බදු සමා පනත කාට ද? කුමට ද? | Page 2 | සිළුමිණ

බදු සමා පනත කාට ද? කුමට ද?

වමේ සිට - කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික  විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමි, ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු සහ ජාත්‍යන්තර ආයෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අරෝෂ ප්‍රනාන්දු

 

 

අභිනව මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රෝහණ රාජපක්ෂයන් මේ වසරේ මැයි මස 08 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දී දෙපැයක් ගතවෙන්නටත් මත්තෙන් සිය අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු බාර ගත්තේය. එලෙස වැඩ ඇරඹූ අභිනව මුදල් ඇමැතිවරයා මේ වසරේ ජුලි 08 වැනිදා පාර්ලිමේන්තුවට මුල්‍ය පනත යටතේ බදු සමාව ලබාදීමේ යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කළේය. එම පනත පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ වාද විවාදය ඉකුත් 07 වැනිදා සිදු විය. ඉන් අනතුරුව පැවැති දෙවැනි වර ඡන්ද විමසීමේදී පනත වැඩි ඡන්ද 90 කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 134 ක් ලැබිණි. විරුද්ධව ලැබුණේ ඡන්ද 44 කි.

 

මෙවැනි බදු සමා පනතක් කාටද? කුමටද? යන්න පිළිබඳව විමසා බැලීම මේ මොහොතේ වටියි. ඒ අනුව අපි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමිගෙන් මේ පිළිබඳව අදහස විමසා සිටියෙමු. එහිදී උන්වහන්සේ පළ කළේ මෙවන් අදහසකි. ලෝක ආර්ථිකය ගත් විට එහි දෙකොටසක් පවතී. එක ආර්ථිකයේ නීත්‍යානුකූල කොටසය. දෙක නීත්‍යානුකූල නොවන කොටසය.මේ නීත්‍යානුකූල නොවන කොටස පතාල ආර්ථිකය, අසංවිධිත ආර්ථිකය, ෂැඩෝ ඉකෝනොමි (සෙවණැලි ආර්ථිකය), සමාන්තර ආර්ථිකය, දෙවැනි ආර්ථිකය හා වෙනත් නම් ගණනාවකින් හඳුන්වනු ලබයි.

නීති විරෝධීව ආර්ථික කටයුතු සිදුකිරීම යටතේ අවි ආයුධ වෙළෙඳාම, මත්ද්‍රව්‍ය හා මත්කුඩු වෙළෙඳාම, අල්ලස් ගැනීම වැනි ක්‍රියාකාරකම් මත උපයන ආදායම් දැක් විය හැකිය. ඊට අමතරව ලොව ඕනෑම රටක ආර්ථිකයක අසංවර්ධිත ආර්ථික ක්‍රියාකාරකම් කොටසක් ද සිදු වේ. මේ සියලු ආර්ථිකයන් දක්නට ලැබෙනුයේ වැඩි වශයෙන් නොදියුණු ක්‍රමයේ පවතින ලක්ෂණයක් ලෙසය.

ලෝකයේ රටක්, සමාජයක් දියුණු වෙන්න වෙන්න මේ ආර්ථිකයන් දුරු වෙමින් යයි. යහපත් ආර්ථිකයක් සකස් වෙයි. ඒ අනුව නව මූල්‍ය පනත මඟින් ආණ්ඩුව අපේක්ෂා කළේ බලාපොරොත්තු වූයේ යහපත් ආර්ථිකයක් බිහිකිරීමට පරිසරය සකස් කිරීමයි.

මෙලෙස පාතාල ආර්ථිකයන් ඉවත් කිරීමට නව නීති රීති අණපනත් හඳුන්වාදීමට ආණ්ඩුවලට සිදු වේ. මේ අණ පනත් කොතරම් හඳුන්වා දුන්නද? ඉන් බලාපොරොත්තු වූ සියල්ල ඉටු කරගත හැකිද? නැති ද? යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි.

එහිදී නව නීති රීති අණපනත් ක්‍රියාත්මක කිරීමේදී වැඩි සැලකිල්ලක් අවදානයක් දැක්විය යුතු බව පමණක් සිහිපත් කරමු. ලෝකයේ ඕනෑම රටක නීති විරෝධී ආර්ථිකයන් පවත්වාගෙන යන මට්ටම මැන බැලෙන දර්ශක කිහිපයක් ඇත.

ඒ අතර ලොව ඕනෑම රටක දළ ජාතික නිෂ්පාදිතයට මේ කොටසින් ලැබෙන දායකත්වය කොපමණ වේදැයි මැන බැලීමෙන් එය සිදුකරනු ලබයි.

ලෝකයේ පාතාල ආර්ථිකයක් පවත්වාගෙන යන අංක එකේ රට සිම්බාබ්වේය. එහි දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 67 ක් මේ අංශයෙන් සිදු කෙරේ. හයිටි රාජ්‍යය, නයිජීරියාව, ගැබොන් රාජ්‍යය මෙහි ඉහළින්ම සිටින රටවල්ය. ශ්‍රී ලංකාවේ අප මේ දර්ශකයේ පසුවනුයේ 36 වැනි ස්ථානයේයි.

ලොව සමහර රටවල මුළු ජාතික නිෂ්පාදිතයෙන් වැඩි ප්‍රමාණයක් කළු ආර්ථික කොටසින් පවත්වා ගෙන යනු ලබන අතර, එම රටවල දියුණුව අඩුය. දුප්පත්කම, විරැකියාව, ආදායම් ගලා යෑමේ විෂමතාව ඉතා ඉහළය.

ශ්‍රී ලංකාවේ මේ ආර්ථික කොටස මුළු ජාතික නිෂ්පාදිතයෙන් සියයට 35 ක් වේ. පකිස්තානයේ සියයට 32 කි. නේපාලයේසියට 30 කි. බංග්ලාදේශයේ සියයට 28 කි. අසල්වැසි ඉන්දියාවේ සියයට 18 කි. මෙලෙස කළු ආර්ථිකයන් පවත්වාගෙන යෑම නොදියුණුකමේ ලක්ෂණයක් නම් අප ඉන් මිදිය යුතුය. ඒ අනුව ශ්‍රී ලංකාව අවස්ථා 15 කදී පමණ මෙවැනි බදු සමා පනත් කෙටුම්පත් ඉදිරිපත් කර කළු සල්ලි සුදු කිරීමට උත්සාහ දරා ඇති බව ඉතිහාසය විමසීමේදී පෙනේ.

අප මේ ආර්ථිකයේ දෝෂ නිවාරණයට ක්‍රියා කර තිබෙනුයේ සත් අරමුණින් වුව, ඒ ක්‍රියාමාර්ග එතරම් ඵලදායි වී නොමැත. කක්කුට්ටා කුඹුරේ නියරේ හාරන පැත්ත වසා දැමීමට ක්‍රියා නොකොට වතුර පිටවන තැන වසා දැමීමට ක්‍රියා කරන ගොවි මහත්වරු ලෙස අප ක්‍රියා කර ඇත.

නිවැරැදිව නම් කක්කුට්ටා නියරේ හාරන පැත්ත වසා දමා කුඹුරේ ජලය ටික රැක ගත යුතුය. එසේ නොවී, කුඹුරේ ජලය පිටවන තැන් වසා දැමීම එතරම් ඵලදායි නොවනු ඇත. ආදායම් කාන්දු වැළැක්වීමට කිසිවක් නොකරනවාට වඩා මෙවන් දෙයක් කිරීම හෝ වටියි. ආණ්ඩුව මෙවර දරා ඇත්තේ දෙවැනි හොඳම විකල්පය, දෙවැනි හොඳම උපායමාර්ගය, දෙවැනි හොඳම විසඳුම ලබාදීමයි.

මෙරට කීර්තිමත් මුදල් ඇමැතිවරයකු වූ ආචාර්ය ඇන්. එම්. පෙරේරා මහතා හැත්තෑව දශකයේ ආරම්භයේදී රු.50/-, රු.100/- නෝට්ටු අවලංගු කොට නව මුදල් නෝට්ටු ලබාදීමට ක්‍රියා කළේ ද මෙවැනි උපායමාර්ගයක් ක්‍රියාත්මක කරමිනි.

ආණ්ඩුවේ ආදායම් අඩුවීම, අයවැය පරතරය වැඩිවීම, ආහාර අර්බුදයක් ඇතිවීම හා සමාජ ආර්ථික අභියෝග වැළැක්වීමට එදා එය ක්‍රියාත්මක කළ ද එකම ප්‍රතිකර්මය එය නොවීය. ඉන්දියාවේ මෝදි අගමැතිවරයා රුපියල් 500/- රු.1000/- නෝට්ටු අවලංගු කොට මේ පරිද්දෙන් වසර 2016 දී ක්‍රියාමාර්ගයක් ගනු ලැබූ බව අපට මතකය. බදු සමා පනතින් සිදුවනුයේ නීති විරෝධීව උපයාගෙන ඇති යම් මුදලක්, ධනයක්, දේපළක් නීත්‍යානුකූලභාවයට පත්කිරීමට ඉඩ ලබාදීමය. එහිදී ආණ්ඩුව විසින් සියයට 1 ක බද්දක් අය කරනු ලබයි. රුපියල් කෝටි 100 ක් ගෙන ආවොත් රජයට රුපියල් කෝටියක බදු ආදායමක් හිමි වේ. මේ අවස්ථාවේ ආණ්ඩුවට පිටරට සල්ලි හිඟ ය.

රජයේ ආදායම් අඩු වී තිබේ. මේ දෙයාකාර අභියෝගය ජය ගැනීමට මෙම පනත මඟින් මුලපිරීමක් සිදුකොට ඇත.

මෙලෙස බදු සමාවක් ලද විගස කෙනකුගේ මෙරට හෝ පිටරට සඟවා ඇති මුදල් හෝ වත්කම් රැගෙන ඒදෝ කියා සිතන්නට බැරිය. නමුත්! මේ සමාවෙන් පසු ආණ්ඩුව එම වත්කම් ඇති අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ යුතු බව අවධාරණය කළ යුතුමය. ඒ අනුව මේ පතාල බදු සහනය සාර්ථික වීම හෝ නොවීම සිදුවනු ඇත.

 

• ශ්‍රී ලංකාව මුහුණදෙන

දැඩි විනිමය අර්බුදයට

නව මුදල් පනතින්

ප්‍රබල පිළියමක්

ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක

වින්සන් මර්වින් ප්‍රනාන්දු

 

2021 දෙසැම්බර් 31 දිනට පෙර මෙතෙක් හෙළිදරව් නොකළ බදු අය විය යුතුව තිබූ සැපයුම්, ආදායම් හෝ වත්කම් මෙරට ආයෝජනය කරන අය (මෙම ආයෝජන දේශීය කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීම, රජය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම, දේශීය සමාගම් නිකුත් කරන ණයකර මිලදී ගැනීම හෝ ශ්‍රී ලංකාවේ නිශ්චල හා චංචල දේපළවල ආයෝජනය කිරීම හෝ විය හැකිය.) හෝ එම මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවල තැන්පත් කරන අය එම මුදල් 1% ක බද්දක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවීම පමණක් ප්‍රමාණවත් බව පවසමින් සම්මත කළ 'මුදල් පනත" කොවිඩ් වසංගතය සමඟ බිඳ වැටුණු ආර්ථිකය ගොඩ නැඟීමට ගත් හොඳම පිළියමක්ය යන්න අපේ විශ්වාසයයි.

මෙය තවදුරටත් පැහැදිලි කරනවා නම් ශ්‍රී ලංකාව මේ දිනවල පසුවනුයේ දැඩි ඩොලර් හිඟයකය. 2021 ජුලි මස අග වනවිට මහ බැංකුවේ දළ නිල සංචිත ප්‍රමාණය තිබුණේ අමෙරිකන් ඩොලර් බිලියන 2.8 ක් ලෙසය. එය ආනයන මාස 18 ක ආනයනවලට පමණක් ප්‍රමාණවත් විය.

එම සංචිතවලින් 2021 අගෝස්තු 27 දින ගෙවූ ඩොලර් බිලියනයක ජාත්‍යන්තර සෛරිත්ව බැඳුම්කර සමඟ නිල දළ සංචිත ඩොලර් බිලියන 1.8 මට්ටමට අඩු වී තිබේ.

එසේම බලපත්‍රලාබී බැංකුවල විදේශ සංචිත ඉතාම අඩු මට්ටමකට පත්ව තිබෙන නිසා "ණයවර ලිපි" (LC) විවෘත කිරීමට දැඩි ලෙස සීමා වී තිබේ. මේ තත්ත්වය තවත් දරුණු බවට පත් වී තිබෙන බව 2021 සැප්තැම්බර් 09 දින මහ බැංකුව නිකුත් කළ නිවේදනයකට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණ මත ලියවිලි ලබා දීමේ කොන්දේසි යටතේ තෝරාගත් අත්‍යවශ්‍ය නොවන හදිසි නොවණ භාණ්ඩ ආනයන කිරීම සඳහා 100% ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය සැප්තැම්බර් 8 දා තීරණය කිරීම භාණ්ඩ 623 කට බලපෑම් කරයි. මෙවැනි දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට මෙම නව මුදල් පනත හරහා ලැබෙන්නේ ක්ෂණික පිටුබලයකි.

මෙයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන අය පවසන්නේ මේ හරහා කළු මුදල් සුදු කිරීමට රජය දිරි දෙන බවය. මන්ද මෙම ආයෝජකයන් කරන ආයෝජන මුදල් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත, 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම් මැඬ පැවැත්වීමේ සම්මුති පනත, අල්ලස් පනතේ 26 පරිච්ඡේදය ඇතුළු පනත් ගණනාවක් යටතේ නිදහස ලැබෙන නිසාය. එසේ කිරීමට ඉඩ දීම වැරදි බව අපිදු පිළිගනිමු. එහෙත් ඒවා කරන කාලයේ ඒ අයට ඉඩ තිබූ රජයත් ඒ කාලයේම පියවරක් ගත්තේ නැත්තේ ඇයි ද? යන්න ගැන ඇසිය යුතුය.

අනෙක් අතට මෙහෙම හොරට සල්ලි හොයා ගත්තත් ඒ අය අපේම රටේ අයම වේ. ඒ අනුව අප මේ පනත හරහා ආරාධනය කළේ අපේ රටේම අයටමය. "අපේම අය යළි අපේම රටට ඩොලර් ගෙන එනවාය යන තර්කය මත පිහිටා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීමට අපේම අයගෙන් වැඩක් ගැනීම වරදක් යැයි මම නොසිතමි.

 

• ජාත්‍යන්තර ආයෝජන

දිනා ගැනීමට අවස්ථාවක්

අායෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක

අරෝෂ ප්‍රනාන්දු

 

මේ අවස්ථාවේ මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්ෂයන් ඉදිරිපත් කළ ඉතාම වටිනා පනත් කෙටුම්පතක් ලෙස මේ මූල්‍ය පනත හඳුන්වන්න පුළුවන්.

මෙය මුල්වරට ඉදිරිපත් කළ පනතක් හෝ අපට නුහුරු පනතක් නොවෙයි.

මෙවැනි පනත් සිංගප්පූරුව, ඩුබායි වැනි රාජ්‍යයන් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ හරහා එම රටවල් දියුණු වෙමින් පවතින රටවල් මට්ටමින් සංවර්ධිත මට්ටම ඉදිරියට යෑමක් සිදු වුණා.

මේ අවස්ථාවේ අපේ රටට වටිනාම පනත් ලෙස මෙය හඳුන්වන අතර, එවැන්නක් ඉදිරිපත් කිරීම අපි අගය කළ යුතුයි. මෙය‍ මේ රටේ නව ආයෝජන දිනා ගැනීමේ සලකුණක්, නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමක් වෙන්න ඕනෑ. එම නව ආයෝජන දිනා ගැනීමේ අලුත් පරිච්ඡේදය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ශ්‍රී ලාංකික සෑම සියලුදෙනා වාද බේද දුරලා රට පිළිබඳව සිතා එකාවන්ව ප්‍රාර්ථනා කළ යුතු මොහොතදැන් උදා වී ඇත.

 

Comments