අය­වැය ගැන මුදල් ඇම­තිට ජන­තාව කරන යෝජනා | Page 3 | සිළුමිණ

අය­වැය ගැන මුදල් ඇම­තිට ජන­තාව කරන යෝජනා

දුප්පත් ජනතාවට සහන ලබා දෙන්න

ඩග්ලස් පෙරේරා (65) 
මරදාන

ශ්‍රී ලංකාව දුප්පත් ජනතාව වැඩියෙන් සිටින රටක්. ඒ අයට වැඩිපුර සහන සැලසීමේ වැඩසටහනක් සකසනව නම් වඩා හොඳයි. හාල්, පරිප්පු, අල, සීනි, වියළි බඩු, ලූනූ, පිටි වගේ අත්‍යවශ්‍ය දේවල් ස.තොස.ස. හරහා ලංකාව පුරාම විවිධ පළාත්වල සිටින ජනතාවට සහන මිලට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළහොත් වඩා හොඳයි. මේ රටේ හැටනව ලක්ෂයක් ජනතාව ඡන්දේ දුන්නේ එම සහන ගැන බලාපොරොත්තුවෙන්. බැසිල් මහත්මයට අපි යෝජනා කරනවා සෑම දිස්ත්‍රික්කයකම ගොවීන්ගෙන් සාධාරණ මිලට එළවළු, පලතුරු, සහල් ඇතුළු ද්‍රව්‍ය ලබාගෙන සහන මිලට ජනතාවට බෙදා දෙන්න කියා.

 

පොඩි මිනිහට සහන ඕන අයවැයක්

එස්.එම්. බදුර්දීන් (47)
පංචිකාවත්ත 

ඇති හැකි අයට තවත් සහන දෙනවට වඩා පොඩි මිනිහට සහනයක් දෙන අයවැයක් තමයි සැකසිය යුත්තේ. ලංකාවෙ හැමෝටම එක වගේ සහන දිය යුතුයි. ඒ අතර පොඩි මිනිහා ගැන වැඩියෙන් සිතිය යුතුයි. රට ස්වයංපෝෂිත කිරීම හොඳ දෙයක් තමයි. ඒත් රට දියුණු කළාට පසුයි පිටරටින් භාණ්ඩ නැවැත්විය යුත්තේ. නැත්නම් භාණ්ඩ හිඟයක් ඇතිවෙලා මිල ඉහළ යනවා. අපි බැසිල් මහත්තයට කියන්නේ රට ස්වයංපෝෂිත කරලා ගොඩගන්න පුළුවන් අයවැයක් ගේන්න කියලයි.

 

කොළඹටත් ගමටත් සහන දෙන අයවැයක් විය යුතුයි

නෙලුම් වැලිහිඳ (58)
කොළඹ,

මෙවර අයවැයේදී පාසල් අධ්‍යාපනය නගා සිටුවීම, බඩු මිල පහළ දැමීම, දුෂ්කර පළාත්වල ජල ප්‍රශ්නය විසඳීම, ඈත පිටිසර දුෂ්කර පළාත්වල පාරවල් සෑදීම සඳහා ප්‍රතිපාදන වෙන්කිරීමට මූලික සැලසුම් නිර්මාණය කළ යුතු අතර හැමදාමත් නොවිසඳෙන අලි - මිනිස් ගැටුම, කොළඹ ගංවතුර පාලනය වගේම මෙකී නොකී ලංකාව පුරාම විවිධ තරාතිරම්වල ජනතාවට බලපාන ප්‍රශ්න ගැන විමසිලිමත් වෙලා ඒවාට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුයි. කොළඹ සේම ඈත දුෂ්කර පළාත්වල ජනතාවටත් සහන සැලසෙන අයවැයක් ඉදිරිපත් විය යුතුයි.

 

 

හැකියාවට රැකියා ලැබෙන අයවැයක් ඕනෑ

සඳමාලී සංජීවනී (23)
මහරගම,

රටේ හැම ප්‍රශ්නයක්ම විසඳන අතරේ පාසලින් පිටව යන රැකියා විරහිත පිරිසටත් සෙත සැලසිය යුතුයි. රැකියා විරහිත උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඔය ගුරුවරුන් දිගටම උද්ඝෝෂණය කරන මේ වෙලාවෙ රැකියා විරහිත උපාධිධාරීන්ව ගුරු වෘත්තිය සඳහා බඳවාගෙන තාවකාලිකව හරි දරුවන්ට අධ්‍යාපනය දිය හැකි නම් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් කෙරෙනවා. රැකියා ගැටලුවට සාමාන්‍ය දුරට හරි විසඳුමක් ලැබෙනවා. ඒ වගේම තරුණ පරපුර දෙස් විදෙස් වෘත්තීය පුහුණුවට යොමු කර රැකියා දොර විවෘත කර දිය හැකියි. ඒ වගේම වැඩිහිටි දීමනා, එන්නත් ලබාදී එම ජනතාවත් සවිබල ගැන්විය යුතුයි.

 

 

හැමෝගෙම කුසගිනි නිවෙන අයවැයක්

මොහොමඩ් බුහාරි මොහොමඩ් රිෆාන් (61)
රඹුක්කන,

මෙවර අයවැයෙන් මුලින්ම කළ යුත්තේ පිටරටින් ගෙනත් හරි ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර පාන ලබාදීමයි. ලංකාවෙ පොහොරින් මෙහි පස සරුසාර කළ හැකියි. විවිධ ස්ථරවල අයට හැකියාවට රැකියාවක් ලබාදෙමින් දිරිමත් කළ හැකියි. මොන අයවැය ආවත් අන්තිමට බලද්දි බත් ඇති තැනටම කොස් වගේ අයවැයක් තමයි ඉදිරිපත් වෙන්නේ. අඩුගානේ මෙවර බැසිල් මහත්මයගෙන්වත් අපි සැබෑ වෙනසක් බලාපොරොත්තු වෙනවා. ස්වයංපෝෂිත ආර්ථික රටාවකට ජනතාව හුරුකරන

 

ජනතාවාදී අයවැයක් අපි බලාපොරොත්තු වෙනවා

ආර්. ජයන්ති (65) ෆෝබස් පටුමග
- සාමපුර,

මේ වන විට ලංකාවෙ හැම දෙයක්ම බිඳ වැටිලා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය හැම පැත්තෙන්ම අගාධයට ගිහින්. කොරෝනා නිසා සිදුවූ මේ හැම දෙයකින්ම වැඩිපුර අහිතකර බලපෑම්වලට ලක්වෙන්නේ සාමාන්‍ය ජනතාවයි. දුෂ්කර පළාත්වල ළමුන්ට අධ්‍යාපන පහසුකම් දෙන්නත් හැකිවන අයවැයක් සැකසිය යුතුයි. මීට අමතරව සුළු ස්වයංරැකියා කරන අය ගැනත් සලකා බැලිය යුතුයි. ජල විදුලි බිල්පත් සඳහා සහන ලබා දෙන්න, ත්‍රිවිල් ගාස්තු පෙට්‍රල්, ඩීසල් මිල අඩු කරමින් ජනතාවාදී අයවැයක් සඳහා පිඹුරුපත් සැකසීම වැදගත්.

Comments