නිරෝ­ධා­යන ඇඳි­රි­ය සමයේ මාළු, එළ­වළු විකි­ණෙන්නෙ මෙලෙසේ | Page 3 | සිළුමිණ

නිරෝ­ධා­යන ඇඳි­රි­ය සමයේ මාළු, එළ­වළු විකි­ණෙන්නෙ මෙලෙසේ

පෑලියගොඩ එළවළු සහ මතස්‍ය වෙළෙඳපොල ඉකුත් බ්‍රහස්පතින්දා
පෑලියගොඩ එළවළු සහ මතස්‍ය වෙළෙඳපොල ඉකුත් බ්‍රහස්පතින්දා

 

දිවයින පුරාම සංචරණ සීමා, නිරෝධායන ඇඳිරි නීතිය දින ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වුවද ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන, එළවළු, පලතුරු, මස්, මාළු, හාල්, පොල්, පිටි, සීනි මෙකී නොකී සියල්ලක්ම සැමදෙනා වෙතටම සහන මිලට ළඟා කරදීම උදෙසා දිවයින පුරාම ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථාන, තොග වෙළඳසල හා මත්ස්‍ය වෙළඳසල මගින් සිදුකරනු ලබන්නේ අමිල මෙහෙවරකි. අගනුවර තොග වෙ‍ෙළඳසල හා මත්ස්‍ය වෙළ­ෙඳපළේ කාර්යභාරය පිළිබඳ විමසනු වස් පසුගිය දින කිහිපයක් පුරා අගනුවර සැරිසැරියෙමි.

පෑලියගොඩට ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම මාළු ලොරි 70 - 80 පමණ දිනකට පැමිණෙයි. මාළු ලෑලි 175 - 200 පමණ ඇත. වෙළෙඳුන් ද එම ප්‍රමාණයකි. වෙළෙඳුන් මාළු ලෑලි වලට රජයට ගාස්තු ගෙවති. ලොකු වෙළෙඳුන්ගෙන් මාළු මිලට ගෙන සිල්ලරට විකුණන කාන්තාවන් දෙතුන් දෙනෙකු හැරුණු විට මාළු මාකට්ටුව අත්පත් කරගෙන සිටින්නේ පිරිමි වෙළෙඳුන් පමණි. ඒ අතරින් කීප දෙනෙකු සිළුමිණට මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

මාළු වෙළෙන්දකු වන ගාල්ලේ ජානක අතුකෝරල (50) පැවසුවේ මෙවැන්නකි.

“මාළු මිල වැඩියි. මිනිස්සු අඩුයි. වෙළෙඳාම පාඩුයි. යාපනය ඇතුළු හැම මුහුදුබඩ පළාතකින්ම මාළු මාකට් එකට මාළු එනවා. පහුගිය කාලේ අර මුහුදේ නැවක් ගිනිගෙන මුහුද දූෂණය වෙලා මිනිස්සු මාළු කෑවෙ නෑ කියලා කියූ සිද්ධිය නම් මාධ්‍යයෙන් කළ බොරුවක්.“

මාකොළ මාළු මුදලාලි කෙනෙකු වන ඒ.වී. සරත් (50) මෙසේ පැවසුවේය.

“අපි තෝරු, මෝරු, තලපත්, කොප්පරා ඇතුළු ලොකු මාළුත්, හුරුල්ලා, අලගුඩුවා, ලින්නා, බලයා, කෙළවල්ලා, දැල්ලා, කුම්බලාවා ඇතුළු අනෙකුත් මාළු වර්ගත් හැමදේම විකුණනවා. අපි මාසෙකට රු. 40,000 විතර ගෙවනවා ධීවර අමාත්‍යාංශයට කුලිය ලෙසින්.“

එඬේරමුල්ලේ පී.ඒ.වී. කෝසල (30) පැවසුවේ දෙවන පන්තියේ මාළු තොග ටිකක් මිල අඩු බවයි. එසේම දිනකට රු. 2000 පමණ ආදායමක් ලබන බවත් පැවසීය. එසේම ඉතිරිවන මාළු තොගය අධිශීතකරණයේ තබා පසුදින අලෙවි කරන බවත් කීය.

මාලිගාවත්තේ එම්. චින්තක (53) පැවසුවේ මේ දිනවල හොඳ මාළු අලෙවියක් ඇති බවත් වෙනදාට දවල් 12 තුරු විවෘතව තබන මාළු වෙ‍ෙළඳපළ මේ දිනවල 11 දක්වා පමණ විවෘත කරන බවත් කීය.

දෙමටගොඩ බී.එන්.එල්. කුරේ (43) කීවේ සති අන්තයට සිල්ලරට මිලදී ගන්නා අය වැඩිපුර පැමිණෙන බවයි. කෙසේ වෙතත් අනෙකුත් දිනවලට සාපේක්ෂව මේ දිනවල මත්ස්‍ය වෙ‍ෙළඳපලට පැමිණෙන වෙළෙඳුන්ගේ හා පාරිභෝගිකයන්ගේ අඩුවක් පවතින බවත් පැවසීය.

කොලොන්නාවේ ජී.එන්.කේ. දර්ශන (52) සිළුමිණට හඬ අවදි කළේ මෙහෙමයි.

“වෙළඳාම හොඳයි. අවුලක් නෑ. මාළු කන්න මිනිස්සුන්ට සල්ලි නෑ. ලොකු වෙළෙඳුන්ගෙන් අරන් මම විකුණන්නේ.

පෑලියගොඩ ඒ. ජයන්ත (46) පැවසුවේ තමන් දිනකට රු. 4000ක් උපයද්දී (මාළු කපා විකුණා) තම මුදලාලි රු. 20,000 විතර ආදායමක් ලබන බවයි. කොහොම නමුත් පෙර දිනවලට අනුව බලන කල සාමාන්‍ය ආදායමක් පවතින බවත් කීය.

තොටළඟ පදිංචි වී. යෝගරාජ් (39) මාළු මුදලාලි තමන් යටතේ 5 දෙනෙකු සේවය කරන බවත් තමන්ට ඕනෑම ආකාරයකට මාළු කැපිය හැකි බවත් පැවසීය. දවසකට ඔහු ලබන ලාභය රු. 25,000කි. පෑලියගොඩ නීල් ප්‍රසන්න (50) ලොකු මාළු මුදලාලිලාගෙන් මාළු රැගෙන සිල්ලරේට හා තොගේට විකුණයි. දිනක ඔහු උපයන ලාභය රු. 1000 - රු.1500 අතරය.

මත්ස්‍ය වෙ‍ෙළඳසල වෙළෙඳාම් කටයුතු අවසන් කරන ලෙස වෙළෙන්දන්ට නිවේදනය කරමින් ඉදිරිපස ගේට්ටුව වසා දැමුවත් වෙළෙන්දන්ට මෙන්ම පාරිභෝගිකයන්ටත් එය නොඇසුණු සෙයකි. මෙහි වෙළෙඳුන්ගෙන් මුදලාලිලාට තද ගුරු නිල ඇඳුමකි. සේවකයන්ට නිල් පැහැති නිල ඇඳුමකි. මම මත්ස්‍ය වෙළෙඳපලේ සංචාරය නිමා කරමින් පාරෙන් එහා පැත්තට පනිමින් පෑලියගොඩ මැනින් මාකට් සිල්ලර හා තොග වෙ‍ෙළඳපල වෙත ගමන් කළෙමි.

උදේ පාන්දර මැනින් මාකට් එකට ගෙනෙන තොග බඩු වාහන වලින් බිමට බාන්නේත්, පිටපළාත්වලින් පැමිණි වාහනවලට බඩු පටවන්නේත් නාට්ටාමිලා විසිනි. මේ සඳහා ඔවුන්ට කෑලි ගානට ගෙවති.

උඩරට, පහතරට, රජරට එළවළු තොග ගණනින් පිරුණු එළවළු යායක් සේ මැනින් මාකට් දිස්වේ. වෙනදාට සාපේක්ෂව එළවළු පලතුරු මිල පැවතියේ පහළ මට්ටමකය. ඊට හේතුව එළවළු මහා තොගයක් වෙළඳපලට පැමිණ තිබීමයි. මැනින් මාකට්ටුව ඇතුළත ද එකම ගාලගෝට්ටියකි. එළවළු මල්ලක් හුවමාරු කරගන්නා දෙන්නෙක් මගේ නෙත ගැටුණි. බොරැල්ලේ කුමාරිට එළවළු මල්ලක් දුන්නේ පිළියන්දල හර්ෂය. මැනිං වෙළඳපලේ එළවළු මිල ගැන වංහුං ඇසුවෙමි.

“එළවළු මිල ගණන් නිශ්චිතව කියන්න අපහසුයි. අද එක ගාණක්. හෙට තව ගාණක්. දවසකට 3000 විතර පිරිසක් එනවා බඩු ගන්න. හැමදාම එක මිල නෑ. අඩු වැඩි වෙනවා.

පෑලියගොඩ සුමින්ද සංජීව ද එළවළු මිල ගැන සිළුමිණට අදහස් දැක්වීය. “හැමදාම එක වගේ ලාභයක් නෑ. එළවළු කඩ 520 විතර තියෙනවා.

මේ අතර තම ත්‍රිවිලරයට දරාගත නොහැකි එළවළු තොගයක් පටවාගත් තරුණයකු යාමට සූදානම් විය ඔහු කොට්ටාවේ මංජු ප්‍රියන්තය.

“මේ එළවළු ගෙනිහින් මම ත්‍රිවිල් එකේ තියාන විකුණනවා. මේ දවස්වල පොළවල් කඩවල් වහලා නිසා වෙළඳාම හොඳයි. සමහර එළවළු අඩුයි. සමහර ඒවා ටිකක් මිලයි. කොහොමත් වෙනදට වඩා අඩුයි.“

එක සීරුවට එළවළු එහා මෙහා අදින නාට්ටාමිලාට අමතරව, අත්කරත්ත වලින්ද එළවළු අදින තවත් පිරිසකි. බඩු පිරවූ අත්කරත්ත නවතින්නේ මැනින් මාකට්ටුවේ එළියේ. පේළියට නවතා ඇති වාහන අසලය. මීටරේ දුර තබා සෙන්ටි මීටරේ දුරවත් නොමැති තරම්ය. වැඩිපුරම පැමිණ තිබුණේ පිරිමි අයයි. විවිධ රාජකාරිවල නියුතු අයවලුන් ද තම නිල ඇඳුමින්ම මාකට්ටුවට පැමිණ සිටියේ ගෙදරට එළවළු ටිකක් ගෙනියන්නටය.

මැනින් මාකට්ටුවේ තොග වෙළඳාමට එක් කොටසකුත් සිල්ලර වෙළඳාමට තවත් අංශයකුත් වෙන්ව තිබේ. පලතුරු උඩ තට්ටුවේය. හැම තැනම වෙළෙන්දන්ගෙන් හා ගැණුම්කරුවන්ගෙන් පිරී ගොසිනි. කොහි සිට බැලුවත් විශාල ජන ඒකරාශී වීමකි. ඉඳහිට දෙතුන් දෙනෙකු හැරුණු විට මුව ආවරණ නම් බාගෙට හෝ සැමදෙනාම පැළඳගෙන සිටියහ.

ග්‍රෑන්ඩ්පාස් පදිංචි එම්.ජී. අජිත් (54) පැවසුවේ රට වැහුවේ නැත්නම් හොඳ අලෙවියක් කරගත හැකි බවයි. “දුර පළාත්වලින් එළවළු අරන් යනවා. ඒත් රට වහලා නිසා වෙළඳාම අඩුයි.“

ඇතැම් වෙළෙඳුන් මා හා පැවසුවේ මැනින් මාකට්ටුව පිටකොටුවෙන් පෑලියගොඩට ගෙනයාම නිසා බිස්නස් අඩු වූ බවයි. බස් පාරේ සිට කි.මී. 4ක් පමණ ඇතුළට වීමට පිහිටා ඇති නිසා වාහනයක් නොමැති අයට බඩු ප්‍රවාහනය අපහසු නිසා පිරිස අඩු බවත් පැවසීය. තව පිරිසක් පැවසුවේ කොළඹට වඩා පෑලියගොඩ විශාල ඉඩක් තිබීම පහසුවක් බවයි.

වත්තල පදිංචි බී. මාරපන පැවසුවේ මැනින් මාකට්ටුව දින දෙකක් ඇරීම හා නැවත දින දෙකක් වැසීම නිසා එළවළු තොග විකුණාගත නොහැකි වන බවයි. සමහර එළවළු නරක්වන අතර වැටකොලු, බණ්ඩක්කා මෝරන නිසා නියම මිලට විකුණාගත නොහැකි බවයි.

මැනින් මාකට්ටුවෙන් රජයේ හා පෞද්ගලික ආයතන, රෝහල්, ත්‍රිවිධ හමුදාවට, හෝටල්වලට ආදී බොහෝ ආයතනවලට එළවළු රැගෙන යති. වෙළෙඳුන් ගණන 2000 වැඩිය. කඩ 900 පමණ ඇත. එක වෙ‍ෙළඳකුටියක අඩුගානේ 3ට වඩා සිටී. ඉතා විශාල පවුල් සංඛ්‍යාවක් මැනින් මාකට්ටුව නිසා රැකේ. ප්‍රභාත් ගජනායක, ඉඳුනිල් ජගත් කුමාර දෙදෙනා කීවේත් රට නිතරම වසා දමන නිසාත් තොග මධ්‍යස්ථාන නොකඩවා විවෘත නොකරන නිසාත් තමන්ට පාඩුවක් සිදුවන බවයි.

කැස්බෑවේ ජගත් කුමාර (49) කියා සිටියේ ගොවියාගෙන් විකුණා මුදල් දෙන පොරොන්දුව මත 10% කොමිස් මුදලට එළවළු ගැනීමෙන් තමන්ට පාඩුවක් වන බවයි.

මැනින් මාකට්ටුවේ මිල තීරණය වන්නේ වෙ‍ෙළඳපළට පැමිණෙන එළවළු ප්‍රමාණය මතය. බඩු වැඩි නම් මිල අඩුයි. බඩු අඩු නම් මිල වැඩිය. වැඩිපුර ලාබ ගන්නේ අතරමැදියන් බවයි බොහෝ වෙළෙඳුන් පැවසුවේ. මැනින් මාකට්හි ළාබාලතම වෙළෙන්දා 25 හැවිරිදි ඒ.පී.එස්. ප්‍රභාත්ය. පරම්පරාවේ එළවළු ව්‍යාපාරයට හිමිකම් කියන ඔහුට එහිම කඩ 3කි. පලතුරු මිලද මේ දිනවල පහළ ගොස් ඇත. මැනින් මාකට්ටුවේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් (47) පවසා සිටියේ ද කඩින්කඩ වෙ‍ෙළඳපල ඇරීම හා වැසීම නිසා ගොවියා, වෙළෙන්දා, අතරමැදියා සේම ගැණුම්කරුවන් ද අපහසුතාවට ලක්ව ඇති බවයි.

කඩවත සුනිල් අබේකෝන් (44) අදහස් ප්‍රකාශ කළද ඡායාරූපවලට පෙනී සිටීමට අකමැති විය. තවත් බොහෝ පිරිසක් අදහස් දැක්වූහ. මැනින් මාකට්ටුවේ ද වෙළෙන්දන් මිස වෙළෙන්දියන් නොමැති තරම්ය. ඒ මේ කර්කශ බිස්නස් එක කාන්තාවන්ට ඔරොත්තු නොදෙන නිසාය.

නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ගියේ වෙනත් දිනකය. එහි කළමනාකරු එච්.එම්.සී. උපාලි පැවසුවේ නාරාහේන්පිට එළවළු කඩ 8ක්, පලතුරු කඩ 4ක්, සහල් කඩ 12ක්, මස් මාළු පරිප්පු කඩ 10, කරවල බිත්තර කඩ 7ක්, ග්‍රොසරි, තොග කඩද ඇතුළත් අලෙවි කුටි 200 පමණ ඇති බවයි. එකම වහලක් යටින් තොගේට මෙන්ම සිල්ලටරට පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සෑම දෙයක්ම සහන මිලට ගත හැකි බවයි.

උදේ 8.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘත කර තබන අතර දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, තබුත්තේගම හා මැනින් මාකට් මගින් ගෙනෙන එළවළු, පලතුරු හා අනෙකුත් භාණ්ඩ අලෙවි කරයි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ මිල වැඩි බව කියමින් මාධ්‍යය මගින් ප්‍රකාශ කළද පිටපළාත්වලින් වැඩි මිලට එළවළු තොග ගෙන ඒමෙන් පසු පිටපළාත්වල එළවළු මිල පහළ දැම්මත් නාරාහේන්පිට වෙළෙඳුන් එම බඩු කලින් මිලදී ගෙන ඇත්තේ වැඩි මිලකටය. එමනිසා නිරන්තරයෙන් මෙහි වෙළෙඳුන්ට එවැනි මූල්‍යමය පාඩුවලට ලක්වීමට සිදුවන බව පවසති. මේ කළමනාකරු එච්.එම්.සී. උපාලිගේ හඬයි.

“පහුගිය කොවිඩ් සමයේ ක්‍රියාත්මක කළ ආර්ථික මධ්‍යස්ථාන 14 නිසා මහඟු සේවක් සිදුවුණා. එතෙක් ජනතාව ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය ගැනවත් දැනගෙන හිටියේ නෑ. පිටපළාත්වල බඩු ලැබෙන්නෙ බස්නාහිරට, ගමේ කඩවලට, ජංගම ව්‍යාපාරිකයන්ට, රජයේ හා පෞද්ගලික ආයතනවලට, රෝහල්වලට, පල්ලි විහාර දේවස්ථානවලට. මෙයින් හැම දෙයක්ම රැගෙන යනවා. ඒ විතරක් නෙමෙයි වැඩිහිටි, ළමා නිවාස, බන්ධනාගාරෙට පවා. වැදගත්ම දේ නිවසට, කඩවලට ඇතුළු හැමතැනකටම හැමදෙයක්ම මෙතනින්ම ලබාගත හැකිවීමයි.“

නාරාහේන්පිට ඒ.එල්.ඩී. පෙරේරා පැවසුවේ දින 2ට කලින් තමන් දුර ප්‍රදේශවලින් එළවළු මිලදී ගන්නා විට පවතින මිලට තමන් ගෙනෙන එළවළු වැඩි මිලට මෙහි විකුණන විට එම ප්‍රදේශවල එළවළු කෙසේ හෝ විකුණා ගැනීමට මිල අඩු කරන බවයි. නමුත් නිතරම මාධ්‍යයෙන් පවා සත්‍යය විකෘති කරමින් නාරාහේන්පිට මිල වැඩි බව පැවසීම වරදක් බවත් කීය.

“අපි කස්ටර්මස්ලා මල් වගේ රැකගන්න ඕනේ. නැත්නම් නැවත එන්නෙ නෑ.“

මාතර විදුල නවීන් (28) පැවසුවේ සෑම පාරිභෝගිකයකුටම තෝරා බේරා භාණ්ඩ මිලදී ගැනීමට ඉඩදෙන නිසා ගෙවන මිලට උපරිම සාධාරණත්වයක් ලබාදෙන බවයි.

ගම්පල සමන් චමින්ද (46) පවසා සිටියේ ද අලෙවි කරන දිනට කලින් දින 2, 3 පෙර දුරින් මිලට ගත් එළවළු සුළු මුදලක් වැඩි කර අලෙවි කරන විට එම පළාත්වල අඩු මිලට එළවළු පලතුරු අලෙවි කරන බවයි.

“මේ ඇත්ත තත්ත්වය කවදාවත් මෙතෙක් මාධ්‍යයෙන් හෙළි කරලා නෑ. මේ ගැන ඇත්ත කියන්න. අපි වැඩි මිලට බඩු විකුණනවා කීවට පිටපළාත්වලින් වැඩි ගාණට ගත්තා කියලා කියන්නෙ නෑනේ.“

රාජගිරියේ ප්‍රියන්ත ජයලාල් (25) පැවසුවේ ද තමන් ගෙනෙන අල, ලූණු තොග දින දෙක තුනකින් පලුදු වන අතර ඒවා අංක 1, 2, 3 ලෙස වෙනම තෝරා විකුණන බවයි. නාරාහේන්පිට, මීගොඩ, රත්මලාන, බෝකුන්දර, ගම්පහ, වැලිසර, වේයන්ගොඩ ආදී ඒ ඒ ප්‍රදේශවලට ආවේණික අයුරින් සැකසුණු ආර්ථික මධ්‍යස්ථාන වලින් හා තොග වෙ‍ෙළඳසල් වලින්ද මත්ස්‍ය වෙළඳපළෙඅන් ද සුවහසක් වෙළෙඳුන්ට හා පාරිභෝගික ජනතාවට සිදුකෙරනුයේ අමිල මෙහෙවරකි.

 

Comments