ඖෂධ නියා­මන අධි­කා­රියේ මැකුණු දත්ත ගැන ඇත්ත කතාව | සිළුමිණ

ඖෂධ නියා­මන අධි­කා­රියේ මැකුණු දත්ත ගැන ඇත්ත කතාව

මේ දිනවල අසන්නට ලැබෙන පුවත් අතරින් ආන්දෝලනයක් ඇති කළ පුවතක් වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මැකී යෑමේ කතාවයි. දත්ත මැකී යෑම ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනගන්නේ පසුගිය ජූලි 09 වැනිදා ය. ඉන්පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. මේ වනවිට ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මැකී ගොස් ඇති බව දැනගෙන මාස 2ක් ගත වී තිබේ.

 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත ප්‍රකාශ කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අරඹා ඇති බව ය. දත්ත ගබඩාවට හානි කරන කඩාකප්පල්කාරි පිරිසක් සිටී නම් ඔවුන් ආණ්ඩු පක්ෂයේ ද විපක්ෂයේ ද ආයතනය ඇතුළත සිටින අය ද පිටත සිටින අයද කවුරු වුවත් තරාතිරම නොබලා දඬුවම් දීමට කටයුතු කරන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉතා වටිනා දත්ත මොනවාදැයි දැනගැනීම වටී.

මේ දක්වා ලියාපදිංචි කර තිබෙන ඖෂධ හා වෛද්‍ය උපකරණ, ඖෂධ ගෙන්වන සමාගම්, එකී ඖෂධවල මව් සමාගම්, ප්‍රමිතියට වඩා බාල ඖෂධ සහ ඒවා ගෙන්වූ සමාගම්, අසාදු ලේඛනයට ගිය ඖෂධ සමාගම්, ප්‍රතික්ෂේප කළ ඖෂධ සමාගම් සම්බන්ධයෙන් ඇති තොරතුරු ඉතා වටිනා රහස්‍යභාවයෙන් යුතු දත්ත ලෙස සැලකේ. මැකී ගොස් තිබෙන්නේ එකී දත්ත ගබඩාවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය කළේ 2018 දීය. මේ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අඩුම ලංසුව ඉදිරිපත් වූයේ එපික් ලංකා ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සමාගමෙනි. එබැවින් එපික් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව හිමි විය. මෙම ආයතනයේ තොරතුරු ගබඩා කර තිබෙන්නේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙහෙයවනු ලබන “රජයේ වලාකුළේ“ ය. “රජයේ වලාකුළ“ හි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පමණක් නොව රාජ්‍ය රහස්, හමුදා බුද්ධි තොරතුරු පවා රඳවා තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවට ඇතුළත් වීමට ඔවුන්ට විශේෂිත වූ මුරපදයක් තිබේ. මෙම මුරපදය දැනගෙන සිටියේ සිව්දෙනකු පමණි. එසේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවට ඇතුළත් වූයේ කෙසේද යන ප්‍රශ්නය ඇති වන්නේ නිරායාසයෙනි.

මුරපදය දැනසිටි අයකු විසින් එය වෙනත් අයකුට ලබා දුන්නාද, මුරපදය සොරකම් කළාද, බලහත්කාරයෙන් මුරපදය ලබා ගත්තාද යනුවෙන් විවිධ පැතිකඩ ඔස්සේ කෙනකු මේ ගැන සිතන්නට පෙලඹෙන්නේ නම් එය අරුමයක් නොවේ. ශ්‍රී ලංකා ටෙලි­‌ෙකාම් - මොබිටෙල් සමාගම දන්වා තිබෙන්නේ ඔවුන් රජයේ වලාකුළට සත්කාරක සේවාවක් ලබා නොදෙන බව ය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ශ්‍රී ලංකා ටෙලිකොම් දත්ත ගබඩාවේ ගබඩා කර නොමැති බව ටෙලිකොම් ආයතනය විසින් දන්වා සිටියි.

සාමාන්‍ය කෙනකුගේ පරිගණකයක දත්ත පවා දත්ත උපස්ථයක (Back up), තවත් විදිහකින් පවසන්නේ නම් විකල්ප තොරතුරු ගොනුවක ගබඩා කරනු ලබන්නේ යම් හෙයකින් දත්ත මැකී ගියහොත් තොරතුරු සුරක්ෂිත කර ගැනීමේ අරමුණෙනි. එසේ නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත එවැනි ගොනුවක ගබඩා කර නොතිබුණේ ඇයි ද යන ගැටලුව මතු වේ. එසේ නම් එයින් ගම්‍ය වන්නේ අදාළ මූලධර්ම කෙරෙහි සැලකිල්ලක් දක්වා නැති බවද?

මෙම දත්ත මැකී යෑමත් සමඟ සිදු විය හැකි අනතුරුදායක තත්ත්වය සුළුපටු නැත. ඖෂධ ලියාපදිංචිය හා අලුත් කිරීම සඳහා අයදුම්පත් බාර ගැනීම සිදු වූයේ මාර්ගගත ක්‍රමයෙනි. දැන් ඖෂධ ගෙන්වීම සඳහා ලියාපදිංචි වූ සමාගම් කවරේද යන දත්ත නැත.

ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ සමාගම්වල දත්ත නැත. අසාදුගත ලේඛනයට ඇතුළත් වූ ඖෂධ සමාගම්වල තොරතුරු නැත.

දැන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදු කරනු ලබන්නේ වෙළෙඳපොළේ ඇති ඖෂධ ගෙන්වූ සමාගම්වලට තාවකාලික ලියාපදිංචියක් ලබා දීමයි. මේ වන විට වෙළෙඳපොළේ ඖෂධ වර්ග 25,000ක් පමණ තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කර ඖෂධවල තත්ත්වය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කළත් ඔවුන්ගේ රසායනාගාර තුළ මසකට පරීක්ෂා කළ හැකි උපරිම ඖෂධ ගණන 30කි.

එසේ නම් වෙළෙඳපොළේ ඇති ඖෂධ වර්ග 25,000ක තත්ත්වය පරීක්ෂා කර බලා ඒ අනුව ඖෂධ ගෙන්වන සමාගම් වර්ගීකරණය කිරීමට ගත වන කාලය ගැන සිතා ගැනීමට ද අසීරු ය.

එහි ප්‍රතිඵලය වන්නේ බාල ඖෂධ ගෙන්වන සමාගම්වලට ද තහනම් ඖෂධ ගෙන්වන සමාගම්වලට ද ඉතා පහසුවෙන් ලියාපදිංචිය ලබා ගැනීමට හැකි වීමයි.

රෝහල්වලට පමණක් නිකුත් කරන ඇතැම් අන්තරාකර ඖෂධ පවා වෙළෙඳපොළේ අලෙවි කිරීමේ අවදානම් තත්ත්වයක් ඇති වීමයි. කල් ඉකුත් වී ගිය ඖෂධවල ලේබල් මාරු කරමින් වෙළෙඳපොළට ඖෂධ නිකුත් කළ සමාගම් ද නැවතත් ලියාපදිංචිය ලබා ගෙන ඖෂධ ගෙන්වීම යළි ආරම්භ කිරීමයි.

කොවිඩ් නිව්මෝනියා තත්ත්වයේ පසුවන අසාධ්‍ය රෝගින්ට ලබා දෙන Tocilizumab එන්නත් වර්ගය වැඩි මිලට අලෙවි කිරීමේ ඖෂධ ජාවාරමක සුලමුල සොයා ගනු ලැබුවේ පසුගිය බදාදා ය. අවසරලත් සමාගම් කීපයක් ගෙන්වන මෙම එන්නත් පිට පාරෙන්ම ජාවාරම්කරුවන්ට පැමිණෙන්නේ කෙසේද? මේ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සොයා බැලිය යුතුය.

“ඖෂධ නියාමන අධිකාරිය ඖෂධයක් සඳහා ලේබල් එකක් නිකුත් කරනවා. මේ ලේබල් එක තුළ තමයි තියෙන්නේ මේ ඖෂධය කල් ඉකුත් වෙන්නේ කවදා ද, මේක නිකුත් කළ දිනය මොකක්ද, ලයිෂන් එක මොකක්ද, මේකේ රසායනිකය මොකක්ද කියලා. කිසියම් නිෂ්පාදනයක් කිසියම් සමාගමක් ක්ෂේත්‍රයේ ගිහිල්ලා මේක වෙනස් කළොත් අපි ලිපිගොනුවෙ තිබෙන ලේබල් එකෙන් තමයි මේක මාරු කරලා තියෙනවාද කියලා පරීක්ෂා කරන්නේ.

ඒත් දැන් ඖෂධ නියාමන අධිකාරියේ ලිපිගොනු නැති වීම නිසා ඖෂධ නියාමන අධිකාරියෙන් නිකුත් කළ ලේබල් වෙනස් කළොත් අපිට ඒ සමාගම්වලින්ම තමයි අහන්න වෙන්නේ මේකේ කල් ඉකුත්වන දිනය කවදාද කියලා.“ යනුවෙන් සඳහන් කළේ වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදි සංගමයේ සභාපති රවී කුමුදේශ් ය.

මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යෑම දේශපාලන කරළියේ රසවත් මාතෘකාවක් බවට පත්වී තිබේ. විරුද්ධ පාක්ෂිකයන් සඳහන් කරන්නේ මෙම දත්ත මැකී යෑම පිටුපස ගජ මිතුරන්ගේ කල්ලිය සිටින බවය.

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති ඇතුළුව සාමාජිකයන් 7 දෙනකු ඉවත් කර, ඒ වෙනුවට වෙනත් සාමාජිකයන් පිරිසක් බඳවා ගැනීමත් ඔවුන්ගේ කුකුසට හේතු වී තිබේ. ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත පත් කරනු ලැබුවේ 2021 මාර්තු 18 වැනි දිනයේ ය. තවත් පාක්ෂිකයන් පිරිසකගේ අදහස වූයේ ඖෂධ ජාවාරම්කරුවන්ගේ ඖෂධ මාෆියාව මෙය පිටුපස සිටින බවය. විරුද්ධ පාක්ෂිකයන්ගෙන් එල්ලවන චෝදනා නිසාම පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යන අය මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූ අය වෙති.

ඔවුන්ගේ නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී තිබුණේ විරුද්ධ පාක්ෂිකයන්ගේ චෝදනාවලට පිළිතුරු දී රජය නිදොස් කොට නිදහස් කිරීම බව ඔවුන්ගේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

මෙම කණ්ඩායම පුන පුනා පැවසුවේ යහපාලන ආණ්ඩුව සමයේ සිදු කළ ඩිජිටල්කරණයේදි විකල්ප තොරතුරු ගොනුවක් (Back up) තබා ගැනීමට කටයුතු නොකිරීමේ වගකීම ඔවුන් බාරගත යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ ෆයිල් 5623ක් මැකී ඇති බවය. supporting documents ලෙස තිබූ මෙම ෆයිල් 5623 දෘඩ තැටියේ (Hard disk) ඇති බැවින් මේ වන විට ඒවා පරීක්ෂා කර සෙවීමේ කටයුතු මොරටුව විශ්ව විද්‍යාලයට බාර දී ඇති බව තවදුරටත් ඔහු පැවසීය.

ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ මෙම දත්ත මැකී යෑමෙන් අහිමි වූයේ ඉතා කෙටි කාලසීමාවක දත්ත පමණක් බව ය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ කොළ (කඩදාසි) මාර්ගයෙන් ලබා ගත් දත්ත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇති බව මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය.

යහපාලන ආණ්ඩු කාලයේ හිටපු සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න පැවසුවේ වසරකට වරක් system audit කළ යුතු බවය. ඇඟිල්ලක් වැදීමෙන් මෙම දත්ත මැකී නොයන බවත් මෙය වුවමනාවෙන් ම සිද්ධ කළ දෙයක් බවටත් ඔහු චෝදනා කළේය.

කෙසේ හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව පවත්වාගෙන යාම භාරව තිබූ එපික් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව පසුගිය 08 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනිණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හරින ලෙස 9 වැනි දින නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට ද නියෝග කළාය.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පැනවීය.


 

Comments