
වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා, පසුගිය අගෝස්තු 31 දින දක්වා ලබා දී තිබූ ණය සහනය ලබන දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කිරීමට සලකා බලන ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම පිළිබඳ, අදාළ පාර්ශ්ව කිහිපයකින් අප විමසුවෙමු.
ණය සහන දීර්ඝ කිරීම සඳහා වූ ඉල්ලීම පිළිබඳ,මහ බැංකුව දැක්වූයේ මෙවැනි අදහසකි.
" කොවිඩ්-19 නිසා බලපෑමට පත් ගනුදෙනුකරුවන් හට සිය ණය ගෙවීම් ක්‍රමානුකූලව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමට අවස්ථාව ලබා දීමට සහ බලපෑමට පත් ආර්ථික අංශ යළි පණගැන්වීමට අවශ්‍ය දිරි ගැන්වීම් ලබා දීම ඉලක්ක කරගනිමින්, ණය සහන ලබා දෙන ලෙස මහ බැංකුව වශයෙන් අප, සියලුම බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ නම්, මෙම ණය සහන ලබා දීමේදී, ශ්‍රී ලංකා මහ බැංකූවේ ප්‍රධාන අරමුණක් වන මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීමට බාධා වන අයුරින් ණය සහන ලබා දීමට අපට හැකියාවක් නොමැති බවයි. එම නිසා මේ දෙඅංශයම සමබරව පවත්වාගෙනයමින් මහජනතාවට ලබා දිය හැකි උපරිම සහන සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිරතුරුවම කටයුතු කරනවා.
ඉහත කරුණු සම්බන්ධයෙන් මෙන්ම, මූල්‍ය ගනුදෙනුකරුවන්ගේ වෙනත් පැමිණිලි සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තුළ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා 1935 ක්ෂණික ඇමතුම් අංකයෙන් ඔබට මහ බැංකුව හා සම්බන්ධ විය හැකියි..."
මේ සම්බන්ධයෙන්, මහජන බැංකුවේ සභාපති, සුජීව රාජපක්ෂ දැක්වූයේ මෙවැනි අදහසකි.
" රජය මේ ණය සහනය දීර්ඝ කළේ, පවතින තත්ත්වය තුළ ව්‍යාපාරික ප්‍රජාව මුහුණ පා සිටින ගැටලුකාරී වාතාවරණයට යම් තරමක හෝ අස්වැසිල්ලක් වීම සඳහායි. ඒ නිසා මේ ණය සහනය ලබා ගන්න ඉදිරිපත් වන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් සැබෑවටම තමන් ඒ තත්ත්වයට මුහුණ දෙනවා දැයි ස්වයං තක්සේරුවකුත් කළ යුතුයි.
මොකද, මෙවර නිකුත් කළ චක්‍රලේඛයෙන් ඉතා පැහැදිලිව කියනවා, තමන් ඒ තත්ත්වයට මුහුණ පා නැත්නම්, ඒ කියන්නේ ව්‍යාපාරය වැහිලා නැතිනම්, සේවකයන් අස් කරන්නට සිදු වූයේ නැතිනම්, ධාරිතාවයේ අඩුවකුත් නැතිනම්, ඒ ණය සහනය සඳහා ඔවුන් නුසුදුස්සන් බව සහ එය ගැනීමත් යුතු නැති බව.
සුදුසුකම් සහිත අවශ්‍යම කෙනාට ඒ ණය ලබාදීමට මහජන බැංකුව කිසි සේත් පැකිළෙන්නේ නැහැ. හැබැයි, ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයනුත් සිතා බැලිය යුතුයි, මේ වෙලාවේ මේ ප්‍රශ්නයට මුහුණ දිය යුත්තේ කෙසේ ද කියා. රජය හැමදේම දිය යුතුමයි, කියන තැන සිටිනවාට වඩා, තමන් මේ සහනය ගත යුතු තත්ත්වයක ඉන්නවා ද... කියන ස්වයං තක්සේරුවක යෙදීමයි, මේ වෙලාවේ වැදගත්ම දේ. මොකද, බැංකු ණය දෙන්නේ තමන්ගේ සල්ලිවලින් නෙවෙයි.
ඒවා ජනතාවගේ මුදල්. තවදුරටත් රැකියා සුරක්ෂිත කරමින් ව්‍යාපාර පවත්වා ගෙන යන්නට වෙර දරන ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ට වුණත් මේ සහනය ලබා දෙන්නේ දැඩි දුෂ්කරතා රැසක් මැද්දේ. අපි හැමෝම මේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් රටේ ආර්ථිකය ගොඩ නඟන්න දායක විය යුතුයි. කෙසේ වෙතත්, මේ වන විට මහජන බැංකු ශාඛා ජාලයටම අප උපදෙස් දී තිබෙනවා, ලබා දිය යුතු ඒ සහනයන් සුදුස්සන් වෙත උපරිමයෙන් ලබා දෙන ලෙස ..."
මෙම කරුණ සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේෂලා ජයවර්ධන පැවැසුවේ මෙවැනි අදහසකි.
" ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සැප්තැම්බර් 01වැනි දින නිකුත් කරන ලද නියාමනයන්ට අදාළව, අවශ්‍ය සුදුසුකම් සපුරන ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය ලබාගෙන ඇති ගනුදෙනුකරුවන්ට, සිය ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සලකා බලන්නට ජාතික ඉතිරිකිරීමේ බැංකු කළමනාකාරිත්වයත් තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන අයදුම් පත නිසි පරිදි සම්පුර්ණ කර, සැප්තැම්බර් 21 දිනට පෙර අදාළ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාව වෙත බාර දෙන්න කියා අප ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අයදුම්පත් අපගේ වෙබ් අඩවිය ඔස්සේත් ශාඛාවලිනුත් ලබා ගන්නට පුළුවන්.
වැදගත්ම දේ තමයි, මේ ණය ලබා ගන්නා හැමෝම ඒවා යළි ගෙවිය යුතුමයි. මොකද, එය ණයක් මිස, ඔබට දෙන ප්‍රතිලාභයක් නෙවෙයි. බැංකුව ඔබට ණය ලෙස දෙන්නේ, වෙනත් ගනුදෙනුකරුවන්ගේ මුදල්. ගනුදෙනු කරුවන් ඉල්ලන අවස්ථාවක, ඒවා පොලී සමඟ යළි ලබා දෙන්නට අප බැඳී සිටිනවා. කොවිඩ් පළමු රැල්ලේ සිට අප එම ණය සහනය කිසිදු අඩුවක් නැතිව ලබා දුන්නා. අමතක කරන්න හොඳ නැහැ, මෙය කොවිඩ් නිසා ආදායම අහිමි වූ, රැකියා අහිමි වූ සහ විවිධ අපහසුතාවන්ට පත් වූ අයට යළි නැගිටිම උදෙසා දෙන විශේෂ අත්වැලක් පමණයි..."
මේ සම්බන්ධයෙන් 'ක්‍රිබ්' එක හෙවත් ණය තොරතුරු කාර්යාංශයේ ( Crib - Credit Information Bureau) අධ්‍යක්ෂ, සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇන්තනි දැක්වූයේ මෙවැනි අදහසකි.
" මෙම ණය සහන සම්බන්ධයෙන් මේ වන විටත් අපි බැංකු හා මූල්‍ය ආයතනවලට ණය තොරතුරු වාර්තා කරණය හා අදාළ චක්‍රලේඛ නිකුත් කර තිබෙනවා.
ඒ කියන්නේ, මේ ණය සහන කාල සීමාව තුළ, ණය සහනය ලබා ගත් අයගේ ණය තොරතුරු, ඒ අයගේ අනාගත ණය ගැනීම්වලට සෘණාත්මකව බලනොපාන ක්‍රමවේද යක් යටතේ ක්‍රිබ් එකට වාර්තා කළ යුතුයි කියලා, මේ චක්‍රලේඛ මඟින් අපි බැංකුවලට ඉතා පැහැදිලිව උපදෙස් දී තිබෙනවා.
අනෙක, අවධාරණයෙන් කියන්න ඕනේ, බැංකුවකින් ණයක් ලබා ගැනීමට කිසිවකුටත් ක්‍රිබ් එක බාධාවක් නෙවෙයි. බොහෝ අය සිතා සිටිනවා, තමන් ක්‍රිබ් එකට අහු වෙලා, දැන් තමන්ට ණයක් ගන්න බැහැ... එහෙමත් නැත්නම්, මුදල් නොගෙවූ අයගේ නම් තමයි, ක්‍රිබ් එකේ තියෙන්නේ, කියලා. මේවා සම්පූර්ණයෙන්ම වැරැදි මත.
ක්‍රිබ් එක හෙවත් ණය තොරතුරු කාර්යාංශය කියන්නේ, මේ රටේ පුරවැසියෙක් ඕනෑම බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගත් විට, තමන්ගේ ඒ ණය පිළිබඳ සියලු තොරතුරු සටහන් වන ආයතනය පමණයි. සෑම බැංකුවක්ම ණයක් නිකුත් කළ විට, ඒ ඒ පුද්ගලයාගේ තොරතුරු ක්‍රිබ් එක වෙත එවන්න බැඳී සිටිනවා. ක්‍රිබ් එක කියන්නේ, දෙපාර්ශ්වයටම නිහඬ සේවාවක් ලබා දෙන ආයතනයක්.
ඒ වගේම ගනුදෙනුකරුවන්ටත් පුළුවන්, තමන්ගේ ණය ගෙවීමේ පැටිකිරිය පිළිබඳ වාර්තාවක් ක්‍රිබ් එකෙන් ලබා ගන්න. දියුණු රටවල අය නම්, එය තමන්ගේ කීර්තිනාමය උදෙසා මෙවලමක් ලෙසත් පාවිච්චි කරනවා.
මාස හය හතකට සැරයක් තමන්ගේ බ්ලඩ් රිපෝට් එකක් ගන්නවා වගේ, සෑම පුරවැසියෙක්ම 'ක්‍රිබ් රිපෝට්' එකක් ගන්නත් පුරුදු විය යුතුයි. එයින් තමන්ගේ ණය ගෙවීම පිළිබඳ තොරතුරු තමන්ටම බලාගන්නට පුළුවන්
කොහොම වුණත්, බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් ඉල්ලූ විට එම පුද්ගලයාගේ ණය තොරතුරු පිළිබඳ වාර්තාවක් ලබා දෙනවා විනා, අපි නිර්දේශ හෝ තීරණ දෙන්නේ නැහැ.
ඒ වගේම මූල්‍ය ගෙවීම් පැහැර හැරියා කියා,'බ්ලැක් ලිස්ට්' කරනවා හෙවත්, අසාදු ලේඛනගත කිරීමක් කරන්නෙත් නැහැ. මේවා මවපු දේවල්. ක්‍රිබ් එකේ කාරිය වන්නේ, ණය තොරතුරු වාර්තා සැපයීම පමණම යි.
අනෙක, බැංකු පද්ධතිය සමඟ ගනුදෙනු කරන ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ credit score හෙවත් 'ණය ලකුණ' දැනගෙන සිටීම වැදගත්. ණය ලකුණු කියන්නේ, තමන්ගේ ණය තොරතුරු මත පදනම්ව ණය අවදානම සම්බන්ධයෙන් ගනණය කරනු ලබන අගයක්. වාර්තාව මත ලැබෙන අගයක්.
'ණය ලකුණ' හොඳ නම්, ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් එම පුද්ගලයාට ණයක් දෙන්න බය නැහැ. හැබැයි ඒ ණය ලකුණ ඔස්සේ කතා කරන්න සහ කේවල් කරන්න නම්, තමන් ඒ පිළිබඳ දැනුවත්ව සිටිය යුතුයි. www.crib.lk වෙතින්, ඔබට මේ පිළිබඳ තොරතුරු දැනගැනීමට පුළුවන්.
කොහොම වුණත් අපිට කියන්න තිබෙන්නේ, ලබන දෙසැම්බර් 31 වැනි දා දක්වා ලබාදී තිබෙන මෙම සහන කාලය යටතේ ගෙවීම් පරක්කු වුණා කියා, ඒවා ඇරියස් ලෙස ක්‍රිබ් එකට වාර්තා වන්නේ නැති බවයි..."