ස්වාධීන ආර්ථි­කයක්­ රටේ ගොඩනැඟීම අපේ බලා­පො­රො­ත්තු­වයි | සිළුමිණ

ස්වාධීන ආර්ථි­කයක්­ රටේ ගොඩනැඟීම අපේ බලා­පො­රො­ත්තු­වයි

 

ගෝලීය ආර්ථීක අර්බුදයකට මුළු ලෝකයම මුහුණ පා ඇති මෙවැනි අසීරු අවස්ථාවකදී රටේ තීරණාත්මක ආර්ථීක සාධකයක් වන මහ බැංකුවේ අධිපතිධූර සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මා පත් කරනු ලැබිණි. මේ භාරදූර කාර්යය නැවත වරක් මට පැවරීමට සුවිශේෂ වූ හේතූ සාධකය වන්නේ රටේ ආර්ථිකය තුලනාත්මක දිශානතියක් කරා ගෙනයාමට මාහට ඇති අත්දැකිම් සමුදායයි. එමෙන්ම රටට පක්ෂග්‍රාහි වී කටයුතු කිරිම සම්බන්ධයෙන් මා කෙරෙහි ඇති දැඩි විශ්වාසය අගයකොට සලකමි.

මෙහිදි ප්‍රධාන වශයෙන් මතු කළ යුතු කරුණක් නම් රටක ආර්ථිකය ගොඩනැඟීමට නම් නිසි ආර්ථික සැලැසුමක් අවශ්‍යයි. ආර්ථික වෘද්ධිවේගය ඇති කිරීම සහ ආර්ථිකය ස්ථායිභාවයට පත් කිරීම යන සාධක මතින් තුලනාත්මක ආර්ථිකය වෘද්ධි වේගයක් කරා ගමන් කරවිය හැකියි. මේවා සැලසුම් සහගතව ගතයුතු පළමු පියවර ය. එමෙන්ම තුලනාත්මක ආර්ථීක ප්‍රතිපත්තියට අවශ්‍ය වටපිටාව සැකසීමේ නව පියවර ඇරඹීමට සියලු පාර්ශ්වයන් ගේ සහභාගීත්වය අවැසි මොහොතක් උදාවී ඇත.

රටේ බහුතර ජනතාව අපි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම ගැන කෘතඥ වෙමි. පටු දේශපාලනික අරමුණු උදෙසා රට අගාධයට පත්වන තෙක් බලා සිටින ඇතැම් පාර්ශ්වයන්ට රටේ ආර්ථීක සාධක ගොඩනැඟීමට උරදෙන්නන් කෙරෙහි ද්වේෂයෙන් කටයුතු කරයි. එහෙත් සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් කටයුතු කළ යුතු අවස්ථාවක් උදාවී ඇත. දේශපාලන බෙදුම්වාදය ඉවත දැමිය යුතුයි. රට අසීරුතාවකට පත් වූ අවස්ථාවලදී උවදුරුවලින් රට බේරා ගැනීමට; රට වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. රටට පක්ෂග්‍රාහී වීම මෙවැනි අවස්ථාවක සියලු දෙනාගේ යුතුකමයි.

නව මහ බැංකු අධිපති ලෙස ආර්ථික ප්‍රතිපත්ති විෂයෙහි යම් තුලනාත්මක සාධනීය වැඩපිළිවෙළකට ගමන් කිරීමට අනිවාර්ය සැලැසුම් රාශියක් වෙයි. ඒ සඳහා රටේ දැනට උද්ගතව ඇති අභියෝග ජය ගැනීමට තුලනාත්මක සැලසුම් සකස් කර ඇත. ඒ හරහා අපිට සාර්ථික ඉදිරි පියවරයන් තැබීමට නම් පාර්ශ්ව රාශියක ක්‍රියාකාරකම් හා ඒ පාර්ශ්වයන්ගේ අදහස් අරමුණු අනුව‍ වෙනස්කම් ද ඇතිකරමින්; මේ රට ආර්ථික වෘද්ධීවේගයේ යහපත් දිශානතියක් කරා යොමු කළ යුතුය ; රටේ නැවත ආර්ථික ස්ථායි භාවය වර්ධනය කර ගැනීමටත් කටයුතු කිරීම ප්‍රධාන අරමුණු අතර වෙයි. රටේ ඉතිරිව ඇත්තේ විදෙස් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4 ද යන කරුණ නොව; වැදගත් වන්නේ මේ තත්ත්වය වෙනස් කරමින් එය ස්ථායිභාවයට වර්ධනය කර ගනිමින් ආර්ථිකය ගොඩනැඟීමයි‍. ඉතා ඉක්මනින් දැනට පවතින සංචිත ප්‍රමාණය හසුරවමින් විදෙස් රටවලින් අලුතින් රටට ගලාගෙන එන මුදල් විනිමය ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කිරීමයි.

මුදල් සැපයීම වැඩිවීමෙන් උද්දමනය වැඩි විය හැකි බව සාමාන්‍ය ආර්ථික න්‍යාය අනුව විය හැකි දෙයක් වුවත් වෙන කිසිම ආර්ථීක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන තත්ත්වයකදි පමණක් එසේ විය හැකි ප්‍රවණතාවක් ඇත. රටක ආර්ථිකය හසුරුවද්දි සියලු කටයුතු සිදුවන්නේ තුලනාත්මක වැඩ පිළිවෙළක් අනුවයි. මහ බැංකුවට යොමු කර ඇති භාණ්ඩ බිල්පත් අගය වැඩි වුවත් ඒවා සමනය කර ගැනීමට මෙවලම් පාවිච්චි කරමින් ඉදිරියට යාමේදී උද්දමනය වැඩි වීමට ඇති වැඩි ප්‍රවණතාවය අඩුවීමක් සිදුවෙයි. මුදල් සැපයීම නිසා ඇතිවිය හැකි රුපියලේ අගය පවත්වා ගැනීම සහ උද්ධමනය ඇති නොවීමට ක්‍රමවේදයන් ආර්ථික න්‍යායයෙහි වෙයි. රුපියලේ අගය පවත්වා ගෙනයාම, දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම, විදෙස් ගිණුම් පාලනය කිරීමත් විශේෂයෙන් දේශීය කර්මාන්තකරුවන්ට උරදීමත්, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ලබා දීමත් එමෙන්ම ණය ගෙවීම් කාලය දීර්ඝ කිරීමත් සහ කොවිඩ් කාලය තුළ ණය ගෙවීම යම් සහන කාලයක් ලබාදීම දැනටමත් සිදු කර ඇත. ඒ මඟින් එම ව්‍යාපාර කඩා වැටීමට තිබූ අවස්ථාව මඟ හැරී ඇත. ඉදිරි මාස කිහිපයේ දී මේ පිළිබඳව ඉතාමත් දැඩි අවධානමක් යොමු කර ඇති වී ඇති යම් අර්බුද සහ අපහාසුතාවන් මඟහරවා ගැනීමට දිර්ඝකාලීන සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීම අපගේ අපේක්ෂාවයි. ක්ෂුද්‍ර මුල්‍ය තත්ත්වය පිළිබඳව සඳහන් කළහොත් ඒ පිළිබඳව සැලකිලිමත්වී අදාළ අංශ යම් ණය හිමියන්ට යම් සහනයක් ලබාදීමට කටයුතු කළ යුතුයි. මහ බැංකුව ඒ සඳහා නියාමනයක් නොමැති වුවත් පොලි අනුපාතය අඩු අගයකින් පවත්වාගෙන යෑම මඟින් ක්ෂුද්‍ර මුල්‍ය අංශවලට ලැබෙන පොලි අනුපාතයන් අඩු වීය හැකියි.

රටේ සංවර්ධන ක්ෂේත්‍රයන් ගොඩනැඟීමට සැලසුම් රාශියක් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇත. ඒ මඟින් රට ස්ථායිභාවයකට පත් කොට අපේ රට නැවත වරක් ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් කරාගෙන යාම අපේ අරමුණයි. මේ සියලු අර්බුද හමුවේ වුවත් මේ වසරේ පළමුවැනි දෙවැනි කාර්තුවල අපේ රටේ ආර්ථීක වෘද්ධි වේගය 8% වඩා වැඩිවූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ සංඛ්‍යා ලේඛනය අනුව පැහැදිලි වෙයි. අපේ රට ආර්ථිකමය බිඳ වැටීමක් ඇති රටක් ලෙස හඳුනාගෙන නැත.

පසුගිය වසරේ මුළු ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර අපටත් එයට මුහුණදීමට සිදුවිය. මේ වසරේ පළමු කාර්තුවේදි අපිට හොඳ ආර්ථික වෘද්ධි වේගයක් ඇතිවී ඇති බව ආර්ථික විශ්ලේෂණ මඟින් පැහැදිලි වෙයි. ඒ සමඟම තුන්වැනි කාර්තුවේදි යම්කිසි අඩුවීමක් ඇතිවිය. නමුත් හතර වැනි කාර්තුව වන ඔක්තෝම්බර මාසයේ සිට අපි නැවත ශීඝ්‍ර ආර්ථික වෘද්ධිවේගයක් කරා යෑම අපේක්ෂාවයි. ඒ සඳහා රජය විසින් ඉතා වේගවත් ලෙස එන්නත්කරණය රට පුරා සිදු කර රට යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගෙන තිබේ. ඉදිරි කාර්තුව වනවිට 5% ආර්ථික වෘද්ධි වේගයක් ඇති විය හැකි වෙයි.

එමෙන්ම විදෙස් ණය සම්බන්ධයෙන් කතා කිරීමේදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට අපේ අපෙක්ෂාවක් නැත. පසුගිය වසර දෙක තුළදි ම විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකි තරම් ආර්ථීකමය අර්බුයකට රට පත්වී ඇති බව ඇතැමුන් සඳහන් කළත් අපි කිසිඳු විටක ණය ගෙවීම් පැහැර හැරීමක් කර නැත. ආර්ථික ප්‍රගතියක් කරා ඉදිරි ගමනකට රට හරවා ඇත. මේ රටේ හැම සතියක බැඳුම් කර නිකුත් කරමින් එය සාර්ථකව සිදු වෙයි. සෑම සතියකම බිලියන ට්‍රිලියන ගණනින් බැඳුම්කර නිකුත් කිරීම සිදු වෙයි.

විදෙස් සංචිත වලින් පමණක් ණය ගෙවීම් කිරීමට නොහැකි අතර විදෙස් විනිමය ගලා ඒම් ගලායාම් සියල්ල ඒ සඳහා බලපානු ලබයි. විදෙස් සංචිත විදෙස් විනිමය ගලා ඒම ගලායෑම් සියල්ල අධ්‍යයනය කර බැලූවිට ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණයන් අනිවාර්යෙන් ගෙවීමට හැකි වෙනු ඇත.

ඒ සඳහා කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලැසුම් වෙයි. මේ රටේ දේශීය ආර්ථික ක්‍රමවේදයන් ගොඩනඟා ගැනීමට අවශ්‍යයයි.

මේ අභියෝගාත්මක කාලයට අපි මුහුණ දෙන්නේ කෙසේද? රටේ ස්ථායි ආර්ථික රටාවක් ගෙනයන්නේ කෙසේද යන්න ඉතා කඩිනමින් පැහැදිලිව රටට ලෝකයට හෙළිදරව් කිරිම අපේ බලාපොරොත්තුවයි. ඒ පිළිබඳව පැහැදිලි සැලසුම ඉදිරි ඔක්තොම්බර් මාසයේ මුල් සතිය තුළ ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ අරමුණයි.

රටක් ලෙස මේ අර්බුද හමුවේ වුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබාගැනීමට කිසිම අපේක්ෂාවක් නැත. ඇතැම් දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩ කරන පිරිසකට විකල්ප අදහස් නැති නිසා ඒ අයගේ උපදෙස් අනුව රට යළි ණය උගුලක පැටලවීමට අප සූදානම් නැත. මෙරටට නිදහස ලැබී වසර හැත්තෑතුනක් ගතවී ඇත. රටක් ලෙස අපිටත් යම්කිසි ස්වාධීන සෛවරී හැකියාවන් සහ අදහස් තිබිය යුතුයි. විශේෂයෙන් අපේ රටේ ආර්ථික සාධක හසුරුවා ගැනීමට ඉදිරියට ගෙනයාමට නම් රටේ ආර්ථිකයට විනයක් තිබිය ඇති කළ යුතුයි.

වෙනත් රටවලට ගැති නොවන ස්වාධින ආර්ථිකමය නිදහසක් ඇති කළ යුතුයි. අපේ බලාපොරොත්තුව රටට ගැළපෙන ආර්ථික මොඩලයක් සහ ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමයි. ඕනැම උවදුරක් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අපි සුදානම් වීමට අපේ ආර්ථීකය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන් අපේ දේශීය කර්මාන්ත නඟා සිටුවීමට සහ විදෙස් විනිමය වැඩිකර ගැනීමට අප යම් පියවරයන් ගෙන ඇත. ඒඅනුව ප්‍රති අපනයනය කරන භාණ්ඩයකට අමුද්‍රව්‍ය ලෙස ගෙන්වනු ලබන භාණ්ඩ සඳහාවත් ආයාත සඳහා 100% තැන්පතුවක් නියම කර නැත. එසේ නමුත් එක් පියවරක් ලෙස මෙරට නිෂ්පාදනය කළ හැකි ඇතැම් භාණ්ඩ 623ක පමණක් ණයවර ලිපි නිකුත් කිරීමට පෙර 100% මුදල් තැන්පතු වශයෙන් තබා ආනයනය කිරීමට අවසර ලබා දී ඇත. පවතින තත්ත්වයන් හමුවේ මෙවැනි මෙවලම් පාවිචිචි කිරිමට අවශ්‍යයි. රුපියල අවප්‍රමාණය වෙන තත්ත්වයක් ඇති විය හැකි වාතාවරණයක එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට මහ බැංකුවට වහා පියවර ගත යුතුව ඇත. මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තුවල විද්වතුන් විසින් රටට අහිතකර යමක් සිදු වන විට වගකීමකින් යුතුව රටේ ඉදිරිය වෙනුවෙන් එවැනි ක්‍රියාමාර්ග ගනු ලබයි.

කෙසේ වෙතත් මෙරටට ආනයනය කිරීම් 2018 වසරට වඩා 2021 දී පළමු කාර්තුවේදීම වැඩි වී ඇත. ආනයනය කිරීම ඉතා ශීඝ්‍රයෙන් සිදු කර ඇති ආකාරයක් දක්නට ලැබෙයි. මේ 100% තැන්පතුව කිසිම භාණ්ඩයක හිඟයක් හෝ මිල ඉහළ යාමක් සඳහා බල නොපාන සාධකයකි. ඇතැම් ආයාත සඳහා යම් සීමා කිරීම් බාධා කිරීම් වැනි පියවරයන් ගැනීමට සිදු වීමට හේතුව එයින් වන අයුතු ප්‍රතිඵල වැළැක්වීමටයි. මේ ආයාත සඳහා ණයවර ලිපි නිකුත් කිරිමට 100% තැන්පතුව යෙදු කිසිදු භාණ්ඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ නොවෙයි. රටේ ආර්ථිකය ස්ථායි කිරීමට ගනු ලබන යම් පියවරයක් ලෙස මෙය හැඳින්විය හැකියි

විදෙස් විනිමය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුය. මෙතෙක් සීමිත වශයෙන් යොදාගත් ඇතැම් මානව සහ භෞතික සාධකයන් ආර්ථික ක්‍රියාවලියට යොදා ගැනීමට විශේෂ අවධානයක් යොමු කර ඇත. තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන් කරා යොමු කර විදෙස් විනිමය ඉපැයිමේ මානව සම්පත් සම්පත්වැඩි දියුණු කිරීමෙන් මුදල් ගලා ඒමට යොදාගත හැකියි. දැනටමත් ඒ පිළිබඳ කාර්ය සාධන බළකායක් මුදල් ඇමැතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අතර සියලුම කරුණු පිළිබඳව අධික්ෂණයයක් සිදුකර ඇත. තොරතුරු තාක්ෂණික අංශය ඇතුව ක්ෂේත්‍ර ගණනාවක දැනට පවතින තත්ත්වයන් තවදුරටත් වර්ධනය කර මානව ප්‍රාග්ධනය ගලා ඒම වැඩි දියුණු කළ යුතුයි. රටේ ආර්ථික වෘද්ධී වේගය වැඩි කර ගැනිමටත් විදෙස් විනිමය රටට ගලා ඒම වැඩි කර ගැනීමටත් හැකියාව ඇත. ගෝලීය අර්ථික ක්‍රමවේදයේ මේ වනවිට ඉල්ලුම අඩුවී ඇත.

ඒ තුළින් විරැකියාවට සහ දිළිඳුබව වැඩි විමේ ප්‍රවණතාව ඇත. ඒ සඳහා රටක් ලෙස අපි විකල්ප ක්‍රියාමාර්ග සඳහා යොමුවිය යුතුයි. විදෙස් විනිමය වැඩි කර ගැනීමට සංචාරක ක්ෂේත්‍රය සහ ඒ හා සමගාමී ක්ෂේත්‍රවල ඍජු හා වක්‍රකාරයෙන් රැකියාවල නිරතව සිටින පිරිසට ඉතා කඩිනමින් විසඳුම් සෙවීම නැවත වරක් ඒ ක්ෂේත්‍ර නඟා සිටුවීමට කටයුතු කළ යුතුයි. එමෙන්ම මානව සහ භෞතික සම්පත් යොදාගෙන රට යථාතත්ත්වයට පත් කර ගනිමින් සංචාරක ක්ෂේත්‍රය මෙන්ම විදෙස් ආයෝජකයන් සහ ව්‍යවසායකයන් දිරි ගැන්විය යුතුයි.

මගේ අධිපතිත්වය යටතේ මේ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයන්ට උපරිම දායකත්වය දීම අපේක්ෂාව වන අතර එය මගේ ජාතික වගකීම ලෙස සලකමි.

Comments