
අවට පරිසරය දෙස විමසිලිමත් වන්නේ නම් මේ දිනවල ඔබට ගෙවත්තේ තුරුලතා වෙත පැමිණෙන ආගන්තුක කුරුල්ලන් දැකගත හැකිය. නෙක පැහැති, නෙක හැඩැති ඒ කුරුල්ලන් දුටු විට බොහෝ දෙනකුට මතකයට නැඟෙන්නේ පිටරට සිට අවුරුදු පතා මෙරටට පැමිණෙන සංක්‍රමණික කුරුල්ලන්ය. මේ සැප්තැම්බරය සංක්‍රමණික කුරුල්ලන් ලංකාවට පැමිණෙන කාලය වුවත් මේ කතාව ඒ කුරුල්ලන් ගැන නම් නොවේ. මෙරට වියළි කලාපයේ සිට තෙත් කලාපයට පැමිණ දැන් එහි ස්ථාපිත වී සිටින කුරුල්ලන් ගැනය. ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ පිහිටි වැඩිම වැසි ලැබෙන, ජෛව විවිධත්වයෙන් ඉතාම අනූන සිංහරාජය වැනි වැසි වනාන්තර සහිත පරිසර පද්ධති පිහිටා ඇත්තේද තෙත් කලාපය තුළය.
ප්‍රවීණ පක්ෂිවේදී දීපාල් වරකාගොඩ පවසන පරිදි එසේ වියළි කලාපයේ සිට තෙත් කලාපයට ස්ථාපිත වූ කුරුල්ලන් මූලික වශයෙන් වර්ග දෙකකි. එක් වර්ගයක් ස්වාභාවිකව තෙත් කලාපයේ ස්ථාපිත වූ පක්ෂීන් වන අතර සෙසු වර්ගය දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් එම සත්වෝද්‍යානය තුළ නිදහස් කොලනියක් හඳුන්වා දීමත් සමඟ තෙත් කලාපයේ ස්ථාපිත වූ පක්ෂීන්ය. ඒ අනුව කලකට පෙර වියළි කලාපයේ ජීවත් වූ කුරුලු වර්ග 15ක් පමණ මේ වන විට මෙරට තෙත් කලාපය තුළ හොඳින් ස්ථාපිත වී සිටී. ඒ අතරින් බහුතරය ජලාශ්‍රිත කුරුල්ලන් වන අතර කුරුලු වර්ග 3ක් පමණක් ජලාශ්‍රිිත නොවන වනාන්තර කුරුල්ලන්ය.
එම කුරුල්ලන් තෙත් කලාපයට පැමිණීම 1970 දශකයේ අවසානයත් 80 දශකයේ ආරම්භයෙනුත් පසු කාලයේදී සිදුවන්නට ඇතැයි පක්ෂිවේදීහු උපකල්පනය කරති. එම කාලයේදී තෙත් කලාපයේ බොහෝ කුඹුරු සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වගුරු බිම් බවට පත්වීමත් විවෘත ජලාශ ඇතිවන්නට පටන් ගැනීමත් ඊට හේතු වී ඇත.
වියළි කලාපයේ සිට එසේ තෙත් කලාපයට පැමිණි ජලාශ්‍රිත නොවන කුරුල්ලන් අතර ප්‍රධාන වන්නේ මොනරා (Indian Peafowl)ය. මේ වන විට හිටිහැටියේ අගනුවර ගෙවතුවලදී පවා දැකගත හැකි මොනරා 80 දශකයේ මුල් කාලය වන විටත් සම්පූර්ණයෙන්ම වාසය කළේ වියළි කලාපයේය. එහෙත් 80 දශකයේ අවසානයත් 90 දශකයේ මුලාරම්භයත් වන විට වියළි කලාපයත් තෙත් කලාපයත් මැදිව පිහිටි පාරිසරික ලක්ෂණ මිශ්‍ර වූ අන්තර් මැදි කලාපය තුළ ස්ථාපිත වූ මොනරුන්ගේ ගහනය ක්‍රමයෙන් වැඩිවන්නට විය. පොළොව මත ජීවත් වන භෞමික පක්ෂියකු වන මොනරුන් තෙත් කලාපයේ දකුණු ප්‍රෙද්ශයට ඇතුළු වූයේ අන්තර්මැදි කලාපය තුළින් යැයි පක්ෂිවේදිහු උපකල්පනය කරති. 90 දශකයේදී දකුණේ තංගල්ල, මාතර ප්‍රෙද්ශවලින් හමුවූ මොනර ගහන ක්‍රමිකව ඒ ආසන්න තෙත් කලාපීය පහත්බිම්වල තේ වතු ආශ්‍රිතව ස්ථාපිත වීමෙන් මොනර ගහනය වැඩිවීම සිදුවන්නට ඇතැයි කිව හැකිය.
එසේ ස්ථාපිත වීමට පෙර තෙත් කලාපයේ තැනින් තැන මොනරු
වාර්තා වී ඇති අතර ඊට හේතු ලෙස පක්ෂිවේදීහු උපකල්පනය කරන්නේ ඉතා අලංකාර පක්ෂියකු වන මොනරා ඇතැම් විහාරස්ථානවල සහ විශාල වතු හිමිකරුවන් විසින් සුරතල් පක්ෂියකු ලෙස ඇතිකර තිබීමයි. එවැනි ගෘහස්ත ස්ථානවලින් මිදී ආ මොනර ගහන මෙන්ම 1970ට පෙර කාලයේ අකුරැස්ස ප්‍රදේශයේ කිකිළියන් ලවා මොනර බිත්තර රැක්කීමෙන් ව්‍යාප්ත වූ මොනර
ගහන ද එක්වීමෙන් මේ වන විට තෙත් කලාපයේ ස්ථාපිත වී ඇති මොනර ගහන නිර්මාණය වූවා විය හැකිය.
පක්ෂිවේදී දීපාල් වරකාගොඩ පැවසුවේ ඔහුගේ මිත්‍ර වෛද්‍යවරයකු වන සංඛ රන්දෙනිකුමාර විසින් හෙළි කරගෙන ඇති කරුණුවලට අනුව කළුතර දිස්ත්‍රික්කයේ කටුපොල් වගාව ඇති කිරීමෙන් පසු වගාවට හානි කරන සර්පයන් විනාශ කිරීමට මොනරුන් හඳුන්වා දීම තුළින් ඇති වූ ගහනයත් මෙයට එකතු වී ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟ එම මාර්ගය දෙපස ප්‍රදේශ හොඳින් එළිවීම සහ එම ප්‍රදේශ එකිනෙක පහසුවෙන් සම්බන්ධ වීමත් නිසා මොනරුන්ට ඒ ආශ්‍රිත තෙත්කලාපීය ප්‍රදේශවලට පහසුවෙන් පිවිසීමට හැකිවී ඇති බවද පක්ෂිවේදී දීපාල් පැවසීය. මේ වන විට කොළඹ සහ ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශවල ගෙවතුවලදී වරින් වර දැකගත හැක්කේ ඒ ආකාරයෙන් පැමිණි මොනරුන් ය. මොනරුන් මෙසේ නාගරික පරිසර හරහා යන්නේ ඔවුන්ට ස්ථාපිත වීමට සුදුසු තවත් වාසස්ථාන සෙවීමට විය හැකි බවද ඔහුගේ අදහසයි. කෙසේ වෙතත් මොනරා තෙත් කලාපයේ ස්ථාපිත වී සිංහරාජය වැනි වැසි වනාන්තර තුළට පවා පිවිසීම ඒවායේ ජීවත්වන ආවේණික උරග ගහනවලට සහ එවැනි වෙනත් කුඩා සත්ත්ව ගහනවලට තර්ජනයක් වන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
වියළි කලාපයෙන් තෙත් කලාපයට පැමිණි ජලාශ්‍රිත නොවන අනෙක් පක්ෂියා අටු බකමූණා (Barn Owl)ය. සාමාන්‍යයෙන් ගෙවතුවල හමුවන බස්සන්ට වඩා විශාලත්වයෙන් වැඩි සහ ඉතා අලංකාර පක්ෂියකු වන අටු බකමූණා මුලින්ම දැකගැනීමට ලැබී ඇත්තේ තෙත් කලාපයට උතුරින් පිහිටි වියළි කලාපීය ප්‍රදේශවලය. කැලෑවට වඩා මිනිස් වාසය සහිත අතහැර දමා ඇති විශාල ගොඩනැඟිලිවල නිදහසේ ලැඟුම් ගැනීමට වඩාත් කැමති අටු බකමූණා දඩයම් කරන්නේ මීයන් වැනි කුඩා කෘන්තක සතුන්ය. එවැනි සතුන් ජීවත්වන විශාල වගුරුබිම් සහ තෘණ භූමි සහිත පරිසර පද්ධති කොළඹ සහ ඒ අවට බහුලවීම අටු බකමූණන් කොළඹ ආශ්‍රිත තෙත් කලාපයේ ස්ථාපිත වීමට හේතුවී ඇත.
ඉතා අලංකාර පක්ෂියකු වන මහ රන්කෑරලා (White-naped Woodpecker) ද මුල් කාලයේ වියළි කලාපයේ පොල්වතු සහ විශාල විවෘත කැලෑවන් වාසස්ථානය කරගනිමින් ජීවත්වී ඇති අතර මුලින්ම තෙත් කලාපයේ එවැනි පක්ෂීන් හමුව ඇත්තේ මීගමුව, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලිනි. දැනටත් මෙම කෑරලා තෙත් කලාපයේ සුලබව දැකිය නොහැකිය.
වියළි කලාපයෙන් තෙත් කලාපයට පැමිණි සිය රාජධානි ගොඩනඟාගෙන සිටින ජලාශ්‍රිත පක්ෂීන් අතර අළු පැස්තුඩුවා (Spot-billed Pelican) ප්‍රධාන වේ. මුල් කාලයේදී සම්පූර්ණයෙන් වියළි කලාපයේ ජීවත් වූ පක්ෂියකු වන අළු පැස්තුඩුවා පමණක් නොව ඇඹල මානකොකා (Painted Stork) බෙල්ලන්කොකා, සුදු දෑතුඩුවා, දාර දියකාවා, මහ දියකාවා සහ හංසකාවා (Darter) ආදී පක්ෂීන්ද තෙත් කලාපයට පැමිණීමට හේතු වූ මූලික කරුණක් පිළිබඳ පක්ෂිවේදී දීපාල් වරකාගොඩ පැවසීය. ජාතික සත්වෝද්‍යානය කලින් කලට තෙත් කලාපයෙන් හමු නොවන වියළි කලාපයේ ජීවත් වූ එම ජලාශ්‍රිත කුරුල්ලන් සත්වෝද්‍යානයට ගෙනැවිත් එහි ´ගල්වළ´ නමින් හැඳින්වෙන විශාල වතුර වළ ආශ්‍රිතව එම පක්ෂීන්ගේ නිදහස් කොලනියක් ඇති කර ඇත. එසේ සත්වෝද්‍යානයේ වාසය කළ ´පෙලිකන්´ නමින් බොහෝ දෙනකු දන්නා අළු පැස්තුඩුවා ගල්වළ ආශ්‍රිතව විශාල වශයෙන් බෝවී ඇති අතර 90 දශකයේදී සත්වෝද්‍යානයෙන් පිටතට විත් වෙනත් ස්ථානවල බෝවීම ආරම්භ වී ඇත.
‘‘ මුල්ම කාලේ පෙලිකන්ලා සත්වෝද්‍යානයේ ඉඳලා කොළඹ බේරේ වැවට ආවා ගියා. පස්සේ සත්වෝද්‍යානයෙන් පිටත බෝ වෙන්න පටන් ගත්තාට පසුව පෙලිකන්ලා මුලින්ම කූඩු හැදුවේ ගාලු පාරේ දෙහිවල- වැල්ලවත්ත වෙන්වන පාලම ළඟ තිබුණු විශාල නුග ගහේ. ඊටපස්සේ ක්‍රමයෙන් කොළඹ වොක්ෂෝල් වීදියේ නුග ගස්වල හොඳ ගහනයක් ඇතිවුණා. කොළඹ අවට ප්‍රදේශවල අලුතින් විවෘත ජලාශ පද්ධති ඇතිවීමත් සමඟ දැන් ගහනය තවත් වැඩිවී තිබෙනවා.¨
පක්ෂිවේදී දීපාල් වරකාගොඩ පැවසුවේ කොළඹ පත්තර මහගෙදර ලේක්හවුසිය ඉදිරිපිට පහන් කණු මත නිතර ලැග ඉන්නා විශාල පැස්තුඩුවන්ගේ දසුන සිහිකරමිනි.
මානකොක් පවුලට අයත් විශාල ඉතාම අලංකාර පක්ෂියකු වන ඇඹල මානකොකා සහ ප්‍රමාණයෙන් ඊට කුඩා බෙල්ලන්කොකා (Asian Openbill) මුලින් සම්පූර්ණයෙන්ම වියළි කලාපයේ ජීවත් වූ පක්ෂීන් වන අතර තෙත් කලාපයේ පැතිර යෑම සිදුව ඇත්තේ පැස්තුඩු ගහන ඇති වූ ආකාරයෙන්මය. එනම්, සත්වෝද්‍යානය තුළින් සිදු වූ පැතිර යෑමක් ලෙසටය. සුදු දෑතුඩුවා (Black-headed Ibis) හෙවත් දෑකැති කොකා ලෙස හඳුන්වන පක්ෂියා තෙත් කලාපයේ ස්ථාපිත වී ඇත්තේද සත්වෝද්‍යානය තුළින් සිදු වූ ගහනයක් ලෙසිනි. ඊට අමතරව වියළි කලාපයේ සිට මෙම වර්ගවල පක්ෂීන්ගෙන් යම්කිසි ප්‍රමාණයක් තෙත් කලාපයට පැමිණෙන්නට ඇතැයි උපකල්පනය කරන පක්ෂිවේදීහු පවසන්නේ එම ගහන දෙකම එක්වීමෙන් කොළඹ සහ අවට ආශ්‍රිතව විශාල ගහන ඇතිවන්නට ඇති බවයි.
![]() |
මොනරා |
කොළඹ අවට ජලාශවල නිරන්තරයෙන් දැකිය හැකි දියකාවන් බැලූ බැල්මට එක හා සමානව පෙනුණද දියකාවන් වර්ග 3ක් සිටින බව පක්ෂිවේදී දීපාල් වරකාගොඩ පැවසීය. ඒ අතරින් ප්‍රමාණයෙන් කුඩාම පුංචි දියකාවා මුල සිටම තෙත් කලාපයේ ජීවත්ව ඇත. දාර දියකාවා (Indian Cormorant) ගහනය සැකසී ඇත්තේ පෙර කී ලෙස සත්වෝද්‍යානය තුළින් ඇති වූ ගහනය සහ වියළි කලාපයෙන් තෙත් කලාපයට ඇතුළු වූ ගහන එක්වීමෙනි. මහනුවර වැව ආශ්‍රිතව ස්ථාපිත වී ඇති දාර දියකාවන් ගහනය ඇති වූයේ වියළි කලාපයෙන් පැමිණි පක්ෂීන්ගෙනි. මේ වන විට ප්‍රධාන වශයෙන් කෝට්ටේ දියවන්නාව ආශ්‍රිතව දැකිය හැකි මහ දියකාවා (Great Cormorant)සහ හංසකාවා මුලින්ම තෙත් කලාපයේ ස්ථාපිත වූයේද සත්වෝද්‍යානයේ තුළින් ඇතිවූ ගහනයක ප්‍රතිඵලයක් ලෙසිනි. වියළි කලාපයේ ප්‍රධාන වශයෙන් ජීවත් වූ මුහුදු රාජාලියා (White-bellied Sea Eagle) 80 දශකයෙන් පසු තෙත් කලාපයේ කලාතුරකින් දක්නට ලැබුණු පක්ෂියෙකි.
![]() |
මුහුදු රාජාලියා |
එකල මෙකී පක්ෂීන් ඉඳහිට තෙත් කලාපයට පැමිණ යෑමක් මිස ස්ථාපිත වීමක් නොවූ අතර, කොළඹ අවට විවෘත ජල ප්‍රදේශ ඇතිවීම බහුලවීමත් සමඟ තෙත් කලාපයේ පදිංචි වූ පක්ෂි විශේෂයකි.
මෙරට සිටින විශාලතම රාජාලි පක්ෂියා වන මුහුදු රාජාලියාගේ කොළඹට ආසන්න මුල්ම කූඩුව අංගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව පක්ෂිවේදී දීපාල් වරකාගොඩ පැවසුවේ මුහුදු රාජාලියා පිළිබඳ ඔහු විසින් කරන ලද නිරීක්ෂණ තුළිනි.
![]() |
හංසකාවා |
ගොළුකිරලා ( Indian Thick-Knee) වැඩිපුර අපට ඇස නොගැටෙන නමුත් 80 දශකයෙන් පමණ පසුව කොළඹ ආශ්‍රිත තෙත් කලාපයේ ස්ථාපිත වූ පක්ෂියෙකි. බොරු කකුල්කාරයකුගේ මෙන් දිගු පාද සහිත කලපුකිරලා (Black-winged Stilt) ද තෙත් කලාපයේ ස්ථාපිත වීමට පෙර වාසය කර ඇත්තේ වියළි කලාපයේය.
වසර අවසාන වන විට රටේ තැනිතලා බිම්වල බහුලව දක්නට ලැබෙන කලපු කිරලන් ගහනයෙන් කොටසක් උතුරු රටවලින් මෙරටට සංක්‍රමණය වන කොටසකි.
ඒ අනුව පක්ෂිවේදීහු පවසන්නේ පක්ෂි සංක්‍රමණික කාලයේදී තෙත් කලාපයේ කලපුකිරලන්ගේ ගහනයේ පැහැදිලි වැඩිවීමක් දැකගත හැකි බවයි. මේ වන විට කොළඹ සෑම වගුරු ආශ්‍රිත බිමකම මෙන් දැකිය හැකි කොරවක් පවුලට අයත් විල්කුකුළා (Common Moorhen) තෙත් කලාපයට ඇතුළු වී ඇත්තේ 70 දශකයේදී පමණය.
![]() |
මහ රන්කෑරලා |
පෙර කාලයේ සිටම කලාතුරකින් තෙත් කලාපයට ඇවිත් ගිය තවත් ජලාශ්‍රිත කුරුල්ලකු වන කලපු කොකාද (Grey Heron) 90 දශකයෙන් පසු තෙත් කලාපයේ ස්ථාපිත වී ඇත.
අගනුවර ආශ්‍රිතව ජලාශ පද්ධති සහ වගුරු බිම් වැඩිවීම නිසා වියළි කලාපයේ සිට තෙත් කලාපයට ස්ථාපිත වූ ඉහත කී පක්ෂි ගහන දිනෙන් දින ඉහළ යමින් ඇත.
ඒ අතර ඔවුන්ගේ පැවැත්මට තර්ජනද නැතිවා නොවේ. වගුරු බිම් ගොඩකිරීමත් ජලාශ්‍රිත ගස් ඉවත් කිරීමත් නිසා ජලාශ්‍රිත පක්ෂීන්ට ආහාර, වාසස්ථාන අහිමි වීම ඉන් ප්‍රධාන තර්ජනයකි.
![]() |
කලපුකිරලා |
ඡායාරූප- කිත්සිරි ගුණවර්ධන