කවු­දැයි කවු­දැයි රණ්ඩු කරන්නේ පොලිස් මාරු­වට රණ්ඩු කරන්නේ | සිළුමිණ

කවු­දැයි කවු­දැයි රණ්ඩු කරන්නේ පොලිස් මාරු­වට රණ්ඩු කරන්නේ

 

පේ රටේ වෙනත් රටවල නැති පුදුමාකාර අමුතු කලාවක් ස්වභාවිකවම පිහිටා තිබේ. යම් සිදුවීමක් හෝ ප්‍රකාශයක් මත එක් මාතෘකාවක් හදිසියේ කරළියේ ඇදී ගොස් ක්‍රමයෙන් එය අතුරුදන්ව යයි. යළිත් කාලාන්තරයකට පසුව එම මාතෘකාව තවත් කුමන හෝ සිදුවීමකට ඈඳී කරළියට එයි.

මීට අවුරුදු 33කට පෙර එනම් 1988 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාදුක්ක පොලිසියට පහරදීම නිසා වසර ගණනාවක් යන තුරු පාදුක්ක පොලිසියේ නාමය නිරතුරුම කරළියේ කියැවුණි. එම ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරුන් වන එම්. මහින්දරත්න, බී.ජී. විල්සන් හා ජී.ඒ. ජයලාල් මිය ගියහ. එමෙන්ම කැරළිකරුවන් විසින් ගිනි අවි කිහිපයක්ද පැහැර ගන්නා ලදී.

වසර 33කට පසුව පාදුක්ක පොලිසිය යළිත් කරළියට ආවේය. ඒ පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති තනතුරට දේශපාලන කරළියේ වූ මත ගැටුම් නිසාය.

එකම පක්ෂයේ මැති ඇමැතිවරුන් අතර මතවාද - ගැටුම් ඇති වූයේ අද ඊයේ නොවේ. එහෙත් මේ මත ගැටුම් ඊට වඩා ඔබ්බට ගියේය. පොලිසියේ ස්ථානාධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධව ඇමැතිවරුන් දෙදෙනෙක් හා මන්ත්‍රීවරයෙක් අතර මෙතරම් දුරදිග ගිය ගැටුමක් අප දන්නා ඉතිහාසයේ නම් නැත. මේ ගැටුම හටගන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි අතරය.

ගැටුමේ සුලමුල වන්නේ පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක නිට්ටඹුව පොලිසියට මාරු කර යැවීමය.

පාදුක්ක පොලිසිය සම්බන්ධ චෝදනාවක් එල්ල වී තිබුණි. එහෙත් ජගත් කුමාර සුමිත්‍රආරච්චි මන්ත්‍රීවරයා පවසන්නේ අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ හිතවතකු පාදුක්ක පොලිසියට පත් කිරීමේ අවශ්‍යතාවය නිසා එසේ මාරු කර යවා ඇති බවයි.

මේ සිදුවීමට අදාළ ස්ථානාධිපතිවරයාට හෝ පොලිසියට අදාළ චෝදනා මොනවාද? ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අදාළ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? මෙහි දේශපාලන තත්ත්වය විමර්ශනයට පෙර අදාළ සිදුවීම සම්බන්ධව සිළුමිණ විමර්ශනයක යෙදෙන ලදී.

සිද්ධියේ ආරම්භය පසුගිය ජූනි මාසය දක්වා ඇදී යයි. පාදුක්ක බෝපෙ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් හා පාදුක්ක පොලිසිය අතර කතාවක් මෙයට පදනම සැපයුවේය.

අදාළ සිදුවීම සම්බන්ධ තිදරු මව විසින් විනාඩි 23කින් යුක්තව තමා මුහුණ පෑ සිදුවීම් මාලාව මාධ්‍යයට හෙළි කර තිබේ. එහෙත් මාධ්‍යයෙන් එම සම්පූර්ණ කතාව හෙළිදරව් නොවීය.

ඇය පවසන්නේ පාදුක්ක පොලිසීයට පැමිණිල්ලක් යොමු කිරීමට ගිය අවස්ථාවේ තමාටත්, සැමියාටත් දියණියන් දෙදෙනාටත් එහි නිලධාරීන් වධහිංසා කළ බවයි.

ඇය පවසන්නේ තම වැඩිමහල් දියණිය මුහුණු පොත හරහා තරුණයකු හඳුනාගෙන ඇති බවත් ඔහු නිරුවත් ඡායාරූප ඇයගේ ජංගම දුරකථනයට එවා ඇති බවයි. ඒවා දැරියගේ පියා දැකීමෙන් පසු අදාළ තරුණයාට කතා කොට වහාම මෙම සම්බන්ධය නවත්වන ලෙස දන්වා ඇත. එහිදී ඔහුගේ කතාව උද්වේගකාරි වී ඇත. එමනිසා දරුවන්ද සමඟ මේ ගැන පැමිණිලි කිරීමට පාදුක්ක පොලිසියට ගොස් ඇත. දිනය පසුගිය ජූනි 20 වැනිදා සවසය. ඒ වන විට පාදුක්ක පොලිසියේ කාන්තා කාර්යාංශයේ කිසිවෙකුත් නොමැති බැවින් පසුදා පැමිණෙන ලෙස එහි සිටි නිලධාරියෙකු දන්වා ඇති බව ඇය පවසයි.

නමුත් තම දියණියගේ ජීවිතය ගැන සිතා මිරිහානට ගොස් එහි ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත. රාත්‍රියේ ඔවුන් ආපසු නිවස බලා එනවිට පාදුක්ක පොලිසියට ගිය බවත් එසේ කළේ මිරිහානට පැමිණිල්ලක් කළ නිසා, පසු දා පාදුක්ක පොලිසිය වෙත නොපැමිණෙන බව දැන්වීමට බවත් ඇය පවසයි. එහෙත් පොලිස් නිලධාරින් ‘එහෙම බැහැ, මේක ගමේ පොලිසිය, ඒ නිසා මෙහේ පැමිණිල්ලක් දාන්න ඕන ‘යනුවෙන් පැවසූ බව ඇය කියා සිටී.

ඇය පවසන්නේ පැමිණිල්ල ලියන ලද්දේද තමන්ට අවශ්‍ය පරිදි නොවන බවයි. එසේම පැමිණිල්ල ලියා ගැනීමෙන් පසුව තම සැමියා රිමාන්ඩ් කළ බව ඇය පවසයි.

එහිදී ඔහු ආවේගයෙන් තමන්ට සිදු වු අසාධාරණය පිළිබඳ කෑ ගැසූ බවද ඇය පවසන්නීය. එසේම සිරමැදිරියේ කරාමයක් විවෘත වී ජලය ගලා යද්දී එය වසන ලෙස ස්වාමියාට පොලිසිය දැනුම් දුන් අවස්ථාවේ තමන් එය නොවසන ලෙස ස්වාමියාට දැනුම් දුන් බවත් එයට අලාභයක් වුවහොත් රජයේ දේපළට අලාභ හානි කළා යැයි වෙනම චෝදනාවක් ගොනු කරන්නට ඉඩ තිබෙන හෙයින් එසේ නොකරන ලෙස දැනුම් දුන් බවද ඇය පවසන්නීය.

අලුයම කුඩා දියණියට පානය කිරීමට වතුර ඉල්ලූ විටද පොලිස් නිලධාරීන් බීමට වතුර පොදක් ලබා දීම පවා ප්‍රතික්ෂේප කළ බවද ඇය පවසයි.

එමෙන්ම අදාළ දුරකථනය පොලිස් භාරයට ගත් බවද ඇය පවසයි.

අලුයම 2.00ට පමණ වෙනත් පොලිස් ස්ථානයකට කතා කිරීමට පොලිසියේ දුරකථනය තමන්ට භාවිතා කිරීමට ලබා දුන් බවද ඇය පවසන්නීය.

තමන්ට වැසිකිළියට යාමට වැඩිහිටි පොලිස් නිලධාරියකුගෙන් පාර විමසා එහි ගිය අවස්ථාවේදී ඔහු ඇයට අතවර කිරීමට උත්සාහ කළ බවද ඇය පවසන්නීය. එහිදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ බටයක් වැනි යමකින් පහර දුන් බවත් තමන්ගේ දෑස් නිලංකාර වී ගිය බවත් පියවි සිහිය එළැඹෙන විට පළමුව අසුන් ගෙන සිටි පුටුවේ සිටි බවද ඇය පවසන්නීය.

පසුදා උදෑසන පාදුක්ක පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට පහත් ආකාරයෙන් බැණ වැදුණු බවත් දහවල් සිය දියණියට හා සැමියාට ඇප ලැබුණු බවද ඇය කියා සිටියි. ඇප ලැබීමෙන් පසු නිවසට පැමිණ කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ කියා සිටිමේදී ඔවුන් මෙය පොලිස් මූලස්ථානය වෙත යොමු කර ඇත. ඒ ජූනි 22 දාය. ඒ අනුව පොලිස් මූලස්ථානය වෙත ගොස් ඇති මෙම පිරිස එහිදි පැමිණිල්ලක් සටහන් කර තිබේ.

එම නිලධාරීන්ගේ උපදෙස් මත ජූනි 23 වැනිදා අවිස්සාවේල්ල රෝහලට තමා ඇතුළත් වූ බවත් එහි දින 4 ක් නේවාසික ප්‍රතිකාර ලබා 26 වැනිදා රෝහලෙන් පිට වූ බවද ඇප පවසන්නීය. එහෙත් රෝහල් පොලිසිය ඇයගෙන් කට උත්තරයක් ලබා නොගත් බවද ඇය පවසයි.

ඒ අතර අසල්වාසී නිවසක පිරිසක්ද තවත් කණ්ඩායමක් සමඟ නිවසටම පැමිණ තම පවුලට තර්ජනය කළ බවත් තම ස්වාමියා 119 ඇමතීමෙන් පසුව පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් පැමිණ විමර්ශනය කර ගියද පසුව තම ස්වාමියාට හා 13 වියැති පුතාට විරුද්ධව නඩු පවරා ඇති බවත් අසල්වැසියාට පහරදීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇප දී නිදහස් කර ගත්තේ තමන් විසින් බවද ඇය පවසයි.

තමන්ට දින ගණනාවක් රැකියාවට යාමට නොහැකි වූ නිසා රැකියාවද අහිමි වූ බව පවසන ඇය ස්වාමියාටද ස්ථිර රැකියාවක් නොමැති බවත් පවසන්නීය‍

සිදු වූ අසාධාරණයට පොලිස්පතිවරයාගෙන් හෝ ජනාධිපතිවරයාගෙන් සාධාරණයක් ඇය ඉල්ලා සිටියාය.

ඇය පවසන පරිදි පැමිණිල්ලක් කිරීමට ගිය ඇය ඇතුළු පිරිසට එවන් අසාධාරණයක් වූයේ නම් හෝ ලිංගික අතවරයකට ඇය ලක් කිරීමට උත්සාහ කෙළේ නම් එම නිලධාරීන්ට එරෙහිව නීතිය උපරිම ලෙසින් ක්‍රියා කළ යුතුය. විශේෂයෙන්ම බාල වයස්කාර දරුවන්ද සහිතව ඔවුන්ට පොලිසියේදී එවන් අකටයුත්තක් වූයේ නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

එහෙත් ඇයගේ කතාවේ ගැටලු සහිත තැන් කිහිපයක් අපට හමු වේ. ඉන් පළමු වැන්න නම් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කෙළේ නම් යළිත් පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නොපැමිණෙන බව දැනුම් දීමට ගියේ මන්ද? අඩු ආදායම්ලාභින් බව පැවසුවද ඔවුනට නීතිය ගැන සැලකිය යුතු දැනුමක් තිබෙන බව පෙනෙන්නේ පාදුක්කෙන් පසුව මිරිහාන දක්වා යාමත් වතුර පයිප්පය වසන්නට කී විට එය රජයේ දේපළවලට අලාභ හානි කළා යැයි චෝදනා එල්ල විය හැකි නිසා එයට අත නොතබන ලෙස දැනුම් දීමත් නිසාය.

එමෙන්ම ඇයගේ විනාඩි 23ක කතාවේ කිසිදු තැනක සිය දියණිය අත්අඩංගුවට ගැනීමක් ගැන සඳහන් නොවේ. එහෙත් අවසානයේ ඇය පවසන්නේ සැමියාටත් දියණියටත් පොලිසියේදී ඇප ලැබුණු බවයි.

එමෙන්ම සිය මව සිහිසුන්ව ඔසවාගෙන ආවනම් එතැන සිටි දරුදැරියන්ගේ ප්‍රතිචාරය කෙසේ වන්නට ඇතිද? යන්න පැහැදිලි නැත.

ඒ කරුණු කෙසේ වුවත් මේ සම්බන්ධව පොලිසිය පවසන්නේ කුමක්ද යන්න අපි සොයා බැලුවෙමු.

පොලිසියේ කරුණු දැක්වීමේ වාර්තා වන්නේ අදාළ කාන්තාව සහ ස්වාමිපුරුෂයාද පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේ කාන්තා කාර්යාංශයේ කිසිවකු නොමැති නිසා පසුදින පැමිණෙන ලෙස දැන්වූවද ඔවුන් පස්වරුවේ යළි පැමිණ පොලිසියට තර්ජනාත්මකව කතා කර රාජකාරියට පවා බාධා කළ බවයි. ‘දියණිය උස්සන් ගියොත් පොලිසියත් වගකිව යුතු‘ බවට පියා විසින් කෑගැසූ බව පොලිසිය පවසයි.

පසුව පියාගේ පැමිණිල්ලක් ලෙසින් එය සටහන් කරගෙන ඔහු බීමතින් සිටි නිසා සහ ඔහු බීමත්ව ත්‍රිරෝද රථයක් පැදවීම නිසා අත්අඩංගුව ගත් බව පොලිසිය පවසයි.

පැමිණිල්ලෙන් පසුව අදාළ දුරකථනය නඩු භාණ්ඩයක් ලෙස තබා ගත් බවත් මීට අදාළ සිදුවීම ගැන විමර්ශනයේදී හෙළිව ඇත්තේ අදාළ තරුණියද අඩ නිරුවත් පින්තූර අදාළ තරුණයාට යවා ඇති බවත් බවත් එයට උරණ වූ පියා විසින් මවට පහර දී ඇති බවයි.

තරුණියට තර්ජනය කිරීම නිසා ඇයගේ ආරක්ෂාව පිණිස එදින රාත්‍රියේ ඇය පිටත් කර හැරීමට නොහැකි නිසා ඇයට පොලිසියේ සිටින ලෙස පොලිස් නිලධාරීන් විසින් දැනුම් දී ඇත. එමෙන්ම නීතිය අනුව ඇයගේ ආරක්ෂාවට මේට්‍රන්වරියක් හෝ සිටිය යුතු නමුත් ඇය කොවිඩ් ආසාදනය වී සිටි නිසා ඇයගේ මව භාරයේ ඇය පොලිසියේ සිටි බවද පොලිසිය පවසන්නේ නීතියට අනුව එසේ කළ හැකි බවයි.

ඇය පසුව අවිස්සාවේල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතත් අදාළ තුවාල මේ සිදුවීමට සම්බන්ධ නොවන බවට වෛද්‍යවරුන් සනාථ කර ඇති බවත් පොලිසිය පෙන්වා දෙයි.කෙසේ හෝ ඇයගේ පැමිණිල්ල අනුව මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය හා පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයෙන් පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වූ බවත් එහිදී ස්ථානාධිපතිවරයා කිසිදු ලෙසකින් මේ සිදුවීමට වගකිව යුත්තකු නොවන බව සනාථ වී ඇතැයි පැවසේ.

එමෙන්ම මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් මේ වන විට අදාළ කාන්තාව පොලිසියට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එරෙහිව ඇයට විරුද්ධව නඩු පැවරීමට ගොනුවක් නීතිපතිවරයාට යොමු කර ඇතැයිද වාර්තා වේ. ඒ පොලිසිය පවසන කතාවයි.

කෙසේ හෝ අදාළ පුද්ගලයා බීමත්ව සිටියා නම් ඔහු වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළාද නැත්නම් බැලුම් පරීක්ෂණයක් කළාද යන්න සඳහන්ව නැති අතර වාර්තා වන පරිදි එවැන්නක් සිදු කර නොමැත. එසේ නම් එතැනද ගැටලුවක් ඇත.

කෙසේ හෝ මේ කරුණු අපි විමර්ශකයන්ට බාර කරමු. දැන් අප ඉදිරියේ ඇත්තේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කිරීමෙන් පසුව ඇති වූ මැති ඇමැති හුටපටයයි.

එහි මත ගැටුම ආරම්භ වන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි විසින් පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරයන් විසින් සිදු කළ අත්තනෝමතික කාර්යයක් බව හෙළි කිරීමෙනි. අදාළ මාරු කිරීම විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ හිතවත් අයකු පත් කර ගැනීම වෙනුවෙන් සිදු කරන ලද්දක් බව ඔහු මාධ්‍යයට හෙළි කෙළේය.

එයින් නොනැවතුණු ඔහු පැවසුවේ මේ අකටයුත්තට නිසි ලෙසින් පිළිතුරු ලබා නොදුන් නිසා තමන් පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයෙන් පවා ඉල්ලා අස් වූ බවයි.

මේ සම්බන්ධයෙන් ඇති මත ගැටුම් දුර දිග ගියේ ගාමිණී ලොකුගේ ඇමැතිවරයාත් සරත් වීරසේකර ඇමැතිවරයාත් ජගත් කුමාර ආධුනික මෙන්ම දේශපාලනයේ පරිණතභාවය ගැන අඩු දැනුමක් ඇත්තකු බවට කළ ඒත්තු ගැන්වීම්වලින් පසුවය.

ඇමැති ගාමිණී ලොකුගේ විසින් ‘කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්දහම ඔහොම වෙනවා‘ යනුවෙන් කළ ප්‍රකාශය හමුවේ මේ මත ගැටුම තවත් වැඩි විය.

මේ මත ගැටුම ගැන අපි අදාළ මැති ඇමැතිවරුන්ගේ අදහස් විමසුවෙමු.

කතා බෝම්බය කරළියට ගෙනා ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ අදහස් මෙසේ දැක්විය හැකිය.

‘‘මහජන නියෝජිතයෙක් හැටියට අපි අපක්ෂපාතීව කටයුතු කළ යුතුයි. ඒ වගේම මහජන අවශ්‍යතා ඉටු කළ යුතු වෙනවා. ඒ වෙලාවට කුණු බිත්තර ගහපු, දේශපාලනයට බරවෙච්ච නිලධාරීන් එක්ක වැඩ කටයුතු කරන්න බැහැ. මම සරත් වීරසේකර ඇමැතිගෙන් මේ ගැන ඇහුවහම කිව්වෙ ලොකුගේ ඇමැතිගේ ඉල්ලීමට කළා කියල. එතකොට මට පුළුවන්ද දේශපාලන හිතවත්කම් තියෙන අය එක්ක කටයුතු කරන්න. නිලධාරියා දේශපාලකයා අතර හිතවත් බව හොඳයි. ඒත් දේශපාලන පත්වීම වෙන එකක්. ඒ නිසා මම පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙනුත් ඉල්ලා අස්වුණා‘‘

ඇමැති සරත් වීරසේකර පැවසුවේ ‘‘ පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා කිහිපයක් තියෙනවා. ඒ ගැන විමර්ශනයක් සිදු කෙරෙනවා. නව පත්වීම සිදු කර තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශයෙන් පොලිස්පති විසින්. ඒ වගේම මන්ත්‍රීවරයකුට පොලිස් යතුරුපැදි ආරක්ෂාවක් සපයන්නේ නැහැ. ඒත් ඒ මන්ත්‍රීවරයාට එවැනි පොලිස් ආරක්ෂාවක් පාදුක්ක පොලිසිය ලබා දී තිබුණා. ඒක අනුමත කරන්න බැහැ‘‘

මේ ගැන අමාත්‍ය ගාමිණී ලොකුගේද සිළුමිණට අදහස් දැක්වූවේය.

‘‘මම 1983 ඉදල කොළඹ දිස්ත්‍රික්කයෙ අඛණ්ඩව ඉන්නවා. සමහර ආධුනික අයට බලය ලැබුණහම ඔය වගේ වෙනව. සම්බන්ධීකරණ කමිටුවට පොලිසිය අවශ්‍ය වෙන්නෙ ප්‍රදේශයේ ආරක්ෂාව ගැන දැන ගන්න විතරයි. එහෙම නැතුව යන යන තැන පස්සෙන් යන්න නෙමෙයි. අපි දේශපාලනයේ ආධුනිකයො නෙමෙයි. ඒ නිසා ජගත් මන්ත්‍රීවරයා කරන වැරැද්ද මම කරන්නෙ නැහැ‘‘

කතා බහ එසේය. දැන් මේ ගිනි පුපුරු අලුයට ඇත. නිට්ටඹුව පොලිසියට මාරු කළ ස්ථානාධිපතිවරයා වසර 30ක සේවා කාලයක් ඇති පොලිස් නිලධාරියෙකි. ඔහු ස්ථානාධිපති ලෙස වදුරඹ අවුරුදු 2ක් අලව්ව අවුරුදු 5ක් අකුරැස්ස අවුරුදු 2ක් හා පාදුක්ක අවුරුදු 2ක් වශයෙන් වසර 11ක් සේවය කර ඇත. මේ සිදුවීමෙන් පසු ඔහු විශ්‍රාම යන බවක් ඇතැම් මාධ්‍ය පවසා ඇතත් එහි කිසිදු සත්‍යතාවක් නැත.

ඒ අතර ජගත් කුමාර මන්ත්‍රීවරයා විසින් සරත් වීරසේකර මන්ත්‍රීවරයාගෙන් තමන් හොඳින් දන්නා කිරුළපන පොලිසියේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.කේ.එස්. චන්දන පාදුක්කට පත් කරන ලෙසට 2021.08.02 දින ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. මේ සිද්ධි දෙස බැලීමේදී පැරැණි කවියක් නූතන අර්ථයෙන් මතක්වීම පුදුමයට කරුණක් නොවේ.

කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ
පොලිස් මාරුවට රණ්ඩු කරන්නේ
ජගතුයි සරතුයි ගාමිණි ලොක්කයි
මේ තරමට ඇයි රණ්ඩු කරන්නේ

Comments