
වසර දෙකකට පෙර එනම් 2019 වසරේ පාස්කු ඉරු දින මෙරට ප්‍රධාන පෙළේ දේවස්ථාන කිහිපයකට හා සංචාරක හෝටල් කිහිපයකට සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙරට පමණක් නොව ලෝක ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කෙළේ, එම ප්‍රහාරය එල්ල වන බවට සති දෙකකට පමණ පෙර විදෙස් බුද්ධි අංශ විසින් තහවුරු කර තිබියදී එය වළක්වා නොගැනීම නිසාය. අනෙකක් තබා ප්‍රහාරය එල්ල වූ 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේද ප්‍රහාරය එල්ලවන බවට පූර්ව දැනුම් දීම් ලැබී තිබුණි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කඩිනමින් සාධාරණයක් ඉටු කර දෙන ලෙස නිරතුරුවම හඬ නැඟුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ය. උන්වහන්සේ ප්‍රහාරය එල්ල වූ දින සිටම නිරතුරුවම හිටපු ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් අවධානය ඒ වෙනුවෙන් යොමු කරවන ලදී. එසේම වත්මන් ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් අවධානයද මේ ගැටලුව සම්බන්ධව යොමු කරවන ලදී. උන්වහන්සේ නිරතුරුවම පැවසුවේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි අය හෙළි කරන ලෙසත් ප්‍රහාරයට වගකිව යුත්තන් මෙන්ම ප්‍රහාරය වළක්වා නොගත් අයට එරෙහිව නීතිය ක්‍රියාවට නංවන ලෙසත්ය.
දැන් එහි අධිකරණ කටයුතුවල මූලික අදියර කරළියට පැමිණ තිබේ. ඒ අනුව පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 04 වැනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර තිබේ. එම නියෝගය පසුගිය සතියේ සිදු කරන ලදී.
එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ දමිත් තොටවත්තයන්ය. එමෙන්ම අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන්ද සමන්විත එම පුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ බව දන්වා බන්ධනාගාරගතව සිටින අදාළ නඩුවේ සැකකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් කරනු ලැබූ නියෝගයේ දක්වා ඇත.
සැකකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍ර ඔක්තෝබර් 4 දිනම ඔවුන්ට බාරදීමට නියමිතය. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.
කලකට පසුව පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේත් එමෙන්ම එතෙර මෙතෙර පවා මහත් ආන්දෝලනයකට පත් පාස්කු ප්‍රහාරයේ අගතියට පත්වූවන්ට සාධාරණය ඉල්ලීම වෙනුවෙන් වූ මේ නඩුව විභාග කිරීමේදී ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති සංජය රාජරත්න විසින් කරන ලද ඉල්ලීමට අනුව අගවිනිසුරුවරයා විසින් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නම් කර තිබුණි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම, එයට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ මෞලවිවරුන් ඇතුළු සැකකරුවන්ට එම චෝදනා ගොනු කර තිබේ. දශක ගණනාවකට පසු මෑත ඉතිහාසයේ එවන් අතිවිශාල චෝදනා සංඛ්‍යාවක් යටතේ චෝදනා ගොනු කරන ලද ප්‍රථම වතාව මෙය වේ.
මුස්ලිම් මෞලවිවරුන්ට අමතරව ආගමික නායකයන් ලෙසින් පෙනී සිට අන්තවාදය පැතිරවූවන්ද මෙහි සිටී. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස අන්තර්ජාතික බුද්ධි අංශ විසින් පවා ස්ථිර කර ඇති නවුෆර් මවුලවිද ඒ අතර වේ. ඔහුට අමතරව අධිචෝදනා ගොනු කර ඇති අය අතර සජීඩ් මෞලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගෆුර් මාමා, අලියස් ගවුපර්, මොහොමඩ් සහන්ඩීන්, සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු 25 දෙනකුගෙන් සමන්විත පිරිසක් සිටිති. ඔවුන් 25 දෙනාටම මෙම අධි චෝදනා ලබා දෙනු ඇත.
ම්‍ට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු අවශ්‍ය තරම් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හරහා සාපරාධී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ තවත් නඩු දෙකක් පවරා තිබේ.
ජාතික ආරක්ෂාවේ වගකීම පැහැර හැරීමේ ප්‍රධාන චෝදනාවක්ද ඔවුන්ට එරෙහිව මතු කර තිබේ. එමෙන්ම මේ වන විට ඔවුන් දෙදෙනාට එරෙහිව ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.
කෙසේ වෙතත් මේ වන විට විමර්ශන්හිදී හෙළිව ඇති කරුණු අනුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ත්‍රස්ත විමර්ශන ඒකකයත් ඇතුළුව සිදු කළ විමර්ශන අනුව ඉහත 25 දෙනාද ඇතුළුව පුද්ගලයන් 273කට නඩු පැවරීමට නියමිතය.
විශේෂයෙන්ම වනාතවිල්ලුව, කාත්තන්කුඩිය ඇතුළු ප්‍රදේශවල අන්තවාදී පුහුණු කිරීම් හා ආයුධ ගබඩා පවත්වාගෙන යාම, මද්‍රසා පාසල් මුවාවෙන් අන්තවාදය පැතිරවීම, කුඩා දරුවන්ට අවි පුහුණුව ලබා දීම හා ඔවුන්ගේ මනස විකෘති වන සේ කටයුතු කර අන්තවාදී මත ප්‍රවර්ධනය කිරීම ඇතුළු චෝදනා රැසක් එම සැකකරුවන්ට එරෙහිව නැඟී ඇත.
එමෙන්ම තවත් පිරිසකට එරෙහිව නැඟී ඇති චෝදනා අතර මේ සිදුවීම් මාලාවට මුදල් ලබා දීම ඇතුළු චෝදනා රැසක්ද වේ. එයින් පාස්කු ප්‍රහාරයට මුදල් ලබා දුන් අන්තවාදී චෝදනාවන්ට ලක් වූ අයෙක් මේ වන විට නවසීලන්තයේ සරණාගතභාවය ලබා ගැනීමක් සම්බන්ධයෙන්ද වාර්තා වේ. අදාළ සැකකරු සොයා විමර්ශන සිදු කෙරුණද ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔහුගේ භාර්යාව අත්අඩංගුවට ගෛන පසුව නිදහස් කර තිබේ. පසුව ඔවුන් දෙදෙනාම නවසීලන්තයට පැන ගොස් එහිදී සරණාගතභාවය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. මුදල් යම් කටයුත්තකට ලබා දුන්නද ඒ මුදල් ලබා දී ඇත්තේ මෙවන් ක්‍රියාවකට බව නොදන්නා බව ඔවුන් විසින් පවසා තිබේ. කෙසේ වුවත් ඔවුන්ට දැන් සරණාගත භාවය හිමිව තිබේ.
කාදිනල් හිමියන් විසින් අවස්ථා ගණනාවකදී සිදු කළ දැනුම් දීම්වලට අමතරව උන්වහන්සේ විසින් පසුගිය දිනක රජයට ලිපියක්ද යොමු කරන ලදී. ඒ වෙනුවෙන් කාදිනල් හිමිපාණන් වහන්සේ දැනුම්වත් කරමින් ආණ්ඩුව විසින් ලිපියක් ද උන් වහන්සේට යොමු කොට තිබේ.
පාස්කු කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කළ අමාත්‍ය අනුකමිටුව විසින් මෙම ලිපිය යොමු කොට තිබේ. ඉකුත් 8 වැනි දින මෙම ලිපිය උන්වහන්සේ වෙත බාර දී ඇත.
පාස්කු ප්‍රහාරය සිදුවන බවට ලද තොරතුරු සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියා කොට අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක පැවති රජයේ ප්‍රධානීන්ට සහ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික ප්‍රකාශන කමිටුව යොමු කළ ලිපියෙන් සෘජුව ප්‍රශ්න කර තිබිණි. එම පිරිස් සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කළ යුතු බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බවට වන උපුටන ද අදාළ ලිපියෙන් ඉදිරිපත් කර තිබිණි
පසුගිය රජය මඟින් පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවේත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් විසින් පත් කළ පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම වෙනුවෙන් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේද සාක්ෂි මේ වෙනුවෙන් උපයෝගී කරගෙන තිබේ. ඒ අනුව ඇතැම් චෝදනා ඉදිරියේදී සංශෝධනය වීමටද ඉඩ තිබෙන බව වාර්තා වේ. අදාළ චෝදනා වඩාත් උචිත ලෙසින් සනාථ කිරීම පිණිස මෙලෙසින් සංශෝධනය කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි වාර්තා වේ.
පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ සාක්ෂි සටහන්වල වෙළුම් 48 ක් ජනාධිපති කාර්යාලය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණි. ඒ ඉකුත් මාර්තු මාසයේදීය. එම ඇතැම් වෙළුම් පිටු ලක්ෂයකින් පමණ සමන්විතය.
ඔන්තෝබර් 4 වැනිදා මෙහි පළමු අදියර අප ඉදිරියේ දිග හැරෙනු ඇත. චෝදනා එල්ල වූවන්ට නොගැලවෙන සේ අධිචෝදනා එල්ල වනු ඇත. එකකින් ගැලවුණහොත් තවත් එකක් කර මත වැටෙන සේ මේ සියල්ල දම්වැලක පුරුක් සේ චූදිතයන් ඉදිරියේ දිග හැරෙනු ඇත.