වසර 76ක් සපුරන එක්සත් ජාතීන්ගේ සංවිධානය | Page 2 | සිළුමිණ

වසර 76ක් සපුරන එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතින්ගේ සංවිධානය යන නම අපට හොඳින් හුරුපුරුදුය. අප විශ්වාස කරන පරිදි එය දැනට ලෝකයේ පවතින් ප්‍රබලතම සංවිධානයද වේ. මෙවැනි සංවිධානයක් බිහි කිරීමේ අවශ්‍යතාව මෙන්ම එහි ක්‍රියාකාරිත්වය සහ එහි මැදිහත්වීම් අනුව පෙනී යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්තමාන ලෝකයට නොමැතිවම බැරි එකමුතුවක් බවයි.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවන්නේ පසුගිය සියවසේදී ඇති ලෝක පරිමාණ අවශ්‍යතාවක් සපුරාලීමටය. ඒ අවශ්‍යතාව අන් කිසිවක් නොව ප්‍රධාන වශයෙන්ම ‘සාමයයි’. විසිවන සියවසේ ආරම්භය ලෝක වාසීන්ට ඉතා කටුක වූයේ එක පිට එක පැතිර ගිය ලෝක යුද්ධ දෙකක් හේතුවෙනි. විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් ඉතා විශාල, එමෙන්ම ම්ලේච්ඡ ජන සංහාරයක් සිදු වූ පසු යළිත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට සමස්ත ලෝක වාසීන් එක්ව කටයුතු කළ යුතු බවට මතයක් ඇති විය. එක්සත් ජාතින්ගේ සංවිධානය ආරම්භ වන්නේ එම මතයට අනුවය.

මේ මතයට අනුව කටයුතු කරමින් ප්‍රථමව රටවල් 50ක් එක්ව ලෝකයේ රටවල් අතර සමගි සන්ධානයක් පිළිබඳව සාකච්ඡා පවත්වන්නේ 1945 වර්ෂයේදීය. එම වසරේ අප්‍රේල් මාසයේ 25 වැනි දින සැන් ෆ්රැන්සිස්කෝ නගරයට එක්වූ රටවල් 50ක සාමාජිකයන් එක්සත් ජාතින්ගේ සංගමය කෙසේ විය යුතු දැයි ප්‍රථම සාකච්ඡාව පැවැත්වූහ. එම රැස්වීමේදී ඇති කර ගත් එකඟතාවලට අදාළ වෙමින් 1945 ජූනි මස 25 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ කෙටුම්පතක් එළිදැක්වීමට කටයුතු කළ අතර සියල්ල සම්පාදනය කිරීමෙන් අනතුරුව එම වසරේම ඔක්තෝබර් මස 24වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

මේ සංවිධානය පිහිටුවීමේ සිටම එහි ප්‍රධාන අරමුණ වශයෙන් ප්‍රකාශයට පත් වූයේ ලෝකයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීමයි. ඊට අමතරව මානව අයිතිවාසිකම් සුරැකීම, සහ යම් යම් අවස්ථාවලදී මානුෂීය ආධාර ලබා දීමද එම සංවිධානයේ ප්‍රධාන වගකීම් අතර ඉදිරියෙන්ම විය. ලෝකය සාධාරණ තැනක් කිරීමේ ලා ගත යුතු එක් වැදගත්ම පියවරක් වන තිරසාර සංවර්ධනය ඇති කිරීම සහ අන්තර්ජාතික නීතිය ආරක්ෂා කිරීමද එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ සිට එහි තවත් වැදගත් අරමුණු අතර විය.

1945 වසරේ ඔක්තෝබර් 24 වැනිදා නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කරන විට එහි සාමාජික රටවල් 51ක් වූ අතර මේ වන විට එහි සාමාජික රටවල් සංඛ්‍යාව 193ක් වේ. එහි මේ දක්වා අවසන් සාමාජිකත්වය ලබා ගත් රට වන්නේ දකුණු සූඩානයයි. දකුණු සුඩානය බෙදී වෙන්වීමෙන් පසුව 2011 වසරේදී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ අනුව ලෝකයේ පවතින සෑම නිදහස් හා ස්වාධීන රාජ්‍යයන් සියල්ලම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව පැවසිය හැකිය.

ලෝකයේ සෑම රටකටම එක්සේ සාධාරණ වීම, එමෙන්ම කිසියම් රටකින් තවත් රටකට බලපෑම් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම මෙන්ම කිසියම් රටක ජනතාවට එම රට අභ්‍යන්තරයෙන්ම ගැටලු ඇති වන්නේ නම් එහිදීද මැදිහත් පාර්ශ්වයක් ලෙස කටයුතු කිරීම යනාදිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩකටයුතු අතර මූලික වූ අතර ලෝක වාසීහුද එවැනි මැදිහත්වීම් එම සංවිධානයෙන් අපේක්ෂා කළහ.

උදාහරණයක් ලෙස පසුගිය පෙබරවාරි මාසයේදී මියන්මාරයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමමින් හමුදාව බලය අත්පත් කර ගත් අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තම බලය පවතින සීමාවේ සිටිමින් මියන්මාරය තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා උත්සාහ යෙදීම දැක්විය හැකිය.

ඉතිහාසය විමසන විට පෙනී යන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය ආරම්භයෙන් පසු ලොව සාමය ඇති කිරීමට විශේෂ කාර්ය භාරයක් සිදු කර ඇත්තේ සීතල යුද සමයේදී බවයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ බලවතා වීමට ඇමරිකාව සහ රුසියාව අතර පැවති තරගය යුද්ධයක් දක්වා වර්ධනය වීම වැළැක්විම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලැබූ විශාල සාර්ථකත්වයක් ලෙස දැක්විය හැකිය. එහෙත් කාලය ගතවීමත් සමඟ අද වන විට එම සංවිධානයේ බලය ඉක්මවමින් කටයුතු කිරීමට ඇතැම් රටවල් ක්‍රියාකරනු දැකගත හැකි අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් ආරක්ෂා කිරීම වැනි ක්‍රියා සම්බන්ධව ඉල්ලීම් කරනු හැර වෙනත් බලපෑම් කළ නොහැකි අවස්ථාවන්ට මුහුණ දෙනු ද දැක ගත හැකි විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන හමුව වන්නේ සාමාජික රටවල නායකයන්ගේ සහභාගීත්වයෙන් සිදුවන ‘මහා සම්මේලනයයි’. සංවිධානය බිහි කිරීමෙන් අනතුරුව එහි ප්‍රථම මහා සම්මේලනය ලන්ඩන් නගරයේ මෙතෝදිස්ත ප්‍රධාන ශාලාවේදී පැවති අතර එතැන් පසු රටවල් කිහිපයකදී තවත් මහා සම්මේලන කිහිපයක්ම පැවැත්විණි. එහෙත් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු එම මූලස්ථාන ගොඩනැගිල්ල වැඩි වශයෙන් සංවිධානයේ ප්‍රධාන රැස්වීම් පැවැත්වීම සඳහා භාවිත කෙරිනි.

ලෝකයේ ආරක්ෂාව සම්බන්ධව විශේෂ බලතල සහිත සංවිධානය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය දැක්විය හැකිය. ආරක්ෂක කවුන්සලයේ සාමාජිකයන් පත් කිරීම ඉතා සමබරව සිදු කර ඇති අතර එවකට ලෝකයේ බලවතුන් තීරණය කිරීමට දායක වූ සමාජවාදී සහ ධනවාදී මාවත් තෝරා ගත් රටවල් පැහැදිලිව නියෝජනය වන පරිදි නිෂේධ බලය සහිත සාමාජිකයන් පත් කර තිබේ. චීනය, ප්‍රංශය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක කවුන්සලයේ නිෂේධ බලය හිමි රටවල් වන අතර වරින්වර ආරක්ෂක කවුන්සිලය නියෝජනය කිරීමේ අවස්ථාව සෑම රටකටම පාහේ ලැබෙන පරිදි එහි සාමාජිකත්වය රටවල් 15කට සීමා කර තිබේ.

මීට අමතරව ආර්ථික සහ සමාජීය කවුන්සිලය, සාධාරණත්වය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය යනාදී වශයෙන් වන තවත් අංශ රාශියකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමන්විත වේ. ලෝකයේ දුර්ලභ නටබුන් සහ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම, දරුවන්ට ආරක්ෂිත ජිවිතයක් ළබා දීම, ලෝකයේ සියලුම මිනිසුන්ට පිරිසිදු පානීය ජලය ලබා දීම යනාදී වැඩසටහන් රාශියක් එක්සත් ජාතින්ගේ සංවිධානය යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නේ එම සංවිධානය පිහිටුවීමෙන් වසර තුනක් ගතවීමෙන් පසුවය. එනම් 1952 වසරේදීය. එම වසරේදී සාමාජිකත්වය අපේක්ෂා කිරීමෙන් පසුව 1955 වසරේ දෙසැම්බර් 14වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට සාමාජිකත්වය ලබා දුන් අතර මේ දක්වා ශ්‍රී ලංකාව එම සංවිධානයේ ගෞරවනීය සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනතාවට නොයෙක් ප්‍රතිලාභ ලබා දෙන අතර ශ්‍රි ලංකා රජය සෑම විටම එක්සත් ජාතින්ගේ සාමාජිකයකු ලෙස ලොවට වගකියන රටක් ලෙස කටයුතු කරමින් සිටී.

මෙවරද එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ඉදිරි සතියේදී නිව් යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර් 21 වැනිදා එරට වේලාවෙන් සවස් කාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ඇමතීමට නියමිතය.

 

Comments