සේවක හිඟයෙන් පුරාවස්තු අනතුරේ | Page 2 | සිළුමිණ

සේවක හිඟයෙන් පුරාවස්තු අනතුරේ

•කැණීම් අංශයට, ගවේෂණ අංශයට, ශිලා ලේඛන අංශයට සහ කාසිවලට ස්ථීර අධ්‍යක්ෂකවරු නෑ 
- පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි

මෙරට තුළ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන 250,000 පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත්, ඉදිරියෙදී මේ ප්‍රමාණය තවත් වැඩිවිය හැකි බවත්, නමුත් මේ ස්ථාන ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් සේවක පිරිසක් නැති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ (කැණීම්) ප්‍රධාන සහකාර අධ්‍යක්ෂ සමින්ද පෝරඹගේ පසුගියදා ප්‍රකාශ කර තිබුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ වන විට බරපතළ සේවක අර්බුදයක් පවතී. දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනද බස්නාහිර පළාතේ කළුතර, කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්ක තුනද උතුරු මැද පළාතේ අනුරාධපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක දෙකද ආවරණය කිරීමට සිදුව ඇත්තේ සහකාර අධ්‍යක්ෂකවරුන් තිදෙනකු මඟිනි. එසේම මධ්‍යම පළාතට අයත් මහනුවර දිස්ත්‍රික්කය සහ නැගෙනහිර පළාතට අයත් අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්ක දෙකද ආවරණය කිරීමට ඇත්තේ එක් සහකාර අධ්‍යක්ෂකවරයෙකි. එලෙසින්ම උතුරු පළාතට අයත් වව්නියාව මුලතිවු මන්නාරම යන දිස්ත්‍රික්ක තුනම ආවරණය කිරීමට ඇත්තේ එක් සහකාර අධ්‍යක්ෂකවරයෙක් පමණි. 

අනෙක් අතට මේ පළාත්වල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන බහුලව පැවතීමද අවධානයට යොමු කළ යුතු කාරණයකි. එසේම දෙපාර්තමේන්තුව තුළ විධායක ශ්‍රේණියේ සියලුම තනතුරු ක්‍රියාත්මක වන්නේ වැඩ බලන නිලධාරීන්ගේ සහයෙනි. ඒ කටයුතු සඳහා ස්ථිර නිලධාරීන් පත් කර නැත. කැණීම් අංශයට, ගවේෂණ අංශයට, ශිලා ලේඛන අංශයට සහ කාසිවලට ස්ථීර අධ්‍යක්ෂකවරයකු නොමැතිය. මේනිසා බරපතළ ගැටලු රාශියකට මැදිව තමන් කටයුතු කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග පවසයි.

මේ ආකාරයටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවා ව්‍යවස්ථාවේද ගැටලු පවතින බවත්, ඉන් මෙහි සේවය සඳහා පුරාවිද්‍යාව හැදෑරූ අයට වැඩි අවස්ථාවක් සලසා දී නොමැති බවත් හෙතෙම පවසයි. මින් අනෙකුත් විෂයයන් හැදෑරූ අයගේ සේවය අනවශ්‍ය බව තමන් අදහස් නොකරන බවත්; අනෙකුත් කටයුතු සඳහා ඔවුන්ගේ සේවය අත්‍යාවශ්‍ය බවත්; නමුත් ප්‍රමුඛතාවය පුරාවිද්‍යාව හැදෑරූ අයට ලබාදිය යුතු බව ඔහු පවසයි. ඒ සඳහා මෙහි සේවා ව්‍යවස්ථාව යාවත්කාලීන කළ යුතු බව ඔහුගේ අදහසය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ (කැණීම්) ප්‍රධාන සහකාර අධ්‍යක්ෂ සමින්ද පෝරඹගේ ප්‍රකාශ කර සිටියේ; ශ්‍රී ලංකාව තුළ කැණීම් මඟින්, වංශකතා සහ නොයෙක් මූලාශ්‍ර මඟින් තහවුරු කළ පුරාවිද්‍යාත්මක වටිනා කමකින් යුතු ස්ථාන 250,000ක් පමණ මේ දක්වා වාර්තා වී ඇති බවයි. පසුගිය කාලය මුළුල්ලේ ඒ පිළිබඳව සොයා බලා පුරාවිද්‍යාත්මක ස්ථාන 2642 පමණ මේවනවිට ගැසට් කර තිබේ. මෙතරම් පුරාවස්තු ප්‍රමාණයක් ආරක්ෂ කිරීම සඳහා එක් ස්ථානයකට එක් සේවකයකු බැගින් යොදා ගැනීමට කටයුතු කළහොත් ඒ සඳහා සේවකයන් දෙලක්ෂ පනස්දාහක් පමණ යෙදවිය යුතුය. එවැනි විශාල බරක් කිසිදු රජයකට දැරිය නොහැකිය. ඇත්තෙන්ම මෙවැනි විශාල වපසරියක් ආවරණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් තනිව කළ නොහැකිය. කිසියම් පුරාවස්තුවක් මංකොල්ල කෑමකට ලක්වූ විට එසේත් නැත්නම් නැති වූ විට ඒපිළිබඳව පළමුව දැනුවත් වන්නේ අදාළ ප්‍රදේශයේ ජනතාවය. එනිසා මේ සඳහා මහජනතාවගේ සහය අත්‍යාවශ්‍ය වන බවයි.

වසරකට පුරාවස්තු විනාශ කිරීමේ සිද්දි තුන්සීයක් හාරසීයක් පමණ වාර්තා වන නමුත් තොරතුරු සොයා බැලූ විට පුරාවස්තුවලට හානි සිදු කිරීම් වාර්තා වන්නේ ඉන් සීයක් එකසිය පනහක් පමණි. 2021 වසරේ ජනවාරී මාසයේ සිට මේ දක්වා එවැනි සිද්ධි දෙසීයක් පමණ වාර්තා වී ඇති අතර ඉන් පුරාවස්තු විනාශ කිරීම් ලෙස හඳුනාගත හැකි සිදු වීම් ඇත්තේ පනහක් හැටක් පමණය. අනෙක් බොහෝ ඒවා පුරාවස්තු යැයි සැකයෙන් කළ පැමිණිලිය. ඇතැම් ඒවා පුද්ගලික ආරවුල් මත කළ පැමිණිලිය. ඇත් අඩි, නයිපෙන, කිඹුලගෙ පිට වැනි ගල්වල ස්වභාවික පිහිටි සලකුණු නිධන්වස්තු ඇති ස්ථාන ලෙස උපකල්පනය කර විනාශ කළ ස්ථාන නිදසුන් ලෙස දැකිවිය හැකිය. මේවා පුරාවස්තු නොවූව ද ඔවුන් මේවා විනාශ කිරීමට යොමූ වූ අරමුණ සපරාදී බව පුරාවස්තු විනාශය වැළැක්වීමේ ඒකකය බාර නිලධාරී පී.එම්.සී. බණ්ඩාර පැහැදිලි කළේය.

ලොව පෞඪ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන අප රටේ පවතින පුරාවස්තු රැක ගැනීම සම්බන්ධයෙන් ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය කවර ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න අප අමාත්‍ය විදුර වික්‍රමනායකගෙන් විමසීමක් කළෙමු. එහිදී හෙතෙම ප්‍රකාශ කර සිටියේ "ඒ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෙසු නිලධාරීන් සමඟ එක්ව දරුවන් වෙත ජාතික උරුමය රැගෙන යාමේ වැඩ පිළිවෙළක් මේවනවිට සකස් කර ඇති බවයි. දැයේ ජීවනාලිය වන දරුවන් තුළ සිය උරුමය පිළිබඳ ආකල්ප ඇති නොකළොත් මේ උරුමය අපට රැකගත නොහැකියි. එනිසා මතුපරපුරට මේ උරුමය දායාද කිරීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම තම යුතුකම බව හෙතෙම පැවසීය. එමෙන් ම මේ රටේ තරුණ පරපුර හා මහජනතාව අතරද සිය උරුමයන්ගේ අගය වටහාගත් පිරිසක් ඇති කිරීම සඳහා ආකල්පමය වෙනසක් සිදු කළ යුතු බව අමාත්‍යවරයාගේ අදහස විය. මෙම කටයුත්ත සාක්ෂාත් කර ගැනීම උදෙසා වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතා කැපවීමෙන් කටයුතු කරයි. 

ඒ අනුව කුඩා පාසල් දරුවන් සඳහා ආර්කියෝ කිඩ්ස් වැඩ සටහන නිර්මාණය කර තිබුණද කොවිඩ් හේතුවෙන් පාසල් වසාදැමීම ඊට බාධා එල්ල කර තිබේ. ඔන්ලයින් මාර්ගයෙන් මේ කටයුත්ත සිදු කිරීමට උත්සාහ කළ ද ඒ සඳහාද නොයෙක් බාධා එල්ල වී තිබේ. දරුවන්ට ඔන්ලයින් මාර්ගයෙන් මේ කටයුත්ත සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය ඩිවයිස් එකලෙස නොමැති වීමත්, සංඤ්ඤා අවහිර වී ඇණහිටීමත් මේ සඳහා ගැටලු රැසක් මතුකර තිබේ. අනෙක් අතට ප්‍රායෝගික විෂයක් වූ මෙම විෂය සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාදීමටද මේ තත්ත්වය බාධාවක්ව පවතී. අනෙක් අතට මෙම විෂය ඉගැන්විය යුත්තේ අනෙක් විෂයන් ඉගෙන ගන්නා අතරතුර බැවින් ඔවුන්ට මේ විෂය අනවශ්‍ය බරක් නොවන ලෙස ඉගැන්වීමට වගබලා ගත යුතුය. එය විනෝදය හා දැනුම ලබාදෙන අමතර විෂයක් බවට පත් කළ යුතුය. පාසල් පටන්ගත් පසු මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර පාසල් මට්ටමින් ආකියෝ කිඩ්ස් කණ්ඩායම් සෑදීමට ඔවුන් බලාපොරොත්තුවේ.

එසේම දැනටමත් ආකියෝ යූත් නමින් වැඩසටහනක් තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පාසල් හැරගිය දරුවන්, විශ්වවිද්‍යාල තරුණ කථිකාචාර්යවරුන් සහ වයස අවුරුදු 16 - 40 අතර පුරවැසියන්ට මේ සඳහා සම්බන්ධ වීමට අවකාශ විවර කරදී තිබේ. මේ සඳහා අවශ්‍ය උපදෙස් පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවේ යූනලයෙන් හා මුහුණු පොතින් ලබා ගත හැකිය. මෙම කටයුත්තේදී සමාජ මාධ්‍ය බෙහෙවින් උපයෝගී කර ගැනීමට උනන්දුවක් දක්වන අතර ඉන් රටේ තරුණ තරුණියන් වැඩි පිරිසක් මේ සඳහා ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තුවේ. එමඟින් පුරා වස්තුවලට එල්ලවන හානිය අවම කර ගැනීමට හා ඒවා ආරක්ෂා කර සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම මෙහි මූලික අරමුණ වී තිබේ. 

මේ විෂය ක්ෂේත්‍රය සඳහා විද්‍යාර්ථීන් උනන්දු වන්නේදැයි අපි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංගගෙන් මෙහිදී විමසා සිටියා," ලංකාවේ බොහෝදෙනා උසස් අධ්‍යාපනය සඳහා යොමු වන්නේ විවිධ රැකියා අවස්ථාවන් ඉලක්ක කරගෙන. ඒනිසා බොහෝදෙනා එවැනි අවස්ථා ඇති විෂය ක්ෂේත්‍රවලට යොමු වෙනවා. මා උසස් අධ්‍යාපනය ලබන අවදියේ දී එනම් මීට වසර තිහ හතළිහකට පමණ පෙර පුරාවිද්‍යා ක්ෂේත්‍රයට යොමු වුණේ ඉතාම සුළු පිරිසක්. නමුත් පසුකාලීනව මේ ක්ෂේත්‍රයේ තිබූ පිබිදීම නිසා බොහෝදෙනා ඒ කෙරෙහි යොමු වුණා. නවසිය අසූගණන්වල සිට අනූ ගණන් දක්වා මෙරට රැකියා වෙළෙඳපොලෙහි මේ ක්ෂේත්‍රය සඳහා හොඳ ඉල්ලුමක් ඇති වුණා. මධ්‍යම සංස්කෘතික අරමුදල නිසා එකවර සිය ගණනකට රැකියා හිමි වුණා. ඒ නිසා පුරා විද්‍යා විෂය ඉගෙන ගන්න විද්‍යාර්ථීන් ප්‍රමාණයක් වැඩි වුණා. නමුත් නවසිය අනූඅටෙන් විතර පස්සේ; මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියා මාර්ගය අත්හිටවනු ලැබුවා. මේ නිසා ඊට තිබුණු පිළිගැනීම පහළ ගියා. ඒ හේතුවෙන් මෙම විෂය සඳහා යොමුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය කිසියම් ප්‍රමාණයකට පහළ ගියා. නමුත් මේ විෂය කොරෙහි යම් පිබිඳීමක් තවමත් තියෙනවා. වසරකට සිය ගණනක් පුරාවිද්‍යාව හදාරනවා. ඔවුන් දන්නවා ඔවුන් සියලු දෙනාටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රැකියාවක් ලැබිය නොහැකි බව. නමුත් ඔවුන් ගුරුපත්වීමක් හෝ අපේක්ෂා කරනවා. මේ විෂය පිළිබඳ ප්‍රාමාණිකයකු පාසලේ ඉතිහාස විෂය ඉගැන්වීමට යොමු කරනවා නම් දරුවන් ආකල්පමය වශයෙන් ගොඩනැඟීමෙදී ලොකු පිටිවහලක් ඉන් ලැබෙනවා.

කිසියම් අයෙක් පුරාවිද්‍යා විෂය හදෑරීමට උනන්දුවක් දක්වනවා නම් ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේවන විට පාඨමාලා කිහිපයක් හඳුන්වාදී තිබේ. ඒ ශිලාලේඛන කියැවීම, කාසි හඳුනා ගැනීම, විද්‍යාව සහ පුරාවිද්‍යාව (Science and Archeology),වාස්තුවිද්‍යාව ආදී පාඨමාලාය.

මෙම පාඨමාලවන් පසුගිය මාසයේ සිට ආරම්භ කර ඇත. මේ සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයකුට ඒ සඳහා කිසිදු අය කිරීමකින් තොරව සම්බන්ධ විය හැකිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළු වී අදාළ පෝරමය පුරවා ඔන්ලයින් ක්‍රමයට මේ පාඨමාලා හැදෑරිය හැකිය. ඒ සියලු දේශන යූටියුබ් වෙත මුදාහරින බැවින් අතපසු වූ පාඩම් ඉන් නැවත නැවත අසා අවබෝධකර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

Comments