මොකද්ද මේ හික්කඩුවේ එන්නත් කලබලේ | Page 2 | සිළුමිණ

මොකද්ද මේ හික්කඩුවේ එන්නත් කලබලේ

කුණු පළාත තුළ කොවිඩ් එන්නත් කරණ වැඩසටහන මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. දකුණු පළාතට අයත් සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 49ක වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල දිවා රාත්‍රි නොබලමින් මෙකි කටයුතුවල නිරත වෙමින් සිටිති. මේ අතර ඉකුත් 27 වැනිදින හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් දොඩන්දුව රෝහණ විද්‍යාලයේ දි එන්නත්කරණ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවසම් 04ක වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා මෙකි එන්නත්කරණ වැඩසටහන සංවිධානය කර තිබුණි.

එන්නත්කරණය සඳහා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් කොවිඩ් එන්නත් 2330ක ප්‍රමාණයක් රැගෙනවිත් තිබුණි. එන්නත්කරණ වැඩසටහන සඳහා වෛද්‍යවරු 04 දෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ. යුද හමුදාවේ සෙබළුන් 07 දෙනෙකු පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා ගුවන්හමුදාවේ සෙබළියන් 02නෙකු ආරක්ෂක කටයුතු සඳහා පැමිණ සිටියහ. එන්නත්කරණ වැඩසටහන නියමිත වෙලාවටම ආරම්භ කරනු ලැබීය. ඒ වනවිට කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීම සඳහා විශාල පිරිසක් දොඩන්දුව රෝහණ විද්‍යාලය වෙත පැමිණ සිටියහ. එහි දිගු පොලිම්ද දක්නට ලැබුණි. මෙකී ග්‍රාම නිලධාරි වසම්වල පදිංචිකරුවන්ට අමතරව වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන්ද කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනිම සඳහා පැමිණ සිටියහ.

මේ අතර රත්ගම දේවිනිගොඩ පදිංචි අල්බරදුර මහේෂ් ප්‍රසන්න නැමැත්තාද කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීම සඳහා මෙම ස්ථානය වෙත පැමිණ සිටියේය. ඔහු හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචිකරුවකු ද නොවීය. හේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ ප්‍රදේශයෙන් ලබාගෙන තිබුණි. මහේෂ් හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමිය හමුවී තමන්ට දෙවැනි මාත්‍රාව ලබාගැනීමට හැකිදැයි ප්‍රශ්න කළේය. අවුරුදු 30ට වැඩි සියලු දේනාට දෙවැනි මාත්‍රාව ලබාදීලා අවුරුදු 60ට වැඩි එන්නත් ලබා නොගත් අය ඉන්නවා නම් ඒ අයටත් ලබාදීලා මේ ගැන සලකා බලන්න පුළුවන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය කීවාය. මහේෂ් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමියගේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවීය. ඔහු තවත් පිරිසක් මේ සඳහා එක්කරගෙන කල්ලි ගැසුණේය. හේ එන්නත් මධ්‍යස්ථානයේ සිටි කාර්යමණ්ඩලය සමඟ ද ගැටුම් ඇතිකර ගත්තේය.

එන්නත් කිරිම සඳහා පැමිණෙන පුද්ගලයින් ලියාපදිංචිකරන ස්ථානයේ සිටි කාර්යමණ්ඩලය සමඟ ද මොහු ගැටුමක් ඇති කරගනු ලැබීය. මැඩම් අපිට මේ කටයුත්ත කරන්න බැහැ. අපිට තර්ජනය කරනවා එහි සිටි නිලධාරින් එසේ කියමින් එක් අවස්ථාවකදි ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් ඉවත්වන්නට වූහ. මේ සමඟ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානය තුළ ඇතිවුයේ දැඩි උණුසුම්කාරි තත්ත්වයකි. ඇයි අපිට එන්නත් කරන්න බැරි එසේ කියමින් මහේෂ් ඇතුළු වෙනත් ප්‍රදේශවලින් පැමිණි පිරිසක් කෑගසන්නට වුහ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමිය ජනතාව අතරට ගොස් ජනතාවට කරුණු පැහැදිලි කරන්නට වුවාය. ඇය මෙම තත්වය පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් ගනු ලැබුවාය. ගමේ අයට එන්නත් ලබාදීලා ඊට පසු වෙනත් ප්‍රදේශවලින් ආපු අයට දෙන්නම් ඇය කිවාය. එහෙත් මහේෂ් ඇතුළු සුළු පිරිසක් ඒ කිසිදෙයක් ගණන් ගත්තේ නැත. ඔහු මෙකි එන්නත්කරණ වැඩසටහන දිගින් දිගටම විවේචනය කරමින් කථා කළේය. එන්නත් කාඩ්පත් කිහිපයක් පෙන්වු මොහු එම කාඩ්පත්වල එන්නත් ලබාදුන් බවට සලකුණු කොට ඇති බවත් එහෙත් එන්නත් ලබා නුදුන් බවට ඔහු චෝදනා කළේය.

එහි සිටි ආරක්ෂක අංශවලට එන්නත්කරණ මධ්‍යස්ථානය තුළ ඇතිවූ කලහකාරිතත්වය පාලනය කිරිමට නොහැකි විය. ආරක්ෂක අංශවල උපදෙස්මත හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමිය ඇතුළු කාර්යමණ්ඩලය එම ස්ථානයෙන් ඉවත්ව යනු ලැබිය. ඒ වනවිට කොවිඩ් එන්නත් 2130ක් ලබා දි තිබුණි. තවත් එන්නත් 200ක් පමණ ඉතිරිව තිබු අතර ඇතිවූ උණුසුම්කාරි තත්ත්වය හේතුවෙන් මේ එන්නත් ලබාදීමට නොහැකිවිය. ඊටපසුදින හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළදි ධිවර කාර්මිකයින් 23 දෙනෙකුට එන්නත් ලබාදීමට කටයුතු කරනු ලැබීය.

මෙකී මධ්‍යස්ථානයේ පැවති එන්නත්කරණ වැඩසටහන දැඩිලෙස විවේචනය කළ මහේෂ් ප්‍රසන්න නැමැත්තා 2018 වර්ෂයේ දි රත්ගම ප්‍රාදේශීය සභාවට එජාපයෙන් තරග කළ අයෙකි. ඔහු දැනට සමගි ජනබලවේගයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන අයෙකු බව අනාවරණය වී ඇත. ඒ විතරක් නොව රජය මඟින් ඉතා සාර්ථක ලෙස සිදු කරගෙන යන මෙම එන්නත්කරණ වැඩ සටහන කඩාකප්පල් කිරීම සඳහා සැලසුම් සහගත ලෙස කළ කුමන්ත්‍රණයක් බවට මේ වනවිට අනාවරණය වී ඇති බැව් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ අය මරපියව් කොටපියව් කියලා තමයි කෑගැසුවේ. එන්නත් නොකර කාඩ්පත් සලකුණු කළ බව කියනවා. කාඩ්පත් වගයක් මාධ්‍යයට පෙන්වනවා. නමුත් මේ කාඩ්පත්වල තියෙන විදපු අයගේ අනන්‍යතාව තහවුරු කරන්නේ නැහැ. ඒ අයගේ නම් ගම් කියන්නේ නැහැ. මේ අයම ඒ කාඩ්පත් සලකුණු කරාද දන්නෙත් නැහැ. නැතිනම් එන්නත් කරපු අයගේ කාඩ්පත් අරගෙන පෙන්නුවාද දන්නෙත් නැහැ. මේවා මාධ්‍යට පෙන්වන්න ඉස්සෙල්ලා අපිට කතා කරන්න තිබුණා. සෞඛ්‍ය කාර්යමණ්ඩල මානසිකව මේ අවස්ථාවේ වට්ටන්න එපා. පොළොන්නරුව අරලගංවිල අයෙකුට එන්නත් ලබා දුන් බව කියනවා. ඇත්තටම ඒ පුද්ගලයා පිළිකා රෝගියෙක් ඔහු දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි අයෙක්. පිළිකා රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගන්න අරලගංවිල ගියපු අවස්ථාවේ එම ප්‍රදේශයෙන් ඔහු පළමු මාත්‍රාව ලබාගෙන තියෙනවා. ඔහුට දෙවැනි මාත්‍රාව ලබාදීම වැරදිද? හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශිකාවක් අපි සමඟ මේ කලබැගෑනිය ගැන කිවේ එවැනි කතාවකි.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මෙසේ කිවේය.

එන්නත් කාඩ්පත සලකුණු කරලා තියෙන්නේ කවුද කියලා දන්නේ නැහැ. අපහසුතාවකට ලක්කරන්න කළාද කියලා දන්නෙත් නැහැ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය කියන්නේ. ඒ කාඩ්පත් එන්නත්කරණය කිරිමට සලකුණු කරපු කාඩ්පතක් නෙවෙයි කියලා. ලියාපදිංචි කිරිම කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්. මේ කාඩ්පත් වෛද්‍යවරු එන්නත් කරණවා කියලා සලකුණු කරලා නොගහපු කාඩ්පත් නෙවෙයි. මෙම එන්නත් මධ්‍යස්ථානය සඳහා රත්ගම හා හික්කඩුවේ වෙනත් ග්‍රාම නිලධාරිවසම්වල පදිංචිකරුවන්ද ඇවිත් තියෙනවා. නමුත් එන්නත් තිබිලා තියෙන්නේ එම ග්‍රාම නිලධාරිවසම් 04 අයට සඳහා පමණයි. එන්නත් ඉතිරි වුණොත් දෙන්නම් කියලා කියා තිබෙනවා. ඊට පසුව තමයි කලබලයක් ඇතිවෙලා තියෙන්නේ. පොලිසියත් ආරක්ෂාවට මෙකි ස්ථානයේ ඉදලා තියෙනවා. නමුත් තත්ත්වය උණුසුම් වූ නිසා යුද හමුදාවත් මෙකී ස්ථානයට කැඳවලා තියෙනවා. නමුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලය එන්නත්කරණ වැඩසටහන් කරගෙන ගිහින් තියෙනවා. මේ ගැටලුව විසඳීමට නොහැකි වීම නිසා ආරක්ෂක අංශවල උපදෙස්මත තමයි සෞඛ්‍ය කාර්යමණ්ඩලය එම ස්ථානයෙන් ගිහින් තියෙන්නේ. කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා දකුණු පළාතට තවත් කොවිඩ් එන්නත් 3.75000ක් ලැබී තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එන්නත් ලක්ෂ 02ක්, මාතර දිස්ත්‍රික්කය සඳහා එන්නත් ලක්ෂයක් හා හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා එන්නත් 75000ක් ලැබි තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා කොවිඩ් එන්නත් 375000ක් අවශ්‍යයි. මේ වනවිට එන්නත් 3.10000ක් ලැබි තියෙනවා. ඉතිරි එන්නත් 65000 ද සැප්තැම්බර් මස 04 වැනිදින වනවිට ලැබිමට නියමිතව තියෙනවා. දකුණු පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සියයට 90කට පමණ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රවා ලබා දී තියෙනවා. තව සති එකහමාරක් පමණ කාලයක් තුළදි දෙවැනි මාත්‍රාව ද සියයට 80කට පමණ ලබාදීමට හැකි බවද ඔහු පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මෙවැන්නක් පැවසීය.

මෙවැනි කටයුතුවලින් සිදුවන්නේ සෞඛ්‍ය කාර්යමණ්ඩල අපහසුතාවට ලක්වීමයි. ඔවුන් අධෛර්යවත් වෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඇතුළු කාර්යමණ්ඩල එන්නත්කරණයේ දී දිවා රාත්‍රි නොබලා විශාල කැපකිරිමක් කරනවා. මාධ්‍යයත් මේ අවස්ථාවේදි වගකිමෙන් කටයුතු කළ යුතුයි. අඩුපාඩු වැරදිවෙන්න පුළුවන්; නමුත් මේ නිසා ජනතාව තවත් කුලප්පු වෙනවා. ලංකාව එන්නත්කරණය හොඳටම කරන රටක්.එන්නත්කරණයේ ප්‍රතිපත්තිය තමයි විශාල පිරිසක් එක්තැනකට ගෙනවිත් එන්නත්කරණයට වඩා; කුඩා ඒකක විදියට බෙදලා තමයි එන්නත් කිරිම කළයුත්තේ. එක තමයි සාර්ථක ක්‍රමය. ඒ හැකියාව තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරයි.

රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති තෙම්මාදුර නිමල් මෙම සිද්ධිය ගැන මෙසේ කීවේය.

මෙදින ග්‍රාම නිලධාරිවසම් 04 ජනතාව සඳහා තමයි එන්නත්කරණ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ. එම ග්‍රාම නිලධාරිවසම්වල අයට මුලිකත්වය ලබාදිය යුතුයි. ගමේ අයට දිලා තමයි එන්නත් ඉතිරිවුණොත් පිට අයට දෙන්න ඕන. නමුත් පිටතින් ආපු අය ඉවසුවේ නැහැ. ඒ නිසා යම් සිද්ධියක් ඇතිවුණා මෙය පැහැදිලව එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල්කිරිම සඳහා කරපු කුමන්ත්‍රණයක්.

එන්නත්කරණ මධ්‍යස්ථානයේ දි ඇතිවූ සිද්ධිය සම්බන්ධව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමිය පොලිසියට ප්‍රකාශයක් ද ලබාදී ඇත. එන්නත්කරණය දැඩිලෙස විවේචනය කළ අල්බරදුරගේ මහේෂ් ප්‍රසන්න නැමැත්තා නිතිඥයන් පිරිසක් සමඟ ගාල්ල පොලිසියට පැමිණියේය. පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදෙන ලෙස මොහුට දන්වා තිබුණි. පොලිසියෙන් ලද දැනුම් දිමට අනුව මොහු නීතිඥයන් පිරිසක් සමඟ ගාල්ල පොලිසියට පැමිණියේය.

එහිදී ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කිවේය.

ඉකුත් 27 වැනිදින එන්නත් ලබා ගැනීම සඳහා මා සහ බිරිඳ රෝහණ විද්‍යාලයට පැමිණියා. උදේ ඉදලා හවස්වෙනකම් හිටියා. නමුත් එන්නත් කරණය කරගන්න මට බැරිවුණා. මා එහි සිටි නිලධාරින් සමඟ මා කතා වුණා. ජනතාවට ආසාධාරණකම් කරන්න එපා කියලා කීවා. බෙහෙත් විදින්නේ නැහැ ඔයා යන්න කියලා මට කීවා. මේ ගැන ජනතාවටත් මා කිව්වා.

හික්කඩුවේ එම් ඕ.එච් එකේ නිලධාරින් බෙහෙත් විදින්නේ නැතිව එම බෙහෙත් අරගෙන ගියා. ජනතාව වෙනුවෙන් තමයි මා කතා කළේ විඩියෝපට සමඟ සාක්ෂි සහතිව මා ඉදිරිපත් කරනවා” ඔහු කීවේය. නිතිඥවරුන් වන කමල් සොයිසා හා ජයන්ත ජයවිර යන අය මාර්ගයෙන් මොහු පොලිසියට පැමිණ සිටියහ.

Comments