විද්දෙ හාවට වැදුණෙ පඳුරට | සිළුමිණ

විද්දෙ හාවට වැදුණෙ පඳුරට

වගකීම් විරහිත සමාජ මාධ්‍ය ඔස්සේ ග්‍රහණයට නතුවූ කුෂාන් සහ ගයාත්‍රි යුවළගේ ඡායාරූපයක්

•සමාජ මාධ්‍යයෙන් බැට කෑ යුවළ නීති මාර්ගයට බසී
•පහන්තුඩාවේ අනඟ රැඟුමේ අවමානයට ලක්වූයේ අහිංසක යුවළක්

හන්තුඩාව ගෙවුණු දිනවල මහත් සේ කරළියට ආ මාතෘකාවකි. මනරම් දියඇල්ලක් වූ පහන්තුඩාව දියඇල්ල බළංගොඩ ප්‍රදේශයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙලිහුල්ඔය මායිමේ පිහිටා තිබේ. පහනක තුඩගින් වතුර ගලා හැලෙනන්නාක් සේ දිස්වන හෙයින් පහන්තුඩාව සේ හඳුන්වන එම දියඇල්ල නැරැඹීමට පරිසර ලෝලීහු ඇතුළු බොහෝ දෙනෙක් ප්‍රියතාවක් දක්වති. එසේම එම ස්ථානයේ දිය නෑමටත්, ඡායාරූප ගැනීමටත් විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර බොහෝ ප්‍රචලිතය. එහෙත් දියඇල්ලට ළඟාවිය යුත්තෙ කැලෑබද ප්‍රදේශයක මඳ දුරක දුෂ්කර ගමනකිනි.

එම දියඇල්ල අසල ගල් තලාව මත තරුණයකු සහ තරුණියක ලිංගිකව හැසිරීම පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළේය. පසුගිය දෙවැනිදා සවස් යාමයේ එම අනඟ රැඟුම් පෑ යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට පත් තරුණයා 34 හැවිරිදි වෘත්තියෙන් කැමරා ශිල්පියෙකි. මහරගම වෙසෙන ඔහු මට්ටක්කුලියේ අයෙකි. හෙතෙම විවාහක එක්දරු පියෙකි. තරුණයා පොලිසිය අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ බිරියද නිවෙසේ සිටියත් ඇය මේ පිළිබඳව කිසිවක් දැන නොසිටි බවකි. එම අසැබි වීඩියෝවේ සිටි තරුණිය 24 හැවිරිදි ඇල්පිටියේ තැනැත්තියක් වුවත් ඇය වසර කිහිපයක සිට වෙසෙන්නෙ පන්නිපිටියේ මහල්වරාව ප්‍රදේශයේ ඇනෙක්සියකයි. එම තරුණිය පන්නිපිටියේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන්නීය. එම තරුණයා සහ තරුණිය මුණගැසී ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙරදී තරුණයා විවාහ උත්සවයක ඡායාරූපකරණයට ගොස් සිටියදියි. අනතුරුව එම තරුණිය පන්නිපිටිය ප්‍රදේශයට ගෙන්වාගෙන ඇය සමඟ තරුණයා අනියම් සබඳතාවකට මුල පුරා ඇත.

අනතුරුව දෙදෙනා විසින් පහසුවෙන්ම මුදල් උපයා ගැනීමේ මාර්ගයකට අවතීර්ණ වෙමින් ලිංගිකව හැසිරෙන වීඩියෝ නිර්මාණය කිරීමට පෙලඹී ඇත්තෙ තරුණයාගේ සියලු තාක්ෂණික උපකරණද උපයෝගී කරගනිමිනි. එවැනි අසැබි වීඩියෝ වසර දෙකක පමණ කාලයක සිට අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් හෙළි වේ.

දෙදෙනා විසින් ලිංගිකව හැසිරෙමින් නිර්මාණය කළ වීඩියෝ මුහුණු නොපෙනෙන සේ සංස්කරණයකොට බටහිර රටවල් අතර ලිංගික වීඩියෝ නැරැඹීමට ප්‍රචලිත 2007 වසරේ සිට පමණ ක්‍රියාත්මක පෝරන්හබ් (Porunhub) නමැති වෙබ් පිවිසුමට නිකුත් කර තිබුණේ එහි ව්‍යාජ නමකින් ලියාපදිංචි වෙමිනි.

එම තරුණයා විසින් පහන්තුඩාවේ අසැබි වීඩියෝව ඒ තුළ උඩුගත කර තිබුණේ විද්‍යා සූරිකා නමැති ව්‍යාජ නමකිනි.

පෝරන්හබ් පිවිසුමට ලියාපදිංචි වී ඇතුළු වන පුද්ගලයන්ගේ නැරැඹුම් වාර අනුව දෙදෙනා විසින් ලක්ෂ ගණනින් මුදල් උපයා තිබේ. දෙදෙනා විසින් කිසිඳු වෙනත් පුද්ගල සහායක් නොමැතිව ලිංගික වීඩියෝ 40ක් පමණ (සීරිස් එකක්) ඊට නිකුත් කර ඇති බවත් හෙළි වේ. ශ්‍රී ලාංකිකයන්ගේ ලිංගික වීඩියෝ ඒ තුළ දහස් ගණනක් තිබූ බවටද විමර්ශන නිලධාරින්ට අනාවරණය විණි. මනරම් පහන්තුඩාව දියඇල්ල අසලට ගොස් රටටම කැලළක් ඇතිකළ ලිංගික වීඩියෝව නිර්මාණයකර ඇත්තේ ඉකුත් අගෝස්තු 12 වැනිදා පෙරවරුවේයි.

එම දෙදෙනා වීඩියෝව නිර්මාණය කිරීමට පැය දෙකක පමණ කාලයක් දියඇල්ල අසල රැඳි සිටි බවකි. එම අසැබි වීඩියෝව පෝරන්හබ් වැනි වෙබ් අඩවි කිහිපයකම උඩුගතකර ඇති බවත් හෙළි වේ.

පහන්තුඩාව දියඇල්ල පිළිබඳව අන්තර්ජාල සෙවුම් ඔස්සේ පරීක්ෂා කරද්දී මෙකී ලිංගික වීඩියෝව කරළියට පැමිණීමත් සමඟ මේ පිළිබඳව මුලින්ම පොලිස් විමර්ශන ඇරැඹුණේ පහන්තුඩාව අයත් පොලිස් වසම වන සමනලවැව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහට ලැබුණු පැමිණිල්ලක් සීඅයිඩීහි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට යොමු කිරීමත් සමඟිනි. එසේම මේ පිළිබඳව දම්සක් පදනමේ සභාපති පස්සරමුල්ලෙ දයාවංශ හිමියන්ද අගෝස්තු 31 වැනිදා ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබිණි. එම පැමිණිලි අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේනගේ මෙහෙයවීමෙන් එහි සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාශ්‍රී ඇතුළු නිලධාරීහු පැය 48ක් වැනි කෙටි කාලයකදී එම ලිංගික වීඩියෝවේ සිටි දෙදෙනා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට තරම් සූක්ෂ්ම විමර්ශනයක් සිදු කළහ.

දෙදෙනා අත්අඩංගුවට ගැනුණත් ඒ වන විට තරුණයා කොවිඩ් අසාදිතව සිටියේය. තරුණියද කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හෙයින් දෙදෙනා අත්අඩංගුවට ගත්තත් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් ඇප නියම කෙරුණේ 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමිනි. මේ වන විට දෙදෙනාම නිවෙස්වලම නිරෝධායනයට ලක්වෙමින් සිටින බවකි. පොලිස් විමර්ශන ක්ෂණිකවම සිදුවී රටට කැලළක් වෙමින් තිබූ එම පහන්තුඩාවේ දියඇල්ල අසල ලිංගික වීඩියෝව මේ වන විට එම පෝරන්හබ් පිවිසුම තුළින් ඉවත්කර තිබේ. එහෙත් වෙනත් සමාජ මාධ්‍ය අඩවියන්හි එය තවදුරටත් සංසරණය වන බවකි.

පහන්තුඩාව ලිංගිකව වීඩියෝව කරළියට ඒමත් සමඟ ‘අනුන්ගේ පවකට කර ගැසීමක්‘ සේ සිදුවීමක්ද සමාජ මාධ්‍ය ඔස්සේම සිදුවෙමින් තිබිණි. ඒ, වට්ස්ඇප් සමූහ, ෆේස්බුක් ජාලයන්හි මෙන්ම මෑතක සිට හතු පිපෙන්නාක් සේ කරළියටවිත් තිබෙන ඇතැම් යූ ටියුබ් නාළිකාවන් ඇතුළු සමාජ මාධ්‍ය ගොසිප් අඩවියන්හි එම අසැබි වීඩියෝවත් සමඟ පහන්තුඩාව දියඇල්ල අසල සිටින තරුණියකගේ ඡායාරූපයක්ද පළ කරමින් එම ඡායාරූපයේ සිටින තරුණිය අසැබි වීඩියෝවේ සිටින තරුණිය වගට හුවා දක්වමින් වගකීම් විරහිත ක්‍රියාදාමයක්ද සිදු විණි. එලෙස කිසිදු වගකීමකින් තොරව පහන්තුඩාව දියඇල්ල අසල සිටින තරුණියකගේ සහ එම තරුණිය තවත් තරුණයකු සමඟ සිටින ඡායාරූප කිහිපයක් ‘උණු කැවුම්‘ සේ බෙදා ගැනුණේ (SHARE) ‘බළංගොඩ පහන්තුඩාව ජාත්‍යාන්තරයට ගෙනගිය ඒ අසහාය යුවල‘ ආදි ලෙස වැකිද සඳහන් කරමිනි. එම ඡායාරූප පැය ගණනාවකදී අමන සමාජ මාධ්‍ය ඔස්තාර්ලා විසින් බෙදා හැරුණේ එකී යුවළගේ පෞද්ගලිකත්වයට අපමණ වූ හානියක් කරමිනි.

මෙහි ඛේදනීයම තත්ත්වය නම් ලිංගිකව හැසිරුණු සැබෑ යුවළ අත්අඩංගුවට පත්ව තිබියදීත් එම අහිංසක යුවළකගේ ඡායාරූප බෙදා ගැනීම සිදුවීමයි. සමාජ මාධ්‍ය පරිශීලකයන් නිසා වූ දැඩි අවමානය මෙන්ම පීඩනය පිළිබඳව අපට හෙළි කළේ පීඩනයට පත් ගයාත්‍රි ය.

“ඇත්තටම මම මේ දේ දැනගන්නකොට ගොඩාක් පරක්කු වෙලා... මට ඒ දේ මගේ ස්වාමිපුරුෂයා කිව්වෙ... මෙන්න මෙහෙම දෙයක් යනවා...ඔයා ඒක ගැන හිතන්න එපා... අපි බලමු මේක නතර කරගන්න පුළුවන්ද කියලා... පස්සෙ අපි පුළුවන් හැම කෙනෙකුටම කතා කළා... මේ ඡායාරූපය ඉවත් කරන්න... ඒත් බොහෝ දෙනෙක් උදවු කළේ නෑ... තේරුම් ගත්තෙ නෑ... විවාහ වෙලා වසර එකහමාරක් වගේ කාලයකදී මෙහෙම දෙයක් වුණාම විශේෂයෙන් ගෑනු කෙනෙක් කොහොමද සමාජයට මුහුණ දෙන්නෙ... නැදෑයන්ට මුහුණ දෙන්නෙ... ඒ වගේම මගේ අම්මා හෘද රෝගියෙක්...

මං වැඳ නමස්කාරකොට ඉල්ලන්නෙ මෙවැනි දෙයක් තරහකාරයකුටවත් කරන්න එපා... මොකද කාන්තාවක් විදිහට මං විඳපු අපහසුතාව... මානසික පීඩනය කිසි කෙනෙකුට දෙන්න එපා...එහෙම දේකට මුහුණ දුන්න කෙනෙක් තමයි එවැනි දෙයක බැරැරුම්කම දන්නෙ... මං පසුගිය දිනවල පුදුමාකාර මානසික ආතතියකින් කල් ගෙව්වේ... කෙතරම්ද කියතොත් මාව අසනීප වෙලා රෝහල්ගත කරන්නත් සිදුවුණා. ඇත්තටම මට මගේ සැමියාගෙන් මේ සිද්ධියේදී ලොකු ශක්තියක් ලැබුණා...“

එම සිදුවීමෙන් අසරණ වූ ගයාත්‍රි කලක් අසරණ කාන්තාවන්ට පිහිටවීමේ රැකියාවකම නිරතව සිටි තැනැත්තියකි. ඇය 2011 සිට 2019 දක්වා කාන්තා කටයුතු අමාත්‍යාංශයට අනුයුක්තව කාන්තා කාර්යාංශයේ සේවයේ යෙදි සිටියාය. ගයාත්‍රිගේ සැමියා කුෂාන්ද තොරතුරු තාක්ෂණය පිළිබඳ හසළ දැනුමැත්තෙකි. ඔහු වෙබ් ඩිසයිනින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන රැසකම වෙබ් අඩවි නිර්මාණය වී ඇත්තෙ කුෂාන්ගේ අතිනි. එසේම කුෂාන්ගේ ව්‍යාපාරයෙන්ද බොහෝ සමාජ මාධ්‍ය මෙහෙයවෙන බව පවසන කුෂාන් කිසිදු දිනෙක තමන් මෙලෙස වගකීම් විරහිතව වෙනත් පුද්ගලයන්ගේ ඡායාරූප උඩුගත කිරීමක් සිදු නොකරන බව කීවේය. එම සිදුවීම මුල සිට කුෂාන් අපට කීවේ, අපි සාමාන්‍යයෙන් ගොඩාක් ලස්සන තැන් බලන්න ඇවිදින්න යන්න ආසයි... 2020 දෙසැම්බර් 19 වැනිදා 20 දෙනෙකුගෙන් පමණ යුත් සංචාරක කණ්ඩායමක් සමඟ අපි පහන්තුඩාවට ගියා. ලස්සන දියඇල්ලක්. ගොඩක් අය දන්නෙ නෑ... හැබැයි මම ඊට පෙරත් ඒ ස්ථානයට ගිහින් තිබුණා... දෙසැම්බර් 19 වැනිදා ගිය අවස්ථාවේ මගේ බිරිඳ දියඇල්ල සමීපයේම සිට ඡායාරූපයක් ගත්තා... පස්සෙ මමයි බිරිඳයි එතැනම සිට ඡායාරූපයක් ගත්තා. මගේ බිරිය එයා තනිවම හිටපු ඡායාරූපය එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට අප්ලෝඩ් කළා. ඒ පින්තූරයේ අලංකාර බව නිසා සංචාර පිළිබඳව අවධානය තිබෙන ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඒ ඡායාරූපය පළ කරන්න ගත්තා... හැබැයි ඒ හැමෝම අපෙන් අවසර ගත්තා. ඒ ඉන්ස්ටග්‍රෑම්වල ඒ ඡායාරූපය තවමත් එහෙමම තියෙනවා... ඒවායේ කිසිම වැරැද්දක් නැහැ.

ඊට පස්සෙ මේ සිදුවීම මට ආරංචි වෙන්නෙ මිතුරෙකුගේ මාර්ගයෙන් ඉකුත් 29 වැනි ඉරිදා උදේ 10ට විතර ගෙදර සිටියදී. ‘කුෂාන්... ඔයාගේ වයිෆ්ගෙ ඡායාරූපයක් මෙවැනි වීඩියෝවක් සමඟ යනවා‘ කියලා... ඒක මට එවන්න කියලා මම මිතුරාට කිව්වා. ඔහු සැණින් ඒක එව්වා... මම එක්වරම ෂොක් වෙලා ගියා... මම ඒ දේ බිරිඳට කිව්වෙ නෑ... මිතුරාට කතා කරලා කිව්වා ඔහුට ආපු ගෘප් එකේ එය නිවැරැදි කරන්න කියලා. ඔහු එය ඒ මොහොතේම නිවැරැදි කරලා තිබුණා... නමුත් ඒ වන විට එම අසැබි වීඩියෝව සමඟ මගේ බිරියගේ ඡායාරූපය වෛරල් වී අවසානයි.

පස්සෙ අපි දවස් දෙකක් විතර යනකල් මේකට මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව හිටියේ... ඊට පස්සෙ තමයි අපි නීතිය ඉදිරියට යන්න හිතුවේ... මම සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නෙ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් මඟින් කිසියම් දෙයක් බෙදාහැරීමක් කරනවානම් එහි සත්‍ය අසත්‍ය ගැන හොඳින් සොයා බලා එය සිදු කරන්න...“ 

මිනිසුන් මෙලෙස නොමරා මරන පුද්ගලයන්ට එරෙහිව නීතියෙන් දැඩි දඬුවම් පැමිණවිය යුතුමය. කුෂාන් සහ ගයාත්‍රිට වූ අවමානයට ඔවුහු නීතිය ඉදිරියට යෑමට සැරැසේ. එහිදී ගයාත්‍රි සහ කුෂානි වෙනුවෙන් පෙරටවිත් සිටින්නෙ නීතිඥ අංජනී සමරනායකයි. මේ සිදුවීමට අදාළ නීතිමය පැතිකඩ පිළිබඳව නීතිඥ අංජනී සමරනායක කියන්නෙ,

“මේ අසැබි වීඩියෝවට අදාළ දෙදෙනා අත්අඩංගුවට ගෙනත් සමාජ මාධ්‍යයන් මඟින් කුෂාන්ට සහ ගයාත්‍රිට මඩ ප්‍රහාර එල්ල කිරීම නතර වුණේ නැහැ. අපි මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඒ වගේම පසුගිය 01 වැනිදා මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළා.

අපරාධ නීතිය පැත්තෙන් එලෙස කටයුතු කරද්දී සිවිල් නීතිය යටතේත් අපහාස කිරීම සම්බන්ධව වන්දියක් ලබා ගැනීමට නඩු පවරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ විමර්ශන සඳහා රජය පැත්තෙන් ලැබිය යුතු සියලුම සහයෝගය ලබාදෙන බවට සරත් වීරසේකර ඇමැතිතුමාගේ කාර්යාලයෙන් අපට දැනුම් දුන්නා. ඇමතිතුමා CID යටත් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න කියලා තියනවා. ඒ පිළිබඳව අපි රජය ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා...“

සමාජ මාධ්‍යයන්හි සැරිසරන ඔබත් යමක් දුටු පමණින් එය බාගත කළත් තවත් කෙනෙකුට බෙදාහැරීමට මත්තෙන් එහි සත්‍ය අසත්‍ය බව මනා තේරුම් ගැනීම මෙවැනි සිදුවීම්වලින් සමාජය උගත යුතු පාඩම්ය. මන්ද අද ගයාත්‍රි - කුෂාන්ට වූ සිදුවීම හෙට ඔබටත් විය හැකිය.

Comments