ඇඳිරි නීති අස්සේ බාර් ඇරලා සද්දේ | Page 2 | සිළුමිණ

ඇඳිරි නීති අස්සේ බාර් ඇරලා සද්දේ

 

ට පුරා කොවිඩ් නිරෝධායන ඇඳිරි නීති පැනවූයේ කොවිඩ් වසංගත මර්දන කටයුතු වෙනුවෙනි. එහෙත් මෙවර සංචරණ සීමා ලිහිල් වූ අතර බොහෝ දෙනා නිදහසේ එහා මෙහි ගිය අතර කඩ සාප්පුද කිසිදු වග විභාගයක් නැතිව විවෘතව පැවැතියේ ඇඳිරි නීති තහංචි නොතකමිනි. මේ සියල්ල මෙසේ වෙද්දි පසුගිය සතියේ හදිසියේම සුරා සැල්ද විවෘත වන්නට වූ අතර ජනතාව කිසිදු අවදානමක් නොතකා බාර් අසල පෝලිම් ගැසෙන්නට වූයේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නටය. එතැන් සිට අද දක්වාම බාර් විවෘතව පැවැතියද ජනතාව අතර ආරංචි පැතිර ගියේ සුළු කාලයකට පමණක් බාර් විවෘත වන බවය. ඒ නිසාවෙන් මේ සිදුවීම බොහෝ කැලඹීම් සහිත කරුණක් විය. බාර් කෙසේ විවෘත වූයේ සිමිත කාලයකට පමණද, ඊට අවසර දුන්නෝ කවරහුද යන්න පසුගිය සතිය පුරාම උණුසුම් මාතෘකාවන් රැසක් සැපයු අතර මේ පිළිබඳ සුරාබදු අධිකාරිය තවමත් නිසි පිළිතුරක් දුන්නේ නැත.

 

දේශපාලන වේදිකාවට පමණක් නොව මේ කතාබහ කොවිඩ් වේදිකාවටද ගොඩ වැදුණේ බාර් පොකුරක් මතුවීමේ අවදානම වෛද්‍ය වරුන් විසින්ද දැඩිව අවධාරණය කිරිම නිසාවෙනි. මේ අතර උතුරු නැඟෙනහිර පළාත්වල බාර් අසල සෞඛ්‍ය නිතිරීති උල්ලංඝනය වූ සමහරක් පිරිස් අත් අඩංගුවට ගත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා පිටය. නිරෝධාන ඇදිරි නීතිය මධ්‍යයේ බාර් විවෘත කිරීම පිළිබඳව සමහරක් මත්පැන්හල් හිමිකරුවන් පැවැසූයේ විවෘත කර පැය හතරක පමණ කාලයක් තුළදි තමන්ගේ වෙළෙඳ සැලේ තිබු මත්පැන් සියල්ල විකිණීමට හැකිවූ බවත්ය.

රජයට ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුවට අමතරව තෙවැනියට ආදායම් ලබා දෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවය. රටපුරා සංචරණ සීමා පැනවීමෙන් පසු ඉකුත් මාසය පුරා සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් අහිමි වී ගොස් ඇති බව වාර්තා වෙයි. කොරෝනා තෙවැනි හා සිවුවැනි රැලි සමඟ රට පුරා සුරාසල් ද වසා දැමීමට පියවර ගැනුණේ ඇඳිරි නිති සීමා නිසාය. ඒ අනුව මාසයක් පුරා එක දිගට සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 2,000 කට අධික පාඩුවක් සිදුවී තිබෙන අතර දිනකට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 500කට අධික බවට ගණන් බලා ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව රුපියල් බිලියන 160 කට අධික ආදායමක් බලාපොරොත්තු වුවද, කොරෝනා තත්ත්වය හමුවේ විදෙස් මත්පැන් මෙරටට රැගෙන ඒමක් සිදු නොවූ නිසා දේශීය වශයෙන් මත්පැන් අලෙවි කිරීමෙන් ලැබීමට නියමිතව තිබූ විශාල බදු ආදායමක් අහිමි වී ගොස් ඇත. මේ නිසා ඇඳිරි නීතිය හෝ සංචාරණ සීමා පනවා ඇති කාලසීමාවේදී මත්පැන් විකිණීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අවශ්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව කිහිප විටක්ම අවධාරණය කළේය. ඔවුන් පැවසූයේ එය මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වඩාත් සුදුසු වන බවයි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම ඇතුළු කොවිඩ් වෙනුවෙන් නිරත්තරයෙන් කතා කරන වෛද්‍යවරු මීට දැක්වූයේ වෙනත් අදහසකි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා සිටියේ මේ වන විට රට යහපත් අතට හැරෙමින් තිබෙද්දි මින් අහිතකර ලෙස බලපෑ හැකි බවයි. එසේම පාසල් නැවත විවෘත කිරීම මින් තවදුරටත් ප්‍රමාද විය හැකි බවයි. මෙහිදි මොවුන් විකල්පයක් පෙන්වා දෙන්නේ සමස්ත ජීවිත අනතුරේ නොදා පාරිභෝගිකයන්ට කැමති දේ මිලදී ගැනීමට හැකි වන පරිදි ආරක්ෂිත යාන්ත්‍රණයක් හඳුන්වා දෙන ලෙසයි.

“ මෙවැනි මහජන ගැවසීම් වැඩි වන තත්ත්වයක් යටතේ රටේ වැඩි ජනතාවකට ඇති විය හැකි ව්‍යසනය වළක්වා පාරිභෝගිකයන් ට ඔවුන්ගේ අවශ්‍යතා ලබා දීමට නිසි වැඩ පිළිවෙළක් දියත් කරන්න “ යනුවෙනි.

කෙසේ වෙතත් සමස්ත ලංකා සුරාබදු සැරයන් සහ නියාමක සංගමය පවසන්නේ පසුගියදා මත්පැන් අලෙවිසැල් විවෘත කරන්නට බලධාරින් අවසර දුන් බවත්, මේ වන තෙක් එවා වසා දමා නැති බවත්, නමුත් කෙටි කාලයකට පමණක් විවෘත වූ බවට වැරදී රාවයක් පැතිර ගියෙන් මෙවන් තත්ත්වයක් ඇති වූ බවත්ය.

“විදේශීය රටවල මෙන් මත්පැන් අලෙවිසැල් දිගටම විවෘත කිරීම තුළින් ඇතිවන තදබදය අවම කිරීමට හැකියාවක් පවතිනවා. එලෙස දිගටම මත්පැන් ගැනීමට තරම් මහජනතාවට අවශ්‍ය මුදල් මේ අවස්ථාවේදී නැති නිසා දිගු පෝලිම් දක්නට නැහැ. දින නියමයක් නොමැතිව මත්පැන් අලෙවිසැල් වසා දැමීම නිසා බොහෝ පිරිස් තම නිවෙස තුළදී මත්පැන් නිෂ්පාදනය කිරීමට උනන්දු වුණා. මේ නිසා මසකට රුපියල් කෝටි 2000ක බදු ආදායමක් රජයට අහිමි ගියා. මත්පැන් අලෙවිසැල් දිගටම විවෘත තැබීම නිසා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය අවම කර ගැනීමට හැකි වනවා. ඒ වගේම මත්පැන් අලෙවිසැල්හි අලෙවි වන රුපියල් 1650ක මත්පැන් බෝතලයක් මෙම නිරෝධායන ඇඳිරි කාලය තුළදී රුපියල් 3500ත් 4000ත් අතර මුදලකට අලෙවි වුණා. නීති විරෝධී මත්පැන් බෝතලයක් රුපියල් 1000ක මුදලකට අලෙවි වුණා. එමගින් රජයට ලැබිය යුතු බදු ආදායම නොලැබී ගියා. එසේම මුදල් අමාත්‍යාංශ විසින් වාර්ෂිකව ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. ඒ වසරකට රුපියල් කෝටි 16,000 ත්. එය රටට ආදායමක්. ජනතාවට දෙන ගල් අරක්කු බෝතලයකින් රුපියල් 955 ක බදු මුදලින් තමයි මේ ඉලක්කය සපුරන්නේ. නමුත් බාර් වැසීමෙන් මේ ඉලක්කය සපුරා ගත නොහැකි වෙනවා“

ඒ එම සංගමයේ සභාපති ඩබ්ලිව්.එල්.ඩී විජේසේකරය.

ලංකාවේ ලියාපදිංචි සුරාසැල් 4910 ක් ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි. ඒ 2019 දත්ත වාර්තාවන්ට අනුවය. ඒ අතර මේ වන විට ලංකාවේ අවුරුදු 14ට වැඩි ජනගහනයෙන් 19.93% ක් මත්පැන් පානයට ඇබ්බැහි වී ඇත. මේ අතර ආරක්ෂිතව මත්පැන් පානය නිසාවෙන් ලංකාවේ දිනකට මරණ 55ක් සිදුවන අතර මෙම අධිකාරිය පවසන්නේ මත්පැන් නිසා රජයට අපේක්ෂිත ආදායමක් හිමි වුවද එය පානය නිසා ලංකාවට ඩොලර් මිලියන 85.86 ක් අහිමි වන බවයි.

“මහජන මුදල් අති විශාල ප්‍රමාණයක් වැය කරමින් කොවිඩ් නිවාරණ හා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ දැවැන්ත වැඩ පිළිවෙළක් රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වන විට ජනගහණයෙන් 50% ඉක්මවා එන්නත් කර අවසන් කිරීම රටක් වශයෙන් ආඩම්බර විය හැකි කරුණකි. මේ අතර කිරි කලයට ගොම මුසු කළා සේ ගොඩ නැංවූ ප්‍රතිශක්තිය කිහිප ගුණයකින් ඉතා වේගයෙන් පහත හෙලන, කොවිඩ් බෝවීම ශීඝ්‍ර කරවන මධ්‍යසාර සමාජගත කිරීමේ වගකීම් විරහිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේ තැබෑරුම් විවෘත කර මධ්‍යසාර පෝලිම් නිර්මාණය කිරීම නැවත නැවතත් හෙළා දැකිය යුතු පිළිකුල දනවන අවාසනාවන්ත, අනුවණ ක්‍රියාවක්“ ඒ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂය.

කෙසේ වෙතත් සමාජ විද්‍යාඥයින් දක්වන්නේ මේ සියල්ලටම හාත්පසින්ම වෙනස් වූ අදහසකි. නිරෝධායන ඇඳිරි නීති මැද වුවද මත්පැන් පානයෙන් වැළකිය නොහැක්කේ පාලනයකින් තොරව මත්පැන් පානයට ඇබ්බැහි වුවන්ට බවය.

“මත්පැන් පානය කරන්නන් විවිධාකාරයි. සමහරුන් දුස්සමාහිත අය. එනම් අසීමිත ලෙස මත්පැන් පානයට අබ්බැහි වූ අය. තවත් පිරිසක් දුස්සමාහිත නොවූ අය. එනම් මත්පැන් පානය පාලනය කළ හැකි අය. අනිත් පිරිස අවස්ථානූකුලව පානය කරන අය. මේ කොටස් තුනෙන් දුස්සමාහිත පිරිස් බාර් ඇරිය ගමන්ම එය ලබා ගැනීමට යනවා. පාලනය කළ හැකි පිරිස් නිරෝධායන ඇඳිරි නීති කාලයේදි යම් පාලනයකින් සිටිනවා. සමාජයට ප්‍රශ්න මතුවන්නේ මෙසේ පාලනය කළ නොහැකි පිරිසෙනුයි. ඔවුන් නිසා මේ කොවිඩ් මරණ යම් පමණකට වැඩි විය හැකියි. නමුත් කොවිඩ් නිරෝධායන කාලය අවස්ථානූකුලව මත්පැන් පානය කරන අයව සුබවාදි ප්‍රවේශයකට ගෙන යා හැකියි. නමුත් අනිකුත් මත් ද්‍රව්‍ය මෙන් නොව මත්පැන් පානය කරන අයට ඉන් බේරීමට හැකියි.....“ ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ගීතානි අමරතුංගය.

Comments