
“සීනි නැතිව තේ බොන්නම්”, “හාල් නැතිව බත් කන්නම්” යනුවෙන් ඉස්සර පෙළපාළිවල ජනතාව කෑගැසුවත් අද අපේ බොහෝ ජනතාවකට සීනි නැතිව තේ බොන්න බැරිය. එසේම අද සීනි දමලා තේ බොන්නත් බැරිය. ඒ විවෘත වෙළෙඳ පොළේ සීනි කිලෝවක මිල රුපියල් 240 ට ඉහළ නැඟ ඇති බැවිනි. මේ අයුරින් රටේ සීනි මිල වැඩි වුවත් ලියාපදිංචි නොකළ ගබඩාවල නම් සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් තිබෙන බව ආරංචි වෙයි. නමුත් මේවා වෙළෙඳ පොළට දැමීමට අපනයනකරුවෝ හා කූට තොග වෙළෙන්දෝ මාස 8 ක් තිස්සේම කටයුතු නොකළහ. ඒ අධික ලාභ ලබා ගෙන සීනි වැඩි මිලට විකිණීම පිණිස ව්‍යාජ සීනි හිඟයක් මවා පෑමේ උපක්‍රමයක් ලෙසය. පාරිභෝගික අධිකාරියත් මේ පිළිබඳව උනන්දුවක් දැක්වූයේ නැති වීමත් ඔවුන්ට වාසියක් විය.
සියලු සමීක්ෂණ වාර්තා අනුව මෙහිදී සිදු කර තිබෙන්නේ 2020 ඔක්තෝබර් මාසයේ සීනි ආනයන බද්ද ශත 25 ට අඩු කළ පසු මාස 6 ක් ඇතුළත මෙරටට වසරකටත් වඩා අවශ්‍ය සීනි තොග ගෙන්වා ලියාපදිංචි නොකළ ගබඩාවල හොර රහසේ රැස්කර තැබීමයි.
අපේ රටේ සීනි ඉල්ලුම වාර්ෂිකව මෙට්‍රික් ටොන් ලක්ෂ 5.5 - 6 ක් අතර වේ. මාසික සීනි පරිභෝජනයට මෙට්‍රික් ටොන් 35000 - 50000 අතරවේ. 2018 දී සීනි මෙට්‍රික් ටොන් 460872 ක් පිටරටවලින් ගෙන්වූ අතර මෙරට නිපදවා ඇත්තේ සීනි මෙට්‍රක් ටොන් 57265 ක් පමණි. සීනි මෙරටට ගෙන්වීමට වසරකට රුපියල් කෝටි 3500 - 3800 අතර මුදලක් වැයවන බව මහ බැංකු වාර්තා ගෙන හැර දක්වයි.
දැනට මාසයකට පමණ පෙර සතොස සීනි කිලෝවක් වික්කේ රුපියල් 99 කට ය. නමුත් අගෝස්තු 28 පමණ වනවිට විවෘත වෙළෙඳ පොළේ සීනි කිලෝ 1 ක මිල රුපියල් 220 -240 අතර විය. 2021 අගෝස්තු අග සතියේ සතොස ශාඛාවලද සමුපකාරවලද සීනි ඇටයක්වත් තිබුණේ නැත.
2020 වසරේ ඔක්තෝබර් 10 පමණ විටදී රජය මෙරටට ගෙන්වන සීනි කිලෝවකට ආනයනික බදු මුදල ශත 25 දක්වා අඩු කළේ ය. ඒ අනුව රජය නියම කළේ සීනි කිලෝවක් රුපියල් 85 ට ජනතාවට ලබාදීමට ය. නමුත් 2020 ඔක්තෝබර් 14 සිට 2021 ජූනි දක්වා මෙරටට අඩු බදු මුදල යටතේ ගෙනා සීනි මෙට්‍රික් ටොන් 58400 ක් මෙරට ගබඩාකර තබා රටේ සීනි හිඟයක් මවා පෑමට කූට ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් කටයුතු කළහ. මේ නිසා මෙරට සීනි හිඟයක් ද සීනි මිල ඉහළ යාමක් ද ඇතිවිය.
මේ අතර අපේ රටේ 2020 නොවැම්බර්වල සිට මෙරටට ගෙනා සීනි හොර රහසේ ගබඩාකර තැබීමක් පිළිබඳව විද්‍යුත් මාධ්‍ය නාළිකාවකට ඔත්තුවක් ලැබිණි. ඒ අනුව එම නාළිකාව ලබාදුන් තොරතුරු අනුව පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය වත්තල මාබෝල ප්‍රදේශයේ තිබූ සීනි ටොන් 4800 ක් ඇති ගබඩාවකට ‘සීල්’ තිබ්බේ සීනි ජාවාරමක සුල මුල හෙළිකර ගනිමින්ය.
ඊට පසු රට තුළ කෘතිම සීනි හිඟයක් මවා පාමින් අනවසර ලෙස සීනි ගබඩා කර සීනි මිල ඉහළ දැමීමට කටයුතු කළ තවත් කූට ව්‍යාපාරිකයන් ගණනාවක් නීතියේ රැහැනට අල්ලා ගැනීමට පාරිභෝගික අධිකාරියට හැකි විය.
කූට ආනයනකරුවන් පිරිසක් මෙම ජාවාරම පසුපස සිටින බවත්, මෙම ජාවාරම්කරුවන් මෙලෙස සීනි තොග සඟවාගෙන හිතූ හිතූ මිලට සීනි මිල ගණන් පවත්වාගෙන යාමට හැකියාව ඇත්තේ 2021 අප්‍රේල් මසදී රුපියල් 85 ක්වූ සීනි සහතික මිල ඉවත් කිරීම නිසා බවත් පාරිභෝගික සංගම් නිලධාරීහු පවසති. මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල පමණක් ලියාපදිංචි නොකළ ගබඩා තුළ සීනි මෙට්‍රික් ටොන් 82000 ක් ඇතැයි ද වාර්තාවේ.
පසුගිය සතිය ඇතුළත මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් තිබූ ගබඩාවලදී ඇල්ලූ අනවසර ගබඩාවල තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 30000 කි. අලුත් බුද්ධි අංශ තොරතුරු අනුව මෙවැනි ගබඩා රට පුරා පිහිටා තිබේ.
මේ අනුව ඒ මාෆියාවට කදිම විසඳුමක් දීම පිණිස මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වැනි කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි 30 මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් ප්‍රකාශයට පත් කර තිබිණි.
සීනි තොග සැඟවීම, අධික මිල ගණන් අය කිරීම මඟින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළෙඳපොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා මෙන්ම රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබාදීමට බලය ලත් නිලධාරීන්ට කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබාදී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අය කරගැනීමටත් හැකිවන පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.
සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පත් කරන ලදී.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා අනවසර සීනි තොග ගබඩා සියල්ල තුළ තිබූ සීනි තොග පිළිබඳ සොයා බලා ඒවා රජයට පවරා ගැනීමට පසුගිය අඟහරුවාදා සිට පියවර ගත්තේ ය.
ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 29,900 ක ප්‍රමාණයක් පිළිබඳව විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.
මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මඟින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ද මේජර් ජනරාල් නිවුන්හැල්ල පවසයි.
සීනි කිලෝවකට අය කළ රුපියල් 50 ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වැනි දින සිට ශත 25 ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,878 කි.
2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජූනි 30 වැනි දින දක්වා සීනි මෙට්‍රික් ටොන් 5,84,000 ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 35000 - 50000 අතරවේ.
එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාවද ඉක්මවමින් එම මාස 6 ඇතුළත මාස 17 කට අවශ්‍ය සීනි ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව කරුණු දක්වන ආපණශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් පවසන්නේ මේ සීනි මිල වැඩිවීමට හේතුව 2020 ඔක්තෝබර්වල ශත 25 දක්වා ආනයන බදු අඩු කළ පසු ආනයනකරුවන් සීනි ටොන් ලක්ෂ ගණනක් ගෙනත් ගබඩාකර තිබීම නිසා බවයි.
“රජය මේ පිළිබඳව හරියට බැලුවේ නැහැ. මාධ්‍ය ආයතනයක් ඒක පෙන්වා දෙන තුරුම පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේවා ඇල්ලුවේ නැහැ. දැන් විකුණන්න තිබෙන සීනිවලත් ප්‍රමිතියක් නැහැ. මේ සීනි ගබඩා පිළිබඳව පාරිභෝගික අධිකාරිය මීට පෙර අවධානය යොමු කළා නම් සීනි මිල මෙතරම් ඉහළ යන්නේ නැහැ” අසේල සම්පත් පවසයි.
රජය කෙසේ කීවත් පසුගිය බදාදා වනතුරු සතොස හා සමුපකාර අලෙවි හල්වලදී ජනතාවට සහන මිලට ලබාදුන්නේ එක් සීනි කිලෝවක් පමණි.
“මගේ පවුලේ 7 දෙනෙක් ඉන්නවා. මට මේ සීනි කිලෝ එක දවස් දෙකකටත් මදි. පැයක් විතර පෝලිමේ ඉඳලා සීනි කිලෝවක් අරන් මොකටද? දැන් අපිට මේ සීනි පෝලිමේ ඉඳලා කොරෝනාත් හැදෙනවා” යනුවෙන් පෝලිම්වල සිට සීනි සහන මිලට ගත් පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
සීනි හා අත්‍යාවශ්‍ය ආහාර පාලන මිලට ජනතාවට ලබාදීමට හදිසි නීතිය පැනවීම පිළිබඳව සමගි ජන බලවේගය සිය නොසතුට පළ කර ඇත. ආහාර පාන කටයුතු පාලනය සඳහා පාරිභෝගික ආරක්ෂණ පනතේ බලතල ප්‍රමාණවත් බව සමගි ජනබලවේගය පවසයි.
මේ පිළිබඳ කරුණු දක්වන උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසන්නේ මෙරට සීනි හිඟය මැඬ පැවැත්වීමට ලංකා සීනි සමාගමේ හා මෙරට සීනි නිෂ්පාදන ආයතනවල නිෂ්පාදනය දෙගුණ කර සීනි කිලෝවක් රුපියල් 125 බැගින් සතොස හා සමුපකාරවලට ඇති තරම් ලබාදෙන බවයි.
ලංකාවේ සීනි කර්මාන්ත ශාලාවලින් නිපදවෙන්නේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 20% ක් පමණක් බවත් ඉදිරියේදී ලංකා සීනි සමාගම මැදිහත්වී සුදු හා දුඹුරු සීනි පිටරටින් ගෙන්වීම ආරම්භ කරන බවත් ඇමැතිවරයා කියයි.
“එවිට පසුගිය දිනවල කළා වගේ සීනි මාස ගණන් ගබඩා කරගෙන හිතූ හිතූ අයුරින් මිල වැඩි කරන්න බැහැ. සීනි හංගා ගෙන කරපු සීනි මාෆියාව දැන් ජනපතිගේ උපදෙස් අනුව අවසන් කරමින් පවතිනවා. මින් පසු සීනි මිල රුපියල් 130 ක ස්ථාවරයක පවත්වා ගන්නවා” යැයි ද ඇමැතිවරයා කීය.
මේ අතර ලංකා සීනි සමාගම මෙරට සීනි හිඟයට හා සීනි මිල ඉහළ යාමට විකල්ප පිළියමක් ලෙස තම සීනි නිෂ්පාදන ධාරිතාව දෙගුණ කිරීමට කටයුතු යොදා ඇතැයි එහි මෙහෙයුම් නිලධාරි මේජර් වජිර කුමාරතුංග පවසයි.
“අපේ සභාපති ජනක නිමලචන්ද්‍ර හා ප්‍රධාන විධායක නිලධාරි ගාමිණී රාසපුත්‍ර යන අයගේ උපදෙස් අනුව අපි උක් වවන වපසරිය හෙක්ටයාර් 3500 සිට හෙක්ටයාර් 7000 දක්වා වැඩි කළා. ඒ අනුව අපේ සීනි නිපදවීම දෙගුණ වෙනවා. ඒ සීනි තනිකරම අපි ලබාදෙන්නේ අපේ රටේ ජනතාව සඳහායි.” මේජර් වජිර කුමාරතුංග පවසයි.
සීනි හිඟයකින් තොරව මුළු රටටම ලබාදීම පිළිබඳව කරුණු දැක්වූ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසන්නේ ජනපතිගේ උපදෙස් පරිදි කටයුතු කිරීම මඟින් දැන් සීනි ගැටලුව නිරාකරණය වෙමින් පවතින බවයි.
“ඉදිරි සතිය වනවිට මෙරටේ සීනි මිල රුපියල් 122 - 128 අතර තිබේවි. ආනයනය කරුවන් සඟවා ගෙන තිබූ මෙට්‍රික් ටොන් 30000 සීනි ප්‍රමාණය හා වැරැදි අයුරින් ආනයනය කිරීම නිසා වරායේ සඟවාගෙන තිබූ සීනි තොග අපේ රටේ පාරිභෝගිකයන්ට රුපියල් 130 ගණනේ දැන් ලබාදීමට වෙළෙඳ පොළට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.”
දැන් කූට ව්‍යාපාරිකයන්ට සීනි තොග සඟවා ගෙන තබාගන්න බැහැ. එසේ කළොත් ඒවා රාජසන්තක කර ජනතාවට බෙදලා දෙනවා. මේ අනුව කියන්න තිබෙන්නේ මෙතෙක් කල් තිබූ සීනි මාෆියාවට අපි දැන් තිත තිබ්බා කියලයි.” රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවසූයේ දැන් ඉතින් කාටවත් සීනි නැතිව තේ බොන්න අවශ්‍ය නැති බව පසක් කරමිනි.
මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමකදී වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල් විසින් පවරාගනු ලබන ආහාර ද්‍රව්‍ය සියල්ල සහන මිලකට සතොස සමුපකාර හා Q Shop මඟින් ඉක්මනින් ජනතාවට ලබාදෙන බවයි.
රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මවා පෑම වැළැක්වීමට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය කඩිනමින් කටයුතු කරන බවත් ඔහු කියයි.
පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝවක් විකිණිය හැකි උපරිම මිල රු. 122 කි. පැකට් කළ සුදු සීනි 125 කි. පැකට් නොකළ දුඹුරු සීනි කිලෝවක් මෙරට තුළ විකිණිය හැකි උපරිම මිල රුපියල් 125 ක් බවත් පැකට් කළ දුඹුරු සීනි විකිණිය හැකි උපරිම මිල රු. 128 ක් බවත් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියයි.