LTTE භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් සමු ගනී | සිළුමිණ

LTTE භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් සමු ගනී

ජෝර්ජ් මාස්ටර්

ප්‍රභාකරන්ගේ හා තමිල් චෙල්වම්ගේ හිතවතකු වූ ජෝර්ජ් මාස්ටර් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය සක්‍රීයව පැවැති සමයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විය. ‍ජෝර්ජ් මාස්ටර් පසුගිය පස්වැනිදා යාපනයේදී මිය ගියේය. හේ අවුරුදු 85 ක දිගු ජීවිත කාලයක් නිමා කර තිබිණි. ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමරු පංචරත්නම් වර්තමානයේ මිනිස් සංහතිය මුහුණදී සිටින කොවිඩ් වසංගතය හේතුවෙන් බල පැවැත්වෙන නිරෝධායන නීති රීතිවලට අනුකූලව නික්ම ගියේය. සිය උපන් ගම වූ මුලතිව් හි මලලවි ප්‍රදේශයේ පොදු සුසාන භූමියේදී ඔහු මේ මහ පොළොවෙන් සමුගත්තේ ය.

මේ මිනිස් සිත පුදුමාකාරය. ඕනෑම සත්ත්වයකුගේ මරණයේදී සංවේදීවේ. එහෙත් ජෝර්ජ් මාස්ටර් නම් එල්.ටී.ටී.ඊ. යේ ප්‍රධාන භාෂා පරිවර්තකයා බව දැනගත් විට කෙතරම් ශ්‍රී ලාංකීය ජනකායකගේ සිතේ සංවේගය ජනිත වූයේ දැයි කිව නොහැකිය.

පොදු සමාජ ධර්මතාවය අනුව මිනිසුන් කරනු ලබන ක්‍රියාවන් හරි හෝ වැරැදි ලෙස ගැනෙන්නේ බල පවත්නා සම්මත රීතියට අනුකූලවය. එයට පටහැනි බොහෝ දේ මිනිස්සු කරති. ඒවා නිවැරැදි ලෙස හෝ වැරැදි ලෙස දකින්නට විචාරශීලී මනසක් තිබිය යුතුය.

1936 වසරේදී මුලතිව්හි උපත ලද ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමරු පංචරත්නම් වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙක් විය. පවත්නා රජයේ වගකිව යුතු රැකියාවක නිරතව සිටි ඔහු 1994 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන හා නිල භාෂා පරිවර්තකයා විය. අමතරව එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ නායකයා වූ තමිල් චෙල්වම්ගේ භාෂා පරිවර්තකයා ද විය. තමිල් චෙල්වම් විසින් ඉංග්‍රීසියෙන් කරනු ලබන මාධ්‍ය සාකච්ඡා පරිවර්තනය කරනු ලැබූයේ ජෝර්ජ් මාස්ටර් විසිනි. ඒ සියල්ල හැරුණු විට ඔවුන් බොහෝ හොඳ හිතවතුන් ද විය. ඒ එල්.ටී.ටී.ඊ. ය ක්‍රියාකාරී ත්‍රස්ත සංවිධානයක් ව පැවැති සමයේය.

එල්.ටී.ටී.ඊ.යේ සියලු ක්‍රියාකාරකම් 2009 මැයි මාසයෙන් නිමා විය. ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමරු පංචරත්නම් ඒ අවසන් අවස්ථාව වනතුරුම එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නිල භාෂා පරිවර්තක විය.

2009 අප්‍රේල් මාසයේ රජයේ හමුදාවන් හා යුද වැදුණු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් ට දරුණු පරාජයක් හිමි වෙමින් තිබියදී දිවි ගලවා ගැනීම උදෙසා පලා ගිය සිවිල් ජනයා සමඟ ‍ජෝර්ජ් මාස්ටර් ද දිවි ගලවා ගැනීම අරබයා පලා යමින් සිටියේය. ඔහු හැරුණු විට එල්.ටී.ටී.ඊ. හි බොහෝ සාමාජිකයෝ සිවිල් වැසියන් සමඟ සැඟව පලා යමින් සිටියහ. එසේ පලා යමින් සිටි ජෝර්ජ් මාස්ටර් පාබල හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර අනෙක් සිවිල් වැසියන් සමඟ ඔහු ද ඕමන්තේ පොලිසිය වෙත බාර කරන ලදී. ඕමත්තේ පොලිසිය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දුන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිවාස අඩස්සියේ තබා ගනිමින් ප්‍රශ්න කරනු ලැබීය. නිවාස අඩස්සියේ සිටි වේලුපිල්ලේ කුමරු පංචරත්නම් විසින් උසාවියට විශේෂ රහස්‍ය වාර්තාවක් ලබා දෙන ලදී. පැය තුනක් තිස්සේ දෙන ලද රහස්‍ය වාර්තාව අනුව හේ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිදහස් කර යවන ලදී. ඒ 2016 වසරේ දීය.

නිදහස ලැබූ ඔහු ගියේ උපන් ගම වෙතයි. තම සමූහයාට විමුක්තිය ලබා දෙමියි කියා ඇරැඹි සටනේ දී තම සමූහයාට ජීවත්වීමේ අයිතිය හා සාමාන්‍ය නිදහස පවා අහිමිව ගොස් තිබිණි. ඒ බව කවදා හෝ ජෝර්ජ් මාස්ටර්ට දැනුණා දැයි දන්නේ ඔහු පමණි.

2001 - 2004 කාලයේ ර‍ජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති සාම සාකච්ඡා සමයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ජෝර්ජ් මාස්ටර් කෙරෙහි විශේෂ අවධානය යොමු කළේ ය. ඔහු ප්‍රබල යැයි සැලකූ භාෂා පරිවර්තක ලෙස ජාත්‍යන්තර ප්‍රජාව අතර අවධානය ‍දිනාගත් පුද්ගලයෙක් විය. අපේ රටේ අයෙක් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීම අපට ආඩම්බරයකි. සතුටකි. එහෙත් ‘ජෝර්ජ් මාස්ටර්’ ගේ ප්‍රසිද්ධිය ශ්‍රී ලංකාවට ගෙන ආවේ අපකීර්තියයි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වය පිළිබඳ මනා පරිචයක් ජෝර්ජ් මාස්ටර් සතු විය. එල්.ටී.ටී.ඊ. ය විසින් සිදු කරනු ලැබූ සියලු නොපනත්කම් සාධාරණීකරණය කිරීමේ කාර්යය මනා ලෙස ජෝර්ජ් මාස්ටර් අතින් සිදුවිය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයවී වසර දහයක් ගතවන තුරුම තමන්ගේ අයිතිය කියමින් සිය අරගල කර පරාජයට පත් භූමියේ ඔහු විසීය. එසේ කාලය ගෙවද්දී ඔහු වසර ගණනාවක් තිස්සේ කරන ලද නිෂ්ඵල කාර්යයේ ප්‍රතිඵල ඔහු දුටුවා වන්නට ඇත. ඒ අතීතයෙන් වර්තමානයට උරුම වූයේ දුක කඳුළ හා ශෝකය පමණි. තම ජන කණ්ඩායමේ අනාගත පරපුර මේ අරගලය හේතුවෙන් අකාලයේ මිය ගියේය. ඔවුන් සැබැවින් ම දිවි පිදුවේ තම ජාතිය වෙනුවෙන් ද රට වෙනුවෙන් ද නැත. ආත්මාර්ථකාමී සිතිවිලි හා පටු අදහස් ඇති දේශපාලනඥයන් ගේ අවශ්‍යතා හා අරමුණු උදෙසාය.

පරපුරේ උරුමය වෙනුවෙන් භූමිය අරබයා අරගල කළ ජෝර්ජ් මාස්ටර් දිවියේ අවසන් කාලය ගෙවා දමනු ලැබුයේ යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් තුළය. ඔහු එහි සුවෙන් සතුටින් සිටින්නට ඇත. තමන් සමඟ සිටි සගයන් මිය ගොස් තමන් පමණක් ඉතිරිව සිටිද්දී ජෝර්ජ් මාස්ටර් තමන් හා තම සටන්කාමී කණ්ඩායම කළ අන්තරාකාරී ක්‍රියා හා සමූහ ඝාතන ක්‍රියාවලියේ අනර්ථ බව වැටහෙන්නට ඇත. අපගේ පැත්තෙන් බලද්දී ජෝර්ජ් මාස්ටර් වැරැදි කරුවෙකි. ඒත් ඔහුට ඔහුගේ නිර්දෝෂී භාවය උදෙසා කීමට බොහෝ දේ තිබෙන්නට ඇත.

අවිගත් ත්‍රස්ත කණ්ඩායමක ඉරණම හා එම කාර්යයේ සපලත්වය විමසිය යුතුව තිබුණා නම් ඒ වේලුපිල්ලේ කුමරු පංච රත්නම් ගෙනි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලෙච්ත්වය හා අධම බව අමානුෂික බව පිළිබඳ හොඳින්ම දන්නේ ඔහු ය. ඒ පිළිබඳ හොඳම සාක්ෂිකරු ඔහු ය. සියලු අපරාධ හා අවභාවිතයන් සාධාරණීකරණය කර ජාත්‍යන්තරයට ගෙන ගියේ ඔහු විසිනි. දකුණේ ජනයාගේ හදවත් පීඩාවට පත් කරමින් ඔහු දුන් පණිවුඩ බොහෝ අමිහිරි විය. එයින් උතුරේ ජනයාට දුන් පණිවුඩය ද එතරම් සිත් ඇදගන්නා සුලු වූයේ නැත.

පරාජිත ගරිල්ලා ත්‍රස්ත කණ්ඩායමක වියපත් සාමාජිකයා වූ ජෝර්ජ් මාස්ටර් එහි නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් යොවුන් වියේ සිට හඳුනා සිටියේය. තනිවම ගරිල්ලෙකු වූවා යැයි ‘කිට්ටු’ විසින් වරක් ප්‍රකාශ කළ ප්‍රභාකරන් ගේ අරමුණ කුමක් වුව ද එය කෙසේ සාක්ෂාත් කරගත හැකි අරමුණක් වූවා ද යන්න පසුගිය වසර දහය පුරා ඔහු සිතන්නට ඇත. රජයේ හමුදාවන් සමඟ කරන ලද අභ්‍යන්තර යුද්ධයෙන් පරාජිතවූ ත්‍රස්ත කණ්ඩායමක ප්‍රධාන පෙළේ සාමාජිකයකු ලෙස ඔහු තමන් හා තම සගයන් විසින් කරන ලද කාර්යය කෙරෙහි සිතන්නට ඇත.

වසර දහස් ගණනක් තිස්සේ එකම ජාතියක් සේ විසූ ශ්‍රී ලාංකේය සිංහල හා දෙමළ ජනයා අරගලයකට මැදි කර උතුරු නැ‍ඟෙනහිර පමණක් නොව මුළු රටම ගිනි තැබූ එක් ගරිල්ලා කණ්ඩායම අනුගාමිකයෙක් මේ මහ පොළොවෙන් සමුගෙන ගියේය.

ඒ හිස් අතිනි.

හිස් අතින් උපදින මිනිසුන් කුමක් උදෙසා අරගල කළ ද හිස් අතින් ම නික්ම යන්නේ යැයි මේ අනුගාමිකයාගේ මරණින් තව තවත් පැහැදිලි වේ. ජීවත්වන අරගල කරන්නන් විසින් වටහා ගත යුතු කරුණු වන්නේ අප විසින් කරනු ලබන අරගල මිනිස් සංහතියේ යහපත උදෙසා ම විය යුතු බවයි.

Comments