වසර අව­සා­න­යට පෙර නගර සිය­යක් | සිළුමිණ

වසර අව­සා­න­යට පෙර නගර සිය­යක්

සියක් නගර සංව­ර්ධන ව්‍යාපෘ­තිය ආරම්භ කර­මින්  නාග­රික සංව­ර්ධන, අප­ද්‍රව්‍ය බැහැ­ර­ලීම හා ප්‍රජා පවි­ත්‍රතා කට­යුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩ­හේ­වා පැළයක් රෝපණය කරන අයුරු සහ ඵලකයක් විවෘත කිරිම.

 

සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය කුරුණෑගල හිරිපිටිය නගරයෙන් පසුගියදා ආරම්භ විය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. රට පුරා සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි නගර 100 ක් මේ යටතේ සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමලත් මේජර් ජෙනරාල් උදය නානායක්කාර අප කළ විමැසීමක දී පැවසී ය.

සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එක් නගරයක් සංවර්ධනය කොට අලංකාර කිරිම සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 20 කි. ඒ අනුව , නගර සියය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2000 ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය මේ වසර අවසානයේ නිම කිරිමට නියමිතයි.

මේ සඳහා මඟ පෙන්වීම නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් සිදු වේ. නගර සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීමේ දී නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් , වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීරගේ සහය ද හිමි වෙයි.

සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් සඳහන් කළේ ,

´හැම දේට ම කොළඹ යන්නේ නැතුව ළඟම නගරයෙන් අවශ්‍යතා ඉටු කරගන්න තිබුණ නම් කියලා ජනතාවට හිතෙන එකේ කිසිදු වරදක් නොමැති බව ය. මේ නගර 100 සංවර්ධනය වෙනකොට ඒ ආශ්‍රිත ග්‍රාමීය ජනතාවට තවත් පියවරක් ඉදිරියට යන්න ලැබෙනව. ඒ විතරක් නෙවෙයි, අනෙකුත් නගර අතර පවතින සංවර්ධන විෂමතාවත් මෙමඟින් මගහැරෙනවා. තිරසාර නගරයක ජීවත් වීම ඔබට හැම අතින් ම පහසුවක් ` බව ද අග්‍රාමාත්‍යතුමා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ය.

´අප ඉතිහාසය අරන් බැලුවත් ක්‍රමානුකූල නගර නිර්මාණය ආගන්තුක දෙයක් නෙවෙයි.

පුරාවිද්‍යාත්මක හෙළිදරව් වලට අනුව මෙරට බිහිවූ සැලසුම් සහගත ප්‍රථම ජනාවාස පිළිබඳව තම්මැන්නාගම සහ අනුරාධපුර ග්‍රාමයෙන් අපට උදාහරණ තිබෙනවා. නගර බිහිවෙන්නේ ජනතාව තුළින්. එදා අතීතයේ අපිටම උරුම වෙච්ච නගර නිර්මාණ සැලසුම් තිබුණා. අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය ආදී අතීත රාජධානි සමඟ බැඳුණු නගර නිර්මාණ අදටත් මුළු ලෝකයේ ම කතාබහට ලක් වෙනවා.

ඒ විතරක් නෙවෙයි ඒ සැලසුම් අධ්‍යයනය කරන්න අදටත් විදේශිකයන් එනවා. 30 වසරක පැවැති යුද්ධය නිසා රටේ සංවර්ධනයත් ආපස්සට ගිය බව ඔබ තමුන්නාන්සේලා දන්නවා. අපි නම් යුද්ධයක් තිබියදීත් සංවර්ධනය අමතක කළේ නැහැ. නමුත් ඊට පෙර නගර සැලසුම් සහ සංවර්ධනයට කිසිවකුත් අත තිබ්බේ නැහැ.

ඒ නිසා මහපාරේ කැළිකසළ පිරිල තිබුණෙ. බලන්න අප්‍රසන්නයි. පදික වේදිකාවේ පදිකයකුට යන්න බැහැ. ඒ උඩ කඩ ගහල, වාහන නවත්තල. පොඩි වැස්සටත් යට වෙනව. කුණු කානු උතුරනවා. වෙනත් නගර නෙවෙයි කොළඹත් එහෙමයි තිබුණෙ. ඒ තත්ත්වයෙන් නගර ගොඩගන්න එදා මම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාට නාගරික සංවර්ධනය බාර දුන්නා.

එතුමා ඒ වැඩේ හරියට කළා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට මේ රටේ නගර සංවර්ධනය කඩිනම් කරන්න අදටත් විශාල අවශ්‍යතාවක් තිබෙන බව ඔබ හොඳින් දන්නවා.

කොටුවෙ පාවෙන වෙ‍ෙළඳ සංකීර්ණය අද කොළඹ නගරයේ ආකර්ෂණීය ස්ථානයක්. එදා එතන කුණු ගඳ ගස්සවන අපරාධකරුවන්ගේ රජදහනක් විදියටයි තිබුණෙ. එවන් තැනක් තමයි අපි කොළඹට එළිය දෙන තැනක් කළේ. ඔබේ නගරය දියුණු අලංකාර නගරයක් බවට පත්වීම ඔබ අද මුහුණ දෙන බොහෝ ගැටලුවලට විසඳුම වනු ඇතැයි අප විශ්වාස කරනවා.

මේ කටයුත්ත සඳහා දායක වන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාට මගේ ප්‍රණාමය පුද කරනවා` යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් සියක් නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු වසර අවසානයට පෙර

නගර සියයක් පැහැදිලි කළේ ය.

කොළඹ කේන්ද්‍ර කරගත් නගර සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ වන්නේ, 16 වන සියවසේ දී ය.

පෘතුගීසි ආගමනයත් සමඟ ආරම්භ වූ මේ වැඩ පිළිවෙළ 17 වන සියවසේ දී ලන්දේසි ආක්‍රමණයත් සමඟ ත්‍රිකුණාමලය, යාපනය, මීගමුව, ගාල්ල වැනි නගර දක්වා ව්‍යාප්ත වී තිබේ.

සියක් නගර වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පෙන්වා දෙන්නේ, නොපෙනෙන සතුරෙක් සමඟ සටන් කරන යුගයක වුවද ජනතාවට පොරොන්දු වූ සංවර්ධන කටයුතු පිළිබඳව බියක් ඇති කර නොගන්නා ලෙසයි.

`සුන්දර නගරයක් කියන එක ඕනෑම කෙනකුගේ සිහිනයක්. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ නගර 300 ක් ගැසට් කර තිබෙනව. සෞභාග්‍යය දැක්ම සැලැස්ම යටතේ සිවු මහා නගර , ජාතික නගර සහ අනෙකුත් නගර සියල්ලම සංවර්ධනයට සැලසුම් කරල අවසන්. කුරුණෑගල හිරිපිටිය නගරයෙන් ආරම්භ වුණ සියක් නගර ව්‍යාපෘතිය කටුපොත, අලව්ව, අඹන්පොළ, කොබෙයිගනේ, බිංගිරිය, පන්නල ,ගිරිඋල්ල සහ හෙට්ටිපොළ නගර ද සංවර්ධනයට නියමිතයි.

කුරූණෑගල දිස්ත්‍රික්කයේ පමණක් නගර සංවර්ධන ව්‍යාපෘති වලට අමතරව අනෙකුත් ව්‍යාපෘති සඳහා මිලියන 297 ක් වෙන් කර තිබෙනවා.

මීට අමතරව තවත් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ සකස් කොට අවසන්.´ බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවැසුවේ ය.

මෙම වසර අවසානයට පෙර සංවර්ධන නගරයක සිහිනය දුටු ඔබට එය සැබෑවක් කර ගැනීමේ අවස්ථාව නොබෝ දිනකින් උදාවෙනු ඇත.

 

Comments