මූලික වැටුප් වැඩි වුණු පෞද්ගලික අංශ සේවකයෝ | සිළුමිණ

මූලික වැටුප් වැඩි වුණු පෞද්ගලික අංශ සේවකයෝ

• අගෝස්තු 16දා සිට අවම වැටුප රු16,000 ක් 
• අවම වැටුප නියාමනය කරන්න කෙනෙක් නැහැ. 
• කම්කරු නීතිවලින් ආවරණය නොවන අයට මෙය අදාළ නැහැ

රාජ්‍ය සේවයට අවම වැටුපක් මෙන්ම විශ්‍රාම ගැන්වීමේ අවම වයසක් තිබුණද පෞද්ගලික අංශයට අවම වැටුපක් හෝ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවක් තිබුණේ නැත. මේ සේවකයින්ගේ ඉරණම තීරණය වූයේ ඒ ඒ හාම්පුතුන්ට, ආයතන පරිපාලනයට ඇවැසි විදියටය.

එහෙත් පෞද්ගලික අංශයට ජාතික අවම වැටුපක් ලබා දීමේ තීරණයට රජය පිවිසියේ 2016 වසරේදි අංක 03 දරන අවම වේතන පනතේ 3:1 වගන්තියට අනුකූලවය. ඒ පෞද්ගලික අංශයේ පහළම වැටුප් තලයක සේවය කරන්නාටත් සාධාරණයක් ලබා දීමේ අරමුණ පෙරදැරීවය.

2016 රුපියල් 10,000 ට තිබූ පෞද්ගලික අංශයේ අවම වැටුප පසුගියදා රුපියල් 12,500 ක් වූ අතර අයවැය සහන දීමනා දෙකක්ද සහිතව මේ අවම වැටුප දැන් රුපියල් 16,000 කි. ඒ අනුව දෛනික අවම වැටුප රුපියල් 640 කි. මේ අනුව අගෝස්තු 16 දා සිට කම්කරු නීති වලින් ආවරණය වන පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප තීරණය විය යුත්තේ රුපියල් 16,000 න් ඉහළටය.

එහෙත් විවිධ අය මේ පිළිබඳ දක්වන්නේ විවිධාකාර මතවාදය. මෙම අවම වැටුප තීරණය කිරීමේදි බොහෝ අඩුපාඩු පවතින බව පෙන්වා දෙන ඔවුන්ගේ අදහස වන්නේ වැටුප් ඉහළ දැමීම සිදුවිය යුත්තේ ජාතික ආර්ථිකයට සමගාමීව බවය.

“ ජාතික අවම වැටුපක් තීරණය කරද්දී ජාතික ආර්ථිකයකට ගැළපෙන පරිදි සිදු කළ යුතයි. ජාතික කම්කරු උපදේශක සභාවෙන් 2019 වසරේ ඉල්ලීමක් කළා 10,000 ට තිබෙන අවම වැටුප 25,000 ක් කරන්න කියලා . නමුත් වැඩිවුණේ 12,500 ක් පමණයි. අපේ රටේ ප්‍රධාන පරිපාලක සභා 44 ක් තියෙනවා. රජය විසින් අවම වැටුපක් තීරණය කළත් මෙම පරිපාලක සභා විසින් ඒ ඒ කර්මාන්තවලට අදාළ අවම වැටුප තීරණය කරනවා. ඒ අනුව එම පරිපාලක සභා අවම වැටුප හා ජාතික අවම වැටුප අතර පරතරයක් හා වෙනසක් පවතිනවා. මෙම අවම වැටුප පොඩි කඩයක වැඩ කරන කෙනාටත් පෞද්ගලික බහු ජාතික සමාගමක සේවකයාටත් පොදුයි.

නමුත් බොහෝමයක් ආයතන වල බහුතරයක් මීට වඩා අවම වැටුපක් ගන්නවා. මේ නිසා මේ අවම වැටුපේ යම් වාසියක් පවතින්නේ සුළු ආයතනවල සේවකයින්ට පමණයි. වැටුප් වැඩියෙන් ලබා දිය හැකි ආයතනත් මේ අවම වැටුප පදනම් කර ගන්නට පෙලඹෙනවා.

ඇඟලුම් මෙන්ම අපනයන කර්මාන්ත ශාලාවලට මෙම අවම වැටුපට සේවකයන් ආකර්ෂණය කර ගැනීමට අපහසු නිසා එවැනි ආයතන බොහෝමයකට සේවකයන් ආකර්ෂණය සඳහා මීට වඩා ඉහළ අවම වැටුපක් තීරණය කිරීමට සිදුවෙනවා. බොහෝමයක් ආයතන වල හාම්පුතුන් අවම වැටුප ආරම්භ කරන්නේ රුපියල් 18,000 න් ඉහළට.

ඇගලුම් කර්මාන්ත සේවකයින්ට වැඩි වැටුපක් ගන්නට නම් බොහෝ කැපකිරීම් කළ යුතුයි. අතිකාල සේවා කළ යුතුයි. දිරි දිමනා ගැනීමට නිතරම සේවයට වාර්තා කළ යුතුයි. නිෂ්පාදන දිරි දීමනා ගැනීමට ආයතන ඉලක්ක සම්පූර්ණ කළ යුතුයි.

කෑම පැයේදිත් ඔවුන් ඒ සඳහා වෙහෙසිය යුතුයි. මෙහෙම වෙහෙසුණහොත් රුපියල් 30,000 ක වැටුපක් නිවසට ගෙන යා හැකියි. නමුත් අවසානයේ මේ සේවකයින් රෝගීන් බවට පත්වෙනවා.

දකුණු ආසියාවේ ඇඟලුම් කෂේත්‍රයේ සේවිකාවන් අතුරින් අඩුවෙන්ම වැටුප් ලබන්නේ ලංකවේ සේවිකාවන්. අපේ පරිපාලක සභාවලට පත්වන්නේ මේ සේවිකාවන්ගේ අවශ්‍යතා ගැන නොදන්න පිරිසක්. ඔවුන් කම්කරුවන්ගේ හඬ නියෝජනය කරන්නේ නැහැ. ......“ ඒ නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස්ය.

වර්තමානයේ ලක්ෂ 80 ක් එනම් 60% ක් යෙදෙන්නේ අවිධිමත් රැකියා ක්ෂේත්‍රයේය. මොවුන් බොහෝ දෙනෙකුට අවම වැටුපක් තීරණය කිරීමට හාම්පුතුන් නැත. එසේ හෙයින් ඔවුන්ට අවම වැටුපක් තීරණය වන්නේ නැත.

“ මෙය ස්ථීර සේවකයින්ට ගැටලුවක් නැහැ. ඔවුන් මේ වන විට අතිකාල සේවයේ යෙදි අතිකාල දීමනා පවා ලබා ගන්නවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවකයකු මේ වන විට රුපියල් 25,000 ක වැටුපක් දීමනා සමඟ ලබනවා. නමුත් පෞද්ගලික අංශයේ ‍සේවකයින්ගෙන් වෘත්තීය සමිතිවලට සම්බන්ධ වී සිටින්නේ 5% ක් පමණයි.

ඒ අතරින් 95% ක් ඉන්නේ සංවිධානය නොවු ක්ෂේත්‍රවල. ඒ අයට මේ අවම වැටුප හිමි වෙනවාද යන්න නියාමනයක් සිදු වන්නේ නැහැ. කම්කරු දෙපාර්තමේන්තුවෙනුත් නිසි නියාමනයක් නැහැ.

රජය විසින් අවම වැටුපක් තීරණය කළායැයි පැවසුවාට එය ප්‍රායෝගික නැහැ. ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවකයින් රැකියා කරන්නේ දැඩි පීඩනයක සිටයි. ඔවුන් වැටුපක් ලබන්නේ විශාල මානසික පීඩනයකින් රැකියාව කිරීමෙන්. සමහර හාම්පුතුන් මේ අයගෙන් සේවය ලබා ගන්නේ දැඩි පීඩනයයකට ලක් කරමින්.

ඒ වගේම ඔවුන් අතිකාල පැය ගණන් වැඩි කරන්නටත් විශාල උත්සාහයක් ගන්නවා. මෙය බරපතළ ගැටලු සහගත තත්ත්වයක්....“ ඒ වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩිය.

2005 අයවැය සහන යටතේ රුපියල් 1000 දිමනාවත්, 2016 අයවැය සහන දිමනා යටතේ රුපියල් 2500 ත් වශයෙන් මෙම රුපියල් 10,000 අවම වේතනයට තවත් රුපියල 3500 ක් එක් වී වේතනය රුපියල් 13,500 ක් දක්වා වැඩි වී තිබුණි. අගෝස්තු මස 16 දා සිට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප 16,000 දක්වා වැඩි වී ඇත්තේ රුපියල් 12,500 ට මෙම වැඩි වූ රුපියල් 3500 ත් එක් වීමෙනි. 

“ ලංකාවේ පරිපාලක සභා 44 ක් තියෙනවා. එම පරිපාලක සභා රැස් වූ පසු මීට සමානුපාතිකව ඔවුන්ද අවම මිලක් තීරණය කරනවා. පසුගිය කාලයේ තේ කර්මාන්තයේ සේවකයින්ට වැටුප් වැඩි කළේ පරිපාලක සභාව හරහායි. නමුත් මේ කොවිඩ් වසංගතය හමුවේ පරිපාලක සභා රැස් කිරීමට නොහැකි වී තිබෙනවා. මෙසේ අවම වැටුපක් තීරණය කලාට ප්‍රායෝගිකව එය අදාළ වන්නේ කිහිප පිරිසකට පමණයි. මන්ද අවිධිමත් ක්ෂේත්‍ර හා කුඩා රැකියා කරන අය පරිපාලක සභාවලින් ආවරණය වන්නේ නැහැ.

මේ නිසා මේ අය ලබන වැටුප අවම මුදලක් විය හැකියි. වර්තමනයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා කරන අයට රුපියල් 25,000 ක වැටුපක් ලබනවා.

ඒ වගේම නිවසක සේවය කරන්නෙකුට අවම වශයෙන් රුපියල් 1000 ක් හෝ ගෙවනවා. යමෙකුගේ සේවක අර්ථ සාධක, සේවක භාරකාර අරමුදල් ප්‍රමාණය තීරණය වන්නේ අවම වැටුප අනුවයි. මේ නිසා ඔවුන්ට මෙසේ අවම වැටුපක් තීරණය වීම විශාල සහනයක්. නමුත් යම් අයකුට මෙම අවම වැටුප නොලැබෙනවා නම් ඔවුන්ට පැමිණිලි කිරීමට හැකියාව පවතිනවා.....“ ඒ කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී කේ ප්‍රභාත් චන්ද්‍රකීර්තිය.

මෙම අවම වැටුප අදාළ වන්නේ කම්කරු නීති වලින් ආවරණය වන පිරිස් සඳහා පමණි. ස්වයං රැකියා නියුක්තිකයින්ට මෙම ආවරණ හිමි වන්නේ නැත. කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ රැකියාවේ සුරක්ෂිත බව වෙනුවෙන් ගත් මේ පියවර බොහෝ දෙනෙකු ඇගැයිමට ලක් කරති.

Comments