වන­ජීවී සේයා­රූ­ක­ර­ණ­යෙන් ලොව දිනූ ශ්‍රී ලාංකි­කයෝ | සිළුමිණ

වන­ජීවී සේයා­රූ­ක­ර­ණ­යෙන් ලොව දිනූ ශ්‍රී ලාංකි­කයෝ

 බුද්ධි­ලිනි ද සොයි­සාගේ "මහා පිහි­නුම"(A Great Swim) ඡායා­රූ­පය
බුද්ධි­ලිනි ද සොයි­සාගේ "මහා පිහි­නුම"(A Great Swim) ඡායා­රූ­පය

 

න්තර්ජාතික ඡායාරූප තරග අතරින් විශිෂ්ටම ඡායාරූප තරගය ලෙස වසරේ වනජීවි ඡායාරූප ශිල්පියා (wildlife photographer of the year) තේරීමේ තරගය හඳුන්වා දිය හැකිය. එය අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළක් වන ඔස්කා සම්මාන උලෙළ හා සම කළ හැකිය. එනිසා ලොව නන්දෙස සිටින ඡායාරූපකරණයේ නියැළෙන්නන් මෙම තරගය සඳහා ඉදිරිපත් වේ. ඔවුන්ගේ සිහිනයක් වන්නේ වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා "wildlife photographer of the year" බවට පත් වීමය. එනිසා ලොව විවිධ රටවල වෙසෙන ඡායාරූප ශිල්පීන් 'wildlife photographer of the year 2021' වීමේ අරමුණ ඇතිව සිය ඡායාරූප එකතුවේ ඇති විශිෂ්ටතම ඡායාරූප එකතුව මෙම තරගය සඳහා යොමු කරයි.

මෙවර තරගය සඳහා ඡායාරූප 50,000 වැඩි ප්‍රමාණයක් රටවල් 95ක අති දක්ෂ ඡායාරූප ශිල්පීන් විසින් යොමු කර තිබුණි. මේ ඡායාරූප අතරින් හොඳම ඡායාරූප සීයක් පළමු වටයේදී තෝරා ගැනේ. එම ඡායාරූප සීය අතරින් ඡායාරූප දහයක් දෙවන වටයේදී තෝරාගන්නා අතර ඉන් වසරේ විශිෂ්ටතම වනජීවි ඡායාරූප ශිල්පීයා තෝරා ගැනේ. මෙය බ්‍රිතාන්‍ය ස්වභාවික විද්‍යා කෞතුකාගාරය විසින් පවත්වනු ලබන අතර බීබීසී ආයතනය මේ පසුපස සිටිමින් අගනා කාර්යභාර්යයක් සිදු කරයි.

මෙවර මෙම තරගය පැවැත්වෙන්නේ පනස් හත්වෙනි වරටය. මෙවර පැවැත් වූ තරගය ශ්‍රී ලාංකිකයන් වන අපට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකිකයින් දෙදෙනකුගේම ඡායාරූප එහි ජුරියේ ප්‍රශස්ත ඇගයිමට (Highly Commended) ලක්ව තිබීමය. ඒ ගගන මෙන්ඩිස් වික්‍රමසිංහගේ "අගුළු දැමූ පැටවුන්"(Lockdown chicks) වයස අවුරුදු 10 ක් හා ඊට අඩු ළමා කාණ්ඩය යටතේ විශේෂ ඇගයීමට ලක් වීම සහ බුද්ධිලිනි ද සොයිසාගේ "මහා පිහිනුම"(A Great Swim) ක්ෂීරපායින්ගේ හැසිරීම යන කාණ්ඩය යටතේ විශේෂ ඇගයීමට ලක්වීමය.

ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ වයස අවුරුදු එකොළහක දරුවෙකි. ගගනට අමත නම් වැඩිමහල් සොහොයුරකු හා අරංගා නමින් නැඟණියක සිටියි. වයස අවුරුදු අටේදී පමණ මාස තුනක කාලයකට ගගනත් අමතත් වත්තල හේකිත්ත ක්‍රිස්තුරාජ මහා විද්‍යාලයට ගොස් තිබේ. ඒ හැරුණු කළ ඔවුන් අනෙක් ළමයින් මෙන් ක්‍රමානුකූලව පාසල් අධ්‍යාපනයට යොමූ වූ දරුවන් නොවෙති. මේ පිළිබඳව මා කළ විමසීමේදී ගගනගේ පියා උරග හා උභය ජීවී විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ පැවසූයේ, එලෙස මාස තුනක් හෝ ඔවුන් පාසල් අධ්‍යාපනයට යොමු කළේ සෙසු දරුවන් සමඟ අත්දැකීම් බෙදා ගැනීමට මිස දැනුම ලබා දීමේ අදහසින් නොවන බවයි. පවතින අධ්‍යාපන ක්‍රමය හරහා දරුවන් තරගයකට යොමු කර ඇති බැවින් තමන් හා බිරිඳ සාකච්ඡා කර ඔවුන් ඉපදීමටත් ප්‍රථම දරුවන් පාසල් නොයැවීමට තීරණය කළ බව හෙතෙම පවසයි. දරුවන්ගේ වටිනා ළමා කාලය ඔවුන්ට ලබාදීම දෙමාපියන් වශයෙන් තම යුතුකම බවත්, දැනුම ලබා ගැනීමට ඕනෑතරම් මාධ්‍ය අද ඇති බවත් අවශ්‍ය වන්නේ ප්‍රායෝගික අත්දැකීම් ලබා දී ඔවුන්ගේ කුසලතා වර්ධනය කරගැනීමට ඉඩකඩ සැලසීම බවත්ය. සත්ත්ව විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ 'ඩාවින් පවුල' ලෙස විරුදාවලිය ලත් වික්‍රමසිංහ පවුල ඉතාම සරල දිවි පෙවෙතක් ගත කරයි. ඔවුන් එලෙස හැඳින්වීමට හේතුව වන්නේ නව උරග විශේෂ 15ක් සහ උභය ජීවී විශේෂ 11ක් ලොවට හඳුන්වා දුන් නිසාය. වසර 135 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් වඳවී ගිය බවට විශ්වාස කළ ජීවින් තිදෙනෙකු සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ නැවත ලොවට හඳුන්වා දීමට ද ඔහු සමත් විය.

අධ්‍යාපනවේදිනියක වන නෙතූ වික්‍රමසිංහ තම දරුවන්ගේ නැණ නුවණ පෑදීමට තත්පර වී සිටී. තම දරුවන් කළ යුත්තේ කුමන රැකියාවද යන්න තමන් හෝ දරුවන්ගේ පියා තීරණය නොකරන බවත්, ඔවුන්ගේ කුසලතාවන් මත ඔවුන් කැමති ඕනෑම දෙයක් කිරීමට අවශ්‍ය පරිසරය තම නිවස තුළ ගොඩනගා ඇති බවත් ඇය පවසා සිටියාය. මේ ජයග්‍රහණ පිටුපස සැඟව ඇත්තේ ඒ ලබාදී තිබෙන නිදහස බව ද ඈ පැහැදිළි කළාය.

තරගයට ඉදිරිපත් කළ ඡායාරූප සම්බන්ධයෙන් ගගනට කියන්නට හරි අපූරු කතාවක් තිබේ.

 ගගන මෙන්ඩිස් වික්‍ර­ම­සිං­හගේ "අගුළු දැමූ පැට­වුන්"
(Lockdown chicks) ඡායා­රූ­පය

2020 වසරේ රට ලොක්ඩවුන් කිරීමත් සමඟ පියා සහ මව සමඟ සංචාරක දිවිපෙවෙතකට උරුමකම් කියු ගගනට හා ඔහුගේ වැඩිමහල් සොහොයුරු අමත හා නැඟණියට නිවාස අඩස්සියේ විසීමට සිදු විය. මේ අතර ගේ අද්දර තිබූ දිරාපත්ව ගිය පුුවක් ගසක හරි අපූරු ක්‍රියාවලියක් සිදුවෙමින් තිබුණි. ඒ කෑරලකු විත් මෙහි බෙනයක් සැදීමට හැකිදැයි සොයා බලනු දර්ශනය වීමය. මේ පිළිබඳව විමසිලිමත් වූ ගගනගේ පියා ඒ ඔස්සේ වාර්තා චිත්‍රපටයක් තැනීමේ අරමුණ ඇතිව කැමරාව සූදානම් කර විටින් විට මෙම සිදුවීම් පෙළ රූපගත කරමින් සිටියේය. කෑරලා විසින් පරික්ෂා කළ ස්ථානයේ පොලොස් කොට්ටෝරුවකු පැමිණ බෙනයක් සෑදීමට පටන් ගෙන තිබුණේ ඒ අතරය. බෙනය සෑදූ වහාම ගිරා ජෝඩුවක් විත් එය සිය වාසස්ථානය බවට පත් කර ගත්තේය. උනුන්ගේ සන්නිවේදන ක්‍රියාවලිය භෞතිකව මේ යැයි දිස් නොවූවද එය ඉතාම සූක්ෂ්මව සිදු වී ඇති බව අනුමාන කළ හැකිය. පොහොයක් ගෙවී පැටවුන් එළියට පැමිණ ආහාර ගන්නට පටන්ගෙන තිබුණි. මෙන්ඩිස් වික්‍රමසිංහ මේ සිදුවීම් සියල්ල සිය කැමරාවෙහි පටිගත කළේය. මෙලෙස විටින් විට පරම්පරා දෙක තුනක් ඇති දැඩිවී නිදහස් වී යනු ඔවුන් දුටුවෝය.

පියාගේ මේ ක්‍රියාවලිය දෙස විපරමින් සිටි ගගනගේ වැඩිමහල් සොහොයුරු අමත දිනක් කාටත් හොරා කැමරාව මානමින් ගිරා පවුලේ විවිධ සිදුවීම් ඡායාරූපයට නඟා තිබුණි. පියා තමා තිබූූ ස්ථානයේ කැමරාව නොතිබූ නිසාවෙන් එය විපරම් කරන විට එය අමත අත තිබෙනු දුටුවේය. අමත වහා පියා වෙත දිවවිත් තමා ගත් ඡායාරූප පෙන්වීය. ඉතාම උසස් මට්ටමේ ඡායාරූප එහි සටහන් වී තිබීමෙන් පියා අමන්දානන්දයට පත්විය. එම ඡායාරුප පියා විසින් අගයනු බලා සිටි ගගනද මෙතෙක් දවසක් තම යටිසිතේ සඟවාගෙන සිටි ආශාව මුඳුන් පත් කර ගැනීමට සිතුවේය.

කාටත් කලින් අවදි වූ ගගන කැමරාවත් රැගෙන සඳළු තලයේ සිට තම කැමරා කාචය මේ ගිරා බෙනයට මානන්නට විය. විටින් විට එහි සිදු වූ විවිධ අවස්ථාවන් කැමරාවේ සටහන් කරගත් ගගන මධ්‍යහානය පමණ වනතෙක් අනිමිසව එහි රැඳී සිටියේය. ගිරවා කෑම රැගෙන පැමිණි මේ අවස්ථාවේ වෙන අවස්ථාවක නොදුටු දසුනක් ගගන දුටුවේය. ඒ පැටවුන් තිදෙනකුම කෑම ගැනීමට බෙනයේ විවරයට පැමිණ සිටින අවස්ථාවකි. වහා තම අත වූ කැමරාවේ බොත්තම තද කළ ගගන පියවි ඇසින් දුටු සියල්ල කැමරා කාචය තුළින් දුටුවේය. අයියා කළ ක්‍රියාව නොවන්නට ගගන සිය පියාගේ කැමරාව අතට නොගන්නා බව හේ පැවසීය. එනිසා මෙහි ගෞරවයෙන් අඩක් ඔහුටද හිමිවිය යුතු බව ගගන පවසයි.

"අපි මේකෙන් ඉගෙන ගත්ත පාඩම තමයි මැරුණු ගහකටත් පණ තියෙනවා කියන එක." ගගන තම අදහස් දැක්වීම හමාර කළේ එලෙසිනි.

'wildlife photographer of the year' තරගයකදී මෙම වයසේ ශ්‍රී ලාංකික දරුවකු ලබූ පළමු ඇගයීම මෙය වේ. මෙම තරගය සඳහා මීට ප්‍රථම මෙවැනි ජයග්‍රහණයකට හිමිකම් කියන්නේ රුක්ෂන් ජයවර්ධනය. ඒ 2002 වසරේ පැවති තරගයේදීය. එහෙත් ඒ ක්ෂීරපායින්ගේ හැසිරීම යන කාණ්ඩය යටතේය.

වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙක් වූ වයි.එස්. ද සොයිසා සහ පශු වෛද්‍යවරියක වූ සුජිරා ද සොයිසාට දාව බුද්ධිලිනි ද සොයිසා කොළඹදී මෙලොව එළිය දුටුවේය. ඒ පවුලේ එකම දරුවා ලෙසය. කොළඹ බිෂොප් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ බුද්ධිලිනි කොළඹ විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක් හිමිකර ගත්තාය. පසුව එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝර්ටන් ව්‍යාපාරික පාසලෙන් MBA උපාධියක් හිමි කරගත් ඇය අම්බා පර්යේෂණ ආයතනයේ සේවයට බැඳුණේය. පසුව ඇය 2013 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණියාය. සිඩ්නි නගරයෙහි ජීවත්වන ඇය බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වේ. ඇය මේ වන විට ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු ද වේ. ඇගේ එකම විනෝදාංශය ඡායාරූපකරණයයි. සැමියා සමඟ ලොව පුරා ඇවිදිමින් වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන ඇය තම ඡායාරූපකරණය පිළිබඳ කතාව මෙලෙස හෙළි කළේය.

ඈ ඡායාරූපකරණයට යොමු වූයේ මින් වසර දහයකට පෙරාතුවය. වනජීවීන් සමඟ ඇගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වූයේ ඈ කුඩා කාලයේ සිටය. ඇයට ඇවිදීමට හැකි වූ දා සිට ඇගේ පියා ලංකාවේ ජාතික වනෝද්‍යාන නැරඹීමට රැගෙන ගිය අතර ඡායාරූපකරණය තුළින් සොබාදහමට ආදරය කිරීම ඉන් ලද ආශ්වාදය නිසාම උපන්නකි. ඇගේ පියා විසින් ඈට දුන් ලොකුම දායාදය එයයි. ඡායාරූපකරණය තුළින් සොබාදහමේ ඇති සුන්දරත්වය සහ එය අගය කිරීමට මිනිසුන් පෙලඹවීම ඇගේ ඒකායන අරමුණයි. මෙම ජයග්‍රහණයට හේතු වූ ඡායාරූපය පටුපස ඇති කතාව හරිම රසවත්ය.

ඇය මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 2020 මුල් භාගයේදී ය. ඒ කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයෙහි ඔවුන් කළ අටවන සංචාරයේදීය. කොරෝනා හේතුවෙන් ලෝකය වසා දැමීමට පෙර ඔවුන් ගිය අවසන් විදෙස් සංචාරය එය විය. 2020 ජනවාරියේදී ඔවුන් කෙන්යාවේ ගොඩබසින විට, කෙන්යාවට ඉතා අසාමාන්‍ය අන්දමේ ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙමින් පැවතුණි. මාරයි තලේක් ගඟ පිටාර ගැලීම සහ ඉවුර කැඩීයාම හේතුවෙන් ඔවුන්ගේ මාර්ගෝපදේශකයාට ඔවුන් රැඳී සිටීමට නියමිත වූ කඳවුරට සමීපතම ගුවන් පථයට ගෙනයාමට නොහැකි විය. මෙනිසා ඉතාම ත්‍රාසජනක අත්දැකීමකට ඔවුන් මුහුණ දුන්නේය.

මෙවැනි ගංවතුරක් මසායි වැඩිහිටියන් තම ජීවිත කාලය තුළ අත්දැක තිබූ පළමු අවස්ථාව මෙය විය. ඔවුන් එවර ගොඩ බැස්සෙත් වෙනත් තැනකටය.එයත් පුදුමාකාර ත්‍රාසජනක අත්දැකීමක් විය. මෙවර මසායි මාරා වෙත ඔවුන් පැමිණියේ පිරිමි චීටාවන් පස්දෙනකු අසාමාන්‍ය ලෙස එක් වී සිටින 'ටැනෝ බෝරා'( tano bora) කණ්ඩායම දැක ගන්නටය. ඈ කුඩා කල සිටම බිළාල පවුලේ සත්ත්වයන්ට ප්‍රිය කරයි.

ඈ ආසම ලංකාවේ වෙසෙන දිවියන්ටය. ලොව වේගවත්ම සත්ත්වයා චීටාවන්ය. චීටාවන් ගැන ඈ තොරතුරු රැස්කර තිබුණි. එනිසා ඔවුන් සජීවීව දැක ගැනීමේ නොතිත් ආසාවෙන් ඈ පෙළුණේය. එවැනි සතුන් පහක එකමුතුවක් කියල කියන්නේ ලොව වේගවත්ම එකමුතුවය. අනික් අතට මේ පස්දෙනාම පිරිමි සතුන් වීමද විශේෂය. ලෝකයේ මෙවැනි චීටාවන්ගේ එකමුතුවක් ගැන වාර්තා වී ඇත්තේ ද ප්‍රථම වතාවටය.

දෙගොඩතලා යන ගඟ අසීරුවෙන් තරණය කර මෙගොඩට ආ චීටාවන් ගැන ඇයට ඇත්තේ මහත් විමතියකි. ගඟේ පහළට ගසාගෙන එන චීටාවන් වෙත තම කැමරා කාචය යොමු කරන විට රිදී පාටැති චීටා ඈ සමඟ කතා කරන බවක් ඈට හැඟී ගියේය. "ඒයි නෝනා, කරුණාකර ඔය කැමරාව පැත්තකට දාලා අපට උදව් කරන්න" ඒ ඇස් දෙකෙහි සටහන් වී තිබුණි.

මිනිසා විසින් ස්වභාවික පරිසරයට ඇති කරන ලද බලපෑම නිසා දේශගුණික විපර්යාස වැනි සාධක හේතුවෙන් සතුන්ට මුහුණ පෑමට සිදු වන අතිරේක තර්ජන ඉස්මතු කර දැක්වීමට මෙම ඡායාරූපය කදිම සාක්ෂියක් බව ඈ පවසයි. චීටාවුන් දැනටමත් බොහෝ තර්ජනයන්ට මුහුණ දී ඇති සහ වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්වයෙකි. ලෝකයේ වැඩිම ළදරු මරණ අනුපාතයක් ඇති මෙම සත්ත්වයින්ට මාරා හි මෙම අකල් වැසි විශාල තර්ජනයක් වේ. වැඩිහිටියන් වන තුරු චීටා පැටවුන්ගෙන් ජීවත්ව සිටින්නේ සීයට පහක් පමණක් බව කියවේ. මෙම ඡායාරූපය තුළින් ඈ බලාපොරොත්තු වන්නේ අනාගත පරපුර සඳහා ඔවුන් සුරක්‍ෂිතව තබා ගැනීම සහ ලොව පුරා සිදු කෙරෙන බොහෝ සංරක්‍ෂණ ව්‍යාපෘති කෙරෙහි මෙම සතුන්ගේ දුක්ඛිත ජීවන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරවීමය.

ඡායාරූප තරගයේ විනිශ්චය මණ්ඩලයේ සභාපති රොස් කිඩ්මන් කොක්ස් පවසන්නේ මෙම ඡායාරූපය තුළ "ඇතුළත් ව තිබූ සමස්ත ගුණාත්මකභාවය ඔවුන් පුදුමයට පත් කළ" බවයි.

එළඹෙන ඔක්තෝම්බර් මස 12 වැනි අඟහරුවාදා සවස කෞතුකාගාරයේ සුප්‍රසිද්ධ හින්ට්ස් ශාලාවේ සිට මෙම ඡායාරූප ප්‍රදර්ශනය ලොවපුරා ප්‍රේක්ෂක ජනයාට සජීවීව විකාශය කිරීමට නියමිතය. අවසානයේ සම්මාන ප්‍රදානෝත්සවයේදී ජයග්‍රාහී පින්තූර සහ සුපිරි ශූරයන් දෙදෙනා නිවේදනය කිරීමට නියමිතය. 12 වැනිදා සිට මාසයක පමණ කාලයක් මෙම ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ අවස්ථාව සියලු ලෝකවාසීන්ට උදාකර දී තිබේ.

 

Comments