වසර සියයකට පසු ලංකාවේ සිදු වූ තෙවන නිවුන් අලි දරු උපත | Page 2 | සිළුමිණ

වසර සියයකට පසු ලංකාවේ සිදු වූ තෙවන නිවුන් අලි දරු උපත

සුරංගි අලුත උපන් අලි පැටවුන් සමඟ

පින්නවල අලි අනාථාගාරයේ “සුරංගි “ පසුගිය තිස් එක් වැනිදා නිවුන් අලි පැටවුන් ප්‍රසූත කළාය. ඇය මීට පෙර 2009 වසරේදීද අලි පැටවකු බිහිකළ තැනැත්තියකි. මෙවර ඇය නිවුන් අලි පැටවුන් බිහි කළේ පින්නවල නැවතත් ලෝකයේම අවධානය යොමු කරවමිනි. පුරා අවුරුදු හයක්ම දරු සුරතල් අහිමිව සිටි පින්නවල අලි අනාථාගාරයට මෙය ඉඩෝරයට වැටුණු මහ වැස්සක්ම විය. ලෝකයේ ප්‍රථම වරට හීලෑ ඇතින්නක විසින් සතුන්වත්තක හෝ නිවාසයක පැටවකු බිහි කළේ 1984 දී පින්නවල අලි අනාථාගාරයේදීය. එහි සිටි කුමාරි නමැති කෙනර විජය නමැති හස්තියාට දාව 1984 ජූලි පස් වැනි දින සුකුමලී නමැති පැටවා බිහිකරමින් මුළු ලෝකයේම අවධානය පින්නවලට රැගෙන ආවාය.

ඉන් අනතුරුව පින්නවල අලි අනාථාගාරයේදී පැටවුන් හැත්තෑ එක් දෙනකු උපත ලැබූහ. අවසන්වරට එහි අලි පැටවකු බිහිවූවේ 2015 වසරේදීය. වසභ නමැති හස්තියාට දාව ශාන්තිමාලා නමැති කෙනර 2015 වසරේ ජූලි පස්වැනි දින අනුරාධ නම් අලි පැටවා ප්‍රසූත කළාය. පින්නවල අලි පැටවුන් නොමැතිව පැවැති දිගු නිහඬ කාලපරිච්ඡේදයට සමුදෙමින් මෙම නිවුන් පැටවුන් දායාද කිරීමට සුරංගි සමත් වූවාය.

පින්නවලට අලුතින්ම එක්වූ මෙම සිඟිති අමුත්තන් දෙදෙනා හා අලි මව සම්බන්ධයෙන් එහි පශු වෛද්‍ය රොෂාන් නිමල්ශාන්ත කරුණාරත්න පවසන්නේ මෙබන්දකි .

“ඇතින්නක ගැබ්බර වූ පමණින්ම අපි හිතන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා බඩ ලොකු වෙනවා කියලානේ. නමුත් එහෙම එකක් නැහැ.“සුරංගි“ ගැබ්බර වුණත් සාමාන්‍ය ප්‍රමාණයට තමයි හිටියේ. නමුත් මෙයාල ගර්භණී වුණාම එයාලගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ඇවිදින රටාව වෙනස් වෙලා දැඟලිලි ස්වභාවය අඩු වෙනවා. මෙයාගෙත් ඒ ලක්ෂණ තිබුණා. ටිකෙන් ටික උදරය විශාල වුණා. පියොවුරු පහළට වැඩුණා. 

සුරංගි ට කලින් පැටවකු ලැබී තිබෙනවා. ඇය විසින් පෙන්නුම් කළ මා පෙර කී ලක්ෂණවලින් ඇය නැවතත් ගර්භනී බව දැනගත්තත් අපි ඒ බව තහවුරු කරගැනීමට ස්කෑන් පරීක්ෂා කළේ නැහැ. හැබැයි අපි ඇයට නිවුන් පැටවුන් ලැබෙන්න සිටින බව නම් දැන සිටියේම නැහැ. සාමාන්‍යයෙන් පැටවකු දැමුවාට පස්සේ වැදෑමහ පිට වෙනවා. පළමු පැටියා දැමුවාට පසුව වැදෑමහ වැටෙනකල් තමයි අපි බලාගෙන හිටියේ. ඒ ගැන අවධානයෙන් වෛද්‍ය බණ්ඩාර සිටින විට තමයි දෙවැනි පැටියාත් එළියට ඇවිත් තියෙන්නේ.

සාමාන්‍යයෙන් අම්මලාත් ඉන්නවා උදරයන් සමාන වුණත් කෙනෙකුට නිවුන් දරුවන් ලැබෙනවා.අම්මා කෙනෙක්ට පැටවු දෙදෙනෙක් සිටිනවා නම් ඒ එක්කම ඇගේ හෝමෝන ක්‍රියාකාරිත්වයත් සමඟ දෙදෙනකුට සරිලන විදියට ඇඟ සකස් වෙනවා.අසාමාන්‍ය තත්ත්වයක් නැතිනම් දෙදෙනාටම කිරි වුණත් අඩුවෙන්නේ නැහැ. අපිට මේ පැටවුන් දෙදෙනාට බාහිරව කිරි දෙන්න ඕනෑද කියලා බලන්න වෙන්නේ කාලයත් එක්කයි.

පැටියෙක් ලැබුණාම අම්මලාගේ මූලික කිරි අනිවාර්යයෙන්ම දෙන්න ඕනෑ. පැටවා ලැබුණ ගමන්ම එයා එකපාරටම ළඟට ඇවිත් අම්මාගෙන් කිරි බොන්න දන්නේ නැහැ. අම්මාගේ තන පුඬුවලට පැටවා හුරු කරන්න අමාරු අවස්ථා එනවා. ඒ වගේ වෙලාවට වෛද්‍යවරු අවධානයෙන් සිටිනවා. කාර්ය මණ්ඩලයත් ළඟින්ම ඉන්න ඕනෑ කියන්නේ ඒකයි. මූලික කිරිවල තමයි පැටවාට අවශ්‍ය ප්‍රතිශක්තිකරණයට අදාළ වැඩිම පෝෂණය තිබෙන්නේ. ඒක අපි අනිවාර්යයෙන්ම පැටියාට පොවා ගන්න ඕනෑ. පැටියා බොන්නේ නැතිනම් අපි දොවලා හරි පොවනවා.

පැටියා කිරි බොන එක බලා පැටවා බොනවා අඩුවක් තිබෙනවා නම් හරි අම්මාට කිරි අඩු නම් හරි අපි විකල්පයකට යනවා. මේ හැම එකක්ම ළඟ ඉඳලා නිරීක්ෂණය කරන්න ඕනෑ.ඇතින්නට කිරි අඩුනම් කිරි වර්ධක හරි අම්මාගේ කිරි අඩු නිසා පැටවාට වෙනත් කිරි හරි පොවන්න වෙනවා.ප්‍රායෝගිකව යෙදෙන විදියත් එක්කයි ඒවා සියල්ලක්ම තීරණය කරන්න වෙන්නේ. දැනට නම් අලි අම්මයි බබාලා දෙන්නයි හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව කියන්න පුළුවන්.

මේ ක්‍රියාවලිය පිටුපස අපේ කණ්ඩායමක් ලෙස කැපවීමෙන් එක්වූ විශාල පිරිසක් සිටිනවා. අපි මේ කටයුතු සියල්ලක්ම සිදු කළේ විද්‍යාත්මකව සලකා බලමින්. සුරංගි සමඟ එකතුවීමට පණ්ඩු තෝරාගත්තේත් පළමු වතාවටයි. එයත් කුඩා කාලයේ කැලයේ අතරමංව සිට හමුවී පින්නවලට ගෙන ආ සතෙක්. ඒ නිසා එයාටම ආවේණික ලක්ෂණ තිබුණා.“

සුරංගි සහ පණ්ඩු ගැන වඩාත් හොඳින් දන්නා තැනැත්තා පින්නවල අලි අනාථාගාරයේ ජ්‍යෙෂ්ඨ පාලක (සත්ව) සංජය කුමාර රත්නායකය. අපි ඔහුවද මෙම කතාබහට හවුල්කර ගත්තේ එබැවිනි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් උඩවලව ඇත් අතුරු සෙවණේ ඉඳලා සුරංගි පින්නවලට ගෙන ආවේ 1997 අවුරුද්දේ දෙසැම්බර් 03 වැනිදා. සුරංගි ඇත් අතුරු සෙවණට ගෙනවිත් තිබුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුරංගල්ගම කියන ප්‍රදේශයෙන්. එයා අතරමංව ඉඳලා මුණ ගැහුණු ගමේ නම සම්බන්ධ කරගෙන තමයි වනජීවී නිලධාරින් ඇයට සුරංගි කියන නම තබා තියෙන්නේ. සුරංගි 1996 ඉපදෙන්න ඇති කියලා විශ්වාස කරනවා. එයා පින්නවලට ගෙන එනකොට එයාට වයස අවුරුද්දක් විතර ඇති.

සුරංගි සමඟ මීනා , සපුමලී, කුමාරි සහ මිහිඳු කියන අලි පැටවුන් පස්දෙනා එදා ඇත් අතුරු සෙවණෙන් පින්නවලට ලැබුණා.

ඒ හැමෝටම එම නම් තබා තිබුණේ වනජීවී නිලධාරින් විසින්. රත්නසිරි වික්‍රමනායක එවකට වනජීවී ඇමතිතුමා පින්නවල අලි අනාථාගාරයට පැමිණ මෙම අලි පැටවුන් පස්දෙනා සංචාරක ඇමැතිව සිටි ධර්මසිරි සේනානායකට බාර දුන්නා.

සුරංගි මීට කලින් 2009 වසරේ මැයි 24 වෙනිදා පැටවෙකු බිහි කළා. ඇගේ ඒ කුලුඳුල් පැටවා කනක ගේ පියා ජයතු. ජයතු පින්නවල අලි පැටවුන් වැඩිම සංඛ්‍යාවකට පිය පදවිය උරුම කරගත් එක් සාමාජිකයෙක්. එවන් අවස්ථාවක් ලබාගත් අනෙකුත් පින්නවල අලින් වෙන්නේ නීලා , නීලගිරි හා වසභ යන අලින්. කනක මේ වෙනකොටත් පින්නවල අලි රංචුවේ දඟකාරයෙක්.

මේ නිවුන් පැටවුන්ගේ පියා පණ්ඩු 2004 අවුරුද්දේ මැයි පස්වෙනිදා පින්නවලට ගෙන ආවේ වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ අතරමංව සිටියදී වනජීවී නිලධාරින් විසින් සොයා ගෙන. එතකොට පණ්ඩුටත් අවුරුද්දක් විතර වයස ඇති. එයා පින්නවලට ගෙනෙන විටත් එයාගේ වම් කන් පෙත්තේ කොටසක් තිබු‍ණේ නැහැ. එයා කුඩාම කාලයේදී එම කනේ කොටසට වන සතෙකුගෙන් හානි වූ බවටයි සැක කරන්නේ. පණ්ඩූ පිය පදවිය ලැබුවේ මේ පළමු වතාවටයි.

මෙම සුවිශේෂී නිවුන් අලි උපත සම්බන්ධයෙන් වූ කතාබහට හීලෑ අලි හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්නද අපි සම්බන්ධ කරගත් අතර ඔහු පවසන්නේ මෙබන්දකි. 

“පින්නවල සිදුවූ මේ නිවුන් අලි උපත ඉතාම විරල සිදුවීමක්. මීට අවුරුදු සියයකට පමණ පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය උපන් දිනයේ මහවලතැන්න වලව්වේ මෙවැනි නිවුන් අලි උපතක් පිළිබඳව කියවුණත් ඒ පිළිබඳ පැහැදිලි තොරතුරු නැහැ. ඊට අමතරව ආචාර්ය පිලපිටිය මහතා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිදුවූ නිවුන් අලි උපතක් ගැන මීට ටික කාලයකට පෙර වාර්තාකර තිබුණා. ඒ හැර සාමාන්‍යයෙන් හිලෑ අලින්ගෙන් පිරිමි හෝ ගැහැනු එක් පැටවකු පමණක් බිහිවූ බවට තමයි තොරතුරු තිබෙන්නේ.

නිවුන් අලි පැටවුන් ඉපදීමයි, දළ සහිත ඇත් පැටවුන් ඉපදීමයි ඉතා විරල සිදුවීම්. පින්නවල මෙතෙක් ඉපදුණු අලි පැටවුන් හැත්තෑ ගණනින් දළ තිබෙන අලි පැටවුන් පස් දෙනයි ඉපදී තිබෙන්නේ.එයිනුත් එක් පැටවකු අසනීපව මියගියා. අවුරුදු හයක් විතර අලි පැටවුන් නැතිව සිටි පින්නවලට මෙලෙස අලි පැටවුන් දෙදෙනෙක් ඉපදීමත් විශාල භාග්‍යයක්.

අනතුරුව අපි ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ පුබුදු වීරරත්නද අපේ කතාබහට එක්කර ගතිමු.මේ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙබන්දකි.

“ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිතව නිවුන් අලි ඉපදුණු බවට ලිඛිත වාර්තා නැහැ. වාර්තාවී තිබෙන්නේත් අලි ඇතුන්ගේ උපත් අතළොස්සයි. පෞද්ගලික අලි හිමියන්ගේ ළඟ සිටින අලින්ගෙන් අලි පැටවුන් උපන් බවට අවස්ථා දෙකකදී වාර්තාවී තිබෙනවා. කෑගල්ලේ සෑම් සමරසිංහ ළඟ සිටි ඇතින්නකටත්, කොට්ටාවේ පියදාස නමැති අයෙකුට අයිති ඇතින්නකටත් එක පැටවකු බැගින් ලැබිලා තියෙනවා. ඊට අමතරව ලංකාවේ හීලෑ අලි ඇතුන්ගෙන් පැටවුන් බිහිවූ බවට තොරතුරු නැහැ. කැලෙන් අලි පැටවුන් හොරෙන් අල්ලාගෙන ඇවිත් ගෙදර ඉපදුණා කියන ඒවා තමයි අනිත් ඒවා.

මේ අලි පැටවුන් දෙදෙනා ලැබෙන්නේ අවුරුදු හයකට පසුව. අවුරුදු හයක් යනකල් පින්නවල අලි පැටවුන් නොලැබෙන්න හේතුව පැටවු ලැබෙන්න ඕනෑ හොඳම වයසේ අලි එක එක තැන්වලට බෙදා දීමයි.

පින්නවල අලි ගහනය වැඩි නිසා බෝ කිරීමේ කටයුතුවලට බාධා වෙනවා කියන එක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකට උත්තරය පෞද්ගලික අංශයට අලි බෙදාදීමත් නොවෙයි.

අලි වැඩි නම් හම්බන්තොට සෆාරි උද්‍යානයට හෝ උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන්න පුළුවන්. පුබුදු වීරරත්න පැවසීය.

Comments