඩා කරගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. අද ගෙනාවා නම් හෙට පාරිභෝගිකයා අතට පත් කළ යුතුයි.
අප අවුරුදු විස්සක් තිස්සේ ලද පළපුරුද්ද ප්‍රයෝජනයට ගෙන, වහාම කොවිඩ් තත්ත්වයට අනුගත වීම. ඒ අනුව, නැවුම් එළවළු පලතුරු ඇතුළු සියලුම ග්‍රොසරි භාණ්ඩ ඔන්ලයින් හරහා අලෙවිය ආරම්භ කළා. එහි තවත් අරමුණක් වුණේ, භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව අවදානමක් ගෙන, එළියට යෑම අවම කිරීම සහ සුපර් මාකට්වල, පොළවල්වල ඔවුන් ගැවසීමේ දී සිදු වන අවදානම අඩු කිරිම. ඒ වෙලාවේ අපි ලාභය ගැන හිතුවේ නැහැ. නාගරික ප්‍රදේශ 125 ක් පුරා ජනතාවගේ ඇණවුම් නොමිලේ ඩිලිවරි කිරීම ආරම්භ කළේ ඒ නිසා.
එමෙන්ම පළමු කොවිඩ් රැල්ලේ දී අපේ මල් ව්‍යාපාරයත් සම්පුර්ණයෙන්ම වාගේ නතර වුණා. එහෙත් වතුවල මල් පිපුණා. අපි කළේ, ඒ ඇණවුම් සමඟ පාරිභෝගිකයින්ට නොමිලේ මල් කලඹක් යැවීම.
ඒ විතරක් නෙවෙයි, රටේ වසංගතයක් පවතින මොහොතක ජනතාව ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන දේශීය ආහාර අත්‍යවශ්‍යයයි, එවැනි දේශීය එළවළු පලතුරු සොයා ගැනීම මේ වෙලාවේ අසීරු වුවත්, ඒවා සොයා දීමට අප ඉදිරිපත් වුණා. මේ වෙලාවේ එවැනි දේශීය සහල්, අල වර්ග කොළ වර්ග ඇතුළු ප්‍රතිශක්තිකරණය ඉහළ දමන ඕනෑම එළවළුවක් පලතුරුවක් සපයා දීම අපගේ ජාතික වගකීමක් ලෙසයි, අප සලකන්නේ. මේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සපයා දීම සඳහා ඉදිරියටත් අප ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් දේශීය එළවළු පලතුරු වගාකරන ගොවීන් රැසක් අප සමඟ සම්බන්ධව සිටිනවා. අපේ ව්‍යාපාරයේ අතරමැදියන් නැහැ. ගොවිබිම්වලින් සෘජුවම මිලදී ගන්නා අතර, ඒවා පැය 36ක් ඇතුළත පාරිභෝගිකයා අතට පත්කිරීමයි, අපගේ ව්‍යාපාර ස්වභාවය. එමෙන්ම අස්වනු සපයන ගොවීන් දෙදහක් පමණ අප සමඟ සම්බන්ධ වී සිටිනවා. ඒ නිසා පාරිභෝගිකයන්ට සපයන සෑම ආහාරයක් ම පැමිණියේ කිනම් ගොවිබිමකින් ද, යන්න පිළිබඳ තොරතුරු අප සතුයි.
මේ සියලු කාර්යයන් සඳහා අප සමඟ වැඩ කරන සෘජු හා වක්‍ර හාරසියයකට ආසන්න සේවක පිරිසක් සිටිනවා. විශේෂයෙන් මල් වතුවල සේවය කරන්නේ ඒ ඒ පළාත්වලම පිරිස්. එයින්, එම පළාත්වල ග්‍රාමීය ආර්ථිකයට යම් දායකත්වයක් ලබා දීමටත් අපට හැකි වී තිබෙනවා. ආසියානු පැසිෆික් කලාපයේ දාමයක් සහිත දැවැන්තම නැවුම් මල් නිෂ්පාදන සහ අපනයන සමාගම බවට පත් වීම, අපගේ මීළඟ පස් අවුරුදු සැලැස්ම බවත් කිව යුතුයි. අපගේ ඉදිරි කටයුතු සැලසුම් වන්නේ ඒ ඉලක්කය වෙනුවෙන්.
දැනටමත් අප ජපානය, දෝහාකටාර්, මැලේසියාව, බංග්ලාදේශය සහ මාලදිවයිනට නැවුම් මල් අපනයනය කරනවා. එහි තවත් පියවරක් ලෙස, ලබන වසරේ දී ඉන්දුනීසියාවට අපනයනය ආරම්භ කරනවා. ඒ වගේම, මියන්මාරය ඇතුළු රටවල් කිහිපයක් කෙරෙහිත් අපගේ අවධානය යොමු වී තිබෙනවා"
නැවුම් මල් කර්මාන්තය යනු, ලොව වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ක අලෙවියක් ඇති ක්ෂේත්‍රයකි. ලෝකයේ දැවැන්තම මල් වෙළෙඳාම සිදු වන්නේ නෙදර්ලන්තයේ වන අතර, වැඩිම නැවුම් මල් භාවිතයක් ඇත්තේ යුරෝපයේ ය. නමුත් කර්මාන්තයක් ලෙස මල් වැවීමේ සහ නිෂ්පාදනයේ යෙදෙන රටවල් ලෙස ලොව ඉදිරියෙන් ම සිටිනුයේ කෙන්යාව, ඉතියෝපියාව, නයිජීරියාව සහ ඉක්වදෝරය යි. මේ සියලු රටවල් ආදර්ශයට ගෙන, තව තවත් ඉදිරියට යෑම ලස්සන ෆ්ලෝරා අරමුණ බව වෛද්‍ය මලවිගේ මහතා තව දුරටත් පහදයි.
"ලෝකයේ දැවැන්ත අලෙවියක් ඇති මල් ක්ෂේත්‍රයට, දශමයකින් හරි දායකත්වය දෙන්න පුළුවන් නම් රටක් හැටියට ඒක අපට විශාල ජයග්‍රහණයක්. දැනටමත් දකුණු ආසියාවේ හොඳම ලිලී මල් වගාකරු අපි. සමහර රටවල වැවෙන්නේ නැති ලිලී මල් වර්ග ගණනාවක් ම අපි මෙහෙ වවනවා. ඒ වගේම, එතෙක් පිටරටින් ගෙන් වූ ලෝකයේ ඉහළම ඉල්ලුමක් ඇති 'ක්‍රිසාන්තිමම්' වර්ග හතළිස් ගණනක් අප වගා කරනවා.
පිටරටින් ගෙනා මල් වර්ග ලංකාවේ වවන්න ගත්තා එමෙන්ම තත්ත්වයෙන් උසස් බීජ තෝරා ගැනීමේ පටන් පැළ සිටුවීම, නඩත්තු කිරීම, මල් නෙළීම සහ අවසානයේ මල් පොකුරක් සේ පාරිභෝගිකයා අතට පත් වන තුරු එකට එක බැඳුණු ක්‍රියාවලියක්.
කිසිම රසායනික ද්‍රව්‍යයක් ස්ප්‍රේ නොකර, අපේ මල් දවස් 7ක් තියා ගන්න පුළුවන්. ඒ වගේම, මල් අස්වනු ප්‍රමාණයත් වැඩි කළා. වාර්ෂිකව කිහිප වතාවක් වෙනස් නොවන සේ, මල්වල මිල ස්ථාවර කළා.
කොහොම වුණත්, මේ වසංගත සමයේත් මල්වලට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. නිවෙස්වලට කොටු වී සිටින බොහෝ අය මානසික සුවය සඳහා මෙන්ම, තෑගි දීමටත් මල් ඇණවුම් කරනවා. මුල් කොරෝනා රැලිවල දී නැති වුණාට, අද මල්වලට හොඳ මාකට් එකක් තිබෙනවා.
මල් ක්ෂේත්‍රයේ තවම නොවිසඳුණු ප්‍රශ්නයක් තිබෙනවා. එනම්, රසායනික පොහොරවල අවශ්‍යතාව. මල් වගාව සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කර නැති වුණත්, තවම අපට පොහොර නැහැ. තිබෙන තැන්වල විකුණන්නේ, සියයට තුන් සියයක් මිල ඉභළ දමලා. මල් වගාවට රසායනික පොහොර වගේම, පළිබෝධ නාශකත් අත්‍යවශ්‍යයයි. ඒවා යෙදීම පරිසරට හානිකර වන්නේ නැහැ. එයට හේතුව බොහෝ විට මේ මල් වවන්නේ, ආවරණය කරන ලද 'ග්‍රීන් හවුස්' ඇතුළේ. අනික මල්, ආහාරයක් නොවන නිසා, රසායනික පොහොර භාවිතයේ ප්‍රශ්නයකුත් නැහැ.
ලස්සන ෆ්ලෝරා සභාපති, වෛද්‍ය ලසන්ත මලවිගේ
වැදගත්ම දේ තමයි, රසායනික පොහොර නොලැබුණොත් වාණිජ මල් වගාවක් පවත්වාගෙන යන්න බැරිකම. මේ ප්‍රශ්නය සුළු හා මධ්‍ය පරිමාණ අයට වගේම, දැවැන්ත මල් වගාකරුවන් වන අපටත් පොදුයි..."
අද ද වෘත්තීය වෛද්‍යවරයකු වන මලවිගේ මීට විසි වසරකට පෙර, වෛද්‍ය සිසුවකුව සිටිය දී තම ව්‍යාපාරය ආරම්භ කළේ wedding florist කෙනකු ලෙසිනි.
එසේ ඇරැඹූ මල් ව්‍යාපාරය, අද අතු ඉති විහිදූ මහා වෘක්ෂයකි. මහාචාර්ය නීලිකා මලවිගේ ඔහුගේ බිරිඳයි. වෘත්තීය වෛද්‍ය යුවළක් වුවද, මිනිස් සිත සුවපත් කරන සොඳුරු ව්‍යාපාරයක හිමිකරුවන් සේ ඔවුහු සිය ව්‍යාපාරය අසීමිතව විඳිති.
ඡායාරූප සාලිය රූපසිංහ