
ගාල්ල මාතර දිසාවන්ට මායිම්ව ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මායිම්ව ගිංගඟ මිටියාවතේ දුෂ්කර ගම්මානයක්ව පැවති නෙළුව ලංකාගම ගම්මානයේ මේ වන විට සිදු කර ඇති සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස එම ගම්මානය දුෂ්කර බවින් මුදවාගෙන මුළු ලොවටම විවෘත කළ ගම්මානයක් බවට පත් වී තිබේ. අතීතයේ ලංකා සිතියමේ තිබෙන්නේ කොතනදැයි සොයා ගැනීමට අපහසු ලංකාගම ගම්මානය ලොවට විවෘත කළේ රටේ සහ ජනතාවගේ සංවර්ධනය උදෙසා ඉදිරිපත් කළ “රට හදන සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දුෂ්කර ගම්මානවල ජීවත්වන ජනතාවට ප්‍රධාන ලෙස බලපාන යටිතල පහසුකම් වැඩි දියුණු කර පවතින ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීම යටතේ මේ ගම්මානයේ ජනතාවගේ ජීවත්වීමේ මූලික අවශ්‍යතාවන් සපුරාලීමට එම සංවර්ධන ක්‍රියාවලිය බෙහෙවින් ප්‍රතිඵලදායක විය.
මෙකී සංවර්ධනයෙන් ගොඩනැඟුණු ලංකාගම ගම්මානයේ නවක තොරතුරු සොයා පසුගිය දිනක අප එම ගමට ගියෙමු.
සොබාදහමේ දායාදයක් බඳු ලංකාගම සුවිශේෂ ගම්මානයකි. අතීතයේ සිටම උරුම වූ ස්වභාවික පරිසරයක් තුළ දිවි ගෙවන ලංකාගම ගමේ ගැමියෝ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වූහ. යුගයෙන් යුගයට ඔවුනට තිබුණු අවම පහසුකම් මධ්‍යයේ වුවද එදා සිට පරම්පරාගත ගැමියන් මෙන්ම වත්මන් පරපුර ද රටේ ආර්ථිකයට දායක වනුයේ ඔවුනට හිමි වී තිබූ අවම පහසුකම් ගැන නොසිතමිනි.
අතීතයේ කිතුල් පැණි හකුරු කර්මාන්තයෙන් ජීවන සටන ආරම්භ කළ ලංකාගම වැසියෝ පසුකාලීනව තේ, කුරුඳු, ගම්මිරිස් වැනි ආර්ථික වගාවන් නැඹුරුවීමත් සමඟම ඔවුන් ක්‍රමානුකූලව දියුණු සමාජ ක්‍රමයට අනුගත වූහ. මේ සියලු කාර්යයන් ඉටුකර ගැනීමේදී තම ගමේ නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කර ගැනීම, බෙහෙත් ටිකක් ලබා ගැනීම, නිවසට අත්‍යවශ්‍ය ආහාරපාන යනාදී සෑම කාර්යයක්ම ඉටුකර ගැනීමේදී එදා ලංකාගම වැසියන්ට ලංකාගම සිට පා ගමනින් දුෂ්කර මඟක් ගෙවමින් කිලෝමීටර් 18ක් දුර ගෙවමින් ගිංගඟ ඔස්සේ ඉහළටත් පහළටත් ගමන් මඟ වැටී තිබුණු කුඩා මංපෙත දිගේ පා ගමනින් නෙළුව නගරයට හෝ දෙණියාය නගරයට යෑමට සිදු විය. මෙලෙස අනේකවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් දිවි ගෙවූ ලංකාගම ගැමියෝ ඔවුන් මෙතෙක් මුහුණ පෑ සියලු දුක්කම්කටොලු නිමා කරමින් ඔවුනට සැනසුම් සුසුමක් හෙළමින් යහපත් දිවි පෙවතක් ගත කිරීමට මංපෙත් විවර වී ඇත. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට පින් සිදුවන්නටය. ජනාධිපතිවරයාගේ දූරදර්ශී සංවර්ධන ක්‍රියාවලියෙන් සංවර්ධනයේ අරුණලු ලංකාගමට ලැබී ඇත.
පසුගිය වසරේ ජනාධිපතිතුමා නෙළුව නගරයට පැමිණි මොහොතේ ලංකාගම ජනතාව මාර්ග අපහසුතා නිසා තමන් විඳින දුක් ගැහැට ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ට පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිතුමා නෙළුව - ලංකාගම පිටදෙණිය හරහා දෙණියාය දක්වා වැටී තිබුණු පැරණි මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට යුද හමුදාවට භාර කෙරිණ. එම මාර්ගය ඉදිකිරීමේදි සිංහරාජය මැදින් දැවැන්ත මාර්ගයක් ඉදිකරන බව මෙරට පරිසර සංවිධාන සහ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ගෙනගිය වැරදි අර්ථකතන හේතුවෙන් මාර්ගය ඉදිකිරීම් කටයුතුවලදී බාධා ඇති විය. මේ ඇතිවූ ගැටලු පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ ජනාධිපතිතුමන් ලංකාගමට පැමිණ සම්බන්ධ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඉදිවන මාර්ගය පරික්ෂා කළ ජනාධිපතිවරයා සිංහරාජ වනාන්තරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි ලංකාගම මාර්ගය නැවත ඉදිකිරීමට අවසර ලබා දුන්නේය.
ඒ අනුව වසරක් ගතවීමට පෙර ලංකාගම ගම්මානයට නව මාවතක් මෙන් ම, සන්නිවේදන පහසුකම් සහ ගිංගඟ හරහා ලංකාගම නිල්වැලි ගමට යාමට නවීන යකඩ පාලමක් යන සියලු සංවර්ධන ක්‍රියාදාමයන් ගමට ලැබුණි. අද වන විට ලංකාගම ගම්මානය දුෂ්කර බවින් මුදවා ගත් ගම්මානයක් බවට පරිවර්තනය වී ඇත.
මේ නව පරිවර්තනයත් සමඟම ලංකාගම වැසියෝ නව ආකල්පය වෙනස් ජන කොටසක් බවට පත්වී නවීන ලෝකයත් සමඟ ඉදිරියට ගමන් කිරීමට සැදී පැහැදී සිටිති. මෙම නව මාර්ගය ඉදිවීමත් සමඟම එදා නෙළුව සිට ලංකාගමට යෑමට පැය 2 - 3 ක් ගතවූ අතර නව පාර ඉදිවීමත් සමඟම නෙළුව සිට දෙණියාය නගරයට කිලෝමීටර් 18 දුර යෑමට ගතවනුයේ විනාඩි 45 වැනි කෙටි කාලයකි. මෙම ගමන් පහසුව නිසා ලංකාගම හරහා ගාල්ල සහ කොළඹ නගරයට ගමන් කිරීමේදී කිලෝමීටර් 20ක දුර ප්‍රමාණයක් අඩුවේ. දෙණියාය - මොරවක අකුරැස්ස, හරහා ගාල්ල නගරයට ගමන් කිරීමේදී කිලෝමීටර් 70ක් යෑමට සිදු වේ. ලංකාගම මාර්ගය ඉදිවීමත් සමඟම දෙණියාය - ලංකාගම නෙළුව හරහා ගාල්ලට ගමන් කිරීමේදී කිලෝමීටර් 20ක් අඩු වේ. එලෙසම දෙණියාය - මොරවක - නෙළුව හරහා කොළඹ නගරයට ගමන් කිරීමට කිලෝමීටර් 160ක දුරක් ගෙවීමට සිදුවන අතර එය ලංකාගම හරහා නෙළුවට පැමිණ කිලෝමීටර් 20ක අඩු දුරකින් කොළඹට ළඟාවිය හැකි පහසු මාර්ගයක් බවට පත්ව ඇත. මාර්ගය ඉදිවීමත් සමඟ දෙණියාය ප්‍රදේශවාසීන් ලංකාගම හරහා නෙළුවට පැමිණ ගාල්ල සහ කොළඹට යෑමට පහසු ගමන් මාර්ගය ලෙස භාවිත කරති.
ලංකාගම වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන තේ දලු සහ කිතුල් පැණි නිෂ්පාදනවලට හොඳ මිලක් ලබා ගැනීමට නොහැකි වූයේ විධිමත් මාර්ග පද්ධතියක් නොමැති වීම සහ තම නිෂ්පාදන ද්‍රව්‍ය සහ ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමේ ගැටලුවලට මුහුණ දුන්හ. ඒ හේතුවෙන් අතරමැදියන් හරහා තම නිෂ්පාදන අලෙවි කිරීමෙන් ඔවුනට නියමිත වටිනාකමක් නොලැබුණි. මාර්ගය ඉදිවීමත් සමඟම අතරමැදි ග්‍රහණයෙන් තොරව තම නිෂ්පාදන ඍජුවම දෙණියාය නගරයට ගොස් තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාගත හැකි බවද ගැමියෝ පැවසූහ. ලංකාගම සිට මාර්ගය ඉදිකිරීමට පෙර දෙණියාය නගරයට යෑමට පැවැති දුෂ්කරතාව හේතුවෙන් ඔවුනට දිනපතා මෙන්ම දවසේ ඕනෑම මොහොතක නගරයට යෑමට දුෂ්කර ගමනක් විය. මාර්ගය ඉදිවීමත් සමඟම දවසේ ඕනෑම වේලාවක විනාඩි 20 වැනි කෙටි කාලයකදි දෙණියායට ගොස් තම අවශ්‍යතාවන් ඉටුකර ගත හැකි බවද ඔවුහු පැවැසූහ.
ලංකාගම ගම්මානයේ සිදුවූ නව සංවර්ධන කාර්යයන් සොයා ගිය ගමනේදී අපට හමුවූ ලංකාගම ගැමියෝ මෙසේ අදහස් දැක්වූහ.
ලංකාගම මේදේරිපිටිය බටකොටුවල පදිංචි සරත් වික්‍රමසිංහ(50)ගේ අදහස මෙසේය.
“අපේ ගම මේ ආකාරයට සංවර්ධනය වීම ගැන සතුටුයි. මේ ගම දියුණු වන එක ගැන අපට සිහිනයක් වෙලා තිබුණේ. නමුත් ඒ සිහිනය සැබෑ වෙලා තිබුණා. ඉස්සර මේ ගමට යන්න එන්න හරි හැටි පාරක් නැහැ. යතුරුපැදියක් ට්‍රැක්ටරයටවත් යන්න බැරි වී තිබුණු පාරක් අපි වසර ගණනාවක් මේ ආකාරයට දුක්වින්දා. ගමේ රෝගියෙක් රෝහලකට ගෙනයන්න, අපේ තේ දලු ටික කිතුල්පැණි හකුරු ටික ගමේ ළමයින්ට පාසල් යන්න ගමන් කිරීමට පාරක් තිබුණේ නැහැ. පාරක් නැති නිසා මගේ පියා මිය ගිය වෙලාවේ ඔහුගේ දේහය සැතපුම් 08ක් දුර කරමතින් තමයි ගෙනාවේ. ඒ දවස්වල ගමේ ගැබිනි මාතාවන් බබා ලැබෙන්න මාසයක සිට ගාල්ලේ හෝ දෙනියායට ගොස් හිතවත් ඥාති නිවසක නතර වෙන්න ඕනෑ. මහත්තයලාට තේරෙනවා නේද අපි විඳපු දුක්. දැන් මෙම පාරවල් දකින විට අපට පුදුම සතුටක් තමයි දැනෙන්නේ.“ ලංකාගම ග්‍රාම නිලධාරි එල්.ජී. සෝමරත්න පැවසූ පරිදි,
“ලංකාගම ග්‍රාම නිලධාරි ලෙස වසර 25 සිට සේවය කරනවා. වසර 25 කාලය තුළ ගම ගැන හොඳ අත්දැකීම් මෙන්ම අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණදී තිබෙනවා. 80 දශකයේ ගමට යන්න එන්න හරිහැටි පාරක් තිබුණේ නෑ. ගමට විදුලිය තිබුණේ නැහැ. ලංකාගම ගම දෙණියාය සහ නෙළුව නගරයට මැදිව තිබෙන්නේ. මේ නගර දෙකටම කිලෝමීටර් 18 - 20 දුර ගෙවාගෙන යන්න ඕනෑ. ගමේ උදවිය ගංවතුර කාලේට නිරන්තර ලක්වෙන ගමක්. ඒ කාලයට මේ ගමට අවශ්‍ය ආධාර ගුවනින් තමයි ආහාර ගෙන එන්නේ. අපට වසර ගණනාවක සිට යටිතල පහසුකම් නොමැතිකමින් ගමේ උදවිය දුෂ්කරව ජීවත් වුණේ. ගමේ සිදුවූ සංවර්ධනය නිසා ලංකාගම ගම්වැසියෝ සතුටින් ජීවත් වෙනවා.“ ය.
ලංකාගම වෙළෙඳ ව්‍යාපාරික වන බී.එම්. මංජුල ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.
“මාර්ග පහසුකම් නොතිබුණු යුගයේ වෙළෙඳ සැලට අවශ්‍ය භාණ්ඩ රැගෙන ඒමට සැතපුම් 18ක් දුර ගෙවමින් නෙළුව නගරයට සහ දෙණියායට යෑමට සිදුවුණා. බඩු රැගෙන එන්න වාහන නැහැ. දලු ප්‍රවාහන කරන ට්‍රැක්ටරයක තමයි බඩු රැගෙන ආවේ. එම දිනවල වෙළෙඳසැල උදය වරුවේ වසා දමා දෙණියායට ගොස් බඩු රැගෙන ඇවිත් සවස් වරුවේ තමයි වෙෙළඳසැල විවෘත කළේ. අද නම් එහෙම නැහැ. පැයක පමණ කාලයකින් දෙණියායට ගිහින් බඩු ටික රැගෙන එන්න පුළුවන්. දැන් භාණ්ඩ රැගත් ජංගම රථ ගමට එන නිසා අපේ කාලය ශ්‍රමය ඉතිරි වෙලා තිබෙනවා. ලංකාගම නව සංවර්ධනය තුළින් ගමේ උදවිය අලුත් විදියට ජීවත් වෙනවා.“
ලංකාගම ගංගාරාම විහාරාධිපති ඇල්ලේ ආරියධම්ම හිමි මෙසේ අදහස් දැක්වූහ.
“ලංකාගම ගමේ ජීවත් වන්නේ කෘෂි ආර්ථිකයක් ඇති ගැමි උදවිය. මේ ගැමියෝ වසර ගණනාවක සිට අවම පහසුකම් මත ජීවත් වෙලා අපේ රටේ ජාතික ආර්ථිකයට දායක වූ ගැමියෝ. එම ගැමියන්ට පහසුකම් ලබාදීමෙන් ඔවුන්ගේ ජීවිත මෙන්ම රටේ ආර්ථිකය ද ශක්තිමත් කිරීමට උරදෙන ෙම්වගේ ගම්මාන සංවර්ධනය කිරීම ගැන අපි සතුටු විය යුතුයි. අද ලංකාගම ගැමියන් අද කිසිම අඩුපාඩුවක් නොමැතිව තම ජීවන රටාව ගෙනයනවා.“
නෙළුව ප්‍රාදේශීය ලේකම් ශාන්ත ප්‍රියදර්ශන පැවසුවේ මෙවැන්නකි. “නෙළුව ප්‍රාදේශය ලේකම් කොට්ඨාසයේ කෙළවරම පිහිටි ගම්මානය ලංකාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ආදායම් මාර්ග රැසක් ගෙන එන ප්‍රධාන ගම්මානයක් තමයි ලංකාගම. කිතුල් කර්මාන්තය, තේ වගාව, සුළු අපනයන බෝග, සංචාරක කර්මාන්තය යන ආදායම් උත්පාදනය කරන ගම්මානයක් තමයි ලංකාගම. මේ ගම්මානය දිස්ත්‍රික් දෙකකට මායිම්ව තිබීමත් දෙණියාය නෙළුව යන නගර දෙකට කේන්ද්‍රගත ගම්මානයක්. ස්වභාවික පිහිටීම අනුව සංචාරක කලාපයක් තුළ මෙම ගම්මානය පිහිටීම නිසා ලංකාගම සංචාරක ගම්මානයක් බවට පත්කිරීමට ප්‍රමාණවත් පහසුකම් සපයා තිබෙනවා. ලංකාගම අනාගතයේදී සංචාරක ගම්මානයක් බවට පරිවර්තනය කරලා අප රටට වාසිදායක ප්‍රතිලාභ අත්කර ගන්න පුළුවන්. අද අප රට පත්වී ඇති ආර්ථික ගැටලුව හමුවේ අපේ රටේ ලංකාගම වැනි දේශීය ආර්ථිකය ගොඩනැංවීමට උරදෙන ගම්වැසියන් ජීවත්වන මෙවැනි ගම්මාන දියුණු කර ඒවායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙන් රටේ ආර්ථිකයට ලැබෙන පිටුබලය ඉමහත්ය.“
ලංකාගම පදිංචි සුමිත් චන්දන ගමගේ ලංකාගම ගැන තවදුරටත් අදහස් දැක්වීය.
“ලංකාගම වැනි දුෂ්කර ගම්මානවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමෙන් ගම්මානවලට මෙන්ම රටටත් යහපතක්. අපේ ගම්මාන හැම අතින්ම ස්වයංපෝෂිතයි. පරිසරය, ආර්ථික බෝග, වාතාශ්‍රය, දියඇලි ස්වභාවික පරිසරය, හැම අතින්ම ස්වයංපෝෂිත ගම්මානයක් තමයි ලංකාගම. මේ වගේ ගම්මාන නවීන තාක්ෂණික ලොවට විවෘත කළ යුතුය. ඒ සඳහා ගමේ ජනතාව මුහුණපාන ගැටලුවලට විසඳුම් ලබාදිය යුතුයි. එහි ප්‍රතිඵලයක් ලෙස එදා අපේ ගමට නොතිබුණු සියලු යටිතල පහසුකම් ලැබීම ගැන අප අද ගම්වැසි සියලු දෙනාම සතුටු සිතින් දිවිපෙවතක් ගත කරනවා.“ එම සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගත් තීරණය අද මල්ඵල ගෙන ඇති බව සඳහන් කරන අතර මෙම සංවර්ධනය රටේ තිරසර පැවැත්මට උපයෝගී කර ගැනීමට සියලු දෙනා එක්වී කටයුතු කළ යුතුය. එසේ වුවහොත් සංවර්ධනයේ නියම ඵල අත්කර ගත හැකි බවද සඳහන් කරමි.
![]() |
ලංකාගම නිල්වැලි ගම්මානයට ගමන් කිරීමට ගිංගඟ හරහා දමා ඇති නවීනතම යකඩ පාලම |
![]() |
ලංකාගම ගම්මානයට දිස්වන ෙම්‌දිරිපිටිය සංචාරක නිකේතන |
![]() |
සංවර්ධනය කර ඇති ලංකාගම දෙනියාය මාර්ගය |