නිරෝධායන ඇඳිරිය 21තෙක් දිගු වෙයි | සිළුමිණ

නිරෝධායන ඇඳිරිය 21තෙක් දිගු වෙයි

කොරෝනා වැළඳුණ මවකට කොළඹ කාසල් රෝහලේදී සැප්තැම්බර් 9 දින උපන් තුන් නිවුන් දරුවන් සහ එයට දායක වූ රෝහල් කාර්ය මණ්ඩලය.

- පිට පිට දෙවැනි සතියටත් එන්නත්කරණයෙන් ලොව පළමු තැන ශ්‍රී ලංකාවට
- එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි
- වයස 30ට වැඩි ජනගහනය 100%ක් පළමු එන්නත් මාත්‍රාවත් 89%ක් දෙවැනි එන්නත් මාත්‍රාවත් ලබාගෙන අවසන්

කුත් 5 වැනිදා කොවිඩ් ආසාදිත මරණ 189ක් වාර්තා වීමත් සමඟ ‍මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා ගියේය. ගතවූ සතියේදී මෙරට සිදුවූ කොවිඩ් ආසාදිත මරණ අතර ප්‍රවීණ ගායන ශිල්පී සහ සංගීතඥ සුනිල් පෙරේරා සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිය වූ හීන්මැණිකාද විය. 

කොවිඩ් අවදානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව 5 වැනි මට්ටමේ එනම් ඉහළම අවදානම් රටවල් අතරට පැමිණ ඇති බව අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ඉකුත් 8 වැනිදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෘෘනායි යන රටවල්ද අමෙරිකාව විසින් එසේ ඉහළ අවදානම් රටවල් අතරට ඇතුළත් කර ඇති අතර අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම් පූර්ණ එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය බවද අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට දැනුම් දී ඇත.

එවැනි තත්ත්වයක් තුළ පවා ශ්‍රී ලංකා රජය සෞඛ්‍ය අංශ සමඟ එක්ව කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ඒ අතර සුවිශේෂී වේ.

මේ වන විට මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන විශාල සාර්ථකත්වයක් අත්කර ගෙන සිටින බව නොරහසකි. ඉතා සුළුතරයක් හැරුණු විට ජනතාවගෙන් බහුතරය එන්නත්කරණය සඳහා විශේෂ උනන්දුවක් දක්වන අතර තමාට හිමි කොවිඩ් මර්දන එන්නත් කඩිනමින් ලබාගැනීම සඳහා විශාල උද්‍යෝගයකින් කටයුතු කරනු දක්නට ලැබේ. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව දෙවැනි සතියටත් ලෝකයේ පළමු ස්ථානය හිමිකරගෙන ඇති බව ගෝලීය කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන OUR WORLD IN DATA වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම වෙබ් අඩවියේ දත්ත වාර්තා අනුව එන්නත්කරණය අතින් මීට පෙර සතියේදී ශ්‍රී ලංකාව ලෝකයේ පළමු තැනට පත්වූයේ මෙරට ජනගහනයෙන් 13%ක ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කිරීමෙනි. ඉකුත් සතිය තුළ පමණක් ජනගහනයෙන් 11.6%ක් එන්නත්කරණයට ලක්කිරීමෙන් ශ්‍රී ලංකාව දෙවැනි වරටත් පළමු ස්ථානයට පත්වද්දී නවසීලන්තය, කියුබාව, ඉක්වදෝරය සහ පැනවා රාජ්‍යය එන්නත්කරණයෙන් පිළිවෙළින් ලොව 2 වැනි,3 වැනි,4 වැනි සහ 5 වැනි ස්ථාන දිනාගෙන ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාව එන්නත්කරණයේ විශේෂ අවස්ථාවකට පත්ව ඇති බවයි. ඔක්තෝබර් 26 වැනිදා වන විට මෙරටට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 36ක් පමණ ලැබී ඇති බවත් නිර්දේශ කරන සියලු දෙනාට ප්‍රමාණවත් පරිදි ලබන නොවැම්බර්, දෙසැම්බර් වන විට තුන් වැනි මාත්‍රාවක් ලබාදීමටද හැකියාව ඇති බවද හෙතෙම සඳහන් කළේය. මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා භාවිත කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් පර්යේෂණ මඟින් තහවුරු කරන ලද හොඳම වර්ගයේ එන්නත් බැවින් ලැබෙන ඕනෑම එන්නතක් ලබාගන්නා ලෙස ප්‍රධාන කොවිඩ් සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය අන්වර් හම්දානි ජනතාවගෙන් ඉල්ලා සිටී. 

9 වැනිදා වන විට මෙරට සමස්ත ජනගහනයෙන් 13,264,806ක් කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාවත් 10,211,537ක් දෙවැනි එන්නත් මාත්‍රාවත් ලබාගෙන තිබුණි. වයස 30ට වැඩි ජනගහනයෙන් සියයට සියයක් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන තිබූ අතර ඒ ජනගහනයෙන් 89%ක් දෙවැනි එන්නත් මාත්‍රාවද ලබාගෙන තිබිණි. ඒ වන විට වයස අවුරුදු 20-29ත් අතර ජනගහනයෙන් 53%ක් පළමු එන්නත් මාත්‍රාව ලබා‍ගෙන ඇති බව ජනාධිපති ‍ලේකම් කාර්යාලයීය වෙබ් අඩවියේ කොවිඩ් 19 එන්නත්කරණය පිළිබඳ දත්ත වාර්තාවල සඳහන් වේ.

මේ වන විට මෙරට සමස්ත ජගහනයෙන් 60%ක් ආවරණය වන පරිදි පළමු එන්නත් මාත්‍රාවද 40%ක් ආවරණය වන පරිදි දෙවැනි මාත්‍රාවද ලබාදී අවසන් වී ඇත්තේ මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පෙන්වා දෙමිනි. එවැනි සාර්ථකත්වයක් ලබාගැනීමෙන් පසු රජය විසින් අවධානය යොමුකරනු ලැබුවේ මෙරට යොවුන් ජනගහනය එන්නත්කරණය පිළිබඳවයි.

ඒ අනුව වයස අවුරුදු 20-29ත් අතර මිලියන 3.7ක් පමණ වූ යොවුන් ජනගහනය එන්නත් කිරීමේ වැඩසටහන පසුගිය සැප්තැම්බර් 2 වැනිදා දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරිිණි. එහි පළමු පියවර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර 6 වැනිදා කොළඹ, ගම්පහ,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන ආරම්භ විය. බස්නාහිර පළාතේ පමණක් එන්නත්කරණ මධ්‍යස්ථාන 109ක් ක්‍රියාත්මක වූ අතර යුද හමුදාව විසින් විහාරමහාදේවී උද්‍යානයේදී, වේරහැර හමුදා රෝහලේදී සහ දියත උයනේදී පවත්වන ලද එන්නත්කරණ වැඩසටහන් සඳහා ඉහළ සහභාගිත්වයක් දක්නට ලැබුණි. එන්නත්කරණ වැඩසටහන්වලදී තරුණ ප්‍රජාව තුළින් දක්නට ලැබුණු විනයගරුක බව සහ ආචාරශීලී බව විශේෂ පැසසුමටද ලක්විය. ඉදිරියේදී මෙම එන්නත්කරණ වැඩසටහන තවත් දිස්ත්‍රික්ක 6කදී කඩිනමින් සිදුකිරීමට නියමිතය. 

එන්නත් මිලදී ගැනීම සඳහා රජය මේ වන විට බිලියන 35ක් පමණ වැය කර ඇති අතර එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි නොයෙක් ආබාධවලින් පෙළෙන වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ග්‍රාමසේවා මට්ටමින් ලබාගෙන ඔවුන් වෙතටම ගොස් එන්නත් ලබාදීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

දරුවන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කිරීමත් සමඟ 7 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා ලක්ෂ 20ක් පමණ වන දරුවන්ටත් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට හැකිවන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය. රජයේ වෛද්‍ය සංගමය යෝජනා කරන්නේ වයස අවුරුදු 12-18ත් අතර දරුවන්ට ෆයිසර් එන්නතත් 18ට වැඩි 30ට අඩු තරුණ කණ්ඩා‍යමට සයිනොෆාම් හෝ වෙනත් සුලබව ඇති එන්නත් භාවිත කිරීම වඩා සුදුසු බවයි.

දිනෙන් දින කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගිය 8 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු සඳහන් කළේය. ඒ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ ‍වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතය ලෙස ප්‍රකාශ කළ නොහැකි බවත් වසංගතයයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ එම වෛද්‍යවරයාගේ ප්‍රකාශය සාධාරණ බව තමාද සිතන බවත්ය.

මේ වනවිට මෙරට ගැබිනි කාන්තාවන් ලක්ෂයකට වඩා පිරිසක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසූ අතර ඒ කිසිම මවකගෙන් අතුරු ආබාධයක් ගැන දැනට වාර්තා වී නැති බවත් සඳහන් කළේය.

මේ අතර කොවිඩ් ආසාදිත ගැබිනි මවක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී 9 වැනිදා තුන් නිවුන් දරුවන් බිහිකළාය. 27 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි එම මව බිහිකළ ගැහැනු දරුවන් තිදෙනා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් මවගේ කොවිඩ් තත්ත්වයද මේ වන විට සුව අතට හැරී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.


කාඩ් ලකුණු කරගෙන එන්නත් මඟහැරි ගාල්ලේ සිවු දෙනා

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පසුගිය 8 වැනිදා පැවති කොවිඩ් මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි සිවුදෙනකු එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන එන්නත් මධ්‍යස්ථානයෙන් පිටතට යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එසේ අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා සහ පිරිමි පුද්ගලයාගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා 9 වැනිදා පොලිස් ඇප මත මුදා හැර ඇත.

එ‍සේ ඇප මත මුදාහැර ඇත්තේ ගාල්ල කෝන් පාර පදිංචිව සිටි ඒ. එම්. ඒ. එෆ් රිෆ්කා, ඒ. එම්. ඒ. එෆ් රිස්වානා යන එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු, ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි ජගත් පුෂ්පකුමාර සහ එම්. එන් නූහා යන සිවුදෙනාය.

ඔවුන් එන්නත් මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන පිටව යන අයුරු දුටු එන්නත් මධ්‍යස්ථානයේ නිලධාරීන් ඒ බව පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් කළ විමර්ශනයේදී අත්අඩංගුවට පත් සහෝදරියන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් දෙදෙනා පසුගිය 11 වැනිදා පැමිණ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් බවට කාඩ්පත්වල ලකුණු කරගෙන පිටව ගොස් ඇති බවයි. එදින ඔවුන් සමඟ ඔවුන්ගේ පියාද එන්නත ලබාගත් බවට කාඩ්පතේ ලකුණු කරගෙන පිටව ගොස් ඇත. අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා පවසා ඇත්තේ තමාට එන්නත විඳ ගැනීමෙන් අසාත්මිකතා ඇතිවන නිසා එන්නත ලබා නොගත් බවත් ඉදිරියේදී එන්නත ලබාගත් බව පෙන්වීමට අවශ්‍ය නිසා කාඩ්පත ලකුණු කරවාගත් බවයි.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 267 වැනි වගන්තිය යටතේ අන්තරාදායක රෝගයක් පැතිරවීමට හැකි අයුරින් නොසැලකිලිමත් ලෙස ක්‍රියාකිරීම යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඡායාරූපය හා පසුබිම් සටහන - ලලිත් චාමින්ද,ගාල්ල

ඡායා­රූප - සුලෝ­චන ගමගේ
 

Comments