ඇඳි­රිය දිගු කිරීම නිසා කොවිඩ් ආසා­දිත මර­ණ­වල ශීඝ්‍ර අඩු­වක් | සිළුමිණ

ඇඳි­රිය දිගු කිරීම නිසා කොවිඩ් ආසා­දිත මර­ණ­වල ශීඝ්‍ර අඩු­වක්

 

 

කොවිඩ් 19 වයිසරයේ විවිධ ප්‍රභේද ලොව පුරා පැතිර යමින් තිබෙන වතාවරණයක් තුළ මේ වන විට ශ්‍රී ලංකාවේ බහුල ලෙස පැතිර ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි. ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වෙන කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ සම්බන්ධයෙන් වූ නවතම වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව විද්‍යාතනය විසින් නිකුත් කරනු ලැබුවේ ඉකුත් 10 වැනිදාය. එම වාර්තාවට අනුව මෙරට තුළ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේද අතරින් 95.8%ක් ඩෙල්ටා ප්‍රභේදය බව හෙළි විය.

 

කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව සාම්පල් අනුව රටේ සමස්තයක් ලෙස 95.8%ක් ඩෙල්ටා ප්‍රභේදය පැතිර ඇති බවත් ඇතැම් දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය 84% සිට 100%ක් දක්වා දක්නට ලැබෙන බවත් එම වාර්තාවෙන් හෙළි විය. ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයන් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන ඇත. එලෙස සිදු කළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයක තොරතුරු ලොව ප්‍රකට Nature නම් වූ විද්‍යාත්මක සඟරාවේ පළකර ඇති අතර, එම වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟහැරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි. එබැවින් එන්නත්කරණයෙන් පසුවද කොවිඩ් ආසාදනය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

සති හතරක් මුළුල්ලේ රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණද කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඉකුත් 16 වැනිදා වන විට මෙරට සමස්ත ජනගහනයෙන් 50% ක් පූර්ණ එන්නත්කරණයට ලක්කොට තිබුණි. පූර්ණ එන්නත්කරණයට ලක්වන ප්‍රතිශතය වැඩිවීම කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ප්‍රධානතම සාධකය වන බැවින් මෙය ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයකි. වයස අවුරුදු 20 ට වැඩි සියලු පුද්ගලයන් එන්නත්කරණය තවදුරටත් සිදුවෙමින් පවතින අතර නුදුරේදීම අවුරුදු 18 ත් 20ත් අතර පිරිස එන්නත්කරණය සඳහා සූදානම් වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

මේ අතර දෙවැනි එන්නත් මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික් v එන්නත් මාත්‍රා 120,000ක් සඳුදා (20දා) මෙරටට ලැබීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එම එන්නත් තොගය ලැබීමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ඉක්මවූ 99% ට වඩා පිරිසක් එන්නත්කරණය කර අවසන් කළ හැකි වන බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුගියදා ශ්‍රී ලංකාව එන්නත්කරණයේ තවත් විශේෂ කඩඉමක් පසු කළේය. ඒ, කෝටි දෙකකට වැඩි ජනගහනයක් සිටින ලොව රටවල් 60ක් අතුරින් පූර්ණ එන්නත්කරණයට ලක් කළ රටවල් 10 අතරට ඇතුළත් වීමෙනි. ශ්‍රී ලංකාව මෙම ලයිස්තුවේ 10 වැනි ස්ථානයට පත්ව සිටින අතර ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටිනුයේ ස්පාඤ්ඤය, කැනඩාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය, මැලේසියාව සහ ජපානය යන රටවල්ය.

කොවිඩ් වසංගත කාල සීමාවේදී මෙරටට පැමිණි සංචාරකයන් 40,000ක් අතුරින් කොවිඩ් ආසාදිතයන් හමුව ඇත්තේ 270 දෙනකු පමණක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. මෙරටට පැමිණෙන සංචාරකයන් කටුනායක ගුවන්තොටුපොළේදී සංචාරක මණ්ඩලයේ ඒජන්තවරුන් රැගෙන යන බවටත් පී.සී.ආර් පරීක්ෂණ හෝ නිරෝධායන කටයුතු අධීක්ෂණය කවුරුන් කරන්නේ දැයි පැහැදිලි නොමැති බවටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් සංචාරක ඇමැතිවරයා මේ බව පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව මෙරට සංචාරක කර්මාන්තය යළි ආරම්භ වූ අතර ඉන්දියන් සංචාරකයන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් මුල් කාලයේදී සීමා පනවා තිබූ අතර පසුව එම සීමා ඉවත් කළේද සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වයස අවුරුදු 30ට වැඩි එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත් පුද්ගලයන්ට බණ්ඩාරවෙල සහ මන්නාරම නගරවලට ඇතුළු වීම වළක්වන ලද පුවතක් 15 වැනිදා වාර්තා විය. පොලිස් මාර්ග බාධකවලදී පොලීසිය සහ ආරක්ෂක අංශ එක්වී සිදු කළ පරීක්ෂා කිරීම්වලදී එවැනි පුද්ගලයන් ආපසු හරවා යැවීමට කටයුතු කර ඇත. එම නගරවලින් විශාල කොවිඩ් ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇති බැවින් එන්නත්කරණය සඳහා ජනතාව යොමු කිරීම වෙනුවෙන් එම පියවර අනුගමනය කර ඇති බව වාර්තා විය.

ලබන මාසයේ සිට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව බස්නාහිර පළාතේ බස් රථවලට මගීන් නංවා නොගන්නා බව බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව පැවසීය. මෙම පියවර අකුරටම ක්‍රියාත්මක කරන බවත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන් මඟින් එන්නත් කාඩ්පත් පරීක්ෂා කරවීම් නිරන්තරයෙන් සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය. බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියාමනය යටතේ පෞද්ගලික බස් රථ 6,200ක පමණ සංඛ්‍යාවක් ධාවනය වන අතර බස් සේවකයන්ද කොවිඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කර ඇත. ඒ අනුව බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් කොවිඩ් එන්නත්කරණය කාඩ්පත ළඟ තබාගැනීම අනිවාර්ය බවත් කාඩ්පත පරීක්ෂා කර මගීන් බසයට ඇතුළත් කර ගැනීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරේ.

කාණ්ඩ 3 ක් යටතේ දරුවන්ගේ එන්නත් කිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සඳහන් කළේය. මේ එන්නත්කරණ කටයුතු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදුකරන බවත් පළමු කාණ්ඩය යටතේ රෝගී දරුවන්ටත්, දෙවැන්න යටතේ වයස අවුරුදු 16-19 වයස් කාණ්ඩයත් තෙවැන්න ලෙස අවුරුදු 12-15 වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබාදිය හැකි බවත් ඔහු පැවසීය.

වයස අවුරුදු 2-15ත් අතර පසුවන ළමුන් 7,534ක් කොවිඩ් ආසාදිත වී නිවෙස්වල ප්‍රතිකාර ගනිමින් සිටින බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ප්‍රකාශ කළාය. එමෙන්ම මේ වන විට ගැබිනි මවුවරු 242ක්ද කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ ගැබ් කාලය සති 24ට වඩා අඩු බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය. ජුනි මස 7 වැනිදා සිට ඉකුත් 14 වැනිදා වන විට කොවිඩ් ආසාදිතයන් 77,949ක් නිවෙස්වල ප්‍රතිකාර ලැබීම සඳහා ලියාපදිංචි වී සිටි බවත් ආසාදිතයන් 12,879ක් තවදුරටත් නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටි බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

රට තවමත් කොවිඩ්-19 අවදානම් තත්ත්වයෙන් මිදී නැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කළාය. රට තවමත් ඇත්තේ රතු කලාපයේ බව කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය පැවසුවාය. එබැවින් යළි කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා රජය සහ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.

ගතවූ සතියේදී දෛනිකව වාර්තා වූ කොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කළ ද රට තුළ කොරෝනා වයිරසය පිළිබඳව දැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය. ගතවූ සතියේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතර ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ සහ ඇයගේ දරුවන් දෙදෙනාද විය.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන් අතරින්ද කළු දීලීර රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය. එසේ කොවිඩ් ආසාදිතයන් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින් හඳුනාගෙන ඇත. සමේ, නාසය, මොළය, පෙනහළු සහ ඇස හෝ ඇස ආශ්‍රිතවත් ශරීරයේ අභ්‍යන්තරව ඇති ඕනෑම මතුපිටක සෑදය හැකි එම කළු දිලීර රෝගයේ මූලික විෂබීජය දිලීරයක් බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය. බොහෝ විට මෙම රෝගය වැලඳෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉතා හීන වූ පුද්ගලයන්ට පමණක් බවත් පාලනය නොකළ බෝ නොවන රෝගවලින් පෙළෙන, ඉන්ද්‍රියන් බද්ධ කළ පුද්ගලයන්ට වැලඳීමේ වැඩි අවදානමක් ඇති රෝගයකි. මෙය බෝ නොවන රෝගයක් බවත් එක් රෝග ලක්ෂණයක් හෝ තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.



 

Comments