ලාංකි­ක­යන් ද එක්වී දිනා­ගත් ටිමෝ­රයේ නිද­හස වෙනු­වෙන් දිගු­වෙන‍ මිත්‍ර­ත්වයේ දෑත් | Page 2 | සිළුමිණ

ලාංකි­ක­යන් ද එක්වී දිනා­ගත් ටිමෝ­රයේ නිද­හස වෙනු­වෙන් දිගු­වෙන‍ මිත්‍ර­ත්වයේ දෑත්

ටිමෝරය ඉන්දුනිසියන් පාලනයෙන් නිදහස් වි විසි වසර 2019 දී සැමරුවේ මෙසේය.
ටිමෝරය ඉන්දුනිසියන් පාලනයෙන් නිදහස් වි විසි වසර 2019 දී සැමරුවේ මෙසේය.

නැගඟනහිර ටිමෝරය හෙවත් ටිමෝර් - ලෙස්ටේ රාජ්‍ය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සඳහා වන යෝජනාවට මෙවර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. විදේශ අමාත්‍යවරයාගේ යෝජනාවට පසුගිය 13 වැනි දින පැවති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ එය ආර්ථිකමය හා දේශපාලන වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වේදිකාවල ශ්‍රී ලංකාවේ මැදිහත්වීම්වලදී ශ්‍රී ලංකාවට එරට සහාය ලබා ගැනීමේ වැදගත්කම පැහැදිලි කිරීමත් සමඟය.

නැඟෙනහිර ටිමෝරය ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස තහවුරු කර ගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇත. මේ වනවිට ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක් එරට සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගෙන තිබේ.

නැ‍ෙඟනහිර ටිමෝරය යන වචනය පවා ශ්‍රී ලාංකිකයන් දැන නොසිටි වකවානුවක මෙම රට ගැන මෙරැටියන් අතර පමණක් නොව මුළු ලෝකයේම අවධානය යොමු වූයේ ශ්‍රී ලාංකිකයකු නිසා ය. ඔහු ප්‍රෙඩී ගමගේ ය. ඉන්දුනීසියාවට යටත්ව තිබූ ටිමෝර් දිවයින සම්බන්ධයෙන් සමුළුවක් පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ප්‍රෙඩී ගමගේ මූලිකත්වයෙන් ලංකාවේ සමාජ ක්‍රියාකාරිකයන් සිවු දෙනෙක් පිලිපීනය බලා පිටත්ව ගිය නමුත් එකී සමුළුව පිලිපීන රජය විසින් තහනම් කර තිබිණි. සමුළුවට සහභාගිවීමට පැමිණෙන අයව පැමිණි ගුවන් යානාවලින් ම ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබිණි. ප්‍රෙඩී ගමගේ සිදුවීමට යන දේ

ලොව පුරා සියලු ජාත්‍යන්තර මාධ්‍යයන්හි 1994 මැයි 29 පළවූ ටිමෝර් සටනට ජවයක් සැපැයූ ප්‍රකට ඡායාරූපය මෙයයි. ශ්‍රී ලංකාවේ ප්‍රෙඩී ගමගේ පිලිපීනයේදී ගුවන් යානයට බලහත්කාරයෙන් රැගෙන යද්දී අත ඔසවාගෙන ටිමෝර් සටනට ජය පතා කෑගසන අයුරුය. ටිමෝර් අරගලයට සහාය පතා පිලිපීනයේ පැවැති සමුළුවක් එරට රජය මඟින් තහනම් කිරීමෙන් පසු මෙම සිදුවීම සිදු විය.

ඉවෙන් මෙන් හඳුනාගෙන ඒ අවස්ථාවේ කළ යුතු හොඳම දේ කල්පනා කළේ ය.

ඒ වනවිටත් ආපසු හරවා යැවෙන ජාත්‍යන්තර ක්‍රියාකාරිකයන් ගැන වාර්තා කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීහු පිරිසක් මැනිලා ගුවන් තොටුපොළේ රැඳී සිටියහ. ටිමෝරයේ ප්‍රශ්නය ගැන ලෝකයට ප්‍රකාශ කළ හැකි හොඳම අවස්ථාව මෙය බව වටහා ගත් ප්‍රෙඩී ගමගේ ගුවන් තොටුපොළ පර්යන්තය තුළ අත් ඔසවා, නැගෙනහිර ටිමෝර අරගලය ගැන වේගවත් කතාවක් ආරම්භ කළේ ය. 1994 මැයි 29 වැනි දින ගුවන් තොටුපොළ නිලධාරීන්ගේ බාධා මැද තගාලොග් සහ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ ප්‍රෙඩී ගමගේගේ කතාව විනාඩි 5 කට සීමාවූයේ ගුවන් තොටුපොළ නිලධාරීන් ඔහුව බලහත්කාරයෙන් ගුවන් ‍යානාවක් වෙත කැටුව ගිය නිසා ය. එහෙත් ඔහුව බලහත්කාරයෙන් පිටුවහල් කිරීමේ පුවත රැගත් ඡායාරූප ලංකාවේ පුවත්පත්වල පමණක් නොව AFP, රොයිටර්, BBC වැනි මාධ්‍ය ඔස්සේ මුළු ලෝකයේම පළ වූයේ ටිමෝරයේ නිදහස උදෙසා අරගලයක නිරත වන ශක්තිමත් සහයෝගිතා එකතුවක් වූ ‘තෙවන ලොව මිතු‍රෝ’ ගොඩනැඟීම සඳහා අඩිතාලම දමමිනි.

ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් රටවල් ඒ ආකාරයට පෙළ ගැසුණේ ඒ වකවානුව වනවිට එරට ඉන්දුනීසියාවට යටත්වී තිබූ නිසාය. 1975 දෙසැම්බර් 05 වැනිදා ඉන්දුනීසියාව විසින් සිය හමුදාව යොදවා නැගෙනහිර ටිමෝරය යටත් කරගෙන ඉන්දුනීසියාවේ පළාතක් ලෙස පාලනයට නතු කර ගත්තේ ය. එහෙත් 16 වැනි සියවසේ පටන් ටිමෝරය යටත්වී තිබුණේ පෘතුගාලයට ය. 1975 නොවැම්බර් 28 වැනිදා පෘතුගීසීන්ගෙන් නිදහස ලැබූව ද නැගෙනහිර ටිමෝරය නිදහස් රාජ්‍යයක් ලෙස පැවතුණේ දින 9 ක් පමණි. ඊට හේතුව ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝරය යටත් කර ගැනීමයි.

ඉන්දුනීසියානු පාලන බලය තිබූ කාලයේ දී නැගෙනහිර ටිමෝරයේ ජනගහනයෙන් 1/3 ක් පමණ සාගත හෝ ඝාතන විසින් බිලිගෙන තිබුණි. එදා මිය ගිය අයකු නැති නිවසක් ටිමෝරයේ සොයා ගැනීම, නොමළ ගෙදරකින් අබ මිටක් සොයා යෑම තරමටම දුෂ්කර විය. ඒ නිසාම එදා ජාත්‍යන්තර මාධ්‍ය විසින් එරට හැඳින්වූයේ කුරුස රටක් ලෙසිනි.‍

ටිමෝරයේ නිදහස් අරගලය පෙරමුණු දෙකකින් ක්‍රියාත්මක විය. ඉන් එකක් වූයේ සංකේතාත්මක ලෙසින් දියත් වූ සන්නද්ධ අරගලයයි. ටිමෝර නිදහස් අරගලයේ නායකයා වූයේ කාගේත් ආදරයට පාත්‍ර වූ ෂානානා ගුස්මාවෝ වන අතර ඔහු ‍ ‘පෙටලින්’ ලෙස හැඳින්වූ සන්නද්ධ අංශයේ නායකයා ද විය.නිදහස පතා වඩාත් ශක්තිමත් ලෙසින් ක්‍රියාත්මක වූ තීරණාත්මක සටන් පෙරමුණ වූයේ ජාත්‍යන්තර සහයෝගය මුල් කරගත් අරගලයයි. සිය නිදහස් අරගලය තුළ ටිමෝර අරගලකරුවන් වැඩි විශ්වාසයක් තබා තිබුණේ ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගය කෙරෙහි වීම විශේෂත්වයකි. 1975 ඉන්දුනීසියාව විසින් ටිමෝරය යටත් කර ගැනීමත් සමඟ ජන අරගල නායකයෝ විවිධ රටවල්වලට රහසිගත ව පලා ගියහ. නැගෙනහිර ටිමෝරයේ දින 9 ක් පමණක් පැවැති රාජ්‍යයේ පළමු විදේශ අමාත්‍යවරයා වූ රාමෝස් හොර්තා ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර සහයෝගිතා ජාලය ගොඩනැඟීමට සුවිසල් දායකත්වයක් සැපයූ ප්‍රධාන ම චරිතය විය.

පිලිපීනයේ මැනිලා නගරයේ ටිමෝර ජන අරගලයට සහාය පළ කරමින් ආසියා පැසිපික් කලාපයේ ක්‍රියාකාරින්ගේ සමුළුවක් 1994 දී පැවැත්වීමට සංවිධානය කර තිබියදී ඉන්දුනීසියානු රාජ්‍ය බලපෑමෙන් පිලිපීන රජය විසින් තහනම් කරනු ලැබුවේ මෙම සමුළුවය. එදා ආපසු හරවා යැවුණු පිරිස අතර මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා මිතරන්ගේ බිරිය ද සිටියාය‍.

ටිමෝරයේ නිදහස් අරගලය ගැන ලෝකයාගේ ම දෙනෙත් විවර කළ සිද්ධියක් 1991 නොවැම්බර් 12 වැනිදා සිදු විය. ඒ, ඉන්දුනීසියානු හමුදා වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය සෙබස්තියන් ගෝමස් නම් තරුණයාගේ අවමඟුල සාන්ත කෲස් සුසාන භූමියේ විශාල ජනකායක් මැද සිදු කෙරෙන මොහොතේ ඉන්දුනීසියානු හමුදාව විසින් වෙඩි තැබීම නිසා 250 කට ආසන්න පිරිසක් මිය යෑමයි. මෙම මළ සිරුරු ට්‍රක් රථවල පටවා හොර රහසේ මුහුදට දමා තිබිණි. එහෙත් මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යවේදියකු විසින් හොරෙන් වීඩියෝ කර සමාජ ක්‍රියාකාරිනියකගේ යට කලිසම තුළ සඟවා ඇය ඔසප් හැදුණු අයකු ලෙස හඟවමින් සූක්ෂමව රටින් පිට කර ලෝකයටම ප්‍රසිද්ධ කරනු ලැබීය.

තෙවන ලොව මිතුරෝ ටිමෝරයේ නිදහස් අරගලයට සහයෝගය ලබාදෙන අතරවාරයේ, නිදහස ලබන තුරුම ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතා ජාලය ලෙස APCET (Asia Pacipic Coalition For East Timor) ක්‍රියාකාරී විය. මැනිලා සමුළුවේදී පළමු වරට පත්කර ගැනුණු 5 දෙනකුගෙන් යුක්ත ක්‍රියාකාරී කමිටුවට ලංකාවේ ප්‍රෙඩී ගමගේව ද ඇතුළත් වීම විශේෂයෙන් සිහිපත් කළ යුතු ය.

1996 දී ලංකාවේ පැවැත්වූ විශේෂ පුහුණු සැසියක ප්‍රධාන දේශකයකු ලෙස සහභාගි වූ ටිමෝර් නිදහස් අරගලයේ අන්තර්ජාතික ප්‍රකාශකයා වූ රාමෝස් හොර්තා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැහැදිලිව ප්‍රකාශ කළේ තවත් වසර 4 ක් ඇතුළත නිදහස් ටිමෝර රාජ්‍ය ස්ථාපිත කළ හැකි බවයි. ඔහු දැඩි විශ්වාසයෙන් පැවසූ ආකාරයටම වසර 4 කින් ටිමෝරය නිදහස ලැබීය.1999 අගෝස්තු 30 වැනිදා එක්සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් පැවැති ජනමත විමසුමේදී ටිමෝර ජාතිකයන් අති බහුතරයක් ඉන්දුනීසියාවෙන් වෙන්ව සිය නිදහස් ටිමෝර් රාජ්‍යය ස්ථාපිත කිරීම සඳහා ඡන්දය පාවිච්චි කර තිබුණි. ඒ අනුව 2002 වර්ෂයේ මැයි 20 වැනිදා 21 වැනි සියවසේ නව ස්වාධීන රාජ්‍යය ලෙස නැගෙනහිර ටිමෝරය ප්‍රකාශයට පත් විය. නිදහස් ටිමෝරයේ පළමු ජනපති වූයේ ෂානානා ගුස්මාවෝ ය.

වර්ග කිලෝමීටර් 15,410 කින් යුක්ත නැගෙනහිර ටිමෝරය පහළ මධ්‍යම ආර්ථිකයක් ඇති රටකි. මූලික අවශ්‍යතා හෝ සපුරාගත නොහැකිව පසුවෙන නැගෙනහිර ටිමෝරය ලෝකයේ රාජ්‍යයන් අතර මානව සංවර්ධිත සටහනේ 162 වැනි ස්ථානයේ පසුවන අතර ආසියාවේ පහළම මානව සංවර්ධනයක් පෙන්වන රටවල් අතරින් 2 වැනි තැන ගනී. ටිමෝරයේ ජනතාවට ඇතැම් ශල්‍යකර්ම පවා සිදුකර ගැනීමට ඉන්දුනීසියාවට යෑමට සිදුවී තිබේ.

ඛනිජ තෙල් සම්පත ටිමෝර් මුහුදේ තිබුණ ද ඒවායේ වාසිය ලබාගන්නේ ඕස්ට්‍රේලියාව විසිනි.

98% කතෝලිකයන් වාසය කරන ටිමෝරයේ මුස්ලිම් මෙන් ම ප්‍රොතෙස්තන්ත්‍ර ආගමිකයෝ ද ඉතා සුළු පිරිසක් සිටිති. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනාගමික ව්‍යවස්ථාවක් ලෙස සකස් කරගැනීමට රට පාලනය කරන නිදහස් අරගලයේ නායකයන් කටයුතු කර තිබීම සුවිශේෂී දෙයකි. එමෙන් ම දේශපාලනය තුළ හා පාර්ලිමේන්තුව තුළ ද ඉහළ කාන්තා සහභාගිත්වයක් පවත්වා ගැනීමට කටයුතු කිරීමෙන් ඔවුන්ගේ ප්‍රගතිශීලීත්වය මනාව නිරූපණය වේ. ආර්ථිකය ඉතා දිළිඳු තත්ත්වයක තිබුණ ද සිය රටේ මුදල් ඒකකය වශයෙන් ඇමෙරිකානු ඩොලරය හඳුන්වා දී ඇත.

බ්‍රසීලය ලොව සුපිරිතම කෝපි නිෂ්පාදකයා ලෙසින් ප්‍රසිද්ධියට පත්වී සිටිය ද නැගෙනහිර ටිමෝරයේ කෝපිවලට මේ දිනවල ලෝකයේ අවධානය යොමු වී තිබේ. සියලුම නිෂ්පාදන කාබනික පොහොර භාවිතයෙන් සිදු කෙරෙන බැවින් වස විස නැති ආහාර අනුභව කිරීමට නැගෙනහිර ටිමෝරයේ ජනතාව වාසනාවන්ත වී ඇත. එරට පාසල් විෂය මාලාව සකස් කිරීමේදී පවා කාබනික ගොවිතැනට මූලිකත්වය දී තිබෙන්නේ වස විසෙන් තොර රටක් සහ නිරෝගී ජනතාවක් රටකට මහඟු සම්පතක් වන නිසා ය.

Comments