පේරාදෙණියෙන් අලුත්ම සොයාගැනීමක් | Page 2 | සිළුමිණ

පේරාදෙණියෙන් අලුත්ම සොයාගැනීමක්

 

කොවිඩ් ආසාදිතයන් කල්තියා හඳුනා ගැනීමට ලොව පුරා බහුලව භාවිත කෙරෙන්නේ පී. සී. ආර් පරීක්ෂණ ක්‍රමවේදය වන අතර ඇන්ටිජන් පරීක්ෂාවද සැලකිය යුතු ලෙස ඒ සඳහා උපයෝගි කරගනු ලබයි. මෙම පර්යේෂණ වලට අතරමැදි පර්යේෂණ කට්ටලයක් ලොවට හඳුන්වා දීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු භිෂක්වේදය සහ මහජන සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අංශ ප්‍රධානි ආචාර්ය රුචික ප්‍රනාන්දු, මහනුවර ජාතික රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල යන අය පසුගියදා සමත් වූහ.

කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා නිර්මාණය කළ මෙම විශේෂිත පරීක්ෂණ කට්ටලය RT LAMP (Reverse Transcription Loop Mediated Isothermal Amplification) ලෙස හැඳින්වෙයි. මෙම පරීක්ෂණ කට්ටලයේ ප්‍රතිඵල පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල වලට සාපේක්ෂව 96 % ක නිරවද්‍යතාවක් පෙන්නුම් කරන බව සායනික පරීක්ෂණ මඟින් තහවුරුව තිබේ. එහි ඇති තවත් සුවිශේෂි කාරණය වන්නේ වයිරසය ශරීරගත නොවූ හෝ ශරීරගතව තිබී වෙනත් අයකුට වයිරසය බෝ කිරීමේ හැකියාව නොමැති අය කිසිදු අවස්ථාවක ආසාදිතයන් ලෙස පෙන්නුම් නොකිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි න්‍යෂ්ටික අම්ලය ගුණනය මඟින් හඳුනාගන්නා පරීක්ෂණ (Nucleic Acid Amplification Test)- (NAAT) ක්‍රමය මඟින් ලැබෙන ප්‍රතිඵලවල නිවැරදිතාව ඉහළය. පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙන්නේ එම ක්‍රමවේදයට අනුවය. RT LAMP නව පරීක්ෂණ ක්‍රමය ගොඩනැඟී තිබෙන්නේ එම ක්‍රමවේදය අනුවය. ඇන්ටිජන් පරීක්ෂණය මෙම ගණයට නොවැටෙන අතර එහි ප්‍රතිඵල නිරවද්‍ය වීමේ සම්භාවිතාව පවතින්නේ 50% ක පමණ අගයකය.

පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා රජය රුපියල් 6000.00 උපරිම මිලක් නියම කර තිබෙන අතර එම පරීක්ෂණ ප්‍රතිඵල ලබාදීමට අවම වශයෙන් පැය 06 ක් පමණ ගත වෙයි. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව හෙවත් ඇන්ටිජන් පරීක්ෂණය සාමාන්‍ය මිල රුපියල් 2000.00 කි.නමුත් එහි ප්‍රතිඵල වල නිරවද්‍යතාව පිළිබඳව ගැටලු පවතී. RT LAMP පරීක්ෂණයක් රුපියල් 2500.00 ක පමණ මුදලකට කරගත හැකිය. එහි ඇති අනෙක් විශේෂිත කාරණය වන්නේ ප්‍රතිඵල පැය දෙකක් වැනි කාලයකදී නිකුත් කිරීමට හැකි වීමය.

මේ සම්බන්ධව එහි නිර්මාතෘවරයකු වූ ආචාර්ය රුචික ප්‍රනාන්දු මෙසේ විස්තර කළේය. පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට යන්ත්‍රයක් අවශ්‍යයි. එවැන්නක් ආනයනය කිරීමට රුපියල් මිලියන 06 කට වඩා වැය කරන්න සිදු වෙනවා. RT LAMP පරීක්ෂණය සඳහා අවශ්‍ය වන්නේ උෂ්ණත්වය නියතව පවත්වාගෙන යා හැකි උපකරණයක් (Heating Block) එකක් පමණයි. එවැනි උපකරණයක් රුපියල් හතළිස්දහසක පමණ මුදලකට ආනයනය කළ හැකියි.අවශ්‍යය නම් ඉදිරියේදී තවත් අඩු මුදලකට එය අපේම රටේ නිපදවා ගැනීමට පුළුවන්. ලබා ගන්නා සාම්පල එම යන්ත්‍රය මඟින් සෙන්ටිග්‍රේඩ් අංශක 65 ක උෂ්ණත්වයක් යටතේ විනාඩි තිහක් රත් කිරීම තමයි සිදු කෙරෙන්නේ. සාම්පල් ගන්නේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලබා ගන්නා ආකාරයටමයි. ඒ නිසා අඩු පහසුකම් ඇති රෝහල් වලදී පවා අදාළ පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව තිබෙනවා. පී. සී. ආර් පරීක්ෂණ මඟින් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගත් රෝගීන් 100 දෙනෙකුට අපේ පරීක්ෂණය කළොත් එහිදී 96 දෙනෙකු ආසාදිතයන් ලෙස නිවැරදිව හඳුනාගත හැකි බව ජාතික ඖෂධ අධිකාරිය මගින් මේ පිළිබඳ සොයා බැලීමට පත්කළ ස්වාධීන කමිටුව පරීක්ෂණ මගින් තහවුරු කර තිබෙනවා. කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට තිබෙන හොඳම ක්‍රමය පී.සී.ආර් පරීක්ෂණය වුවත් එහි අවාසිද තිබේ. ශරීරයේ ඇති කොවිඩ්-19 වයිරස් ප්‍රමාණය අඩු අවස්ථාවක මෙන්ම වයිරසය තනිකරම ශරීරයෙන් ඉවත්ව ගොස් මියගිය වයිරස් (Dead Virus) කොටස් ශරීරයේ ඉතිරිව තිබියදීත් පී.සී.ආර් වාර්තාව පොසිටිව් වීමේ වැඩි සම්භාවිතාවක් ඇත. එමගින් කොවිඩ් වලට අදාළව සමාජයට තර්ජනයක් නොමැති අයකු පවා තර්ජනයක් වන පුද්ගලයකු ලෙස වැරදි නිගමනයකට එළඹීමට පුළුවන.

පී.සී.ආර් පරීක්ෂණයක් ගත්තොත් පොසිට්වි ලෙස හඳුනා ගත් අයෙකුගේ CT Value එක සම්බන්ධව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. එහි අංකය වැඩි අගයක් ගන්නා විට අදාළ පුද්ගලයාගේ ශරීරයේ ඇති වයිරස් ප්‍රමාණය අඩුය. ඉන් අදහස් වන්නේ එම පුද්ගලයාගෙන් තවත් කෙනකුට වයිරසය ඇතුළු වීමට ඇති ඉඩ අවම බවය.

මේ සම්බන්ධව රුචික ප්‍රනාන්දු පැවසුවේ මෙවන් අදහසකි. CT Value 20-25 කියන්නේ හයි පොසිට්ට් මට්ටමයි. සාමාන්‍යයෙන් 32/33 සැලකෙන්නේ කඩඉම් අගය ලෙසයි. අපි 32 ට වැඩි අගයන් සලකන්නේ ලෝ පොසිටිව් (Low Positive) මට්ටම හැටියටයි. මේ මට්ටමින් එහා ඉන්න අය රෝග වාහකයකු ලෙස කටයුතු කිරීමේ සම්භාවිතාව අඩුයි. අපි නිර්මාණය කළ පරීක්ෂණ කට්ටලය මගින් ප්‍රතිඵල දෙන්නේ නෙගටිව් හෝ පොසිට්වි ලෙස පමණයි. අපි මේ පරීක්ෂණ කට්ටලය හදලා තියෙන්නේ CT Value එක 32 ට වඩා ඉහළ අගයක් ගන්නා විට සමාන්‍යයෙන් පොසිටිව් ලෙස පෙන්නුම් කරන්නේ නැති ලෙසයි. මෙම 32 ට එහා ගිය මට්ටම වයිරසය ශරීරයට ඇතුළු මුල් අවස්ථාවේදී මෙන්ම වයිරසය ශරීරගත වී දින 10 ක් පමණ ගිය පසුත් දැකිය හැකියි. ඒ නිසා පරීක්ෂණය සිදු කිරීමට පෙර අදාළ පුද්ගලයා රෝග ලක්ෂණ සහිතව දින කිහිපයක් ගත කළ අයෙක්ද නැද්ද යන්න සැලකිලිමත් වීම වැදගත්.

කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා ලෝකයේ සෑම රටක්ම මේ සියලු ක්‍රම භාවිත කරනවා. අපි තේරුම් ගන්න ඕන මොන පරීක්ෂණය මොන වෙලාවේ පාවිච්චි කරන්න ඕනද කියන කාරණය. හාවර්ඩ් සහ ඔස්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාල වලින් මෙම ක්‍රමයට පරීක්ෂණ කරන කට්ටල එළිදක්වා තිබෙනවා. ඒවා නුදුරේදී නිෂ්පාදන ලෙස එළිදකිවී.

මේවාට සාපේක්ෂව අපේ සොයා ගැනීමේ විශේෂත්වය තමයි සාම්පල් ලබාගන්නා කිට් එක ඇතුළේ ක්‍රියාකාරීත්වය. න්‍යෂ්ඨික අම්ලය ගුණනය වන ක්‍රමය ලෝකයේ ඇති අනෙක් පරීක්ෂණ කට්ටල වලට වඩා මෙහි වෙනස්. ඒක අපිටම ආවේණිකවූ ඉතා සංවේදී එකක්. මාස 06 ක පමණ කාලයක් පරීක්ෂණ කරලා තමයි මෙය එළිදැක්වූවේ. බයෝ මෙඩිකල් පරීක්ෂණයක් කරලා පාමසූටිකල් ඩිවයිස් එකක් මේ විදිහට ඩිසයන් කරලා අපේ රටේ හදන පළමු වතාව මෙයයි. මොන දේ නිර්මාණය කළත් වැඩක් නැහැ නිෂ්පාදකයෙක් නැතුව.

රුපියල් මිලියන 300 ක් මුල් අදියරේ මේ සඳහා වැය කරන්න නිෂ්පාදකයෙක් එකඟතාව පළකර තිබෙනවා. එම ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ එකතු වෙලා මේක වෙළෙඳ භාණ්ඩයක් ලෙස ගෙන් ඒම තමයි අපේ අරමුණ. බයෝ මෙඩිකල් ප්‍රඩක්ට් එකක් යම් රටක් අපනයනය කරනවා නම් ඒක නිෂ්පාදිත රටේ භාවිතය සඳහා රටේ අනුමැතිය තිබිය යුතුයි.මේ නිසා එම අනුමැතිය ලබා ගැනීම ඉතා වැදගත්. කොවිඩ් සමඟ අපිට තවත් අවුරුදු ගණනායක් ජීවත් වීමට සිදුවෙනවා.

ජනතාව අතර සිටින කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ දිගින් දිගටම කළ යුතු වෙනවා. මේ පරීක්ෂණ මිල ජනතාවට දරා ගැනීමට අසීරුයි. ඒ නිසා අපි උත්සහ කරන්න ඕන ඒ මිල පහළට ගේන්න.එතකොට තමයි ඔවුන් පරීක්ෂණ කර ගැනීමට යොමු වන්නේ.අපේ පරීක්ෂණ කට්ටලයට අවශ්‍යය අමුද්‍රව්‍යය මෙරටදීම නිෂ්පාදනය කර මෙහි මිල රුපියල් 1000.00 කට අඩු අගයක් දක්වා ගෙන ඒම අපේ අරමුණයි. රුචික ප්‍රනාන්දු පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ මෙසේ පැවසුවේය. විශ්ව විද්‍යාලයක් මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන් ලෙස ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය ලබාදීම,පර්යේෂණ සිදු කිරීම හා සමාජය උදෙසා මෙහෙවර පෙන්වා දිය හැකියි.

පර්යේෂණ විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල මට්ටමින් සිදු කළත් ඒවා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදන ලෙස එළිදකින්නේ නැහැ. සමහර පර්යේෂණ ප්‍රතිඵල ජනතාව අතරට නිෂ්පාදන ලෙස එන්න වසර තිහ හතළිහක් ගතවන අවස්ථා තිබෙනවා. නව නිපැයුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෙනමම ඒකකයක් පිහිටුවා තිබෙනවා. පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම, වෙළෙඳ සමාගම් සමඟ සම්බන්ධතා ගොඩනැගීම ඇතුළු කාර්යයන් රැසක් එමගින් සිදු කරනවා.

කොවිඩ් අභියෝගය ජයගැනීම සඳහා ක්‍රියාමාර්ග සෙවිමේදී විශ්වවිද්‍යාල වලටත් විශාල කාර්යභාරයක් පැවරෙනවා. ඒ අනුව තමයි මේ නව පරීක්ෂණ කට්ටලය නිර්මාණය වුණේ.ජත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 500 අතරට පැමිණීමේදී ජත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වන පරීක්ෂණ කෙරෙහිත් විශේෂ අවධානයක් යොමුකර තිබුණා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ විශේෂ අවධානය මෙම පරීක්ෂණ කට්ටලය වෙත යොමුව තිබෙනවා. ඉදිරියේදී නිෂ්පාදනයක් ලෙස වෙළෙඳ පොළට හඳුන්වාදීමේ කාර්යය තමයි අපි ජයගත යුතුව තිබෙන්නේ.

මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන ව්‍යාපාර හා සම්බන්ධ කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය දර්ශන යාපා ඇතුළු පිිරිස පේටන්ට් බලපත්‍ර ලබාගැනීම, නීතිමය ගැටලු සම්බන්ධ සොයා බැලීම මෙන්ම තාක්ෂණික සහය හා ප්‍රතිපාදන ලබාදීම සිදුකර තිබේ.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහචාර්ය උපුල් බී.දිසානායක සහ වත්මන් කුලපති මහචාර්ය එම්.ඩී ළමාවංශ මෙම පර්යේෂණ කාර්යය සාර්ථක කර ගැනීමට ඉහළ සහයෝගයක් ලබාදී ඇත.

මහජන මුදල් වැයකර විශ්වවිද්‍යාල මට්ටමින් වසරකට පර්යේෂණ දහස් ගණනක් සිදු කෙරෙයි. ඒවා බොහොමයක් ව පර්යේෂකයාට මිස සමාජයට වැදගත් නොවන්නේය. එවැනි පසුබිමක මෙම නව සොයා ගැනීම මෙරට පමණක් නොව ලෝකයේම කාලෝචිත අවශ්‍යතාව සපුරාලන්නකි.

මෙය තවත් එක් පර්යේෂණ ප්‍රතිඵලයක් බවට පත්ව විශ්වවිද්‍යාල පන්ති කාමරයක බිත්ති හතරකට කොටු නොවී වෙළෙඳ භාණ්ඩයක් ලෙස එළිදැකීම කොවිඩ් මාරයා පරාජය කරන සටනට පමණක් නොව හෙට දවසේ නව නිර්මාණ කරන්නට මඟ බලා සිටින තරුණ තරුණියන්ටද ශක්තියක් වනු නොඅනුමානය.

Comments