
කොවිඩ් ඒමට පෙර ඔක්සි මීටරයේ අවශ්‍යතාව තදින් දැනුණේ නැත. රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැන බැලීම සඳහා රෝගීන් වෙනුවෙන් රෝහල් වෛද්‍ය උපකරණයක් වූ මෙය නිවෙස් හි භාවිතයට ගත්තේ නැත. ඔක්සි මීටරය නිවසෙහි භාවිතයට පෙලඹණේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. විශේෂයෙන් ලංකාවේ ඩෙල්ටා කොවිඩ් විශේෂය වේගයෙන් ව්‍යාප්ත වීම, රෝහල් පිරි ඉතිරී යාම මෙන්ම නිවෙස් හි ආසාදිත රෝගීන් බලා කියා ගැනීමේ සත්කාරක සේවා නිවැසියන්ට පැවරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඔක්සි මීටර්යේ අවශ්‍යතාව තදින්ම දැනෙන්නට වූ අතර රෝගය ඇති නැති අයද ඔක්සි මීටර රැස් කරගන්නට විය.
කොළඹ යූනියන් කෙමිස්ට් හා තවත් ප්‍රධාන වෛද්‍ය උපකරණ ගෙන්වන සමාගමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් ගෙන්වූ මෙම උපකරණ අද හතු පිපින්නාක් මෙන් විවිධ ඔන්ලයින් වෙළෙන්දන්, රෙදි වෙළෙන්දන්, දුරකතන විකුණන්නන්ද ලාභ ලැබීමේ අරමුණින් ඉතා අඩු මිල ගණන්වලට ගෙන්වන්නට විය.
මෙහි අහිතකර විපාකය වූයේ නිසි ප්‍රමිතියෙන් යුතු නොවූ මේවා විදේශයෙන් අඩු මිලට ගෙන්වා අඩු මිලකට උණු කැවුම් සේ විකිණීමය. මෙම ඔක්සි මීටර භාවිතය පිළිබඳ නිසි වැටහීමක් නොමැති මේ බොහෝ දෙනා ඒවා පරිහරණයෙන් වැරදි තීරණයන්ට පිවිසි අතර තමන්ට ඔක්සිජන් මට්ටම අඩු වූයේයැයි නිගමනය කර රෝහල්ගත වූ අවස්ථා කෙතෙකුත් විය. අවසානයේ නැති කොවිඩ්ද වැලඳුණු අය බොහෝය.
සාමාන්‍යයෙන් ඔක්සි මීටර ගෙන්වීම සඳහා ලංකාවේ ලියාපදිංචිය ලබා ඇත්තේ ආයතනයන් දෙකකි. ඉන් එකක් වූ කොළඹ යූනියන් කෙමිස්ට් ආයතනය අදාළ උපකරණ ගෙන්වන්නේ තායිවානයෙනි. එසේම නිල ලියාදිංචිය ලත් ලංකාවට උසස් තත්ත්වයේ වෛද්‍ය උපකරණ ගෙන්වන අනෙක් ආයතනය මෙම ඔක්සි මීටර ගෙන්වන්නේ චිනයෙනි. ඒ උසස් මට්ටමේ ඇමරිකන් නිෂ්පාදනයක්ය. තායිවානයෙන් ගෙන්වූ ප්‍රමිතියෙන් යුතු වූ ඔක්සි මීටරයක් යූනියන් කෙමිස්ට් ආයතනය විකිණුවේ රුපියල් 7000- 8000 ත් අතර මුදලකටය. ඒසේම ඉහත සඳහන් කළ අනෙක් ආයතනය ගෙන්වූ ප්‍රමිතියෙන් යුතු ඔක්සි මීටර විකුණා ඇත්තේ රුපියල් 10,500 ක මිලකටය. ඒ සියල්ල උසස් තත්ත්වයේ වගකීම් සහිත සහතිකයක් හිමි ඔක්සි මීටරය. නමුත් ඔක්සි මීටර්යේ දැඩි අවශ්‍යතාව මතු වූ නිසා විවිධ පිරිස් රුපියල් 300-500 කට පමණ චීනයෙන් ගෙන්වූ බාල වර්ගයේ ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර විකුණා ඇත්තේ රුපියල් 2000 -5000 වැනි මිලටය. මේවාට වගකීම් සහතික පමණක් නොව ඉන්වොයිස්ද නැත. දැන් රටේ පාලන
මිලක් නියම කර ඇත්තේය. ඒ හොර ඔක්සිමීටර විකුණන්නන්ට එරෙහිවය. නමුත් නියම ප්‍රමිතියෙන් යුතු ඔක්සි මීටර ගෙන්වන්නේ කබලෙන් ලිපට වැටී ඇත්තේය.
“ අපි ඔක්සිමීටර ගෙන්වූයේ මීට අවුරුදු 5 කට පමණ පෙර සිටයි. ඩොලරයේ මිල වැඩි විම අනුව මිල ගණන් වෙනස් වුණා. ඒ වගේම ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය යටතේ සම්පූර්ණ වශයෙන්ම ඔක්සි මීටර ගෙන්විමට ලියාපදිංචිය ලබා ගෙන්වීමට ආනයන බලපත්රයක්ද ලැබුවා. අපිත් සමඟ තවත් එක් ආයතනයක් තිබෙනවා. අපි මේ උපකරණය ගෙන්වන්නේ තායිවානයෙන්. එකක් ඩොලර් 15 ක් වැනි මිලක් වෙනවා. නැව් ගාස්තු සමඟ එය මෙරටදී රුපියල් 4800- 5000 ක් අතර වෙනවා. සියයට 30 ක් පමණ ලාභයක් තබා ගෙන අපි විකුණන්නේ රුපියල් 6500- 7500 ත් අතර මිලකට. මේවාට වගකිම් සහතිකයක් හිමිවන අතර
ඉන්වොයිසියක්ද ඇතුළත්. ඒ වගේම ඉතාම හොඳ වර්ගයේ ඒවා. නමුත් ඩෙල්ටා පැතිරීමත් සමඟ ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර දුන් ‘ ලියාපදිංචිය ඉවත් කර හදිසි භාවිතයට රටට ගෙන්වීමට ‘ලබා දුන් අවසරය මත ඩොලර් 3 කට විවිධ බාල වර්ගයේ ඔක්සි මීටර ගෙන්වා මෙරට විකිණුවා. මේවා නිසා නැති ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා බලධාරින් රුපියල් 3000 ක උපරිම මිලක් දමා යම් යම් නීති රෙගුලාසි පැණවූවා. නමුත් මේ තීරණය ගැනීමේදී අපෙන් කිසිම විමසීමක් කළේ නැහැ. බාල වර්ගයේ ඒවා ගෙන්වීම නතර කළ යුතුයි. නමුත් අපිට මේ මිලට උසස් ප්‍රමිතියෙන් යුතු ඔක්සි මීටර ගෙන්වන්න බැහැ. මේ නිසා නැවත ආනයනය කිරීම
කනගාටුවෙන් වුවද නතර කරනවා....“ ඒ යූනියන් කෙමිස්ට් ආයතනයේ කළමණාකරණ අධ්යක්ෂ ශලන රොද්‍රිගෝය.
වලාන දූෂණ මර්දන අංශය මඟින් ලබාදුන් තොරතුරකට අනුව පසුගියදා ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර මෙරටට ගෙන්වා බෙදාහරින ව්‍යාපාරිකයින් තිදෙනෙකු පසුගියදා ඔක්සි මීටර 5200 ක් සමඟ අත්අඩංගුවට ගත්තේය. ඉන් අනතුරුව අඛණ්ඩව සිදුකළ වැටලීම් හරහා ඖෂධ අෙලවිසල් වල විකිණීමට තිබූ තවත් ඔක්සි මීටර 1768 ක් අත්අඩංගුවට ගෙන බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ අංශය පවසයි. ඒ සියල්ල සෙල්ලම් බඩු වැනි විදේශයන්වල අඩු මිලට විකිණෙන බාල ඔක්සි මීටරය. සමහරක් අතට ගත් විට කොටස්ද ගැලවෙයි. සමහරක් පෑනකටත් ඔක්සිජන් මට්ටම
පෙන්නුම් කරන තරමේ සෙල්ලම් බඩුය. පසුගියදා රේගු පරීක්ෂාවේදීද රුපියල් මිලියන 2.34 ක වටිනාකමින් යුතු මෙවැනි පල්ස් ඔක්සි මීටර 4200 ක් පමණ සොයා ගැනිමට හැකි වී ඇත්තේ රේගු පරික්ෂාවේදිය. මේවාට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආනයනික අවසරය ලබා ගෙන නොමැති බවද වාර්තා විය.
ලංකාවේ වෛද්‍ය උපකරණ විවිධ මිල ගණන් යටතේ ඇති බව නොරහසකි. උණ කටුවේ පටන් ඒවා විවිධ මිල ගණන් වලට විකිණෙන්නේ තත්ත්වය හා ප්‍රමිතිය අනුවය. නමුත් උපරීම මිලක් නියම කිරිමට වඩා අවම මිලක් නියම කර මෙවැනි හොර වංචාවන්ට තිත තැබීමේ නිවැරදි ක්‍රමයක් අනුගමනය කළේ නම් ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය උපකරණ ගෙන්වන්නන් කලකිරීමකට පත් වන්නේ නැත.
“ ඕනෑම වෛද්‍ය උපකරණයක විස්වාසනියත්වයක් තියෙනවා. ඔක්සි මීටරයත් එහෙමයි. ඔක්සිමීටර අපි ගෙන්වන්නේ චිනයෙන්. ඒවා ඇමරිකාවේ නිෂ්පාදනය කරන එකක්. මේ නිසා ගෙන්වීමට රුපියල් 6000 කට වැඩි
![]() |
ෆාමසි පරික්ෂා කරමින් |
වියදමක් යනවා. මෙය හොඳම වර්ගයේ නිසා අපි සුළු ලාභයක් තියාගෙන විකිණුවේ රුපියල් 10,500 කට. නමුත් දැන් මේ පාලන මිලට විකුණන්න ඔක්සි මීටර ගෙන්වීමට අපිට හැකියාවක් නැහැ. මේ නිසා අපි අලාභයක් තියාගෙන විකිණීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ තීරණයට ඒමේදි රජය අපෙන් කිසිදු විමසීමක් කළේ නැහැ. එක්කෝ තිබෙන ඒවා විකිණිමට යම් සහන කාලයක් දුන්නා නම් ඉවරයි. නැතිනම් අවම මිලක් හෝ තීරණය කරන්න තිබුණා. දැන් ඉතිරි ඒවා වෛද්‍යවරුන්ට නොමිලයේ බෙදා දෙනවා“ ඒ මෙරට ප්‍රධාන ඖෂධ උපකරණ ගෙන්වන ආයතනයක සභාපතිවරයෙකුගේ අදහසයි.
ඔක්සී මීටර පමණක් නොව කොවිඩ් අසාධ්‍ය රෝගීන් සඳහා අති විශාල වියදමකින් යුතු මේ වන විට ලබා ගැනීමට අපහසු ටොසිලිසුමාබ්
(Tocilizumab) එන්නතද හොර පාරේ ගොස් විකුණන්නට පටන් ගෙන ඇත්තේ නියමිත මිලට වඩා දහ ගුණයක පමණ ඉහළ මිලකටය. කොවිඩ් නිසා ගසා කන්නන්ගේ මෙවැනි වංචනික ක්‍රියාවන්ට මේ වන විටත් නීතිය දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතියි.
ආතරයිටිස් රෝගය උත්සන්න වූ රෝගීන්ට ලබා දෙන මෙම ටොසිලිසුමාබ් එන්නත කොවිඩ් රෝගය උත්සන්න වන එක් අදියරකදී ලබා දීමට හැකි වන නිසා මේ වන විට මෙයට විශාල ඉල්ලුමක් පවතින අතර රෝගීන්ගේ ඥාතීන් කෙසේ හෝ ඥාතියාගේ ජීවිතය බේරා ගැනීමට මෙම එන්නත ලබා ගැනීමට උත්සහ කළද එය සොයා ගැනීමට පහසු නැත. රුපියල් 120,000 ක් පමණ වන මෙම එන්නත එලෙස ලබා දීමට නිර්දේශ කරනු ලබන්නේ රෝගීන්ගේ සෞඛ්‍ය මට්ටමට ගැලපේ නම් පමණි. සෑම කොවිඩ් රෝගියෙක්ටම අසාධ්‍ය වූ පමණින් මේ එන්නත ලබා දිය නොහැකි අතර එය ලබා දෙන්නේ වෛද්‍ය උපදෙස් මත පමණි.
මෙම එන්නත මෙරටට ගෙන්වනු ලබන්නේ බවර් සමාගම පමණි. ලෝක ඉල්ලුමත් සමඟ තවත් සමාගම් දෙකකට අනුමැතිය හිමි වී ඇත. මේ එන්නතේ මිලි ග්‍රෑම් 400 ක් රුපියල් එක්ලක්ෂ පහළොස් දහසක්, විසි දහසක් පමණ වන අතර මිලිග්‍රෑම් 200ක් රුපියල් පනස් පන් දහසත් පනස් හත් දහසත් අතර මිලක් වෙයි. මිලිග්‍රෑම් 80ක් රුපියල් විසි දෙදෙහසත් විසි හත් දහසක් අතර අගයක් ගනියි. එහෙත් පසුගියදා ජාතික ඹෟෂධ නියාමන අධිකාරි වැටලිම් වලඳී මෙම එන්නත රුපියල් ලක්ෂ 7 - 10 අතර මිලකට විකුණූ වංචනිකයන්ද සොයා ගැනීමට හැකි වී ඇත.
“මෙම වෛද්‍ය උපකරණ ගෙන්වීම සඳහා ලියාපදිංචි විය යුතුයි. නමුත් මුලින්ම ලියාපදංචිව සිටියේ ආයතන දෙකයි. නමුත් පසුගිය කාලයේ මේ සඳහා අධික ඉල්ලුම නිසා ඔක්සිමිටර ගෙන්වීම වෛද්‍ය අංශයේ නොවන අයත් කළා. රෙදි වෙළෙන්දෝ, දුරකතන උපාංග ගෙන්වන්නන් ඉතා රහසිගතව මලු තුළ දමා මෙරටට ගෙන්වා ගත්තා. එයින් 90% ක්ම බාල වර්ගයේ ඒවා. ඒවාට ඉන්වොයිසි, වගකීම් සහතික නැහැ. සමහර ෆාමසි වල මේවා රැස්කර ගත්තා. මෙවැනි තත්ත්වයෙන් බාල වර්ගයේ ඒවා පසුගියදා විශාල සංඛ්‍යාවක් එනම් 7000 කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගත්තා. ලංකාවේ වෛද්‍ය උපකරණ ගෙන්විමට 2015 අංක 5 දරන ජාතික ඹෟෂධ නියාමන අධිකාරි පනත යටත් ලියාපදිංචි විය යුතුයි. නමුත් පසුගියදා ලියාපදිංචිය ඉවත් කර හදිසි අවශ්‍යතාව මත ගෙන්වීමට අවසර දුන් නිසා මෙවැනි ගෙන්වීම් සිදු කළා. පසුගිය සිකුරාදා ගැසට් එකක් නිකුත් කළා, මෙහි පාලන මිල හා ඒ සම්බන්ධ ගුණාත්මක බව පිළිබඳව. නමුත් ඉදිරියේදි එසේ ගෙන්විමට ෙනාහැකියි. ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ගත යුතුයි. ඒ වගේම කොවිඩ් ආසාධිත නිව්මෝනියා තත්ත්වයේ පසුවන අසාධ්‍ය රෝගින්ට වෛද්‍ය නිර්දේශය මත ලබා දෙන ටොසිලිසුමාබ් එන්නතද මේ වන විට හොරෙන් ගෙන්වා අති විශාල මුදලකට විකුණන අවස්ථා අපිට වාර්තා වුණා. පසුගියදා එසේ රුපියල් ලක්ෂ 49 ක පමණ බෙහෙත් විකිණු බොරැල් ප්‍රදේශයේ පුද්ගලයකු අත් අඩංගුවට ගත්තා. ඔහු ටොසිලිසුමාබ් එන්නතක් විකුණා ඇත්තේ රැපියල් ලක්ෂ 7 ක මුදලකට...සාමාන්‍යයෙන් මෙම එන්නත ගෙන්වීම් කරන්නේ බවර් ආයතනයයි. එම එන්නත සෙන්ටිග්‍රේට් අංශක 2-8 අතර උෂ්ණත්වයක පැවතිය යුතුයි. නමුත් මෙසේ වංචනිකව විකුණන අය මේ පිළිබඳ කිසිදු තැකීමක් නොකර ඉතා විශාල මුදලකට විකුණා අසරණ රෝගීන් මුළා කරනවා. මේ වන විටත් මේ අයට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කෙරෙනවා....“ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ අංශ ප්‍රධානි අමිත් පෙරේරා ය. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත, ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ යන අයගේ අධීක්ෂණය මත මෙම මෙහෙයුම් සියල්ල සිදුවිය.
කොවිඩි නියුමෝනියා රෝගීන්ට දෙන මෙම එන්නත නිෂ්පාදනය කරන්නේ ස්විට්සර්ලන්තයේ රොජා නම් ලෝක ප්‍රසිද්ධ ඖෂධ නිෂ්පාදන සමාගමයි. මෙය ලංකවට ගෙන්වා ගැනීම අවසර හිමිවී ඇත්තේ බවර් සමාගමට පමණි. නමුත් මෙසේ අල්ලා ගත් ප්‍රමිතියකින් තොර තුර්කියේ නිෂ්පාදිත එන්නත් ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙනි. මෙම එන්නතේ සාමාන්‍ය මිල රුපියල් 120,000 ක් වුවත් මෙම ජාවාරම්කරුවන් ඒවා විකුණා ඇත්තේ රුපියල් ලක්ෂ 7-10 ත් අතර මුදලකටය. මෙවැනි වංචනිකයන් සොයා ගෙන ඇත්තේ විවිධ පුද්ගලයින්ගෙන් ලද ඔත්තු වලින් හා ෆේස්බුක් හා වට්ස් ඇප් වලට ලැබෙන පණිවිඩ හරහාය. මේ වන විටත් බවර් ආයතනයේම නම භාවිත කරමින් විවිධ වංචනික පුද්ගලයන් දුරකතන අංක යොදා මෙම ටොසිලිසුමාබ් එන්නත වෙන් කරවා ගත හැකි බව පවසමින් ව්‍යාජ පණිවිඩ රට පුරා නිකුත් කරමින් සිටිති. අසරණ වු බොහෝ පිරිස් මේවාට හසුවෙති.
තවත් පැත්තකින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල හොරාට ගෙන්වීමක් සිදුවන බව විපක්ෂයේ චෝදනාවයි. ඔවුන් පවසන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නැති, එහෙත් සුවිශේෂී අවසරයක් මත ඖෂධ ගෙන්වන අයට ඒවා ගෙන්වීමේ අවස්ථාව ලබා දී ඇති බවකි. මේ සියල්ල මහපොළොව නුහුලන බරපතළ අපරාධයන්ය. කොවිඩ් වසංගතය වැනි දරුණූ වසංගත සමයකදී ජිවිතයත් මරණයක් අතර සටනක යෙදෙන්නන්ට මෙවැනි වංචනික ක්‍රියා කරන්නට යමකුට හැකිනම් එය කොතරම් මිලේච්ඡ සහගත ක්‍රියාවක්ද? බොහෝ දෙනා මතුකරන පැනය එයයි.