සංස්කෘතිය පිළිබඳ ඇතිවන යහපත් හැඟීම පරිණත ජාතිකත්වයක් ජනතාවගේ හිතේ ඇති කිරීමට සමත් | Page 3 | සිළුමිණ

සංස්කෘතිය පිළිබඳ ඇතිවන යහපත් හැඟීම පරිණත ජාතිකත්වයක් ජනතාවගේ හිතේ ඇති කිරීමට සමත්

මෙවර ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පැවැත්වූ G20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතා දේශනයක් කිරීම අරමුණු කර ගනිමින් අගමැති මහින්ද රාජපක්ෂයන් ඉතාලියේ පසුගියදා සංචාරයක නිරත විය. එහිදී එතුමාව හරසරින් යුක්තව පිළිගත් අතර පසුව G20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය සඳහා අගමැතිවරයා සහභාගී වූයේය. එම සභාව අමතමින් තම දේශනය සිදු කළ අගමැතිවරයා අද ආගමික අන්තවාදය හේතුවෙන් නොයෙක් ගැටලුවලට මුහුණ දී සිටින ලෝකයට වැදගත් වන කරුණු රැසක් කෙරෙහි රැස්ව සිටි පිරිසගේ අවධානය යොමු කරවූයේය.

 

මෙවර G20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසියේ තේමාව වී තිබුණේ සංස්කෘතීන් අතර සාමය,ආගම් අතර අවබෝධය යන්නයි. අගමැතිතුමා තම දේශනයේදී පැහැදිලිව දක්වා සිටියේ මේ මාතෘකාව තම රට වන ශ්‍රී ලංකාව පිහිටා ඇති භූදේශපාලන කලාපයට ඉතාමත් හොඳින් යෝග්‍ය වන බවයි.

එහිදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් පාදක කර ගනිමින් අගමැතිවරයා පවසා සිටියේ ජනවාර්ගික,ආගමික සහ සංස්කෘතික විවිධත්වය දකුණු ආසියා කලාපයට පොදු කරුණක් වන අතර විවිධ වෙනස්කම් සහිත ජනවර්ග එකට එක් කරමින් එකම සංස්කෘතියක් පිළිබඳ හැඟීම ලබා දීම සම්බන්ධව යහපත් අත්දැකීම් ශ්‍රී ලංකාව සතු වන බවයි. එමඟින් පරිණත ජාතිකත්වයක් පිළිබඳ හැඟීමක් ජනතාව තුළ ඇතිවන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ආර්ථික,දේශපාලන සහ සාමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී සාර්ථකත්වය රඳා පවතින්නේ රටේ ජනතාව තුළ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම මත බවයි.

තම දේශනයේදී ඉතාලිය සම්බන්ධව තම මතය පැවසීමටද සැලකිය යුතු ඉඩක් වෙන් කළ මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ කලාව සහ බුද්ධිමය ක්‍රියාකාරකම් අතින් කීර්තියක් දිනා ගනිමින් ලෝක මට්ටමේ නායකත්වයක් දරන ඉතාලිය, විශේෂයෙන්ම බොලොඤ්ඤා නගරය මෙවැනි සමුළුවක් පැවැත්වීම ඉතාමත් යෝග්‍ය බවයි.

රටක සාමය සහ එකමුතුකම පවත්වා ගැනීමේදී එරට ජනතාවගේ බුද්ධිමත්කම පිළිබඳව රැස්ව සිටි පිරිසගේ අවධානය යොමු කළ අගමැතිවරයා පවසා සිටයේ සෑම රටක්ම තම ජනතාවගේ අධ්‍යාපනයට වැදගත් තැනක් ලබා දිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල තරුණ පිරිසට පවුරුවලට වඩා පාලම් තැනීමට සහ ජිවිතය පවා පවතින මිත්‍රත්වයන් ඇති කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් උදා වී ඇති බව පවසා සිටි අගමැතිවරයා ශ්‍රී ලංකා රජය දැන් ප්‍රමුඛතාව දෙමින් සිටින්නේ අධ්‍යාපනයේ අන්තර්ගත නවීන අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය කිරීමට සහ තරුණ පරපුර තෘප්තිමත් ජීවනෝපාය මාර්ගයන් වෙත යෙමු කිරීම සම්බන්ධව බවද පෙන්වා දුන්නේය.

දේශනයෙන් පසු ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද අවස්ථාව උදා කර ගත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාද සංචාරය සඳහා සහභාගී වූහ.

Comments