රට වැහුණත් වැඩ නතර නොවුණු “මඟ නැගුම” | සිළුමිණ

රට වැහුණත් වැඩ නතර නොවුණු “මඟ නැගුම”

මඟ නැගුම නව මාර්ග ව්‍යාපෘ­ති කිහිපයක්.

 

රටක ආර්ථික හා සාමාජික ප්‍රගතියට එරටේ මාර්ග පද්ධතිය ද සුවිශේෂ ලෙස බලපාන බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි. ඒ අනුව ජනතාවට පහසුවෙන් එහා මෙහා යාමට තම කෘෂි නිපැයුම් නගරයට ගෙන ඒමට සිසු සිසුවියන්ට අසනීප ඇති අයට අවශ්‍ය ස්ථානවලට පහසුවෙන් යාමට හා සංචාරක ප්‍රවර්ධනයට රටකට හොඳ මහාමාර්ග පද්ධතියක් තිබිය යුතුමය. ඒ පිළිබඳව අවධානය යොමු කළ 2005 මහින්ද රාජපක්ෂ ජනපතිගේ රජය මෙරට මාර්ග ඉදිකිරීම පිළිබඳව කැපවූ සුවිශේෂී රාජ්‍ය ආයතනය ලෙස ‘මඟ නැගුම‘ ආයතනය පිහිටුවා ඇත.

වමේ සිට,මහා­මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමැති නිමල් ලන්සා සහ  ‘මඟ නැගුම’ සභා­පති චමින්ද බස්නා­යක

 

‘මඟ නැගුම‘ වත්මන් සභාපති චමින්ද බස්නායක මහතා පවසන පරිදි මඟ නැගුම ආයතනය 2005 දි මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පිහිටුවා ඇත.

එහි මූලික අරමුණු 3ක් තිබේ. ඒ මාර්ග සංවර්ධනය, මාර්ග ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම හා මාර්ග සංවර්ධනයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ නොඅඩුව ලබාදීමයි.

“අපේ සමාගම 2012 වන විට මෙරට මාර්ග ඉදිකරන ප්‍රමුඛතම ආයතනය බවට පත්වුණා. ඒ අනුව 2005 - 2015 අතර කාලයේදී අපි මාර්ග කිලෝ මීටර් 10,000ක් ඉදිකළා. නමුත් 2015 - 2018 වකවානුවේ මෙරට සංවර්ධනය කර ඇත්තේ මාර්ග කිලෝමීටර් 300ක් පමණයි. ඒ අනුව ඒ වකවානුවේ අපේ සමාගමේ යන්ත්‍රෝපකරණවලට හා සේවකයන්ට කිසිම වැඩක් නැති වුණා. යන්ත්‍රෝපකරණ මළකඩ කෑවා. සේවකයන්ට, නිලධාරින්ට වැඩ කරන්න ඇවිත් නිදාගන්න වුණා. මේ නිසා අපේ ආයතනය එන්න එන්නම පාඩු ලැබුවා. විශාල ලෙස අමුද්‍රව්‍ය ලබාදුන් ගල්කඩන මැෂින් දිරාපත් වුණා. නඩත්තුවත් ඇණ හිටියා.

නමුත් 2020 බලයට පත්වූ වත්මන් ජනපති ගේ මෙහෙයවීම මත ‘මඟ නැගුම‘ ආයතනය මෙරට මාර්ග සංවර්ධනයේ නියමුවා ලෙස යළි වැඩ ආරම්භ කළා.“ සභාපති චමින්ද බස්නායක පවසයි.

‘යහපාලන‘ රජයේ සමහර අය ඇසුවේ “පාරවල් කන්නද“ යනුවෙනි. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේ හැදූ අධිවේගි මාර්ගවල එලෙස ඇසූ අයත් අද යති එති. මාර්ග සංවර්ධනයේ ප්‍රයෝජනය ඒ මාර්ගය හැදු අයට පමණක් නොව බණින නොබණින හැමෝටමය.

කුණ්ඩ­සාලේ පිහිටි මාර්ග ඉදි­කි­රීම් යන්ත්‍රෝ­ප­ක­රණ පුහුණු ආය­ත­නයේ ආධු­නි­ක­යන් පිරි­සක් මාර්ග කාපට් ඇති­රීම පිළි­බ­ඳව පුහු­ණුව ලබද්දී.  
 

මෙරට ප්‍රථම වරට ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකරන්නේ වත්මන් රජයයි. ඉන් කිලෝ මීටර් 17,000ක වැඩ දැන් නිම වෙමින් පවතිනවා. ඉන් 3000 ඉදිකරන්නේ අපේ ‘මඟ නැගුම‘ ආයතනය. මෙතරම් පාරවල් ප්‍රමාණයක් වසරක් තුළ හදන්නේ ප්‍රථම වරට. අපිට ඒක ලොකු ආඩම්බරයක්.

“කැකිරාවේ ගනේවල්පොළ තමයි අපේ ප්‍රධාන කාපට් හදන මැෂින් එක තියෙන්නේ. 2015 - 2018 කාලේ අපේ තිබුණු මැෂින් කැඩිලා. ඒ අනුව එතන තිබුණු මැෂින් අපේ ඉංජිනේරුවොම අලුත්වැඩියා කළා. ඒ අනුව ගල් අඹරන ලොකු යන්ත්‍රය අපි ලක්ෂ 14ක වියදමකින් හැදුවා. ඒක රටින් ගෙනාව නම් මිලියන 35ක් යනවා. ඒ පරණ එක හදලා අපි දැන් මිලියන 37ක විතර ආදායමක් ලබලා තිබෙනවා.

ඒ වගේම පහුගිය කාලේ වැඩ ගත්තේ නැති නිසා අක්‍රිය බව නිසා වැඩ කරන්න බැරි වූ ලොකු බර වාහන රැසක් අපේ ක්‍රියාකාරි අධ්‍යක්ෂතුමාගේ මෙහෙය වීමෙන් හදලා අපි වැඩ කරගෙන යනවා.

දැන් අපි අපේ ලොකුම මැෂින් ටික ගනේවල්පොළ උපරිම ධාරිතාවෙන් වැඩ කරනවා. ඊට අමතරව අම්බලන්ගොඩ තිබුණා කාපට් හදලා ගබඩා කරන්න පුළුවන් තැනක්. නමුත් ඒවා 2015 - 2018 දි විනාශ වුණා. ගනේවල්පොළ දවසකට මෙට්‍රික් ටොන් 200ක් හදනවා.

මහාමාර්ග අමාත්‍යාංශය මඟින් දැන් අතුරු මාර්ග හා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදනවා. ලංකාවේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 116280ක් තිබෙනවා. ඉන් දැනටමත් අපි කිලෝමීටර් 17,000ක් හදලා අවසන් කරන්න යනවා. ඉන් කිලෝමීටර් 3000ක්ම කරන්නේ ‘මඟ නැගුම‘ මඟින් තමයි.

පළාත් සභා මාර්ග හා ප්‍රාදේශීය සභා මාර්ග අපි සංවර්ධනය කරනවා. පාරවල් 1500ක් අපි දැන් අවසන් කරලා තිබෙනවා. ඒවා ළඟදිම ජනතාවට බාර දෙනවා. ඒවායේ දුර කිලෝමීටර් 5000ක්. ඊට අමතරව ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාගේ මෙහෙය වීමෙන් මීටර් 3ට වඩා පළල අඩු පාරවල් සඳහා පෙර සවි කොන්ක්‍රීට් දැමීම හා කුට්ටි ගල් සවි කිරීම කරනවා. ඒ සඳහා රජය සෑම ග්‍රාම නිලධාරි වසමකටම රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් දීලා තිබෙනවා. ඒ පාරවල් ඉදිකිරීම් ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ පළාත්පාලන ආයතන මඟිනි. ඒ අනුව රටේම පාරවල් 14016ක් හැදෙනවා. ඒකට අපි ප්‍රමුඛ ලෙස සම්බන්ධ වෙලා තිබෙනවා. අපේ ආයතනයේ ඉංජිනේරුවරු, තාක්ෂණ නිලධාරින්, සේවකයන් 960ක් ඉන්නවා. ඒ අය ඉතා කැපවීමෙන් වැඩ කිරීම අපට ලොකු සතුටක්.

මඟ නැගුම ගනේ­ව­ල්පොළ යන්ත්‍රා­ගා­රය සඳහා අලු­තින් නිර්මා­ණය කළ VSI ගල් ක්‍රෂර් යන්ත්‍රයේ 
වැඩ­ක­ට­යුතු ඇරැ­ඹීම.  
 

‘මඟ නැගුම‘ ආයතනය සතු කටයුතු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් මෙන්ම මහාමාර්ග ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු චමින්ද අතුලුවගේ යන අය අපේ ආයතනයට හුඟක් උදව් කරනවා. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ සමඟම මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් ප්‍රේමසිරි, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක යන නිලධාරීන් අපේ කටයුතු සඳහා නිරන්තරයෙන් උදව් උපකාර කරනවා. ඒ පිළිබඳව අපි ස්තුතිය පළ කරනවා.“ සභාපතිවරයා පවසයි.

‘මඟ නැගුම‘ නව ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි ලෙස මුහුදු වැලි ලබා ගැනීමට කටයුතු කෙරේ. ඊට අමතරව වැව්වලින් ඉවත් කරන වැලි ලබාගෙන ව්‍යාපෘති සඳහා ලබාදීමටත් යෝජිතය.

මඟ නැගුම ඉතිහාසය බලන විට 2008දි මිලියන 400ක් වටිනා මාර්ග සංවර්ධනය කර තිබේ. 2014 මිලියන 10,000ක වැඩ සිදුකර ඇත. නමුත් 2018දි සිදු කර ඇත්තේ මිලියන 1400ක මර්ග සංවර්ධන කටයුතුය. ඊට පසු වත්මන් ජනපති පත්වීමෙන් පසු 2020 දි මඟ නැගුම කළ මාර්ග සංවර්ධන කටයුතුවල වටිනාකම මිලියන 28,000කි. 2021දි ඒ ප්‍රමාණය මිලියන 81,000 දක්වා වැඩි කර ගැනීමට ‘මඟ නැගුම‘ වත්මන් සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට හැකිවී තිබේ.

මෙවැනි ඉහළ ප්‍රගතිය නිසා පසුගිය වසරේ මඟ නැගුම ඉතිහාසයේ වැඩිම බෝනස් මුදල ලෙස එක් සේවකයෙකුට රුපියල් 25,000ක් ලබාදී ඇත. මේ වසරේ ඊට වඩා වැඩි මුදලක් ‘බෝනස්‘ ලෙස ලබාදීමට පාලනාධිකාරිය අපේක්ෂා කරයි.

“කොරෝනා තර්ජන තිබුණත් අපේ කට්ටිය දිගටම වැඩ කරනවා. ඒ කැපවීම අපි අගය කරනවා. රටම වහපු මේ කාලේ පාරවල් හදන්න ලේසියි. ඒ නිසා අපේ වැඩ වේගවත් වෙනවා. ගනේවල්පොළ මැෂින් එක දැන් දිවා රාත්‍රි වැඩ. ඒ අනුව ඒ සේවකයන්ට අපි ඉදිරියේදි දිරි දීමනාවක් දෙන්නත් අපේක්ෂා කරනවා.“ සභාපතිවරයා පවසයි.

‘මඟ නැගුම‘ මඟින් මාර්ග ඉදිකිරීම සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීමට සියලුම උත්සාහ ගෙන ඇත. ඒ අනුව එම අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීමට නිකවැරටිය රත්නායක පුර ගල් පරය, බළංගොඩ ගල් පරය, අම්බන්ගොඩ ගල් පරය, පන්නල කටුගම්පල කාපට් නිපදවන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. ඊට අමතරව පළාත් මට්ටමින් ආයතනයේ කාපට් නිෂ්පාදන වැඩපළ ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ අනුග්‍රහය ඇතිව කටයුතු කෙරේ.

මහා­මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මඟ නැගුම ගනේ­ව­ල්පොළ තාක්ෂ­ණික වැඩ­පළ නිරී­ක්ෂ­ණය කළ අව­ස්ථාව. මඟ නැගුම සභා­පති 
චමින්ද බස්නා­යක ද එහි අධ්‍යක්ෂ මණ්ඩ­ලය ද මෙහි සිටිති.  
 

‘මඟ නැගුම‘ ආයතනය තම නිෂ්පාදන ධාරිතාව පසුගිය වසර ඇතුළත විසි තිස් ගුණයකින් වැඩි කළත් රජයෙන් කිසිම අලුත් උපකරණ අලුත් යාන වාහන ලබාගෙන නොමැති වීම මෙහි විශේෂත්වයයි.

මෙරට මාර්ග සංවර්ධනය සඳහා ගන්නා යෝධ වාහන හා යන්ත්‍රෝපකරණ ධාවනය කරන හා මෙහෙයවන සේවකයන් පුහුණු කරන මෙරට ප්‍රධාන මධ්‍යස්ථානය වන්නේ ‘මඟ නැගුම‘ ආයතනය සතු කුණ්ඩසාලේ පිහිටි මාර්ග ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ පුහුණු කිරීමේ ආයතනයයි.

එම ආයතනය මඟින් එහි පුහුණු පාඨමාලා සමත්වන අයට NVQ 4 මට්ටමේ ජගත් මට්ටමෙන් පිළිගත් සහතිකයක් ලබාදෙයි. දැනටමත් මහවැලි අමාත්‍යාංශයේ, ගුවන් හමුදාවේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවකයන් සඳහා පුහුණුව ලබාදීම සිදුකරනු ලැබේ. ඊට අමතරව පෞද්ගලික අයටත් සහනදායි අයකිරීම් යටතේ පුහුණුව ලබාගත හැකිය.

මේ අනුව සමස්ත ලෙස ගත්විට ‘මඟ නැගුම‘ ආයතනය මෙරට මාර්ග සංවර්ධනයේ ප්‍රමුඛතම ක්‍රියාකාරී ආයතනයකි. නමුත් එයටත් පසුගිය ‘යහපාලන‘ සමයේදි ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය. මෙම ආයතනයේ වාර්ෂික පිරිවැටුම 2012දි මිලියන 9934කි. නමුත් එය 2018දි මිලියන 3461ක දක්වා අඩුවී තිබේ. නමුත් ‘මඟ නැගුම‘ නව පාලනාධිකාරිය පසුගිය වසර දෙක ඇතුළත ආයතනයේ පිරිවැටුම මිලියන 14000 දක්වා ඉහළට නැංවීම මාර්ග සංවර්ධන ක්ෂේත්‍රයේ පමණක් නොව මුළු රටේම ජයග්‍රහණයකි. ඒ පිළිබඳව එහි වත්මන් පාලනාධිකාරියට ද ඇගැයීම් ලැබිය යුතුමය.

Comments