ප්‍රජා­ත­න්ත්‍ර­වාදය දිනවූ ‍ෙඑතිහාසික නඩු තීන්දුවක් | සිළුමිණ

ප්‍රජා­ත­න්ත්‍ර­වාදය දිනවූ ‍ෙඑතිහාසික නඩු තීන්දුවක්

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේදී පොදු ජනයා තමන්ගේ වගකීම විශ්වසනීය කණ්ඩායමක් වෙත පිරිනමනු ලබයි. අල්ලස් ලබා දීම යනු ඡන්ද දායකයාගේ අයිතිය වංචනික ලෙස උදුරා ගැනීමකි. ඉන් අපේක්ෂිත ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත නොවේ.

 

ඡන්ද දායකයාට අල්ලස් ලබාදී ජයග්‍රහණය කරන ලද මොනරාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුගේ ධුරය අහෝසි කරමින් මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) රංග දිසානායක විසින් සැප්තැම්බර් 13 දා සුවිශේෂී නඩු තීන්දුවක් දෙනු ලැබීය.

ලංකා දේශපාලන ඉතිහාසයේ පළාත් පාලන මැතිවරණයක දී ජන්ද අල්ලස් දීමක් වෙනුවෙන් අධිකරණයේ පවරන ලද නඩුවක් සැකයෙන් තොරව ඔප්පු කරන ලද පළමු අවස්ථාව මෙයයි. අල්ලස් ලබාදී ජයග්‍රහණය කළ අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා මන්ත්‍රීධූරයට පත් කරන ලෙස මැතිවරණ කොමිසම් සභාව වෙත අධිකරණය නියෝග කර තිබේ. ධූරය අහිමි වූයේ පොදු ජන පෙරමුණ යටතේ තේරී පත් වූ මන්ත්‍රී තරංග හර්ෂක දිසානායකගේ ය.

මොනරාගල මදුරුකැටිය ඡන්ද කොට්ඨාශයට එජාපයෙන් ඉදිරිපත් වූ ඩබ්ලිව්. එම්. සුනිල් සාන්ත යන අය විසින් එම කොට්ඨාසයේ අපේක්ෂක තරංග හර්ෂ දිසානායක ඇතුළු 95 දෙනෙකු වග උත්තරකරුවන් කරමින් මේ නඩුව ගොනු කර තිබිණ. මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයන් මොනරාගල තේරීම් බාර නිලධාරී පොලිස් ස්ථානාධිපති මේ නඩුවේ වග උත්තරකරුවන් වී සිටියහ.

ෆැපරල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයේ දී 2018 ප්‍රාදේශීය සභා මැතිරවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයා විසින් ඡන්ද දායකයන්ට රුපියල් මිලියන තිහකට (30) අධික මුදලක් ලබා දී ඇතැයි අධිකරණය වෙත දන්වා තිබේ. පුද්ගලයන් 12 දෙනකු විසින් මෙහිදී සාක්ෂි ලබාදී ඇත. 2012 අංක 22 දරන පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ 2062 වන අධිකාරය යටතේ පනතේ 12වැනි වගන්තිය ප්‍රකාරව මේ නඩුව පවරා තිබිණ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ සම්පත් පුෂ්ප කුමාර චානක කුලතුංග ද ප්‍රධාන වග උත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ යූ. ආර්. සිල්වා ද රජයේ නිලධාරීන් වෙනුවෙන් රජයේ අධිනීතීඥ රාජකරුණා යන අය පෙනී සිටියහ. ඡන්දදායකයන් හට අල්ලස් ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයකු ධුරයෙන් නෙරපා දමන ලෙස අධිකරණය නියෝග කරන ලද පළමු අවස්ථාව මෙයයි. මේ ඓතිහාසික නඩු තීන්දුව සමඟ අනාගතයේ දේශපාලනයේ අපේක්ෂකයන් මැතිවරණයේදී ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙලඹෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. යම් හෙයකින් අපේක්ෂකයෙක් අල්ලස් ලබා දී ඇතැයි හඳුනාගත් මොහොතේ සිට ඔහුගේ මන්ත්‍රීධුරය අභියෝගයට ලක් කළ හැකිය.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම දිස්ත්‍රික්කය වන මොනරාගල දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 10 කින් සමන්විතය. එ් අතරින් මොනරාගල ප්‍රාදේශීය සභාව පළාත් පාලන ඡන්ද කොට්ඨාස 10කින් හා ග්‍රාම සේවා වසම් 26කින් සමන්විත වේ. එය සංචාරක වශයෙන් අතරමැදි හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසත්, ඉහළ ජෛව විවිධත්වයක්, පාරිසරික වටිනාකමක, කෘෂිකාර්මික හා වාරි කර්මාන්ත රටාවන්ගෙන් පූර්ණ ප්‍රදේශයක් ලෙසත් හැඳින්විය හැකිය.

ප්‍රාදේශීය දේශපාලන ක්‍රමය ලංකාවට අලුත් දෙයක් නොවේ. ඈත අතීතයේ දී ද ලංකාවේ ප්‍රාදේශීය පාලන ක්‍රමවේදය පැවැතිණ. එහෙත් වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ආණ්ඩු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් හඳුන්වා දුන් නූතන ආයතනික ක්‍රමවේදයකි. එමඟින් ප්‍රදේශයේ ගැටලු සඳහා ප්‍රදේශයෙන්ම විසඳුම් සොයා ගැනීමේ සහභාගික ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම අපේක්ෂිතය. එවන් අවශ්‍යතාවක් පවත්නා මොහොතක ලබා දුන් නඩු තීන්දුව මගින් සාධනීය අවස්ථා සලසා ගැනීමට කටයුතු කළ හැකි වනු ඇත.

වත්මන් මැතිවරණ කොමිසමෙහි සභාපති නිමල් ජී. පුංචිහේවා එම නඩු තීන්දුව බලාත්මක කොට ක්‍රියාත්මක කිරීම හා ඊට අදාළ නීතිමය ක්‍රියාදාමය පිළිබඳ සිළුමිණට මෙසේ අදහස් දැක්විය. 'මෙය විශේෂ අවස්ථාවක් වෙන්නේ පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් පත්කරනු ලැබූ නියෝජිතයෙක් නුසුදුස්සකු ලෙස නම් කිරීම හේතුවෙනි. මේ නුසුදුසුභාවය තහවුරු වී ඇත්තේ ඡන්ද පෙත්සමකින් වීම අනෙක් විශේෂත්වයයි. 1971ට පෙර ඡන්ද පෙත්සමක් මගින් නුසුදුසුභාවය ප්‍රකාශ කිරීම සිදු වූ විට අතුරු මැතිවරණයක් පැවැත්වූවා. එහෙත් මෙවර අධිකරණ තීන්දුව වී ඇත්තේ ඊළඟට වැඩිම මනාප ඇති අපේක්ෂකයා පත්කරන ලෙසයි. මැතිවරණ පෙත්සම් ඉතිහාසයේ මෙවන් තීන්දුවක් දෙනු ලැබූයේ 1965 වර්ෂයේ බණ්ඩාරගම ආසනය වෙනුවෙනි. ඒ අවස්ථාවේ ඊළඟ අපේක්ෂකයාට අවස්ථාව ලබා දුන්නා. 1978 න් පසු ඡන්ද පෙත්සමක් මගින් පුද්ගලයකු නුසුදුස්සකු කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ අවස්ථාව මහා අධිකරණය පිළිගත්තා. වග උත්තරකරුට අභියාචනා කාලයක් හිමියි. ඔහුට අභියාචනා අධිකරණයට යා හැකියි. ඉන් දෙන තීන්දුව ලැබෙන තුරු අපි සිටිය යුතුයි. මැතිවරණ කොමිසමට ඉන් අනතුරුව ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා.'

මේ අධිකරණ නියෝගය මගින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වයට කරන බලපෑම හා ඡන්ද අක්‍රමිකතා කෙරෙහි මේ නියෝගය බලපවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ගෙන් සිළුමිණ කළ විමසුමට මෙසේ පිළිතුරු ලැබිණි. '‘අධිකරණය මගින් ලබා දුන් ඉතා හොඳ තීන්දුවක්. මේ මගින් ඡන්ද දායකයාගේ අයිතිය තහවුරු කරදී තියෙනවා. අධිකරණ ක්‍රියාවලිය තුළ මේ නඩුව ඔප්පු වීම මගින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරු වුණා. මෙය ඉදිරි මැතිවරණ වලදී පුර්වාදර්ශයක් වේවි. සමානුපාතික ක්‍රමය යටතේ සිදුවන ඡන්ද දූෂණ පක්ෂ ලේකම්වරයාට හෝ නැවැත්වීමට නොහැකි වී තිබෙනවා. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මින් නිසි ලෙස තහවුරු වේවි. මේ අධිකරණය මගින් තහවුරු කර දී ඇත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ වගේම මේ අවස්ථාවේ අධිකරණයේ ස්වාධීනභාවය තහවරු වුණා. ඡන්ද අක්‍රමිකතා වළක්වා ගන්න මොනරාගල මහා අධිකරණයේ තීන්දුව වැදගත් වේවි.

දූෂණ චෝදනා ඇති අපේක්ෂකයන් ඡන්ද අපේක්ෂකත්වයට පත් නොකිරීමට පක්ෂ ලේකම් වග බලාගත යුතු අතර, කොමිසම අක්‍රමිකතා ඇති අවස්ථාවන්හිදී පත් කිරීම් නොකොට අධිකරණයට වාර්තා කළ යුතුයි. එදා මැතිවරණ කොමිසම මග හැරියා. වර්තමාන මැතිවරණ කොමිසම ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. අපේක්ෂකයකු හට වියදම් කළ හැකි මුදල සීමා කිරීම, මැතිවරණ කොමිසම මඟින් අපේක්ෂකයන් ගේ අය වැය විගණනයක් කිරීම කළ යුතුයි. එසේ නැතිව මේ පවත්නා ඡන්ද ක්‍රමය යටතේ තුටු පඩුරු , අල්ලස් දීම්, ඡන්ද දූෂණ වළක්වා ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත වෙන්නේ නෑ. එවිට ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.'

ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රමය තහවුරු කරගැනීමට හා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට කරණ බලපෑම විමසීමේදී ඔහු විසින් පැවසුවේ මෙවැන්නකි.

‘අනිවාර්යෙන්ම මේ නඩු තීන්දුව මගින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර වීමට බලපෑම් කරනවා. මෙයින් පැහැදිලි වන වැදගත්ම කරුණ වන්නේ මැතිවරණ කොට්ඨාසය කූඩා වූ පමණින් වියදම අඩු නොවන බවයි. මැතිවරණයකදී දේශපාලඥයන්ට සමබිමක් තිබීම නැත්නම් මාධ්‍ය හා වියදම් සැමට සමාන විය යුතු ය යන්න තහවුරු වීම මගින් එයට අවශ්‍ය නීති සම්පාදනයට අධිකාරී බලය ඇත්තන්ට බලකිරීමක් සිදු වෙනවා. අල්ලස් දී මැතිවරණය ජයග්‍රහණය කළ හැකි වූවද බලය තහවුරු කර ගත නොහැකිය යන පණිවුඩය දේශපාලඥයන් වෙත ලැබීමද වැදගත් වෙනවා. මුදල් වියදම් කර ඡන්දය දිනීමේ අපේක්ෂාව ඉපයීමයි. එහිදි අයථා ගනුදෙනු නිල කාලය පුරා සිදු වෙනවා. බඩුමුට්ටු ලබාදීම, අල්ලස් ලබා දීම හේතුවෙන් ඡන්ද දායකයා හා අපේක්ෂකයා අතරවන සමාජ ගිවිසුම පළුදු වෙනවා‘

වියදම් ඉහළ යෑම හේතුවෙන් සුදුස්සන් ඡන්දයට ඉදිරිපත් වීම සිදු වන්නේ නැහැ. මෙයින් සැබෑ මහජන නියෝජනයට අවස්ථාව සලසා ගත හැකි වේ. මේ නඩුකරයට ගතවූ කාලය ඉතා දීර්ඝ වීම හේතුවෙන් පෙත්සම්කරුට නියමිත සාධාරණ කාලයක් නොලැබී ගියා. ඕනෑම නඩුකරයක් නිශ්චිත කාලයකදී අවසන් විය යුතුයි. මේ නඩුකරය නීති ශිෂ්‍යයන්ට වැදගත් වේවි. ලංකාවේ අධිකරණය සාපේක්ෂව ස්වාධීනයි. ලංකාවේ අධිකරණ නීතිය පසිඳලූවත් බොහෝවිට යුක්තිය පසිඳලන්නේ නෑ. එහෙත් මේ නඩුකරය මගින් නීතිය හා යුක්තිය යන දෙකම පසිඳලනු ලැබුවා.

මොනරාගල ඡන්ද පෙත්සම තවත් එක නඩුවක් පමණක් වුවද ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දේශපාලන සිහිනය දකින මිනිසුන්ගේ සිත් සනහාලන්නට හේතු වී ඇති බව තව දුරටත් විමසීමෙන් පෙනී යයි.

ඡායාරූප - ඩී.එස් ගුණතිලක, ඌව වෙල්ලස්ස විශේෂ

Comments