වෛද්‍ය ජයරුවන් සහ තයිරොක්සීන් පෙත්ත | සිළුමිණ

වෛද්‍ය ජයරුවන් සහ තයිරොක්සීන් පෙත්ත

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

සුගිය 31 වැනි දින වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවේ අන්තර්ජාල නාළිකාවක් සමග සිදු කළ සංවාදයකදී මෙරට නිෂ්පාදනය කෙරෙන තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක් කළා යන චෝදනාව නිසා ය. එහිදී සිය නීතිඥයා මාර්ගයෙන් ලිපියකින් කරුණු දක්වමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉල්ලා සිටියේ ප්‍රකාශයක් ලබා දීම සඳහා දින 14ක කාලයක් ලබා දෙන ලෙසයි. වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, වෛද්‍ය රසිත විජේවන්ත සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති, වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ යන දෙපළ විසිනි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මෙරට නිෂ්පාදනය කළ තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය සහ එම තයිරොක්සින් පෙති පාවිච්චි කළ රෝගීන් රෝග සුව නොවූ බවට පැවසුවේ යැයි ප්‍රකාශ කළ යූ ටියුබ් නාළිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාව විනාඩි 45 ක් පමණ කාලයක් පුරා විකාශය වන්නකි. මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ චමුදිත සමරවික්‍රම විසිනි. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කොවිඩ් රෝගයට ගොදුරු වීම, ඔහුගේ දරුවන් කොවිඩ් රෝගයට ගොදුරුවීමේ අවදානම, සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ පවුල්වල අය කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවදානම, දරුවන් එන්නත්කරණය කිරීම, පී.සී.ආර්. කට්ටල හා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අඩු මිලට ගෙන්වීමේ හැකියාව යනාදි වශයෙන් කරුණු ගණනාවක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරනු ලබන තයිරොක්සින් ඖෂධය ගැන කතා කෙරෙන්නේ ඉන් අනතුරුවය. ඒ පිළිබඳව ඔහු කළ ප්‍රකාශය මෙසේ දක්වමු.

“ඔබ දන්නවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව රටේ අඩු මිලට ඖෂධ නිෂ්පාදනය කරනවා. ඔබ විශ්වාස කරනවාද අමුද්‍රව්‍ය ගෙනල්ලා අඩු මිලට පෙති හදනවා කියලා. නැහැ. පිටි මිශ්‍රණ. ඊයේ පෙරේදා තයිරොක්සින් පෙත්තක් හැදුවා. පැනඩෝල් එකක් හැදුවා. මේ වගේ ඒ බෙහෙත හදන්න ඕනෑ අමුද්‍රව්‍ය ෆෝම්‍යුලාව එහෙම නැතිනම් මිශ්‍රණය වෙන්න ඕනෑ ෆෝම්‍යුලාව (formula) ඔය SPMC එකේ නැහැ. ඒකේ තියෙනවා; තයිරොක්සින්වලට නැහැ. නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමාගේ කාලයේ හදපු එකක් තියෙනවා. ඒත් මේ පාර හදපු තයිරොක්සින් එකේ බෙහෙත් පිටි මිශ්‍රණය ගෙනාවේ. ඒ මිශ්‍රණය ගෙනල්ලා මැෂින් එකේ දාලා compress කරලා පෙත්ත දෙන එක කරන්නේ. හැබැයි ඒකත් කොච්චර ප්‍රමිතියෙන් යුතු පෙති මිශ්‍රණයක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? මොකද ඔය තයිරොක්සින් පෙති බොන මිනිස්සු කියනවා තයිරොයිඩ් ග්‍රන්ථි ආබාධ සනීප වෙන්නේ නැහැ කියලා.....“

ඔහුගේ මෙම ප්‍රකාශයේ බෙහෙත් පෙති මිශ්‍රණයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කර තිබේ. තයිරොක්සින් පෙති බොන රෝගීන් ආබාධ සුව නොවූ බව පවසා තිබේ.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ කට වැරදුණේ එතැනිනි. මන්ද තයිරොක්සින් ඖෂධය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට පිරිනමා එළිදැක්වීමේ උත්සවයක් තිබුණද තවමත් ඖෂධය වෙළෙඳපොළට නිකුත් කර නොතිබෙන බැවිනි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිෂ්පාදනය කළ තයිරොක්සින් පෙති වෙළඳපොළට නිකුත් තර නොතිබියදී රෝගීන් ඒවා පාවිච්චි කර ආබාධ සුව නොවූ බව පවසන්නේ කෙසේදැයි යන ගැටලුව ඕනෑම කෙනෙකුගේ සිත් තුළ පැන නඟින්නේ නිරායාසයෙනි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, වෛද්‍ය රසිත විජේවන්ත සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගනු ලැබුවේ එමනිසාය.

ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ ප්‍රකාශය මුළුමනින් ම අසත්‍ය බවත් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කර ඔවුන් පිටුපස සිටින්නේ කවුද කියන කාරණය හෙළි කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් සඳහන් කළේය.

“තයිරොක්සින් ඖෂධය රත්මලාන ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ කර්මාන්තශාලාවේ එළිදැක්වුවාට උත්සවයක් තියලා අපි තවම එය වෙළෙඳපොළට නිකුත් කළේ නැහැ. සැප්තැම්බර් මාසයේ සිට වෙළෙඳපොළට නිකුත් කරන්න තමයි අපි සැලසුම් කර තිබුණේ. හැබැයි ඒ ප්‍රකාශය නිකුත් කළ පුද්ගලයා මොකක්ද කිව්වෙ? SPMC ඖෂධය බීලා රෝගින් කියනවාලු ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒක අමූලික බොරුවක්. පට්ටපල් බොරුවක්. මේකේ ප්‍රතිඵල කියන්න තවම තයිරොක්සින් ඖෂධය වෙළෙඳපොළට දාලාත් නැහැ. ඉන්දියාවෙන්, පකිස්තානයෙන්, බංග්ලාදේශයෙන් තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වනකොට කට වහගෙන හිටපු මිනිස්සු අද ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරනකොට භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලන්න පටන් අරං තියෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා නිසි පරීක්ෂණයක් කරලා මොවුන් පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා.“ ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ඒ ආකාරයටය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව සැලකිල්ලට ගත් විට 2019 වර්ෂය වන විට පැවැති පෙති හා කරල් මිලියන 2300ක ප්‍රමාණය මේ වන විට එහි උපරිම ධාරිතාව වන පෙති හා කරල් 3000 ඉක්මවා තිබේ. වසරක් තුළ නවතම ඖෂධ වර්ග 7ක් නිෂ්පාදනය කර තිබේ. මෙම නව ඖෂධ වර්ග රජයේ රෝහල් පද්ධතියට ලබා දීමෙන් ඖෂධ ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කර ගැනීමට හැකි වී තිබේ. ලංකාවේ දැනට බහුලව භාවිත කරන සහ මෙරට නිෂ්පාදනය කර ගත හැකි ඖෂධ වර්ග 3ක් ලෙස තයිරොක්සින්, ට්‍රැමඩොල් සහ ක්ලොපිඩොග්‍රේල් යන ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීමට අත ගැසූ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මුලින්ම නිෂ්පාදනය කළේ ක්ලොපිඩොග්‍රේල් ඖෂධය පමණි. හෘදයාබාධ, පර්යන්ත ධමනි අවහිරතා, ආඝාතය ඇති වීම වැළැක්වීම සඳහා භාවිත කෙරෙන ක්ලොපිඩොග්‍රේල් ඖෂධ්‍ය ආනයනය කිරීම සඳහා වසරකට රජය රු: මිලියන 317 කුත් පෞද්ගලික අංශය විසින් රු: මිලියන 400 කුත් වැය කරනු ලබයි. මෙම ඖෂධය නිෂ්පාදනය කිරීමෙන් පිටරටට ඇදී ගිය රු: මිලියන 700ක් පමණ මෙරට ඉතිරි කර ගත හැකිවේ. එමෙන්ම සේලයින් මිල දී ගැනීමට රජය විසින් දිනකට වැය කළ රු: ලක්ෂ 50ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා පෞද්ගලික ආයතනයක් එක් වී කුණ්ඩසාලේ සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇරඹීමත් සමගය.

තයිරොක්සින් ඖෂධය ආනයනය සඳහා රජයට වාර්ෂිකව රුපියල් මිලියන 500ක් පමණ වැය වේ. 2021 අගෝස්තු 06 දා එළිදැක්වූ ට්‍රැමඩොල් සහ තයිරොක්සින් ප්‍රමිති සුරක්ෂිත පර්යේෂණාගාරයේ තත්ත්ව සහතිකය ලැබුණු පසුව රජයේ රෝහල්වලට සහ ඔසුසල්වලට බෙදා හැරීමට නියමිතය. එසේ තිබියදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ මෙම ප්‍රකාශයෙන් ජනතාව තුළ ඖෂධය පිළිබඳව විශ්වාසයක් නැති විය හැකිය.

මේ වන විට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කොග්ගල ආයෝජන කලාපයේ පිහිටා ඇති ඉන්සියුලින් සහ එන්නත් නිෂ්පාදනාගාරයේ ඉදිකිරීමේ කටයුතු අවසන් කර ඇති අතර 2022 දී නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිත ය. කටුනායක ආයෝජන කලාපයේ පිහිටා ඇති එන්නත් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු 2022 දී ආරම්භ කිරීමට සූදානම් කර තිබේ. ජා-ඇල ප්‍රදේශයේ පිහිටා ඇති සෙෆොලස්පෝරින් එන්නත් හා සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනාගාරවල කටයුතු 85%ක් පමණ අවසන් කර තිබෙන්නේ පිටරටට ඇදී යන මුදල් ඉතිරි කර ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ය. මහනුවර පල්ලෙකැලේ ආයෝජන කලාපයේ පිහිටා ඇති එන්නත් හා නික්ෂේපණ ද්‍රාවණ නිෂ්පාදනාගාරයේ නිමැවුම් ඉදිරි මාස 6 ඇතුළත රාජ්‍ය හා පෞද්ගලික රෝහල් පද්ධතිය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් හදිසි මිල දී ගැනීම් නැවැත්වීමෙන් පමණක් 2020 වර්ෂය තුළ රුපියල් මිලියන 1140ක් ඉතිරි කර තිබේ.

දේශීය ඖෂධ අවශ්‍යතාව සපුරාලමින් දේශීය ඖෂධ නිෂ්පාදනය වැඩිදියුණු කර විශාල මුදලක් ඉතිරි කර ගැනීමට දරන ප්‍රයත්නයේදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තයිරොක්සින් ඖෂධය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය, රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් පැවසූ බව ඇතැමුන්ගේ අදහසය. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් විමසිමක් කළේ එබැවිනි.

“මා සමඟ සිදු කළ සම්පූර්ණ කතාව බලන්න. ළමයින්ට කොවිඩ් එන්නත් ලබා දීම ගැන, ඇන්ටිජන් හා පී.සී.ආර්. කට්ටල අඩු මිලට ගැනීම සම්බන්ධයෙනුත් මම කතා කළා. මම කතා කළේ කාවවත් ඉලක්ක කරලා නෙමෙයි. මගේ ඉලක්කය වුණේ මහජනතාව. මම කතා කළේ මහජනතාවට පක්ෂව“ යනුවෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යනු පළමු කොවිඩ් රැල්ල එන අවස්ථාවේදී බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුර හෙබවූ අයෙකි. ඉන්පසුව ඉතා කෙටි කලක් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේය. දැන් ඔහු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙයි. එවැනි වගකීම් සහිත රාජ්‍ය නිලධාරියකු ගමේ කෝපිකඩේ සිටින කටමැත දොඩවන අයකුගේ තත්ත්වයට පත් විය යුතු නැත. දැන් ඔහුට ඔහු කී දේ ආපසු කටට දමා ගත නොහැකිය. තවත් දින කීපයකින් ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් උත්තර බැඳීමට සිදු වන්නේ එබැවිනි.

Comments