උතුර දකුණ යා කරන්න ‘ඉන්දීය යකඩ යකා’ එයි | සිළුමිණ

උතුර දකුණ යා කරන්න ‘ඉන්දීය යකඩ යකා’ එයි

පේ දුම්රිය සේවාවට දැන් වසර 155ක් ගෙවී ගොසිනි. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අපට ලබා දුන් මේ උරුමය වැඩි දියුණු කර ගන්නට අප අසමත් වූ බව රහසක් නොවේ. අපි අලුත් දුම්රිය මාර්ග තැනුවා නොව තිබුණු දුම්රිය මාර්ගද වසා දැමුවෙමු. පුත්තලමේ සිට පෙරියනාගවිල්ලුව දක්වා වූ දුම්රිය මාර්ගය පුත්තලමෙන් සීමා විය. ඕපනායක දක්වා ධාවනය වූ පටු දුම්රිය මඟ අවිස්සාවේල්ලෙන් සීමා විය. නානුඹය සිට උඩුපුස්සැල්ලාව දක්වා ධාවනය වූ නුවරඑළිය මාර්ගයටද කණකොකා හඬන ලදී.

ධාවනය වූ දුම්රිය ගමන් වාර ගණනද අඩු විය. භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා 3%ක් දක්වා පහළටම ගොස් තිබුණි.

වළපල්ලටම යමින් තිබුණු මේ තත්ත්වයෙන් දුම්රිය සේවාව ගොඩ ගැනීමේ නව මං පිළිවෙත් ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදීය. ඒ චීනයේ ෂිෆෑන් සමාගමෙන් එස් 9 කාණ්ඩයට අයත් බලවේග කට්ටල දුම්රියන් ආනයනය කිරීමත් සමඟය. එමෙන්ම වසර 15කට පසුව දුම්රිය මැදිරි ආනයනය කිරීමද ඒ සමඟම සිදු විය.

එස් 9 වර්ගයේ බලවේග කට්ටල ලබා ගැනීමෙන් වසර ගණනාවකට පසුව එම මිලටම එම චීන සමාගමෙන්ම බලවේග කට්ටල දුම්රිය ලබා ගැනීමට අපට හැකි විය.

දුම්රිය සේවාව නැංවිමේ ප්‍රධාන පියවරක් වශයෙන් පෙන්වා දිය හැක්කේ ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ දුම්රිය සේවාව නැංවීමට පියවර ගැනීමයි. ඒ යටතේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ දුම්රිය කර්මාන්ත හා සේවා සමාගම් දෙකක් වන රයිට්ස් හා ඉර්කොන් සමාගම් ඉදිරිපත් විය. ඒ අනුව මුහුදු බඩ මාර්ගය පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ගමන් කළ හැකි පරිදි ඉර්කොන් සමාගම විසින් පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කරන ලදී.

එමෙන්ම ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දැමූ උතුරු දුම්රිය මාර්ගයද ඕමන්තේ සිට කන්කසන්තුරේ දක්වා අලුතින්ම තනා නිම කරන ලද්දේ දුම්රිය ස්ථානද නවීකරණය කර ඉදි කරමිනි. එමෙන්ම මැදවච්චිය සිට තලෙයි මන්නාරම්තොට දක්වා වන දුම්රිය මාර්ගයද අලුතින්ම තනා නිම කරන ලදී.

ඊට අමතරව අනුරාධපුරයේ සිට කන්කසන්තුරේ දක්වා සම තලෙයි මන්නාරම් මාර්ගයටද නවීන දුම්රිය වර්ණ සංඥා ස්ථාපනය කරන ලදී. ඒ ඉර්කොන් සමාගම විසිනි.

එම මාර්ගයන්ගේ ධාවනය කිරීමට අවශ්‍ය දුම්රිය ලබා දීමේ කාර්යය ද ඉන්දීය ණය ආධාර යටතේ ලබාදීමට රයිට්ස් සමාගම විසින් කටයුතු කරන ලදී. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත එස් 11 වර්ගයේ බලවේග කට්ටල දුම්රිය 20ක් මෙරටට ආනයනය කරන ලදී. එම දුම්රිය කාර්යාල දුම්රිය සේවාවන්ට මෙන්ම කන්කසන්තුරය, මාතර දක්වා පවා ධාවනයට යොදවන ලදී.

එමෙන්ම එම දුම්රියයන්ටම බොහෝ සමානත්වයක් ඇති රයිට් සමාගමේ නිෂ්පාදිත එස් 13 වර්ගයේ දුම්රියයන්ද 2019 වසරේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලදී. ඉන්දියාවේ ධාවනය දුම්රිය මැදිරි අඩි 75ක් පමණ දිගකින් යුක්තය. එම නිසා ඉන්දියාවේ නිෂ්පාදිත දුම්රිය මැදිරි මෙරටට ආනයනය කිරීමෙන් වැඩි මඟී ජනතාවකට ප්‍රවාහන පහසුව සැලසිය හැකිය. විශේෂයෙන්ම උඩරට මාර්ගයේ හා පටු වංගු සහිත කැලණිවැලි මාර්ගයේ ධාවනයට යොදවන දිගින් අඩු දුම්රිය මැදිරි ඉන්දියාවෙන් ආනයනය කිරීම අපට ආර්ථීක වශයෙන් අවාසි සහගත වන්නට ඉඩ ඇත.

ඒ අනුව 2019 වසරේ අත්සන් කළ ඉන්දියානු ණය ආධාර ව්‍යාපෘතිය යටතේ මෙරටට ආනයනයට යෝජිත අවසන් ව්‍යාපෘතිය වූයේ ඉන්දීය මඟී දුම්රිය මැදිරි 160ක් ආනයනය කිරීමයි.

ඊට පෙර එම් 11 පන්තියට අයත් අයත් දුම්රිය එන්ජින් 10ක් ඉන්දියාවෙන් ආනයනයට කටයුතු කරන ලද්දේද ඉන්දීය ණය සහන ක්‍රමවේදයක් යටතේය. ඒ දැනට ශ්‍රී ලංකාවේ භාවිත අශ්වබලයෙන් වැඩිම දුම්රිය එන්ජින් වර්ගය ලෙසිනි. එම එන්ජින් බහුතරයක් යෙදවීමට අදහස් කරන්නේ ආනයනය කෙරෙමින් පවතින නව දුම්රිය මැදිරි වෙනුවෙනි.

අදාළ දුම්රිය මැදිරි 160න් මැදිරි 60ක් මේ වන විට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. ආනයනය කෙරෙන නව ඉන්දීය දුම්රිය මැදිරි අතර මෙරටට ගෙන්වීමට නියමිත දුම්රිය මැදිරි 160 යටතේ තුන්වෙනි පන්තියේ මැදිරි 41 ක්, දෙවන පන්තියේ මැදිරි 42 ක්, වායු සමනය කළ 1 පන්තියේ මැදිරි මැදිරි 35ක්, අවන්හල් සහිත මඟී මැදිරි 13ක් ද නියාමක මැදිරිය සහිත භාණ්ඩ ප්‍රවාහන මැදිරි 8ක්ද නියාමක මැදිරිය සහිත මඟී මැදිරි 17ක්ද අන්තර්ගතය.

ඒ අනුව දුර දුම්රිය සේවාවට නව පණක් ලැබෙනු ඇත. නව මඟී මැදිරි පෙර ආනයනික මැදිරිවලට වඩා පහසුකම් වලින් යුක්තය. විශේෂයෙන්ම පළමු පන්තියේ මැදිරිවල රූපවාහිනි යන්ත්‍ර ඇතුළු නවීන පහසුකම්ද තිබේ. ස්වයංක්‍රීය දොරවල් සහ සංගීතය පෞද්ගලිකව තමන්ට ශ්‍රවණය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම්ද සපයා ඇත. දුම්රියේ වැසිකිළි පද්ධතියද නවීන පහසුකම්වලින් යුක්තය.

ආසන අංශක 360ක්ම කරකැවීමට හැකිය. ඒ අනුව තම්න්ට අවශ්‍ය පරිදි ආසන සකසා ගත හැකිය. එමෙන්ම වායු සමනය කළ මැදිරිවල මඟීන්ට අවට මනා ලෙස දැක බලා ගත හැකි පරිදි පුළුල් ලෙස වීදුරු සවි කර තිබේ. එහි මඟීන්ට අව් රශ්මියෙන් වන පිඩා වැළැක්වීමට තිර රෙදි සවි කර තිබේ.

චෙන්නායි හි පිහිටි ICF කර්මාන්තශාලාවේදී නිෂ්පාදිත මේ දුම්රිය මැදිරිවලින් තුන්වන මැදිරි 20ක ප්‍රමාණය පසුගිය 17 වැනිදා Franbo Progress නෞකාවෙන් කොළඹ වරායට ගෙන එන ලදී.

මෙම මැදිරි ගණන 160 සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 82.64 වැය කෙරේ. ඒ අනුව මේ එක් මැදිරියක් වෙනුවෙන් රුපියල් කෝටි 10ක පමණ මුදලක් වැය කෙරෙනු ඇත.

2017 වසරේ ඉන්දු ලංකා සහයෝගිතාව යටතේ අත්සන් කළ ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ 2019 වසරේ ආනයනය කළ එස් 13 බලවේග කට්ටලවලට සමාන පූර්ණ වායු සමනය කළ 1 පන්තියේ මැදිරි 11ක් හා එන්ජින් දෙකකින් සමන්විත සුපිරි බලවේග කට්ටල දුම්රිය දෙකක්ද මෙරටට ආනයනය කෙරේ. එම දුම්රිය දෙක ගල්කිස්ස හා කන්කසන්තුරය අතර ධාවනයට යෙදවෙනු ඇත. එහි පළමු දුම්රිය මේ වන විට ඉන්දියාවේ නැව්ගත කිරීමේ සූදානමින් ඇත.

මේ සියලු දුම්රිය මෙරට වෙනුවෙන්ම නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ රයිට් හෙවත් ඉන්දීය දුම්රිය තාක්ෂණික සහ ආර්ථික සේවා සමාගම විසිනි. අදාළ ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 318ක ව්‍යාපෘතියෙන් තවත් ඉතිරිව ඇත්තේ උතුරු මාර්ගයේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් පමණි.

ඉන්දීය දුම්රිය මැදිරි ගෙන්වීම හා ඉදිරියේදී එම දුම්රිය මැදිරිවලින් සිදු කරන්නා වූ සේවාව ගැන දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දරගෙන් විමසුවෙමු.

‘‘ශ්‍රී ලංකාව වැනි රටක විශේෂයෙන්ම කොළඹ වැනි නගරයක ඇති මාර්ග තදබදය අවම කිරීමට නම් දුම්රිය සේවාව වඩාත් කාර්යක්ෂම කළ යුතුයි. විශේෂයෙන්ම ඉන්දීය නව දුම්රිය මැදිරි යටතේ දුර සේවා දුම්රිය සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරනවා. ඒ සමඟම කාර්යාල දුම්රිය සේවාව නැංවීම්ත් මෙහි එක් අරමුණක්.

ඒ වෙනුවෙන් නව දුම්රිය සේවාවන් කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී තවත් දුම්රිය සේවා ආනයනය කළ නව දුම්රිය මැදිරි දිගින් වැඩි නිසා එම මැදිරි යොදවන්නේ කන්කසන්තුරය, තලෙයිමන්නාරම හා බෙලිඅත්ත වැනි ප්‍රදේශවලටයි.

එමෙන්ම එම දුම්රිය මැදිරි වෙනුවෙන් යොදවන්නේත් ඉන්දියාවේම නිෂ්පාදිත එම් 11 හා එම් 10 වැනි අධික බරකින් යුක්ත දුම්රිය එන්ජින් නිසා අනෙකුත් මාර්ගවල එම මැදිරි ධාවනය කරන්න බැහැ.

කොහොම වුණත් ඉදිරියේදී අප ආනයනය කරනු ලබන 1 පන්තියේ මැදිරි වායු සමනය කළ මැදිරි පමණයි. ඒ හරහා වැඩි පිරිසකට ගමන් පහසුව සලසා ගත හැකියි.

එමෙන්ම ඉදිරියේදී තැපැල් සේවා මැදිරි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හා එක් කිරීමේ සැලසුමකුත් අප සතුව තියෙනවා. එයින් රාත්‍රී දුර සේවා දුම්රියයන්ගේ ප්‍රමාදය වළක්වා ගත හැකියි.‘

සාමාන්‍යාධිකාරිවරයා පවසන පරිදිම ඉදිරියේදී නවීන පහසුකම් සහිත දුම්රිය සේවාවක් ජනතාවට සැපයිය හැකි වනු ඇත.


 

Comments